රවි RISP ඇමැතිට අඳී

  👤  5015 readers have read this article !
2017-08-27

එකපිට එක ආ සිදුවීම් කිහිපයක් නිසා ඉකුත් දෙසතිය පුරා මෙරට දේශපාලනය උණුසුම් විය. ආණ්ඩුවටත් වඩා එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන් බරපතළ ප්‍රශ්නය වූයේ අධිකරණ අමාත්‍යවරයාගේ සිදුවීමය. විජයදාස බෝම්බයේ සේවා නූල ගිනි ගත්තේ කෘත්‍යාධිකාරි රැස්වීමේදීය. සියලු දෙනා කීවේ ඇමැතිවරයා ඉවත් කරන්න කියාය. ඔහු ගැන තීරණයක් ගන්නට අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශය වූයේ අමාත්‍යවරයා ඉවත් කළ යුතු බවටය.
"මන්ත්‍රිවරු තීරණය කළේ විජයදාස ඉවත් කරන්නයි. බහුතර මතයට ඉඩදීම හැර මට වෙන විකල්පයක් නැහැ"
අගමැතිවරයා ජනාධිපතිවරයාට තීරණය දැනුම් දුන්නේය.

එහෙත් ජනාධිපතිවරයා සිටියේ "උභතෝකෝටිකය"ට මැදිවෙලාය. දින තුනක් තිස්සේ ජනාධිපතිවරයා තත්ත්වය සමථයකට පත් කරන්න උත්සාහ කළේය. ඔහු වෑයම් කළේ විජයදාස අමාත්‍යවරයාට වෙනත් අමාත්‍යාංශයක් හෝ ලබාදීමේ එකඟතාව ලබා ගන්නටය. එහෙත් විජයදාස අමාත්‍යවරයා ඊට එකඟතාවක් දැක්වූයේ නැත. ඒ අතර විජයදාස ජනාධිපතිවරයා හමුවන්නට ගියේය. ඒ හමුව එක්තරා සංවේදී අවස්ථාවක් විය. විජයදාස අමාත්‍යවරයා ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රි සමඟ නාම යෝජනා දෙන්නට ගිය මන්ත්‍රිවරයාය. ජනාධිපතිවරණයේදී මුල සිටම ඔහු මෛත්‍රි සමඟ සිටියේය. ඒ නිසාම මෛත්‍රි විජයදාස කෙරෙහි කිසියම් මැදිහත්වීමක් කළේය. එහෙත් විජයදාස හෝ එක්සත් ජාතික පක්ෂය වෙනස් වූයේ නැත.

අන්තිමට විජයදාස රාජපක්ෂ ඉවත් කිරීමේ ලිපියට අස්සන් තබන්නට ජනාධිපතිවරයාට සිදුවිය.
ඉල්ලා අස්වීමෙන් පසු බුද්ධශාසන අමාත්‍යාංශයට ගිය විජයදාස ලිපි ගොනු කිහිපයක්ද රැගෙන පිටව ගියේය.
"මෙහෙම කැබිනට් එකක ඉන්න එකත් ලැජ්ජාවක්." කියා ඔහු කීවේ ඒ අතරය.

විජයදාස රාජපක්ෂ නෙරපා හැරීම සම්බන්ධයෙන් තවත් කතාවක් දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුවෙමින් තිබේ. ඒ බැඳුම්කර සිදුවීම හා සම්බන්ධ එකක්ය. මේ වන විට බැඳුම්කර කොමිසම තුළින් බොහෝ බලවත් චරිතවල "සබඳතා හෙළි වෙමින්" පවතී. ඒ විමර්ශන ඉදිරියේදී නීතිපති දෙපාර්තමේන්තුවට යෑමට නියමිතය. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස හිඳීම නිසා ඒවාට බලපෑම් කිරීම අදාළ චෝදනාලාභීන්ට අපහසු බව ඔවුන් දනී. ඒ නිසා තමන්ට "නැටවිය හැකි" ඇමැතිවරයෙක් පත් කිරීම විජයදාස නෙරපීමේ අරමුණක් බවට කතාවක්ද වෙයි.

