ආර්ථික මෙහෙයුම ජනපති අතට

  👤  5089 readers have read this article !
2017-08-20

යහපාලන ආණ්ඩුව බිහිකොට දෙවසර සපිරුණේ ඉකුත් 17 වැනිදාටය. වසරක් පිරුණු දා කිසියම් උත්සවශ්‍රී යකින් එය සැමරුවද මෙවර කිසිදු 'ශබ්දයකින්' තොරව දිනය ගෙවී ගියේය. සැමරුම් උත්සව තියනවාට වඩා වැඩ බොහොමයක ආණ්ඩුව පැටලී සිටිනු දැකිය හැකි විය. ආණ්ඩුව අභ්‍යන්තරයේ නොසන්සුන්තාව හොඳින්ම දැකිය හැකි වූ අතර පුරුදු පරිදි ප්‍රධාන පාර්ශ්වකරුවෝ එකිනෙකාට චෝදනා කරගන්නා අවස්ථාද දැකිය හැකි විය. මේ අතර 'හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය' සංවිධානය පවා රජයට බල කළේ 'හරියට ආණ්ඩු කරන්න' කියලාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉකුත් දින කිහිපයම අතිශය කාර්යබහුල විය. මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහනට මෛත්‍රි සහභාගි වුණේ ඔය අතරය. දශක ගාණකට පසුව ලද මේ ඔප්පු අතට ගත් මිනිස්සු අතිශය සංවේදී වනු දක්නට ලැබිණි.
'වහලක් යට හුස්ම ගත්තට සැනසිල්ලක් තිබ්බේ නෑ ජනාධිපතිතුමනි, මේ ඔප්පු දීලා අපට දුන්න සැනසිල්ල නිසා බුදු බව අත්වෙයි'
වියපත් මවක් ජනාධිපතිවරයාට කීවේය.

'පරම්පරා තුනක් අපේ කියලා හරිහමන් අයිතියක් නැති බිමක හිටියේ. මේක උත්තම වැඩක්'
බොහෝ දෙනා කතා කළේ බෙහෙවින්ම සංවේදීවය.

'ජාතික ආර්ථික සභාව' ජනාධිපතිවරයා විසින් කැබිනෙට්ටුවට ඉදිරිපත් කළේ මීට දෙසතියකට පමණ පෙරාතුවය. අපනයන ආදායම වර්ධනය කිරීම මෙන්ම දේශීය කර්මාන්ත සංවර්ධනය ද මෙම ජාතික ආර්ථික සභාව හරහා දියත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. එහෙත් කිහිපවිටක් අගමැතිවරයා විසින් එය අධ්‍යයනය කරන්නට කල් ගත්තේය. එක් අතකින් ආර්ථික සංවර්ධන විෂය පථය අගමැතිවරයාට අයත් නිසාවෙන් දෝ ඔහු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ගැන නොසන්සුන් වන්නට ඇත.

'මේ වෙනකොට මිනිසුන්ට ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඒ නිසා මේ හරහා ආර්ථික සංවර්ධනයට මගේ පැත්තෙනුත් මැදිහත් වෙන්නම්'
ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එහෙමය.

'එහෙම නම් අපි මේකට ජාතික සංවර්ධන සභාව කියලා දාමු' යැයි අගමැතිවරයා ඉල්ලා තිබේ. එහෙත් ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත. අවසානයේදී පසුගිය කැබිනට් රැස්වීමේදී එය අනුමත විය. ඒ අනුව ඉදිරියේදී සිදු කෙරෙන ආර්ථික සංවර්ධන කාර්යයන්හිදී ජාතික ආර්ථික සභාව සැලකිය යුතු මැදිහත්වීමක් කෙරෙනු ඇති බවට ඉඟි පළවී තිබේ.

