ආණ්ඩු පෙරළන මන්තරේ

  👤  5198 readers have read this article !
2017-08-24

බණ්ඩාරනායක හැදූ පනස් හයේ ආණ්ඩුව විප්ලවීය එකක් විදියට හැඳින්වූයේ එහි තිබ්බ සංකලනය හින්දාය. ඒ ආණ්ඩුවේ නායකයන් බොහෝ විය. ඒ හින්දම වැඩි දවසක් යන්න පෙර 'ආරවුල්' බොහෝ විය. දක්ෂිණාංශික, වාමාංශික කලවම ආණ්ඩුව 'කම්පනයට' පත් කළේය. කැබිනට් මණ්ඩල නිරන්තර ගාලගෝට්ටි විය. අන්තිමට කැබිනට් වර්ජනයකට ආරවුල දිග්ගැසුණේය. පිලිප් ගුණවර්ධන සහ විලියම් ද සිල්වා ආණ්ඩුවෙන් නෙරපන ලෙස අගමැතිවරයාට ආණ්ඩුවෙන්ම පීඩාව එල්ල විය. අන්තිමට අගමැති තීරණය කළේ ඒ දෙදෙනා නෙරපන්නටය. වැඩේ නතර වුණේ ආණ්ඩුව ගෙදර ගිහින්ය.

1959-60 මාර්තු තෙක් අගමැති ලෙස සිටි විජයානන්ද දහනායකගේ කාලයේ තරම් ඇමැතිවරු ‍ෙදාට්ට දැමූ වෙනත් යුගයක් නැති තරම්ය. ටී. බී. ඉලංගරත්න, සී. පී. ද සිල්වා, ආර්. ජී. සේනානායක, මෛත්‍රිපාල සේනානායක, ඒ. ජී. ජයසූරිය, ඇම්. පී. ද සොයිසා, සී. ඩබ්ලිව්. මුණසිංහ, ජී. බී. කළුගල්ල, ඊ. ඒ. ඇස්. මරික්කාර්, හෙන්රි අබේවික්‍රම යන ඇමැතිවරුන් නෙරපා හරින්නට දහනායක කටයුතු කළේය. අන්තිමට වුණේ මාස 12ටත් කලින් දහනායකට ගෙදර යන්න වෙච්ච එකය.
1972 සමඟි පෙරමුණු ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය සභා පනත ගෙනාවේය. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එස්. ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවේගම, ඊලියන් නානායක්කාර, ඇම්. ජී. මැන්ඩිස් යන මන්ත්‍රිවරු ඊට විරුද්ධ වූහ. අගමැතිනිය ඒ අයට 'යන්න' කීවාය.

70 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව හැදුවේ කෙක්කෙන් බැරිව කොක්කෙන් වගේය. ඒකට කීවේ 'සමඟි පෙරමුණු' ආණ්ඩුව කියලාය. හැබැයි ආණ්ඩුව ඇතුළේ නාහෙට නාහන වැඩ සිද්ධ වෙන්න වැඩි කලක් ගියේ නැත. ඒකෙත් හිටියේ එක නායකයෙක් නොවේය.

සිරිමාවෝගේ සමඟි පෙරමුණු ආණ්ඩුව මුදල් ඇමැති පට්ටම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට දුන්නේය. අවුරුදු දෙකක් ආණ්ඩුව 'ගජරාමෙට' දිවුවේය. හැබැයි පැණි වරකාවට හෙණ ගහන්න පටන් ගත්තේ අවුරුදු දෙකට පස්සේය. අගනුවර නව නගර ශාලාවේ පැවැති පනස් තුනේ හර්තාල් අනුස්මරණ රැස්වීමේදී මුදල් ඇමැති ඇන්. ඇම්. ආණ්ඩුව එක්ක 'ගේම' පටන් ගත්තේය. ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බණ්ඩාරනායක මහතාට හැකි වූයේ තමන් හින්දා බව ඇන්. ඇම්. කීවේය. සිරිමාවෝ මේ ප්‍රකාශයෙන් උරණ වූවාය.