"රාජපක්ෂලාගේ නඩු කල් යන බව පෙන්නලා මෙයාලා කරන්නේ වෙන වැඩක්. විජයදාස අකාර්යක්ෂම නම් අවුරුදු දෙකක් බලන් හිටියේ ඇයි? අනික මාස තුනකට කලින් මෛත්‍රි නීතිපති දෙපාර්තමේන්තුවයි, පොලිසියයි ඉල්ලද්දී එයාලා නිහඬව හිටියේ ඇයි? මේ යන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ කන්ට්‍රොල් එක ගන්න වෙන්න පුළුවන්."
දේශපාලන ක්ෂේත්‍රයේ එහෙම කතාවක් යමින් තිබේ.

කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. මෙහිදී "සැලසුමෙන් සැනසුමක් ලබමු කිරිකැටි බිලිඳෙක්" මදසරු බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට අනුමැතිය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
"ඇමැතිතුමාට මවුකිරි බීමේ ආශාවක් මතු වුණාද?
ඇමැතිවරු සිනාසෙමින් එහෙම ඇසීය.

එවිට රාජිත පැවැසුවේ "මම මවුකිරි බොන කාලය දැන් පැනලා" කියලාය.
"ඇමැතිතුමාට එහෙම කල් පැනපු බවක් පේන්නේ නෑ"
කියා ජනාධිපතිවරයා විහිළුවක් කරද්දී කැබිනට් එකම සිනා සාගරයක් විය.

පොලිතින් සහ ලන්ච් ෂීට් තහනම පිළිබඳ නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශය සලකා බැලිණි. එහෙත් ජනාධිපතිවරයා ඊට එතරම් අනුකූලතාවක් දැක්වූයේ නැත.
"මම නම් ඒකට ඒ තරම් කැමැති නෑ අගමැතිතුමා. පොලිතින් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පෙළපාළි ගිය එකම රට ශ්‍රී ලංකාව, ලන්ච් ෂීට් පොලිතින්වල තියෙන්නෙම විසකාරක" යැයි ජනාධිපතිවරයා කීවේය.

'ජනාධිපතිතුමනි, මෙම කර්මාන්තයේ 30,000ක් පමණ සිටිනවා. මේ ක්ෂණික තීරණයෙන් ඔවුන් ගැටලුවකට පත්වනවා' කියා කබීර් හෂීම් අමාත්‍යවරයා අගමැතිගේ පැත්තට කතා කළේය.

'අපි පොලිතින් නිෂ්පාදකයන්ට වසර 02ක පමණ සහන කාලයක් ලබාදෙමු' යැයි අග්‍රාමාත්‍යවරයා නැවතත් යෝජනා කළේය.
එහෙත් ජනාධිපතිවරයා සඳහන් කළේ තහනම සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක බවත් වැටලීම් ජනවාරි සිට සිදු කරන බවත්ය.
අවසානයේදී තීරණය වූයේ පොලිතින් සහ ලන්ච් ෂීට් සඳහා ලෝකයේ ඇති විකල්ප සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කිරීමය.