මේ අතර කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය වෙත රටවල් කිහිපයක අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙයි. ඉන්දියාව ඒ අතරේ ඉදිරියෙන් සිටී. එහෙත් ජනාධිපතිවරයා ඊට කිසිදු අනුකූලතාවක් දක්වා නැත. නැඟෙනහිර වරාය කිසිදු රටකට ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
'හැමදේම පිටරටට දෙන්න බෑ. අපිට එතකොට මොනවද ඉතිරි වෙන්නේ. හැමෝම මගේ මතයේ ඉන්න. ඒ රටවලින් බලපෑමක් එනවානම් මම ඒ රටවල් එක්ක කතා කරන්නම්. මෝඩි එක්ක වුණත් මම කතා කරන්නම්'

ජනාධිපතිවරයා පවසා ඇත්තේ එහෙමය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය පසුගිය අඟහරුවාදා රැස්විය. එහිදී රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර තිබිණි. එහි ගිං - නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳවද කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා අදහස් පළ කළේය.

'මේ ව්‍යාපෘතිය සඳහා 2015 ජනවාරි 07 වැනි දින චෙක්පත් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර තිබෙනවා. මෙම චෙක්පත නිකුත් කරලා තියෙන්නේ පසුගිය ජනාධිපතිවරණයට කලින් දවසේ. මේක දීපු කොන්ත්‍රාත් සමාගමෙන් පසුගිය රජයේ සිටි ප්‍රධානීන් කොමිස් මුදල් ලබා ගත්තා කියලා සැකයක් තිබෙනවා. රාජිත කීවේය.

ඉකුත් සතියේ සිටම ජනාධිපතිවරයාගේ හිතට වධ දුන් ප්‍රශ්නය වුණේ සමෘද්ධි අරමුදල් කප්පාදුවක් සඳහා තීරණයක් ගෙන ඇති බවට වූ කතාබහය. වරක් ඔහු එස්. බී. දිසානායක ඇමැතිවරයාට 'දෝෂාරෝපණය' කළේද මේ කාරණය නිසාය.

'එහෙම කප්පාදුවක් වෙලා තියෙනවා' කබීර් හෂීම් අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් විෂය භාර අමාත්‍ය එස්. බී. එය නොපිළිගත්තේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ සමෘද්ධි කැබිනට් අනුකාරක සභාව මඟින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගතයුතු බවයි. ඒ අනුව අවිධිමත් ක්‍රියාවලියක් නවතින තැනට පත්විය.

මේ අතර පසුගිය රජයේ ප්‍රධානීන් විසින් සිදුකර ඇති වංචා දූෂණ සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳව රට තුළ ආන්දෝලනයක් මතුව ඇති බව කියා සිටියේ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාය.

ඉන්පසු අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ පරීක්ෂණ කඩිනමින් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය.
"මෙම පරීක්ෂණ පිළිබඳව මමත් සොයා බැලුවා. පොලිසියට චෝදනා කරලා වැඩක් නැහැ. කාලයක් ගත වෙනවා" යැයි අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. ඉන් පසු අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේ පැවැසීය.

"මම නම් මේ ගැන කතා කරන්න කැමැති නැහැ. ඇතිවෙලා තියෙන්නේ. හැමදාම කතා කළා. නමුත් ප්‍රගතියක් නැහැ. නඩු විභාග කඩිනම් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් කටයුතු කළ යුතුයි. තවද වෙනම ඉහළ උසාවියක් ස්ථාපිත කරමින් දිනපතා නඩු විභාග කිරීමට පියවර ගත යුතුයි. එහිදී කඩිනමින් නඩු විභාග වීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කළ හැකි වෙනවා. එම නිසා මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න".
විශේෂ අධිකරණ පිහිටුවීමට නොහැකි බව මෙහිදී අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවැසීය. ඔහුගේ උත්තරය කැබිනට් මණ්ඩලය සෑහීමකට පත්කරන එකක් වූයේ නැත.

"මම නීතිපති ධුරයට පුද්ගලයකු පත් කිරීමට සූදානම් වුණා. නමුත් දැන් නීතිපති ධුරයට පත් කළ පුද්ගලයා දුර්වලයි" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අතර ජනාධිපතිවරයා තිලක් මාරපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ "හිටපු නීතිපතිවරයා ලෙස ඔබතුමාගේ අදහස කුමක්ද" යන්න පිළිබඳවයි.
"විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතුයි. නමුත් ඉහළ උසාවියක් පිහිටුවා දෛනිකව නඩු විභාග කළ හැකියි රාජිත සේනාරත්න අමැතිවරයා ප්‍රකාශ කළ කරුණට මමත් එකඟයි. මේ පිළිබඳව අගවිනිසුරුවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් ලෙස වැට් නඩුව විභාගයට ගත්තේ දෛනිකවයි. ඒ එවකට පැවැති රජයේ උපදෙස් මතයි. කඩිනමින් නඩු විභාග අවසන් කළා" යැයි තිලක් මාරපන අමාත්‍යවරයා උත්තර දුන්නේය.

