ගෙත්සි ෂන්මුගම්ට මවුබිමේ ගෞරවය හිමිවිය යුතුය

  👤  3099 readers have read this article !
2017-09-04

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රමෝන් මැග්සේසේ සම්මානය මෙවර හිමි වී ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන ගෙත්සි ෂන්මුගම් මහත්මියටය. හදිසි අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපතිවරයකු වන රමෝන් මැග්සේසේ සිහි වීම පිණිස පිරිනැමෙන මේ සම්මානය මානව සංහතියේ උත්තම පරමාර්ථ සිය ජීවන දර්ශනය හා ජීවන විලාසය බවට පත්කරගත් විශිෂ්ටයන් වෙනුවෙන් කැපවූවකි.

දශක හයක 'මැග්සේසේ' සම්මාන ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකු මීට පෙර මේ සම්මානයෙන් පුද ලබා ඇත. මර්සලින් ජයකොඩි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව හා මානව විද්‍යාඥ ආනන්ද ගලප්පත්ති ඒ විශිෂ්ටයෝ වෙති. මෙවර සම්මානයෙන් පුද ලබන ගෙත්සි ෂන්මුගම් මැග්සේසේ හිමිකරගත් පළමුවැනි ලාංකික කාන්තාව වන්නේය. එමෙන්ම ඇය දෙමළ ජාතික කාන්තාවක් වීමද සුවිශේෂී වේ. විශේෂයෙන් කාන්තා පරපුරටත් ලාංකේය දෙමළ ජනතාවටත් ඇය ලද සම්මානය ගෞරවයකි. කණගාටුව වන්නේ පිලිපීනයේ මැග්සෙසේ සම්මානය හිමිවන තුරු මෙරට දී ඇය කිසිදු ඇගැයුමකට ලක්නොවීමය.

83 හැවිරිදි ගෙත්සි ෂන්මුගම් මහත්මිය වෘත්තියෙන් ගුරුවරියකි. දීර්ඝ කාලයක් ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඇය සිය කාලය කැප කළේ අනාගත පරපුර එනම් මෙරට දූ දරුවන් වෙනුවෙනි. සුනාමි ව්‍යසනයෙන් පීඩා විඳි දරුවන්ගේ සිත් සුවපත් කිරීමට වෙහෙසුණු ඇය අනතුරුව යුද්ධයෙන් පීඩා විඳි දූ දරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළාය. දරුවන්ගේ පමණක් නොව යුද්ධයෙන් පීඩාවිඳි කාන්තාවන්ටද ඇය සිය දෑත් දිගු කිරීමට කාරුණික වූවාය. 'රමෝන් මැග්සේසේ' සම්මාන හේතු පාඨයේ සඳහන් කර ඇත්තේ ලාංකික සිවිල් යුද්ධයෙන් බැට කෑ දරුවන්ගේ හා කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා සම්පාදනයට ධෛර්යයෙන් හා මෛත්‍රියෙන් යුතුව දීර්ඝ කාලයක් කැපවීමෙන් කරන සේවය උදෙසා මේ සම්මානය පිරිනැමෙන බවය.

අන්තවාදීව යුද්ධයට ආවැඩීම හෝ මෝස්තරයට යුද්ධයට එරෙහිවීම පසෙකලා ඕනෑම කුරිරු යුද්ධයකින් අන්ත අසරණ වන පාර්ශ්ව දෙක වන දරුවන් හා කාන්තාවන් උදෙසා යමකු කැපවන්නේ නම් එය සද්කාර්යයක් වන්නේය. සැබෑ යුද විරෝධය, සාමයට පක්ෂවීම යනු එයයි. ගෙත්සි ෂන්මුගම් මෙවැනි සම්මානයකට සුදුසු වන්නේ ඒ නිසාය. සැබැවින්ම මේ සම්මානය ඇයට හිමි විය යුතුය. ඉන් මැග්සේසේ සම්මානයට වැඩි වටිනාකමක් ලැබෙයි.

බොහෝ දෙනා මඟහැර යන එහෙත් සමාජයේ ප්‍රගමනය සඳහා කළ යුතුම කාර්යයන් උදෙසා නොඑසේනම් මනුෂ්‍යත්වය උදෙසා කැපවූ ගෙත්සි ෂන්මුගම් මහත්මියට ලාංකික ජනතාවගේ ගෞරවාචාරය හිමිවිය යුත්තේ රමොන් මැග්සේසේ සම්මානය පස්වැනි වරටත් මවුබිමට රැගෙන ඒමට ඇය සමත් වූ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්