ආණ්ඩුවේ කිරි කළයට 'ගොම' මුසු වූ 'බැඳුම්කර සිදුවීමට චෝදනා ලැබ රවි කරුණානායක ඉල්ලා අස්වුවද එය එක්තරා 'රඟපෑමක්' පමණක් බව පෙනෙන සිදුවීම් රැසක් 'කැබිනට්' එකට වාර්තා වෙයි. මේ හෙළි කරන්නේ එහෙම එකකි. රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක 2017.08.22 දාතමින් යුක්ත ලිපියක් එ.ජා.ප. කැබිනට් ඇමැතිවරු ඇතුළු සියලු මන්ත්‍රින්ට, ආසන සංවිධායකයන්ට යවා තිබේ. ඒ 'ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන _ 2017' අභපචත ධ්දටපචඵබපභජබභපඥ ඉනඥජඪචත ර්ථීපධඨපචථථඥ (අධ්ඉර්ථී) යනුවෙන් 'ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය' මඟින් ක්‍රියාත්මක වැඩසටහනක් ගැන දැනුවත් කිරීමටය. මෙහි බරපතළ ගැටලු කිහිපයක් වෙයි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලිපි යවන විට භාවිත කළ යුත්තේ සෙංකෝලය සහිත ලිපි ශීර්ෂ පමණි. රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂ භාවිත කළ හැක්කේ ඇමැතිවරුන්ටය.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට ඇමැති ධුරයෙන් ඉවත් වූ රවි කරුණානායක රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂ භාවිත කරන්නේ කෙසේද?
'ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය' අග්‍රාමාත්‍යවරයාට අයත් එකක් වන අතර එහි කටයුතුවලට රවි කරුණානායක මන්ත්‍රිවරයා මැදිහත් වන්නේ කෙසේද?
ඊළඟ ප්‍රශ්නය වන්නේ, අදාළ ලිපියට අනුව සම්බන්ධීකරණ කටයුතුවලට ලබා දී ඇති දුරකතන අංක අයත් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අරලිය ගහ මන්දිරයේ අංක 105 කාමරයටය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් කරන වැඩකට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සම්බන්ධීකරණ කටයුතු වෙන්නේ ඇයි?
එහෙම බැලුවම සමහරවිට රවි කාටත් හොරෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් කියන දෙකේම දිවුරුම් දීලාද දන්නේ නැත. එහෙමත් නැත්නම් අභපචත ධ්දටපචඵබපභජබභපඥ ඉනඥජඪචත ර්ථීපධඨපචථථඥ (අධ්ඉර්ථී) ඇමැති ද දන්නෙත් නැත.

මේ අතර පාර්ලිමේන්තු කැන්ටිමේදී මලික් පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු හා මලික් කී කතාවක් නුදුරින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයකුට ඇසී තිබේ.
'ලොක්කා කියනවා බැඳුම්කරේ වැඩේ මාස තුනෙන් ෂේප් කරලා රවි ආපහු කැබිනට් එකට ගන්නවා කියලා. එයාගේ අදහසක් තියෙනවා ඉක්මනට කැබිනට් රීෂෆල් එකක් කරලා රවිව ගන්න.'

ඒකාබද්ධයේ මන්ත්‍රිවරයා ක්ෂණිකව මේ පුවත තවත් හිතවත් මන්ත්‍රිවරයකුට පවසා තිබේ.
'එහෙම වුණොත් රවිට ගෙනාව විශ්වාසභංගයට නැවත පණ එනවා. එතකොට එයාට නවතින්න වෙන්නේ ගෙදර.' හිතවත් මන්ත්‍රිවරයා පවසා ඇත.

සති අන්තයේ අගමැතිවරයා ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත වන හෙයින් ඔහුට සතිය පුරා රාජකාරි බහුල විය. සඳුදා අගමැතිගේ ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රි කණ්ඩායම අරලියගහ මැඳුරේදී රැස්විය. පක්ෂ ප්‍රවර්ධන හා රටේ සංවර්ධනය ගැන දීර්ඝව කතා කොට විජයදාස රාජපක්ෂ ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දුව ගැනද අවධානය යොමු කළේය.