ඉන් පසු යළි අදහස් දැක්වූ තිලක් මාරපන අමාත්‍යවරයා මෙසේ පැවැසීය. "මෙම නඩු ගොන්න අතර අනවශ්‍ය නඩුත් තිබෙනවා. එවැනි නඩුවලින් වෙන්නේ කාලය ගතවීම පමණයි. පියංකර ජයරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි අමාත්‍යවරුන්ගේ නඩු, බැසිල් රාජපක්ෂ මහතාගේ කැලැන්ඩර නඩුව, සිල්රෙදි නඩුව, එවැනි නඩුවලට උදාහරණ වෙනවා. එම නිසා තිබෙන නඩුවලින් 100ක් විතර තෝරාගෙන වැදගත් නඩු කඩිනමින් විභාග කරමු. ඇතැම් නඩු නීතිපතිවරයාට යැවීමේ අවශ්‍යතාවකුත් නැහැ" යැයි තිලක් මාරපන අමාත්‍යවරයා පැවැසීය.

පක්ෂ අභ්‍යන්තරය තුළ ලොකු "අවුලක්" බවට පත්ව තිබූ විජයදාස රාජපක්ෂ සිදුවීම පුපුරා ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය. පසුබිම සැකසී තිබුණේ "උණුසුම් මුහුණුවරක්" ගන්නා විදියටය.
ඒ අනුව ඔහුට එරෙහිව මූලික කරුණු 5කින් යුත් යෝජනාවක් ගෙන ආවේ ආශු මාරසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයාය. සිඩ්නි ජයරත්න මන්ත්‍රිවරයා විසින් එය ස්ථීර කළේය. "විජයදාස රාජපක්ෂ මහතාට හෘද සාක්ෂියක් නෑ. මේ ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න බෑ"
යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රහාරය ආරම්භ කළේය. ඔහු විටින් විට ආවේගශීලීව අදහස් දැක්වීය. "මේක පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්" යනුවෙන් කීවේ මංගල සමරවීර ඇමැතිවරයාය.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හොරු අල්ලන බව කිව්වා. අධිකරණ ඇමැතිවරයා ලෙස මේක කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන්න ඕන. මේක ඇඟ බේරාගෙන කරන්න බෑ. ඒ තීරණය විජයදාස ඇමැතිතුමා ගන්න ඕනි" නවීන් දිසානායක සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් විශේෂත්වයක් වූයේ ඇමැති දයා ගමගේ මධ්‍යස්ථව කතා කිරීමය.
"අපි එකට වැඩ කරපු මිනිස්සු. ඒ නිසා විජයදාස ඇමැතිතුමාට අවස්ථාවක් දෙමු"

ඔහු කීවේ එහෙමය. නමුත් සමූහයක් ලෙස කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊට එරෙහි විය. සියල්ල නිහඬව අසා සිටි විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ විශේෂත්වය වූයේ චෝදනා කිසිවකට සමාව නොගැනීමය.

ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ගය දින දෙකක් තුළ දැනුම් දෙන ලෙස කියමින් එජාප සභාපති, මහ ලේකම් සහ මංගල සමරවීරගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවකට අගමැතිවරයා විසින් භාර දුන්නේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම හමාර වෙද්දීම අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ මහතා සමඟ වෙනම සාකච්ඡාවක් කළේය.

