2019 ගැන ජනපති අනතුරු අඟවයි

  👤  4841 readers have read this article !
2017-09-03

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන්ගේ මාසික හමුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වූ අතර එය දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකා ඇති කළ හමුවක් විය. ඒ එහිදී ජනාධිපතිවරයා කළ යම් යම් ප්‍රකාශ නිසාය. ඔහු හමුවට ආවේ අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් කැටුවය.

'ශ්‍රී ලනිපය කියනවා අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. එජාපයත් කියනවා ඒ අයත් ආණ්ඩුවක් හදනවා කියලා. ඔබතුමා කියනවා 2020 දක්වා ආණ්ඩුව ගෙන යනවා කියලා. මොකද වෙන්නේ?

කතුවරයෙක්ගෙන් ආව ප්‍රශ්නයට ජනාධිපතිවරයා සෘජු උත්තරයක් දුන්නේය.
'කිසිම පක්ෂයකට බහුතරයක් නෑ. ඒ නිසා කාටවත් තනියම ආණ්ඩු කරන්න බෑ. දෙදාස් විස්ස වෙනකම් මේ ආණ්ඩුව යනවා. මට මම ගැන විශ්වාසයි. මගේ අනුමැතියක් නැතිව ආණ්ඩුවක් ගන්නවානම් ඒ කුමන්ත්‍රණේකින් තමයි'
ජනාධිපතිවරයා කීවේ සිනාසෙමින්ය.

එජාප - ශ්‍රී ලනිප සම්මුතිවාදී ගිවිසුම නැවත අස්සන් කරනවාද කියා අසන විට ජනාධිපතිවරයා කීවේ 'සම්මුතිවාදී ගිවිසුම් 2015 අගෝස්තු මාසයේ අස්සන් කළේ 2017 දෙසැම්බර් දක්වා යෑමටයි. ශ්‍රී ලනිප 66 වැනි සංවත්සරයෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නවා' යැයි කියාය.
ශ්‍රී ලනිප 66 වැනි සංවත්සරය වෙනුවෙන්, එම පක්ෂය වගේම ජනාධිපතිවරයාත් දැඩිව වෙහෙසෙමින් සිටින්නේය. ඒ නිසාම දෝ පුවත්පත් කතුවරුන් හමුවේ ජනාධිපතිවරයා වැඩි කාලයක් කරුණු දැක්වූයේ සැප්තැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂයේ 66 වැනි සංවත්සරය ගැන කතා කරන්නට, එදා රට තුළ සමාජ පරිවර්තනයකට කැපවූ නායකයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රී මතාණන් මුහුණ දුන් ආකාරයේ ගැටලුවලටම තමන්ටත් මුහුණ දෙන්නට වී ඇති බව ජනාධිපතිවරයා කීවේය.

මේ හමුවේදී ක්‍රිකට් ගැනද කතාබහක් ඇති විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම ගැන අර්ජුන රණතුංග අමාත්‍යවරයා ලිපියක් එවා තිබේද කියා කතුවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඇසුවේය.

'ඔව් මට ලැබුණා'
'ඒක ඔබතුමා කියෙවුවද'
'ඔව්'
'ඒ ගැන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල එක්ක කතා කරනවද?
'ඔව්, කතා කරන්න ඕන. ඒත් මට තවම එතුමගෙන් වෙලාවක් ලැබුණේ නෑ'
ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් සියල්ලෝම සිනාසුණහ.
ඒ වෙනකොටත් තිලංග සිටියේ ජනාධිපතිවරයාට යාබදවය.