'එජාප මන්ත්‍රි කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය ගිය බ්‍රහස්පතින්දා රැස්වෙලා තීන්දු කළේ විජයදාස ඇමැතිතුමා ආණ්ඩුවේ සාමූහික තීන්දුවලට පටහැනිව කතාකිරීම හා ක්‍රියා කිරීම නිවැරැදි කරන්න අවස්ථාවක් ලබාදීමයි. එතුමා ඊට එකඟ වුණා. ඒත් අද වන තෙක් මගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව එක්ක එම ක්‍රියාමාර්ග ගැන "එතුමා කතා කළේ නැහැ. පවතින තත්ත්වය එයයි" ඇමැති මලික් සමරවික්‍රම පැහැදිලි කළේය.
එජාප මන්ත්‍රි කණ්ඩායම ගිනියම් වී ඇති බව තේරුම් ගත් අගමැතිවරයා එජාප මහලේකම් කබීර් හෂීම්ට පැවරුවේ එජාප ස්ථාවරය ජනපතිතුමාට දන්වා යැවීමට නිල ලිපියක් සකස් කරන ලෙසය.

"සාමූහිකත්වය කඩ කළ විජයදාස ඇමැතිවරයා ඒවා නිවැරැදි කරනවා වෙනුවට පක්ෂයටත් අගමැතිවරයා හා ආණ්ඩුවට ප්‍රහාර ලබාදීම අනුමත කළ නොහැකිය" කබීර් හෂීම් සැකසූ ලිපියේ අන්තර්ගතය විය.
"මිනිසුන්ට ඕනෑ හොරු අල්ලන්නයි. අගමැතිතුමා ගිය සතියේ දළදා මාලිගාවට ආපු වෙලාවේ කාන්තාවෝ ටිකක් වටකර ගත්තාම අපි නුවර අධිවේගය හදනවා රන්වැට අලුත් කරනවා කිව්වම කාන්තාවෝ කෑගහල ඇහුවෙ හොරු අල්ලන්නෙ නැද්ද කියලයි" ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා ඇතුළු සියලු දෙනාට සිනහව නවතාගත නොහැකි විය.

"විජයදාසගේ ආණ්ඩු විරෝධය පසුපස ඉන්දියාව ඉන්නවා කියලත් ආරංචියක් යනවා. හම්බන්තොට චීනෙට දීම ඊට හේතුවලු" දයා ගමගේ කීවේ ජාත්‍යන්තර දේශපාලන තොරතුරක් එළිදක්වමිනි.

"විජයදාසට මහින්දත් කැමැති නෑලු. එකම ගමේ තව රාජපක්ෂ කෙනෙක් ඉහළට ගේන්න එයාලා කැමැති වෙනවද" හරින් ප්‍රනාන්දුගේ අදහස එය විය.
"අයවැයටත් කලින් මුදල් ඇමැතිතුමා දීපු වාහන, මෝටසයිකල් හා ස්වයං රැකියා සඳහා සහන ජනතාව අගය කරනවා" දයා ගමගේ කීය.
"විපක්ෂය හිතුවෙ අපි අතපය වන වනා ඡන්දවලට යාවි කියලයි. උපාධිධාරීන් 20,000කට සංවර්ධන සහායක පත්වීම් ලබාදෙනවා" අගමැතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සතියේ අඟහරුවාදා නෙලුම් මාවතේදී හමු වූ අවස්ථාවේදී රාජිතට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තීන්දුව ගනු ලැබිණි. විශ්වාසභංග යෝජනාව සැලසුම් කිරීමේ කාර්යභාරය පැවැරුණේ ඩලස්, ප්‍රසන්න, මහින්දානන්ද, රෝහිත, කංචන, ෂෙහාන්, ගම්මන්පිල ඇතුළු පිරිසටය.

'රාජිතට එරෙහිව තියෙන චෝදනා සටහන් කර ගන්න' කියා මහින්ද කීවේ ඩලස් අතින්ය.
'මම ඒ ටික සටහන් කරගන්නම්, හැබැයි විශ්වාසභංගය හදන වැඩේ අපි ගම්මන්පිලට භාර දෙමු. එතුමා මේ ගැන හොඳට දන්නවා.'
ඩලස් කීවේය.