බණ්ඩාරනායක ආණ්ඩුවේ හොඳ වැඩ සේරම තමන්ගේ ගිණුමට දාගන්න ඇන්. ඇම්. ලා දත කන බව අගමැතිනිය සිතුවාය. තව අවුරුදු දෙකක් ආණ්ඩුව යන්න ඕන නම් අවලාද නවත්වන්න. අගමැතිනිය ඇන්. ඇම්ලාට අනතුරු ඇඟෙව්වාය. හැබැයි ඇන්. ඇම්ලා 'කටවල්' වහගත්තේ නැත. මැතිනි කළේ ඇන්. ඇම්ට පොදු රාජ්‍ය මණ්ඩලයීය මුදල් ඇමැතිවරුන්ගේ සාකච්ඡාවටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සම්මේලනවලටත් යන එක තහනම් කිරීමය.
ඉන් නොනැවතුණු අෑ, ඇන්. ඇම්.ලාගේ කල්ලියට ඇමැති පට්ටම් ගලවන පළමු අනතුරු ඇඟවීම කළාය.

'ඔබගේ අමාත්‍යාංශ වෙනස් කරනවා. ඒ වෙනුවට අප යෝජනා කරන පහත අමාත්‍යාංශවලින් එකක් තෝරා ගන්න.
ඒ අනුව ඇන්. ඇම්. ට දේශීය හා විදේශීය වෙළෙ¼දාම හෝ සෞඛ්‍ය හෝ නාවික හා සංචාරක යන තුනෙන් එකක් ද ලෙස්ලි ගුණවර්ධනට ධීවර හෝ තැපැල් හා විදුලි පණිවුඩ හෝ කම්කරු යන තුනෙන් එකක් තෝරා ගන්න කියා අෑ කීවාය. ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කළහ. අන්තිමට ජනාධිපති විලියම් ගොපල්ලවගේ අස්සනින් යුතුව 1975 සැප්තැම්බර් 02 ඇන්. ඇම්.ට අස්වීමේ ලිපිය යැවීය.

ජනාධිපති කාර්යාලය
ජනාධිපති මන්දිරය
යොමුව : ච්/331 (ධ්ධ්ධ්) 75 කොළඹ - ශ්‍රී ලංකාව
ඉවත්කිරීම
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව වන මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96/(අ) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල යටතේ හා ප්‍රකාර ආචාර්ය නානායක්කාර පතිරණගේ මාටින් පෙරේරා වන ඔබ මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් ඉවත් කරමි.

1975ක් වූ සැප්තැම්බර් මස දෙවැනිදා අ.භ. 4.00ට කොළඹදී.
වී. ගොපල්ලව
ජනාධිපති
ඊට පස්සේ ආණ්ඩුව ගෙදර යන ගමන ඉක්මන් විය. 77 මහ මැතිවරණයෙන් පැරැදුණේ ආසන 8ට වැටිලාය.
'මැතිනි, ඇන්. ඇම්ලා යවලා ඇන ගත්තා' කීවේ විපක්ෂයේ හිටපු අයමය.

ඊළඟ නෙරපීම් වෙන්නේ ප්‍රේමදාසගේ ආණ්ඩුවේය. එදා මෙදා ලොකුම නෙරපීම විදියට දකින්න ලැබෙන්නේ ප්‍රේමදාස කළ ලලිත් - ගාමිණි කල්ලිය නෙරපීමය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා ඇතුළු අටදෙනකු ගෙදර යවන ප්‍රේමදාස ඒ එක්කම එක්සත් ජාතික පක්ෂයේ 'සෝදාපාළුවත්' ආරම්භ කළා කීවේ මිනිස්සුය. අනෙක් අතට එහෙම නෙරපුවේ නිකන් අය නොවේය. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝය. ජාතික මට්ටමේ නායකයෝය. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වූයේ 'ජාතික මට්ටමක්' නැති අහසේ පාවෙන චරිත විතරක්ය.