කුඹුරාදෙණිය විහාරයේ පින්කමට මහින්ද සහභාගි විය. එම උත්සවයට හිටපු අගමැති දි.මු. ජයරත්න මෙන්ම කෙහෙළිය ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.
උත්සවය අතරතුරදී දි.මු.ටද කතාවක් ලැබී තිබුණු අතර ඔහු කතාව ආරම්භ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාගෙන්ද අවසරයි කියමිනි. දි.මු. කිරිඇල්ලගේ නම කීවේ කෙහෙළිය දෙස බලාගෙන නිසා ඔහුට කෙහෙළිය සහ කිරිඇල්ල පැටලී තිබෙන බව කාටත් පැහැදිලි විය. එම අවස්ථාවේදී මහින්ද කීවේ "දි.මු. මේ දවස්වල කිරිඇල්ලලාත් එක්ක කතාබහ කරන හින්දා පැටලෙන්න ඇති යනුවෙනි."

ඒ අනුව මැති ඇමැතිවරුන්ගෙන් අවසරයි කියා කතාව ආරම්භ කළ දි.මු. තරමක් සැර කතාවක් කළේය.
මහින්ද එදින සවස මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය පිහිටුවීමටද සහභාගි විය. ජී.එල්., කෙහෙළිය, ලොහාන්, දිලුම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මහනුවර සිට මහින්ද දඹුල්ල බලා ගියේ ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නිවෙසෙහි පැවැත්වෙන දානමය පින්කමට සහභාගි වීම සඳහාය.
රථ පෙළපාළියකින් මහින්ද නිවෙසට කැඳවාගෙන යෑමට ජනකගේ පුත් ප්‍රමිත යතුරුපැදිකරුවන් දහසක් සූදානම් කර තිබුණද එම ස්ථානයට එදින උදෑසන විට යතුරුපැදිකරුවන් තුන්දහස ඉක්මවා පැමිණ තිබිණි. මහින්ද දැකබලා ගැනීමට මෙන්ම කතාබහ කිරීමටත් මඟ දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකාය නිසා ඉනාමළුවේ සිට දඹුල්ලට යෑමට මහින්දට පැය දෙකකටත් අධික කාලයක් ගත විය.

ඒ යන අතරතුර රතිඤ්ඤා දල්වමින් ජනතාව මහින්ද පිළිගනු දකින්නට ලැබිණි.
දානය අවසන් වීමෙන් පසු එස්.එම්. ලොහාන්, ෂෙහාන්, ජී.එල්, සී.බී, ජනක, ප්‍රමිත ඇතුළු පිරිස සමඟ කතා බහ කරමින් සිටින අතරතුර මහින්ද ළඟට පැමිණි ප්‍රමිතගේත් ඔහුගේ නැඟණියගේත් දරුවන් පෙරටු කරගත් කුඩා දරු පිරිසක් කීවේ "අපි ඔයාව අඳුනනවා" කියාය.
"මාව අඳුනනවා..? එහෙනම් කියමු බලන්න මම කවුද කියලා..?" මහින්ද ඇසුවේය.

"ඔයා තමයි අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ" කුඩා දරුවෝ එක හ¾ඩින් කීවෝය.
"එහෙනම් ඔයාලා මාව දන්නවා තමයි" කී මහින්ද ඔවුන් වඩාගෙන සුරතල් කළේය.
"ශිරන්ති නෝනාව මේ සතියේ සී.අයි.ඩී.යට සහ එෆ්.සී.අයි.ඩී.යට කැඳවලා තියෙනවා නේද..?" ශෙහාන් ඇසුවේය.
"ඔව් නෝනව විතරක් නෙවෙයි පුතාලා දෙන්නවත් කැඳවලා තියෙනවා" මහින්ද පැවැසුවේය.
"ජනාධිපති ආර්යාවකගෙනුත් මේ විදියට පළිගත්ත පළමුවැනි ආණ්ඩුව තමයි මේක." ලොහාන් කීවේය.

"මමයි නාමලුයි දේශපාලනය කරන අය. නාමල්ව ප්‍රශ්න කරද්දී මම කවදාවත් එතැනට යන්නේ නැහැ. එයා දේශපාලනඥයෙක් හින්දා මේවාට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ශිරන්තිවත් යෝෂිත, රෝහිත දෙන්නවත් ඝෝඨාභයවත් දේශපාලනය කරන්නේ නැහැ. ඒ හින්දා මම එතැනට යනවා. අපෙන් පළිගත්තට කමක් නැහැ මේ දේශපාලනයට ගෑවිලාවත් නැති අයගෙන් පළිගන්න එක තමයි වැරැදි" මහින්ද පැවැසීය.