මහින්දානන්ද ඒ වන විට විදේශගතව සිටියද ඔහුද එම කමිටුවට ඇතුළත් කෙරුණේ මීට ප්‍රථම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණු නිසාවෙනි. ඒ අනුව මන්ත්‍රිවරුන් කණ්ඩායම වහාම ක්‍රියාත්මක වූයේ විශ්වාසභංගයට අදාළ කරුණු සොයා ගැනීම ස¼දහාය. එක් රැස් කර ගත් තොරතුරුද සමඟ මන්ත්‍රිවරුන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ පළමු මහලේ ස්ථානයකදී මුණගැසුණේ විශ්වාසභංගය කෙටුම්පත් කිරීමටය. එදින උදෑසන යළි මෙරටට පැමිණ සිටි මහින්දානන්ද ද ගුවන්තොටුපොළේ සිට කෙළින්ම පාර්ලිමේන්තුව බලා ආවේ ඊට දායක වීම සඳහාය.

එක් පිරිසක් විශ්වාසභංගය කෙටුම්පත් කරමින් සිටින අතරතුර ෂෙහාන්, පියල්, කංචන ඇතුළු පිරිස තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අමතමින් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමටය. ඒ අතරතුර කංචන ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් මුණගැසී විශ්වාසභංගයට සහයෝගය ඉල්ලා සිටියහ. අපිට විශ්වාසභංගයට අස්සන් කරන්න නම් බැහැ. හැබැයි විවාදයේ දී අපේ යුතුකම ඉෂ්ට කරන්නම්' ජවිපෙ මන්ත්‍රිවරු කංචනලාට පොරොන්දු වූහ. උදෑසන දහය පමණ වන විට විශ්වාසභංගය කෙටුම්පත් කර අවසන් කර තිබුණු අතර ඉන් අනතුරුව ආරම්භ කෙරුණේ අස්සන් ගැනීමේ මෙහෙයුමය. ප්‍රථමයෙන් අස්සන් තැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනය. වාසු, ඩලස්, වෙල්ගම ද පිළිවෙළින් ඊට පසුව අස්සන් තැබූහ. ඒ වන විට මහින්ද ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

මහින්ද ලොබියේ සිටින අතරතුර දුරකතන ඇමැතුමක් ආවේය. මහින්ද ඊට පිළිතුරු දෙත්ම අහල පහළ සිටි මන්ත්‍රිවරුන්ද වටවූයේ ඇමතුම කුමක් සම්බන්ධයෙන් දැයි දැන ගැනීමටය. මහින්දට ඇමැතුම ආවේ උෟවේ පළාත් ප්‍රධාන ඇමැතිවරයාගෙනි. "ඔන්න සර් අපි වැඩේ කළා" ප්‍රධාන ඇමැතිවරයා එසේ කීවේ විසි වැනි සංශෝධනය උෟව පළාත් සභාවේදී පරාජය වීමේ සිද්ධිය ගැන දැනුම් දෙමිනි. උෟවේ මහින්ද වාදියකු වූ අනුර විදානගමගේ මෛත්‍රි පාර්ශ්වයට එකතු වෙද්දී මහඇමැතිගේ මේ පෙරළිය කතා බහක් ඇති කළේය.

විශ්වාසභංගය භාරදීමට පෙරාතුව ප්‍රසන්නට ලොබියේ රැඳී සිටියදී වජිර අබේවර්ධන සහ සාගල රත්නායක ඇමැතිවරුන් මුණගැසුණේය. වජිර ප්‍රසන්නගෙන් ඇසුවේ, මොකද අද ඡන්දයක් තියෙනවද? කියාය. 'නෑ අද ඡන්දයක් නෑ. ඇයි ඔබතුමා එහෙම ඇහුවේ?' ප්‍රසන්න ඇසුවේය. 'නෑ ඔයා නිකම් එන්නේ නැහැනේ' වජිර කීවේය.
'ඔව්. මෙයා ඉන්නවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකක් හරි ගේමකට තමයි ඇවිත් ඉන්නේ' සාගල කීවේ සිනාසෙමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සකස් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දෙන අතරේ මන්ත්‍රිවරුන් පිරිස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ විශ්වාසභංගය හැකි ඉක්මනින් විවාදයට ගන්නා ලෙසය. පක්ෂ නායකවරුන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවට කතානායකවරයා මන්ත්‍රිවරුන්ට පොරොන්දු විය.