'අනේ මේ යනවා ඕයි යන්න'
'ඔහේ කොහොමද එහෙම කියන්නේ. තමුසේ මේක කෑවා'
'කෑවේ කවුද කියලා මගෙන් අහගන්න එපා. තමුසෙට ඕනනම් මේක අරගෙන කරනවකො' පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම, ඇතැම් දිනවල පාර්ලිමේන්තුවේ කතා කරන ස්වභාවයක් ගත්තේ එහෙමය. කැබිනට් එක ඒ තරම් උණුසුම් වූයේ කොහොමද? එකම කැබිනට් මණ්ඩලයේ සිටියත් විවිධ කෝන්තර තියෙන ඇමැතිවරු කවදත් සිටියෝය. දයාසිරි ජයසේකර සහ අර්ජුන රණතුංග අතර තිබෙන්නේත් 'ක්‍රිකට්' ගැන කෝන්තරයක්ය. ඒ කෝන්තරය පුපුරා ගියේ පසුගිය කැබිනට් රැස්වීමේදීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා දින කැබිනට් මණ්ඩලය රැස්විය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය නවීකරණය කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබුණේ මීට පෙරය. කෙසේ වෙතත්, එය සාකච්ඡාවට ගන්නා විට ක්‍රීඩා අමාත්‍යවරයා එහි සිටියේ නැත. දයාසිරිගේ පත්‍රිකාව ගැන මුලින්ම අදහස් දැක්වූයේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාය. ඔහු දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහි ගැටලු පවතින බවත්, නැවත පරීක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියේය. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණියේ ඔය අතරේය. 'දයාසිරි ඔයාගේ කැබිනට් පත්‍රිකාව තමයි සාකච්ඡා කරන්නේ' යනුවෙන් කීවේ, ජනාධිපතිවරයාය. 'මොන කැබිනට් පත්‍රිකාවද සර්' කියා දයාසිරි ඇසුවේය.
ඊට උත්තර දුන්නේ, එවිට අර්ජුන රණතුංග අමාත්‍යවරයාය. 'සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කළා. ඒකේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා.' මේ කතාව දයාසිරිට ඇල්ලුවේ නැත.

'මෙහෙම කරන්න අමාරුයි. මෙයාගේ වැඩ නිසා දැන් ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රීඩා පරිපාලකයන් විවේචනය කරනවා. වරාය අමාත්‍යාංශයේ සිටි කාලයේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොදී කකුලෙන් ඇද්දා. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය විනාශ කරන්න හදනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පාලකයන්ගේ මානසික තත්ත්වය විනාශ කරන ප්‍රකාශ මාධ්‍යයට ලබා දෙනවා. එහෙම කරන්න එපා' යැයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉතා වේගයෙන් කීවේය.

එවිට අර්ජුන රණතුංග අමාත්‍යවරයා සඳහන් කෙළේ 'මම මගේ මතය ඉදිරිපත් කළේ. ඒකට මට අයිතියක් තියෙනවා' යනුවෙනි.
මෙතැන් සිට කතාබහ උණුසුම් විය. සැර වචන හුවමාරු විය. 'ජනාධිපතිතුමනි මේ අමාත්‍යාංශය මෙයාට දෙන්න. මට ඕන නෑ.' දයාසිරි එහෙම කීවේය. 'දැන් ඇති. දෙන්නගේ මත ගැටුම අවසන් කරන්න. මෙය සොයා බලා කටයුතු කරමු' යැයි ජනාධිපතිවරයා කීවේය.

කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේම අවධානය යොමු වුණේ හිටි ගමන් ජනාධිපතිවරයා කළ අනතුරු ඇඟවීමක් දෙසටය.
'මතක තියාගන්න 2019 වෙනකොට අපි ලොකු අබුර්දයකට මුහුණ දෙන්න ඕන. සියලුම ඇමැතිවරු ජනාධිපතිවරයාගේ කතාවට අවධානය යොමු කළහ.
'ඒ වෙනකොට අපිට මෙගාවොට් 1600ක බලශක්තියක් ඕන. අපි තාමත් ඊට කිට්ටු වෙලාවත් නෑ. දැන් ඉඳලම ඒ ගැන හිතන්න. කෙළවරපිටියයි. කැලණිතිස්සයි එල්.එන්.ජී. බවට පත් කරන්න. තව එල්.එන්.ජී. දාහක එකක් ගේන්න.යනුවෙන් ජනාධිපතිවරයා කීවේය. කැබිනට් මණ්ඩලයම ඒ කතාව අනුමත කළහ.

සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ජාන තාක්ෂණය පාසල්වල ඉගැන්වීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉන් පසු සාකච්ඡාවට ගත්තේය. සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා පැවැසුවේ 'මමයි, රාජිත සේනාරත්න අමාත්‍යවරයයි ඇමෙරිකාවට ගිහින් මේ පිළිබඳව අධ්‍යනය කළා.' යැයි කියාය.
'ජාන තාක්ෂණය නූතන වෛද්‍ය විද්‍යාවේ තවත් සන්ධිස්ථානයක්. අනාගතයේ ජාන තාක්ෂණයෙන් තමයි රෝගවලට ප්‍රතිකාර කරන්නේ. එම නිසා ජාන තාක්ෂණය පාසල්වල ඉගැන්වීම හොඳ දෙයක්. මෙහිදී රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝග ජනනය කරන වයිරසයට ප්‍රතිකාර කරනවා. එමඟින් රෝගය පැතිරයෑම වළක්වා ගත හැකියි.' යනුවෙන් රාජිත ඒ ගැන දීර්ඝ විස්තරයක් කළේය.

බිත්තර නිෂ්පාදනය සහ මිල පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉන් පසු සාකච්ඡාවට ගන්නා ලදී. මේ විෂය අදාළ පී. හැරිසන් අමාත්‍යවරයාටය. පළමුවෙන් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පැවැසුවේ බිත්තර මිල අඩු වී ඇති බවය. අනුර යාපා දැඩිව කියා සිටියේ කුකුළු ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයකින් සිටින බවය.
'ඇතැම් කුකුළු ව්‍යාපාරිකයන් කුඩා ප්‍රමාණයේ කූඩුවල කුකුළු පැටවුන් ඇති කිරීම කෘෘර ක්‍රියාවක්. එය හිංසාවක්. යුරෝපය වැනි රටවල එම තත්ත්වය මතු වූ පසු එවැනි කුඩා ප්‍රමාණයේ කූඩුවල කුකුළු පැටවුන් ඇති කිරීම තහනම් කළා' යැයි කීවේ දුමින්ද දිසානායක අමාත්‍යවරයාය. 'කුකුළු ව්‍යාපාරිකයන් සමඟ මම මේ පිළිබඳව සාකච්ඡා කළා. මෙහිදී හිංසනයක් සිදු වෙනවා. නමුත් යුරෝපය වැනි රටවල මෙම ක්‍රමය තහනම් කර නැහැ. අවිහිංසාවාදී සංවිධාන විරෝධතා දක්වා තිබෙනවා. ඉන් පසු යුරෝපා රටවල කුකුළු කූඩුවල ප්‍රමාණය වැඩි කළා. එවැනි ක්‍රමවේදයක් අපිත් ආරම්භ කළයුතුයි. කුකුළු ව්‍යාපාරිකයන් මට විරුද්ධව පඹයන් පවා පිව්චුවා. එම නිසා කුකුළන් ඇති කරන කූඩුවලට ප්‍රමිතියක් සකස් කිරීමට මම තීරණය කර තිබෙනවා."

අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ මේ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවය.

මේ අතර, තෝරාගත් රජයේ රෝහල් වෙත ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ සියයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍යවරයාය.
ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ රෙයිෆෙයිසන් බැංකුව සමඟ යුරෝ මිලියන 9.8ක (රුපියල් මිලියන 1800ක් පමණ) සහන ණය ගිවිසුමකට එළඹීමට නියමිතය.
'දැන් සහල් මිල තත්ත්වය කොහොමද? බදු ඉවත් කළා නේද?

සහල් ආනයනය සම්බන්ධව ජනාධිපතිවරයා විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය. සහල් මිල වැඩිවීම ගැන ඉකුත් දිනවල දැඩි කතාබහක් ඇති විය.
'දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. මිල අඩුවෙලා තියෙන්නේ' රිෂාඩ් කීවේය.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ප්‍රධාන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම කසළ කළමනාකරණය දුර්වල වීමට ප්‍රධාන හේතුවක්ය. කෙසේ වෙතත්, සී.සී.ටී.වී. කැමරා හේතුවෙන් කසළ ප්‍රවාහන කටයුතුවලදී බාධා එල්ල වන බව කැබිනට් හමුවේදී චම්පික රණවක කීවේය. එහෙත් ෆයිසර් මුස්තාෆා පැවැසුවේ සී.සී.ටී.වී. නිසා තැන තැන කසළ දමා යෑම සිදු නොවන බවය. දෙදෙනා අතර ඒ සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් සිදු විය.

