‘ආණ්ඩුවේ සංශෝධනවලින් පනතේ අරමුණ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා’

  👤  4932 readers have read this article !
2017-08-25

"ඡන්දය තියන්න සූදානම් බව මැතිවරණ කොමිසම කියනවා. මැතිවරණ කොමිසම හදාපු පනතට සංශෝධන පනහක් ඉදිරිපත් කර තියෙනවා. ජ.වි.පෙ. නායකයා ඒකට එකඟ වුණා. මොකද ඒ ගොල්ලො ඒවා දන්න නිසා. ජ.වි.පෙ. මේවා නොදන්නවා නොවේ. සංශෝධන පනහම ඒ ගොල්ලො දන්නවා. නමුත් මන්ත්‍රිවරුන්ට සංශෝධන ලැබුණෙ අද. මේ සංශෝධනවලට නීතිපති අනුමැතිය ලැබුණාද..?
මේ සංශෝධන නිසා අස්ථාවර ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.

කොට්ඨාස ක්‍රමයට ප්‍රධානත්වය දීලා සියයට 30ක් අනුපාතයෙන් එන විදියට අද සංශෝධනවලින් පසු කුමන ප්‍රතිඵලයක් ලැබේදැයි මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න බැරිවෙලා.

සාකච්ඡා තියනවා, අරලියගහ මන්දිරයේ කාමරවල.
අපි කොහොමද දිනන්නෙ කියන එකයි මේ සංශෝධනවල අදහස. සංශෝධන පනහ අද උදේ ගෙනත් හවස සම්මත කරන්න කියනවාට එකඟ නැහැ. කාන්තා නියෝජනය පත්කරන්නේ ජනතාව නොව කොමිසමෙන්. එවැනි අවුල් ජාලයක් තිබෙනවා. සංශෝධන පනහ මඟින් පනතේ අරමුණ සම්පූර්ණයෙන්
උල්ලංඝනය කර තිබෙනවා.

ඡන්දදායකයාට තම නියෝජිතයාට ඡන්දය දීලා කොට්ඨාසයට පත්කිරීම සඳහා පනත මහින්ද රාජපක්ෂ පාලන කාලේ ගෙනාවා. ඉක්මනින් ඡන්දය තියන්න අපේ මතය එයයි."

කාන්තා නියෝජනය
25% කර ගන්න ලැබීම ජයග්‍රහණයක්:
අපේ ආණ්ඩුව
එදා ඉඩ දුන්නේ නෑ

"පළාත් පාලන ඡන්ද විමසීම් පනත නිසා කාන්තාවන් දෙදහසකට අධික පිරිසකට දේශපාලනයට පිවිසීමේ අවස්ථාව උදා වනවා" යැයි නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවැසුවාය.
"කාන්තා නියෝජනය සියයට විසිපහක් කරන ලෙස කරන ලද ඉල්ලීම් අපේ ආණ්ඩුවටත් ඉටුකර ගැනීමට නොහැකි වුණා. වර්තමාන ජාතික ආණ්ඩුව එම ඉල්ලීම ඉටුකිරීමට කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා."

"අධ්‍යාපනය, ඇතුළු විවිධ අංශවලින් ඉදිරියෙන් කාන්තාවන් සිටියත්, දේශපාලනයේ කාන්තා නියෝජනය අඩුයි. දකුණු ආසියාවේ අඩුවෙන්ම කාන්තා නියෝජනයක් පවතින්නේ අපේ රටේ"

"කාන්තා මන්ත්‍රිවරුන්ගේ සංසදය" සාකච්ඡා මඟින් කාන්තා නියෝජනය සියයට විසිපහක් ලබාගැනීමට සමත් වුණා. මේ සංශෝධනය තුළ ඒ බව සහතික කර තිබෙනවා."
කාන්තාව සංවර්ධනයේ ශක්තිමත් පුරුකක්. කාන්තාව නැතිව අද කිසිම දෙයක් කළ නොහැකියි. දෙදහසක පමණ පිරිසකට මේ නිසා දේශපාලනයට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනවා. අභියෝගවලට මුහුණදීමේ ශක්තිය කාන්තාවකට තිබෙනවා.

මා ඉදිරිපත් කළ සංශෝධන
නොපිළිගත්තොත්
විරුද්ධව ඡන්දය දෙනවා

පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා තමා විසින් ලබාදී ඇති සංශෝධන නොපිළිගන්නේ නම් පනතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර නිර්මාණ හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවැසීය.
පළාත් පාලන ඡන්ද විමසීම් සිදු කිරීමේදී තම බල ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් සිදු වන බවට කරුණු දක්වමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
අවස්ථා කිහිපයකදීම තම ජනතාවට මුහුණ පාන්නට සිදුවන ගැටලු ඉදිරිපත් කර ඇති බවත් කොට්ඨාස සකස් කිරීමේදී විෂමතාවක් ඇතිවී තිබෙන බැවින් ඒවා සකස් කළ යුතුව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

පනත සම්මත කර
සාමාන්‍ය පෙළ විභාගයට පෙර
පුංචි ඡන්දය තියන්න

"සාමාන්‍ය පෙළ විභාගයට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නම්, පළාත් පාලන ඡන්ද විමසීම් පනත හෙටම සම්මත කළ යුතු යැයි" විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.
"පසුගිය අවස්ථාවේ පළාත් පාලන පනත ඉදිරිපත් කළ අවස්ථාවේ මම එම පනත පිළිබඳව පැහැදිලි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියත් එය සිදුවුණේ නැහැ.
පැවැති ඡන්ද ක්‍රමය ජනතාවගේ කැමැත්තෙන් සාධාරණය පිළිබිඹු වනවා වෙනුවට විකෘති පිළිබිඹු වීමක් තමයි දක්නට තිබුණේ."
දැනට පළාත් පාලන ආයතනවල පැවැත්වෙන ඡන්ද ක්‍රමය විකෘති ක්‍රමයක් නිසා තමයි මේ ඡන්ද ක්‍රමය පැවැත්වෙන්නේ.
දැනට තිබෙන ඡන්ද ක්‍රමයට වඩා, වඩාත් සාධාරණ ඡන්ද ක්‍රමයක් මේ පනත අනුව සකස් වී තිබෙනවා. මේ සකස් වී ඡන්ද ක්‍රමයට අපි විධිමත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කොට්ඨාස ‍ෙදාළහක් තියෙනවා නම් එම කොට්ඨාස ‍ෙදාළහ අතරේ කාන්තාවන් දෙදෙනකු ඇතුළත් විය යුතුයි. මෙම ඡන්ද ක්‍රමයේ විශාල පදනමක් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යොදවා තියෙනවා.

මේ පනත සම්මත කිරීම හිතා මතා කල්දැමිය යුතු නැහැ. අපි හැම දෙනාම මේක සම්මත කරගත යුතුය කියන අදහසේ ඉන්නවා නම් ඒක කරන්න පුළුවන්."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්