පසුගිය සතිය පුරාම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් දැනුම් දී තිබුණේ වැඩ නිමවා ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇති නව උදා ගම්මාන රැසක් පිළිබඳ තොරතුරුයි. 37 වැනි උදා ගම්මානය වූ අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත "ශ්‍රී විභූතිගම" ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට පී. හැරිසන් ඇමැතිවරයා, චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිවරිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටයහ.

සජිත් සිය කතාවේදී සිහිපත් කළේ ගමෙන් බිහිවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැවැන්ත දේශපාලන චරිත බවට පත් හොරොව්පතානේ ඊ.එල්.බී. හුරුල්ලේ, අ' පුර නැඟෙනහිර _ යසපාල හේරත්, අ' පුර බටහිර _ චන්ද්‍ර බණ්ඩාර, කලාවැව - ඒ.එම්.එස්. අධිකාරි, කැකිරාවේ _ ජී.ඩී. මහින්දසෝම, මිහින්තලේ _ දයා වළගම්බාහු, මැදවච්චියේ ඩී.එම්. ආරියදාස වැනි ජනතා නායකයන් පිළිබඳවයි. "මේ දැවැන්ත චරිත 77 යුග පෙරළියට ලබා දුන්නේ මහා දායකත්වයක්.

මම ඉස්කෝලෙ යන කාලේ තාත්තත් එක්ක මෙහේ ආපු නිසා මේ හැමෝගෙම දස්කම්, විස්කම්, හපන්කම් මගේ ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. ඒ හැම දෙනාටම උපහාරය හා ශීර්ෂ ප්‍රණාමය පුද කරන්න මම මැළි වෙන්නේ නෑ" සජිත් චන්ද්‍රාණි හා හැරිසන් සමඟ කීවේ හැඟුම්බරවයි. සජිත් එසේ කීම චන්ද්‍රාණි සහ හැරිසන් දෙදෙනාගේ ද පැසසුමට හේතුවුණා. 38 වැනි උදාගම්මානය වන සුරියවැව, බැදිගංතොට "සොමිරිවිගම" ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා මංගල සමරවීර අමාත්‍යවරයා වීම බොහෝ දෙනාගේ අවධානය යොමු වූ විශේෂ සිද්ධියක්. මංගල සහ සජිත් උත්සවයට පැමිණියේද මංගලගේම මෝටර් රථයෙන්. සමරු ඵලකය විවෘත කර සජිත් සමඟ නිවෙස්වලට යමින් ජනතාව සමඟ කතාබස් කළ මංගල කීවේ "ඔයාගෙ වැඩේ නම් නියමයි. මේකට මීට වැඩි ප්‍රචාරයක් දෙන්න ඕනෑ. මම අනිවාර්යයෙන්ම ලබන අය _ වැයෙන් දැනට වඩා වැඩි සහයෝගයක් ඔයාට ලබා දෙන්නම්" කියායි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් සංවිධානය කර තිබූ ඉඩම් හිමිකම් පත්‍ර බෙදා දීමේ උත්සවයකට සහභාගි වීම සඳහා පසුගිය සඳුදා අගමැති රනිල් වික්‍රමසිංහ ඇල්පිටියට ගියේය. ගයන්තගේ උපන් දිනය යෙදී තිබුණේත් එදිනමය.
අගමැතිවරයාත්, වජිර අබේවර්ධනත්, කොළඹින් එහි ගොස් සිටි අනෙකුත් මැති ඇමැතිවරු පිරිසත් ගයන්ත ඇමැතිතුමාට සුබ පැතීමට අමතක කළේ නැත. ගයන්තගේ උපන් දිනය වෙනුවෙන් සකසා තිබූ කේක් ගෙඩිය කැපුවේද අගමැතිතුමාගේ සහභාගිත්වයෙන්ය. ගයන්තගේ දෙපසින් සිටියේ චන්ද්‍රාණි බණ්ඩාර සහ තලතා අතුකෝරල අමාත්‍යවරියන්ය.