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැතිවරයා එහිදී ආගමික කටයුතු හා පුද පූජා කටයුතුවලටද එක්විය. යළි සියරට පැමිණි ඔහු උත්සව රැසකට මෙන්ම තීරණාත්මක සාකච්ඡා රැසකට එක් විය. සඳුදා සවස අරලියගහ මැඳුරේදී මාධ්‍යකරුවන් රැසක් හමුවීමද ඒ අතර විය.
බ්‍රහස්පතින්දා උදේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ උත්සවයකට යෑමට පෙර අරලියගහ මැඳුරට පැමිණි අගමැතිවරයා එහි සිටි මැති ඇමැතිවරු සමඟ කෙටි පිළිසඳරක යෙදිණි.

'පළාත් පාලන ඡන්දයට සියල්ල සූදානම් වුණත් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය පනත්වල ගැටලුවක් නිසා ඡන්දය ආපසු කල් යනවා කියලා පත්තරවල තිබුණු ප්‍රවෘත්තිය මොකක්ද? දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.

'නෑ කල්යෑමක් නෑ. ඒකට කතානායකතුමා අස්සන් කරනවා. මාධ්‍යවල යන හැම එකක්ම ඇත්ත නෙවෙයි' අගමැතිවරයා කීවේය.
'රාජ්‍ය සේවකයන්ට පළාත් පාලන ඡන්ද ඉල්ලීම නව ක්‍රමය තුළ තහනම් කරලා කියලා විපක්ෂය රටට බොරු කියනවා. රාජ්‍ය සේවකයො ගස්බැඳපු කට්ටිය දැන් ඔවුන් ගැන කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තුවේදී මම කිව්වාම දිනේෂ් ඇතුළු කට්ටිය කට පියාගත්තා' ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

'ක්‍ෂේත්‍ර නිලධාරීන්ට මෙවරත් ඡන්ද ඉල්ලන්න පුළුවන්. ඒත් රැකියාවෙන් ඉවත් වෙලා වෙනත් තැනකයි ඉල්ලන්න වෙන්නේ. තමන්ගෙ ගමේම ඉල්ලුවොත් සමෘද්ධි කපනවා පොහොර සහන කපනවා කියලා තර්ජන දාලා ඡන්ද ගන්න පුළුවන්. අපි ඒක නැති කරලා කාටත් සාධාරණ ක්‍රමයක් ගේන්නෙ' අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

'ජයවික්‍රම ඇමැතිතුමාට බුද්ධශාසන ගැළපෙනවා. අධිකරණ වැඩේ නව ඇමැතිතුමිය හරියට කරාවි කියල රටම බලා ඉන්නවා. දැනටමත් ඒ ක්‍ෂේත්‍රයේ වැඩ වේගවත් වෙලාලු' දයා ගමගේ කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අනුමත කළහ.
'රාජිතට විරුද්ධ විශ්වාසභංගයේ සයිටම් සයිටම් කියලා හැමතැනම තියෙනවා. ශේ්‍රෂ්ඨාධිකරණයේ විභාගවෙන නඩුවකට අදාළව විශ්වාසභංග ගේන්න බෑ. ඒ නිසා ඕකට ඉඩදෙන්න බෑ' ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
'මුළු ආණ්ඩුවම රාජිත එක්ක ඉන්න නිසා විශ්වාසභංගය ගෙනාවත් ප්‍රශ්නයක් නෑ. එතකොට ගෙනාපු අය පැරැදිලා පතුලටම වැටේවි' අගමැතිවරයා කීවේ සිනා මැදය.
'මේ විශ්වාසභංගයේ කරුණු කීපයක් රාජිතට නෙවෙයි මටයි ගේන්න ඕනෑ. ඒත් ඒ කාලෙ 'මීක්' කියලවත් ඔය කට්ටිය කිව්වේ නෑ කියලා එස්.බී. හොඳ කතාවක් කිව්වා' දයා ගමගේ කීය.

'අපේ ක්‍රිකට් වැටීම හරි අපරාධයක්. 2019 ලෝක කුසලානෙ කණ්ඩායම් 08ට එන්න බැරි වුණොත් ලොකු අවාසියක් වෙනවා' නවීන් දිසානායක කීය.
'දැන් අශ්වයන්ට විතරක් නෙවෙයි ක්‍රිකට්වලටත් ඔට්ටු අල්ලන ක්‍රමයක් තියෙනවා' ගයන්ත කරුණාතිලක කීය.
'ඒක ලෝකය පුරා තියෙනවා. ඇමෙරිකාවෙ ජනාධිපතිවරණයටත් ඔට්ටු අල්ලනවා' අගමැති කීවේ සිනා මැදය.
'ඒත් හැම එකකම පාලනයක් අවශ්‍යයි. 2015දී තව අවුරුදු දෙකකට ක්‍රිකට් අතුරු පාලනයක් දැම්ම නම් ඉවරයි. තිලංගල, දයාසිරි ලෝක ක්‍රිකට් එකේ බලපෑම් ඒවි කියලා ඡන්ද තිබ්බා. ලෝක ක්‍රිකට් එකෙන් ප්‍රශ්න ආවා නම් ආණ්ඩුවට ඒක බලාගන්න තිබුණා' අගමැතිවරයා තවදුරටත් විග්‍රහ කළේය.