'ඕවා ඔහොම තමයි ජනක, පක්ෂයේ නියම උරුමකරුවන් වෙච්ච කාටවත් දැන් පක්ෂයේ තැනක් නැහැ' මහින්ද කීවේය. ජනකගේ නිවෙසෙහි දේශපාලන රැලියක් පැවැත්වීමට සූදානමක් නොතිබුණද වේදිකාවක් ඉදිකර තිබුණේ ආධාරකරුවන්ගේ ඉල්ලීම මතය. ප්‍රමිතගේ ආධාරකරකරුවන් කියා තිබුණේ මහින්ද මහත්තයාව බලන්න ලොකු සෙනඟක් එන නිසා රැස්වීමක් පැවැත්වූයේ නැතත් වේදිකාවක් ඉදිකරන්නට වන බවය.

දානයෙන් පසු මහින්ද එළියට එනතුරු ජනතාව රැස්කමින් බලා සිටියහ. නිවෙසෙන් පිටතට යන්න ආ මහින්ද ‍ෙදාරටුව අසලදී විශාල තදබදයකට මැදි වුණේය. මහින්ද ජනකගේ බිරියට කීවේ 'නංගි අලුත් ‍ෙදාරක් නම් දාගන්න වෙයි' කියාය. සරත් වීරසේකරගේ මෑණියන් පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූවාය. තලවතුගොඩ පිහිටි වීරසේකරගේ නිවෙසට 14 වැනිදා ගිය මහින්ද දේහයට අවසන් ගෞරව දැක්වීය. මහින්ද යන විට දිනේෂ්, ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර මෙන්ම නිමල් සිරිපාල ද සිල්වාද එහි පැමිණ සිටියේය. මහින්ද දුටු නිමල් වහාම පැමිණ ඒ අසලින් අසුන් ගත්තේය.

'දැන් ඔයාලා මත්තල ගුවන් තොටුපොළත්
විකුණන්නද යන්නේ? මහින්ද ඇසුවේය.

'ඔව් සර් ඒකත් විකුණන්න තමයි යන්නේ' නිමල් පිළිතුරු දුන්නේය.
'අපි හදපු සේරම විකුණගෙන යනවා. මට තියෙන දුක තමයි සම්මුතිවාදී ආණ්ඩුවක් කියාගෙන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් මේ ජාතික සම්පත් විකුණන එකට අත උස්සන එක.

ඉකුත් සති අන්තයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ නිලධාරීන් කැටුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකුලම් වෙත ගියේ 36 වැනි උදා ගම්මානය වන 'වල්ලුවර් කෝට්ටම්' ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වීමටය. සජිත් සමඟ ඒ ගමනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශේෂා විදානගේ සහ රෝහිණී කවිරත්නත් එක්ව සිටියහ. දෙදෙනාටම කුතුහලයක් ගෙනාවේ 'වල්ලුවර් කෝට්ටම්' කියන නමය.
'ඇමැතිතුමා ඇයි මේ නම දැම්මේ'
රෝහිණි ඇසුවාය.

'ඒකට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. 'තිරුක්කුරල්' කියන්නේ දෙමළ සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වෙච්ච ග්‍රන්ථය. ග්‍රන්ථය රචනා කළේ මීට අවුරුදු දෙදාහකට විතර කලින්. ඉන්දියාවේ ජීවත් වෙච්ච 'තිරු වල්ලුවර්' ප¾ඩිවරයා තමයි ඒක රචනා කළේ. එතුමාට ගරු කිරීමක් හැටියට මේ ගම 'වල්ලුවර් කෝට්ටම්' කියලා නම් කළා.
සජිත් කීවේය.

'දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු උතුමකුගේ නමින් මේ ගම නම් කිරීමම ජාතීන් අතර එකමුතුවට පාලමක්. සංහිඳියාවට හේතුවක්.'
ශේෂා සහ රෝහිණී පැවැසූහ. තවත් ගම්මාන රැසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට සජිත් බලාපොරොත්තු වෙයි.
මේ අතර සජිත්ගේ ඊළඟ වැඩසටහන යාපනය නගර ශාලාවේදී පැවැත්විණි. ශිල්ප සවිය වැඩසටහන යටතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉදිකිරීම් කර්මාන්ත පුහුණුව සඳහා තෝරාගත් තරුණයන් 400 දෙනකුට වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් කට්ටල සහ විෂයානුබද්ධ පෙළ පොත් ප්‍රදානය කිරීම එහිදී සිදු විය. විජයකලා මහේශ්වරන් අමාත්‍යවරිය සහ දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජාද මේ අවස්ථාවට එක්වූහ.