'දැන් ගයන්ත ඉස්සෙල්ලා කේක් කවන්නේ තලතාටද චන්ද්‍රාණිටද?' අගමැතිවරයා ඇසුවේ කවුරුත් සිනහ ගන්වමින්ය. ගයන්ත සිනාසෙමින් දෙදෙනාටම කේක් දුන්නේය.

නවීන් දිසානායක ඇමැතිවරයා පසුගිය බදාදා මහනුවර බලා පිටත්ව ගියේ මහවැලි මහා සෑය ගැන මල්වතු නායක හිමියන් හමුවී සාකච්ඡා කිරීමටය. මල්වතු නායක ස්වාමින් වහන්සේ, අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේ කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වූහ.
"කොත්මලේ මහ සෑය පාලනය කිරීමට දැන් තිබෙන පනතට සංශෝධන කීපයක් අරගෙන එමු. මේක මහවැලි අරමුදල යටතේම තියෙන විදියට අවශ්‍ය සංශෝධන අරගෙන එන්න" මල්වතු නායක හිමියෝ උපදෙස් දුන්හ.

ඒ අනුව නවීන් සහ ස්වාමින් වහන්සේ කණ්ඩායමක් පනත සංශෝධනය කිරීම පිළිබඳ තීරණය කිරීමේ කමිටුවට පත් කෙරිණි.
"හාමුදුරුවනේ මහවැලි මහා සෑය මල්වතු නායක හාමුදුරුවන් යටතේ පාලනය වෙන එක හොඳයි. ඒක ගැන අපිට කිසි ගැටලුවක් නෑ. මේකෙ නඩත්තුව, අරමුදල් මහවැලි අරමුදල යටතේ පාලනය කරමු. දැන් ප්‍රශ්නය වෙන්නේ අරමුදල් එකතු නොවන එකනේ. ඒ නිසා අරමුදල් එකතු වෙන විදියට වැඩ කරමු. ඒ අරමුදල්වලින් දුප්පත් ජනතාවට අනෙකුත් විහාරස්ථානවලට උපකාර කිරීමට කටයුතු කරන්න පුළුවන්" නවීන් කීවේය.

ඒ අනුව මහවැලි මහා සෑය එක් පාර්ශ්වයකට හෝ එක් හිමිනමකට අයත් නොවන ආකාරයට අදාළ සංශෝධනයක් ගෙන ඒමට සියලුම පාර්ශ්වයන් එකඟත්වයකට පැමිණියහ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට මේ දිනවල එම පක්ෂයෙන්ම නැවත ඇරැයුම් ලැබෙමින් තිබේ. කෙසේ වෙතත් තාමත් ඔහු කල් යල් බලමින් සිටී. ඔය අතරේ තිස්ස ගිය 24 වැනිදා හිටිගමන් වැලිකඩ සිරගෙදරට ගියේය. ඒ වෙන දේකට නොව දින පනස් පහක් සිරගතව සිටින කාලයේ එහිදී හමුවූ පිරිස මුණගැසී සුවදුක් විචාරන්නටය. තිස්සගේ පැමිණීමෙන් ඔවුහු බොහෝ සතුටට පත්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සහ වෙන්නප්පුව ආසන සම්මන්ත්‍රණ 20 වැනිදා පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණ දෙකෙහි විශේෂත්වය වන්නේ යෝෂිත රාජපක්ෂ ඊට සහභාගි වීමය. යෝෂිතට ඊට ආරාධනා කර තිබුණේ සනත් නිශාන්තය. "අනේ අයියේ මට නම් ඕවට එන්න බැහැ. මම රාජ්‍ය සේවකයෙක්නෙ" යෝෂිත කීවේය.
"ඔයා දැන් රාජ්‍ය සේවකයෙක් නෙවේනෙ. වැඩ තහනම් කරලානේ තියෙන්නේ" සනත් පැවසීය.
"හා හා මං එන්නම්. හැබැයි ඔන්න කතා කරන්න නම් බැහැ. මං කතා කරන්න ගත්තොත් රැස්වීමට ආපු මිනිස්සු දුවයි" යෝෂිත සනත්ගේ බලවත් පෙරැත්ත නිසාම ආරාධනය භාර ගත්තේ එසේ කියමිනි.