'අපේ තිස්ස අත්තනායක මහත්මයා එජාපයට එනවාය. 2020දී හොඳ එජාප අපේක්ෂකයෙක් ඕන කියලා මාධ්‍යවලට කියන කතාව මොකක්ද' එහි සිටි මැති ඇමැතිවරු අසුවේ අගමැතිගෙනි.
'අද මාධ්‍ය නිදහස් නිසා ඕන කෙනකුට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා. එච්චරයි. අගමැතිවරයා කීවේ නළල රැලිගන්වමිනි.

සෙනසුරාදා රාත්‍රියේ මහින්ද සිටියේ බෙල්ලන්විලය. එදින බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ පෙරහර පැවැති අතර මහින්ද ගොස් සිටියේ කරඬුව වැඩමවීමේ අවස්ථාවට සහභාගි වීමටය. මහින්ද යන විටත් විජයදාස, ලොකුගේ, උපාලි කොඩිකාර ඇතුළු පිරිසක් ද සිටියහ.
"කොහොමද? විජයදාස රාජපක්ෂ දුටු වහාම මහින්ද ඔහුගෙන් ඇසුවේය.
"ඉන්නවා සර්" විජයදාස පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඇත්තටම වුණේ? මහින්ද ඇසුවේ විජයදාසගේ ඇමැති ධුරය ඉවත් කිරීම ගැනය.
"නෑ. මට ඇමැතිකමෙන් අයින් වෙන්න කිව්වා. මම මොකටද ඉල්ලා අස්වෙන්නේ. මම වරදක් කරලා නැහැනේ. ඒ හින්දා මම අයින් වෙන්නේ නෑ. පුළුවන් දෙයක් කරන්න කියලා මම කිව්වා. ඒ අය මාව අයින් කළා. ප්‍රශ්නයක් නැහැ සර්. මම මගේ ප්‍රතිපත්තිවල දිගටම ඉන්නවා" විජයදාස පැහැදිලි කළේය.
"ඒක හොඳයි. දේශපාලනය කරද්දි ඕවාට මුහුණ දෙන්න වෙනවා. සැලෙන්න එපා. තමන් වරදක් කරලා නැත්නම් මොනවා කළත් වට්ටන්න බැහැ" මහින්ද විජයදාසට කීවේය.

කෝට්ටේ රජමහ විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගි වීම සඳහා මහින්ද එදිනම සවස කොළඹ බලා ආවේය. ඒ වනවිටත් චමල්, ලොකුගේ, විජයදාස, ගෝඨාභය ඇතුළු පිරිසක්ද එහි වූහ. පිරිස කතාබහ කරමින් සිටින අතරතුර කිට්ටු වූ උපාලි ඇසුවේ "සර් දැන් මොකද විජයදාස මහත්තයා කරනවයි කියන්නේ" කියාය.
"දැන් ඉතින් මොනවද කරන්නේ කියලා තමයි අපිත් කතා කර කර හිටියේ. එතුමා ආවොත් ඉතින් මහරගම ආසනය තමයි දෙන්න වෙන්නේ" මහින්ද විහිළුවට මෙන් කීවේ මහරගම ආසනයේ ක්‍රියාකාරීව සිටින්නේ උපාලි බව දැනගෙනය. "ඒකට නම් කමක් නෑ සර්. සර් වෙනුවෙන් අපි නොදෙන දෙයක් නැහැ. ඉතින් එහෙම බලනකොට මහරගම කියන්නේ මොකක්ද? උපාලි ද ඇසුවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව මෙවරත් පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත, රංජිත් සොයිසා ඇතුළු පිරිසකට විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සැරසෙන බව ඒ වන විටත් රහසක් නොවීය.
"ඔයාලට විනය පරීක්ෂණ තියන්න යනවලු නේද? මහින්ද ඇසුවේ ප්‍රසන්නගෙනි. "ඔව් සර් අපිටත් දැනගන්න ලැබුණා. ප්‍රසන්න පැවැසීය.
"ඕවා කරන්නේ ඔයාලව බය කරන්නයි. ගණන් ගන්න එපා" මහින්ද කීවේය.