'ඇමැතිතුමා ඔබතුමාගේ නිවාස වැඩපිළිවෙළ යටතේ උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික්ක පහේම ගම්මාන 49ක ගෙවල් 2,551ක් ඉදිවෙනවා. අපිට ඒ ගැන හරි සන්තෝෂයි. ඔවුන් කියද්දී සජිත් කීවේ.

'ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් පිහිටෙන් උදව්වෙන් ලබන අවුරුද්දේ මේ ගම්මාන ගණන තවත් වැඩි කරනවා' කියාය.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේට නැඟෙනහිර සංවර්ධන අමාත්‍ය ධුරය ලැබෙන්නට යන බවට කතාබහක් ගියේය.
එස්. බී. දිසානායක කඳුරට සංවර්ධන, එස්. බී. නාවින්න වයඹ සංවර්ධන යනාදී ලෙස තනතුරු ලැබෙද්දී දයාට නැඟෙනහිර සංවර්ධන දීම සුදුසු බව ජනපතිගේත් අගමැතිගේත් මතය වී ඇත.

ඉකුත්දා තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනදා දයාටද නව තනතුර ලැබෙන බවට වාර්තා පළ විය.
නමුත්, අවසානයේදී ඒක වෙනස් විය. දයාට එම තනතුර ලැබෙනවාට විරුද්ධ වූයේ නැඟෙනහිර මහ ඇමැතිවරයා බව දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වෙයි.

වරාය ගිවිසුම අස්සන් කිරීමේදී ඇති වී තිබෙන බරපතළ තාක්‍ෂණික දෝෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සිය අවධානය යොමුව තිබෙන බව එම
පක්ෂය කියයි.

'ගිවිසුම අස්සන් කළ ආකාරය වැරැදියි. කැබිනට් එකේ ගන්න තීරණයක් ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. අඟහරුවාදා කැබිනට් එක වරාය ගිවිසුමට අනුමැතිය දෙන්නේ පාර්ලිමේන්තු විවාදයෙන් පස්සේ සෙනසුරාදා අස්සන් කරන්නයි. නමුත් පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බේ නෑ. අනෙක මේ සතියේ කැබිනට් මිනිට්ස්වලට අනුමැතිය ලැබෙන්නේ ලබන සතියේ කැබිනට් රැස්වීමේදී. වරාය ගිවිසුම අස්සන් කරනකොට මේ කිසිවක් සැලකිල්ලට අරන් නෑ'. පක්ෂ නායක අනුර කුමාර දිසානායක කීවේය.'ආණ්ඩුවට දුවන්න සල්ලි නෑ. ඒ නිසා තියෙන්නේ විකුණන් කන එක. හම්බන්තොට වගේම මත්තලත් විකුණන්න යන්නේ'. සුනිල් හඳුන්නෙත්ති කීවේය. 'ඉන්දියාව මත්තල ගන්න යන්නේ ගුවන් නියමුවන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත් කරනයි'. එහෙම කීවේ විජිත හේරත්ය.

පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධව ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල සහ වෙබ් අඩවි තුළ සංසරණය වෙමින් තිබෙයි. පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර්වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම් සිවිල් සේවකයකුට පහර දී තර්ජනය කරන බවක් පෙන්නුම් කරන එම වීඩියෝව සමාජයේ කතාබහක් ඇතිකොට තිබේ. මේ පිළිබඳව පසුගියදා (16දා) පැවැති 'කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී 'උණුසුම්'කතාබහක් බවට පත්විය.
"පහරදීමක් වෙන්නේ නෑ. බැන වැදීමක් වෙනවා. මේ සිදුවීම වුණේ භාවනා නොකළ නිසයි" පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්