ඒ අනුව ඉරිදා දහවල් වන විට ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක සනත්ගේ ආරච්චිකට්ටුව නිවෙසට පැමිණ සිටියහ. යෝෂිත ද එහි පැමිණියේය.
"ආණ්ඩුව කෝටි ගණන් සල්ලි දීලා මන්ත්‍රිවරුන් බිලී බා ගන්න යනවා කියලා ආරංචියි" ප්‍රසන්න කීවේය.
"ඔබතුමාටත් කතා කළාද? සනත් වහාම ඇසුවේය.

"මට නම් කතා කළේ නැහැ. මාත් බලන් ඉන්නේ කතා කරනකම් තමයි" ප්‍රසන්න කීවේය.
"ඔයාට නම් කතා කරන එකක් නැහැ. දන්නවානේ ඉතින් කතා කළොත් හොඳවැයින් දෙකක් අහගන්න වෙන බව" යෝෂිත පැවසීය.
"මාත් බලන් ඉන්නේ ඒකට තමයි" ප්‍රසන්න පැවසීය.

"රැස්වීමට පෙරාතුව සනත්ගෙන් පිරිසට ලැවරියා සංග්‍රහයක් ලැබුණු අතර පිරිස යාබද ඉඩමක පැවැති රැස්වීමට සහභාගි වීමට ගියේද පාගමනිනි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඇමැති රාජිත එක්ක උණුසුම් කතාබහක් ඇතිකර ගත්තේය. ඉකුත් සතිය පුරාම ඒ ගැන කතාබහ සමාජ ජාල පුරා පවා ආන්දෝලනයක් ඇති කළේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගිය විසිතුන් වැනිදා පස්වරුවේදී කොළඹදී පැවැත්විණි. නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයෝ මීට සහභාගි වී සිටි අතර මෙහිදී රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද පිළිබඳවත් ඉදිරි මැතිවරණය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් විය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමුවී තිබිණි. "ආණ්ඩුව කලින් කිව්වා පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මාසේ සා/පෙළ විභාගයට කලින් තියලා අවසන් කරනවා කියලා. නමුත් දැන් ආණ්ඩුව අඩියක් පස්සට තියලා තියෙන්නේ. දෙසැම්බර් ඡන්දෙ ජනවාරිවලට කල්දාන්න යනවා. අවුරුදු ගාණක් කල්දාලා තවත් පස්සට ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බැහැ.

"පනත සම්මත කරපු ගමන් ඡන්දය පවත්වන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න වෙනවා" අනුර දිසානායක කීය. "ආණ්ඩුව දැන් අය-වැයෙන් පස්සේ ඡන්දය පවත්වන උත්සාහයක ඉන්න බවයි පේන්න තියෙන්නේ. අය වැයෙන් සීනිබෝල ටිකක් දීලා ඡන්දය ගන්න" බිමල් රත්නායක කියා සිටියා. "කොහොමත් ආණ්ඩුව ඡන්දෙට බයයි. ඒ නිසයි මේ තරම් කාලයක් කල් දමමින් ආවේ. නමුත් තවදුරටත් ඒ වැඩේට ඉඩදෙන්න බැහැ" ලාල්කාන්ත කිවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්