ගොඩගම _ හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 35%ක වැඩ අවසන්

  👤  3572 readers have read this article !
2017-08-23

"දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සිට හම්බන්තොට දක්වා කි.මී. 96කින් දීර්ඝ කෙරෙන අධිවේගී මාර්ගයේ සියයට 35ක වැඩ කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි" උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හයක් සඳහා මේ වසරේ අය-වැය ප්‍රතිපාදන මඟින් වෙන්වූ මුදල් ප්‍රමාණවත් නොවූ නිසා අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 53,000ක් ලබා ගැනීමට සිදුවී තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම, පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතිය, 3 වැනි ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය, ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන, දෙවැනි නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය යන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන වශයෙන් ඉල්ලුම් කරනු ලබනවා.

මෙම මුදලින් රුපියල් බිලියන 51.5ක ප්‍රමාණයක් දැනට වෙන්වී ඇති චීන රජය, ජපාන රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනා යටතේ ලැබෙන බැවින් දේශීයව මුදල් සැපයීමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැ. කෙසේ වුවත්, රුපියල් බිලියන 2.5ක ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට වැය බරක් වනවා.
පිටත වට රවුම් මාර්ගයේ තුන්වැනි කොටස කඩවත සිට කෙලවරපිටිය දක්වා ඉදිකිරීම් කටයුතු ශීඝ්‍රයෙන් සිදු කෙරෙනවා.

තුන්වැනි ප්‍රමුඛතා ව්‍යාපෘතිය මඟින් ආරම්භ කරන ලද මාර්ග 12ක ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතිනවා. එම ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර සඳහා චීන සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 100ක ණය ආධාර ලබා ගත්තා. මෙමඟින් මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රි්ක තුළ මාර්ග ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක වෙනවා."
ඒකාබද්ධ මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පළාත්බද මාර්ග හා ග්‍රාමීය මාර්ග කි.මී. 3130ක් පමණ හා ජාතික මාර්ග කි.මී. 400ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා.

කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. එම පාලම හා සම්බන්ධ කුලුනු මත ඉදිකෙරෙන මාර්ගයක් වරාය දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

පළාත් සභාවල 30% කාන්තා නියෝජනයට
ශේ්‍රෂ්ඨාධිකරණ අනුමතිය

පළාත් සභා ඡන්ද විමසීමේදී ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා පත්‍රයක මුළු අපේක්ෂක සංඛ්‍යාවෙන් සියයට තිහකට නොඅඩු සංඛ්‍යාවක් කාන්තාවන් විය යුතු බවට සංශෝධන එක්කරමින් ඉදිරිපත් කෙරෙන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම පිළිබඳ 12(4) ව්‍යවස්ථාවට අදාළ විධිවිධානවලට සහයෝගය දක්වන බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබූ බවත්, එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයන බව අදාළ පෙත්සම්කරු ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී ඇති බව, ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයිද කතානායකවරයා නිවේදනය කළේය.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී
දේශීය කොන්ත්‍රාත්කරුවන්ටත් අවස්ථාව

"අධිවේගී මාර්ග ඉදිකිරීමට දේශීය කොන්ත්‍රාත්කරුවන්ටත් අපි අවස්ථාව ලබාදුන්නා" යැයි ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ පැවැසීය.
ලබන වසර වනවිට කි.මී. 210ක් මාර්ග තනා අවසන් කරනවා. මාතර සිට හම්බන්තොට දක්වා කි.මී. 90ක් ඉදිකරනවා. කඩවත, මීරිගම - මීරිගම, කුරුණෑගල, නුවර - ගලගෙදර යන අධිවේගී මාර්ග 2020 වනවිට හදල ඉවර කරනවා. මාර්ග ඉදිකිරීමේ ටෙන්ඩර් අපි විනිවිදභාවයකින් යුතුව නිකුත් කරනවා. අපි අලුත් සංස්කෘතියක් මේ රටට හඳුන්වාදී තිබෙනවා. චෝදනාවලට ලක්වූ ඇමැතිවරු දෙන්නෙක් තමන්ගේ ඇමැති තනතුරු අත්හැරියා. ඔවුන් ආණ්ඩු පක්ෂයේ පසු පෙළ අසුන්වල අසුන් ගත්තා.

කඩවතින් එහාට අධිවේගී මාර්ගයේ කිලෝමීටරයට එදා
මිලියන 7,200යි: අද 8229යි

මේ ආණ්ඩුව අපි හදල තිබුණු අධිවේගී මාර්ග ටික චීනෙට විකුණගෙන කන්න හදනවා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර පැවැසීය.

අද මහ බැංකුවෙන් හොරකම් කරනවා. අධිවේගී මාර්ගවලින් හොරකම් කරනවා. ජනතාවට වෙනස හොඳට පේනවා. අද මේ රටේ ජනතාවට බදුබර හොඳට දැනිල තියෙනවා.

කඩවත කෙරවළපිටිය අධිවේගී මාර්ගය මංතීරු හයකින් යුතුව කණු මත ඉදි කිරීමට සැලසුම් කර තිබුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මංතීරු හයකින් තැනීමට ගිය මාර්ගය අද මංතීරු හතරකට සීමා කරලා. ඒ මාර්ගය කණු මත ඉදි කෙරෙන්නේ නැහැ. ඒ නිසා ගංවතුර තත්ත්වය ඇතිවීමේ අවදානමක්ද පවතිනවා.
ඒ මාර්ගයේ එක් කිලෝමීටරයක් සඳහා වියදම රුපියල් මිලියන 8229ක් වෙලා තිබෙනවා. එදා අපි පාරවල් හදනකොට පාරවල් කන්නද කියල ඇහුවා. රත්තරන්වලින්ද පාරවල් හදන්නෙ කියල ඇහුවා. අපේ ආණ්ඩුවට ‍ෙදාස් කිව්වා. එදා මිලියන 7200 අද මිලියන 8229 දක්වා වැඩිවෙලා. මේ සල්ලි කොහෙටද යන්නේ? කවුද හොරු කියල ජනතාවට අද අවබෝධ වෙලා තිබෙනවා.

අවුරුදු 15ට වැඩි සැමට ඇඟිලි සලකුණු සහිත විද්‍යුත් හැඳුනුම්පතක්

"අවුරුදු 15 ට වැඩි සියලු දෙනාටම විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කරනවා" යැයි අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන ඇමැති එස්. බී. නාවින්න පැවැසීය.

ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයන් හඳුනා ගැනීමට විශාල පිටිවහලක්. යෝජිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත සිංහල, දෙමළ සහ ඉංගීි්‍රසි යන භාෂා තුනෙන්ම සමන්විත වෙනවා.

විද්‍යුත් හැඳුනුම්පත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ටත් ලබා ගැනීමට පුළුවන්. පුද්ගලයන්ගේ ජීවමිතික දත්ත එම හැඳුනුම්පතට ඇතුළත් කෙරෙනවා.
අලුතින් නිකුත් කෙරෙන විද්‍යුත් හැඳුනුම් පතට ඇඟිලි සලකුණද එක් කෙරෙනවා. ජාතික හැඳුනුම්පත සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට ලියපදිංචි කළ ඡායාරූප ශිල්පීන් පත් කරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා තාක්ෂණය ලබාදීමටද කටයුතු කරනවා.
මෙම හැඳුනුම්පත්වල පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ තොරතුරුද ඇතුළත් කෙරෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්