"අයියෝ සර් විනය පරීක්ෂණ කරලා නම් අපිව බය කරන්න වෙන්නේ නැහැ" රෝහිත කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා සහභාගි විය. බලමණ්ඩල රැස්වීමට සංධාන මහලේකම් මහින්ද අමරවීරද එක්ව සිටියේය. ආණ්ඩුවෙන් යන බවට පකාශ නිකුත් වෙමින් තිබියදී පැවැති මේ රැස්වීමේදී අමාත්‍යවරයා කළේ අමුතු කතාවකි.
'කුරුම්බැට්ටිවලටයි, පොහොට්ටුවලටයි අපි යන්නේ නෑ. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. අපි අපේ පක්ෂය දිනවනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය එක්ක ගමනක් නෑ'
ඔහු එහෙම කීවේය.

මහින්ද පසුගිය 30 වැනිදා බදුල්ල බලා ගියේ පන්සලක පැවැති උත්සවයකට සහභාගි වීමටය. පසුගියදා ජනාධිපතිවරයාට සහාය පළ කළ බවට මාධ්‍ය වාර්තා පළ වූ තේනුක විදානගමගේද එහි පැමිණ සිටියේය.

"ආ මේ තේනුක මන්ත්‍රිතුමත් ඇවිත් ඉන්නේ" තේනුක දුටු අයකු පවසනු මහින්දට ඇසිණි. තේනුක කවදත් අපි එක්කයි හිටියේ" මහින්ද පැහැදිලි කළේය.
"අපි බදුල්ලට එවලා තියෙන්නේ නියම බුලට් එකක්" මහින්ද පිරිසට වෙල්ගම පෙන්වමින් කීවේය.

"ඔව් සර් දැන් නම් වෙල්ගම ඇමැතිතුමා අපිව දාලා යන්නෙත් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ" චාමික බුද්ධදාස පැවැසීය.
"ඔව් දාලා යන්න බැරි හේතුත් ඇතිනේ. අපි මේ පාර එව්වේ හිටපු අය වගේ දාලා යන කෙනෙක් නෙවේ. බදුල්ලේ ජනතාවත් එක්ක හැමදාම ඉන්න කෙනෙක්" මහින්ද කීවේ කා ගැනදැයි කාටත් රහසක් නොවීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරැයුමින් හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේ විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1,100කට රුපියල් ලක්ෂ 1,100/ සහන පොලී 'විසිරි නිවාස ණය' චෙක්පත් පිරිනැමීම සඳහාය. ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර, උත්සවයට පැමිණි අගමැතිවරයා ඇසුවේ 'අද අපි මොනවද ලබා දෙන ප්‍රතිලාභ' කියාය.
සජිත් කීවේ 'මෑතදී ජාත්‍යන්තර මට්ටමින් විශේෂ ක්‍රීඩා කුසලතා පිළිබිඹු කළ නිකවැරටිය, රස්නායකපුර ආර්.එම්. චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක, හක්මණ එල්.ජී. තරංගා විනෝදනී සහ කාරියමඩිත්ත නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් තිදෙනාට ඒ අයගේ අගනුවර පුහුණු කටයුතු පහසු කිරීම වෙනුවෙන් අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන් එකක් රුපියල් ලක්ෂ 42ක් විතර වටිනා නිවාස 3කුත්, දැනට රත්මලාන ප්‍රදේශයේ ජීවත් වන ආබාධිත පුද්ගලයන් තිදෙනකු සහිත පවුලකට සයුරුපුර තවත් නිවෙසකුත් අද සර් අතින් පවරා දෙනවා' කියායි. 'බොහොම හොඳයි' අගමැතිවරයා කියද්දී සජිත් කීවේ 'සර් ලබාදීපු රුපියල් ලක්ෂ 1,000ක ප්‍රතිපාදනවලින් මම තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව කොට්ඨාසවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන 4ක් හදනවා' කියායි. 'එන්න ඕනෑ බලන්න' අගමැතිවරයා කතා කළේ ඉමහත් සතුටින්ය. 'යොවුන් සේනාංක වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ඕනෑ. එදා යෞවන සමාජ ඇති කළා වගේ මේ වගේ යොවුන් සේනාංක මධ්‍යස්ථාන රටේ ප්‍රා.ලේ. කොට්ඨාස 332 තුළම ස්ථාපනය කරන්න ඕනෑ. තරුණ සංකල්පය අවදි කරලා ඒ අයව ඉදිරියට ගන්න මේ වැඩපිළිවෙළින් අපිට හැකි වෙනවා' සජිත් අගමැතිවරයාට කීවේය.