දකුණු පළාත් සභාවෙන් පටන් ගත් එජාප පරාජය නතර වුණේ 17 වසරක එජාප පාලනයට තිත තබලාය.

මංගල සහ ශ්‍රී පති මහින්දට ජනපතිකම අරන් දෙන්න රෑ දවල් 'කට්ට' කෑව දෙන්නෙක්ය. මහින්ද දිනවන්න කවුරුවත් නැති වෙලාවේ, හැමෝම කර අරිද්දී, මංගල - ශ්‍රී පති වැඩේ කරට අරන් කළෝය. හැබැයි වැඩි දවසක් යන්න කලින් දෙදෙනා නෙරපා හැරියේය. ඒ කතන්දරය තිස්ස අත්තනායකගේ 'මතක පොතේ' තියෙන්නේ මෙහෙමය.
'මේ විදියට ටික දවසක් ගියාට පස්සේ මංගල සමරවීරට තිබුණු එක් අමාත්‍යාංශයක් මහින්ද ජනාධිපති අයින් කළා. මේ හරහා තමයි මහින්ද- මංගල ගැටුම උත්සන්න වෙන්න පටන් ගත්තේ. මේ පක්ෂෙ ඇතුළේ මහින්ද විරෝධී සටනක් මතුවුණා. යම් පිරිසක් මේකට සම්බන්ධවෙලා හිටියත් මංගල, ශ්‍රී පති, අනුර තුන්දෙනා තමයි මේකට මූලිකත්වය ගත්තේ. අනුර බණ්ඩාරනායකත් මේ වෙද්දි හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක ගොඩක් අමනාපයෙන්. පාර්ලිමේන්තුවේදී එහෙම මුණගැහුණම අනුර, මහින්ද නිර්දය විදියට විවේචනය කළා. ශ්‍රී පතිටත් ඒ වගේම කලකිරීමක් තමයි තිබුණේ.

මේ ආරවුල පක්ෂය ඇතුළේ දිගින් දිගටම යද්දි මහින්ද රාජපක්ෂ එකපාරටම කළේ මංගල සමරවීරයි, ශ්‍රී පති සූරියආරච්චියි, අනුර බණ්ඩාරනායකයි තුන්දෙනාම ඇමැතිකම්වලින් ඉවත් කරන එක. මේ හරහා ගැටුම තීරණාත්මක තැනකට ආවා.

අන්තිමට දෙදෙනාම 'ම' පාර්ශ්වය හදාගෙන එක්සත් ජාතික පක්ෂයට එකතු වුණහ. අන්තිමට ආණ්ඩුව පෙරළන්න ලොකුම ගේම් එක ගැහුවේ මංගලය.
දැන් විජයදාස රාජපක්ෂ නෙරපා හරින්නේය. ජනාධිපතිවරයා මේ වැඩේ 'බැලන්ස්' කරන්න වෑයම් කළත් හරිගියේ නැත. දැන් විජයදාස රාජපක්ෂ අස්කරලාය. විජයදාස රාජපක්ෂ කියන්නේ 2005 මහින්ද නාම යෝජනා දෙන්න යනකොට ඔහු වෙනුවෙන් මැතිවරණ ලේකම් කාර්යාලයට සාක්ෂියට අස්සන් කරන්න ගිය කෙනාය. ඒ වගේම මහින්දට එරෙහිව මෛත්‍රි පොදු අපේක්ෂකයා වෙනකොට 2015 මෛත්‍රි වෙනුවෙන් සාක්ෂියට අස්සන් කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයට ගිය කෙනාය. එහෙම බැලුවම ඊළඟ වතාවේ ජනාධිපතිවරණයට ඔහු කවුරු එක්ක සාක්ෂියට අස්සන් කරන්න යාවිද කියා කියන්න බැරිය. සමහරවිට ඔහු වෙනුවෙන් සාක්ෂියට අස්සන් කරන්න වෙන කෙනෙක්ව එක්ක යන්න ඉන්නවාද කියන්නත් තාම කල් වැඩිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්