පසුගිය 25 වැනිදා සම්මත කළ පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක කරමින් කථානායකවරයා ස්වකීය අස්සන තැබුවේ අගෝස්තු 31 වැනිදාය.

සම්මත කළ නමුත් කෙසේ හෝ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය ප්‍රමාද කිරීම සහ වුවමනාවෙන්ම පනත බලාත්මක වීම ප්‍රමාද කරනු ඇතැයි ආණ්ඩු විරෝධී ඇතැම් පාර්ශ්ව අනාවැකි පැවසූහ.

කතානායක කාර්යාලයේ දුරකතනයද නිරතුරුව නාද වූයේ පනතට අස්සන් තබන්නේ කවදාද යන්න විමසමිනි.
ඒ අනුව පළාත් පාලන විෂය භාර ඇමැති ෆයිසර් මුස්තාපා මහතාවද කැඳවාගත් හෙතෙම පනතට අස්සන් තැබුවේ බ්‍රහස්පතින්දාය. මනාප ඡන්ද ක්‍රමය නිසා මෙරට දේශපාලන සංස්කෘතියේ රාමුව විකෘති වීම සහ එම විසම දේශපාලන සංස්කෘතියේ අමිහිරි මතකයන් පිළිබඳව සිහි කළ කතානායකවරයා එම ක්‍රමය වෙනස් කිරීම උදෙසා 2002 වසරේ සිට පැමිණි දුෂ්කර ගමනේදී සහාය වූ සියලු දේශපාලන පක්ෂ හා වෙනත් සමාජ කොටස්වලට සිය ස්තුතිය පළ කළේය.
විශේෂයෙන්ම පනත කඩිනමින් බලාත්මක කිරීමට උනන්දු වෙමින් තමාට සහාය දුන් ජනපති, අගමැති මෙන්ම විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ටද කතානායකවරයා සිය ස්තුතිය පළ කිරීම ද විශේෂත්වයකි.

'ආණ්ඩුව ආවට පස්සේ එක ඡන්දයක්වත් පවත්වන්න බැරි වුණා. මම ඒ ගැන හරිම කලකිරීමකින් තමයි ඉන්නේ" යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී පැවැසුවේය. "දැන් මට සමුපකාර ඡන්දයක් හරි පවත්ව ගන්නයි ඕන" මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැවසුවේ දැඩි ලෙස කලකිරුණු ස්වභාවයකිනි.

මේ අතර, මැතිවරණ කොමිසම පසුගියදා, ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කළේය. කොමිසමේ ප්‍රධානීන් තිදෙනාගේම අස්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ, මැතිවරණ මෙසේ කල් දැමීම, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මැතිවරණය සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වී තිබිණි. "ආණ්ඩුව කලින් කිව්වා පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මාසෙ සා/ පෙළ විභාගයට කළින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ. දෙසැම්බර් ඡන්දෙ ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල් දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ. පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා" අනුර දිසානායක කියා සිටියේය. "රවිගේ ප්‍රශ්නෙනුත් විජයදාසගේ ප්‍රශ්නෙනුත් ආණ්ඩුව හිතපු නැති විදියට තවත් අප්‍රසාදයට පත් වුණා. මීට කලින් ඡන්දය ගැන කතා කරන වෙලාවේ ඒ ප්‍රශ්න ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව දැන් අය-වැයෙන් පස්සේ ඡන්දය පවත්වන්න උත්සහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ අය-වැයෙන් සීනි බෝල ටිකක් දීලා ඡන්දය ගන්නයි" බිමල් රත්නායක කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්