ඉල්ලා අස්වීම

  👤  5036 readers have read this article !
2017-08-17

"වළකට වැටීම මොළේට සැපක්" කියා කියමනක් තිබේ. එහෙත් දැන් සිද්ධ වෙන දේවල් දිහා බැලුවහම කියන්න තියෙන්නේ "ඉල්ලා අස්වීමත් ගොඩයෑමට හේතුවකි" කියලාය.

එහෙම කියන්නේ ඇයි..?

කවුරුහරි එහෙම අහනවා නම් කියන්න තියෙන්නේ "මාරපන" තියරිය දිහා බලන්න කියලාය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මීට අවුරුද්දකට කලින් ඉල්ලා අස්වුණේය. ඒ ඉල්ලා අස්වීම "මාර වැඩක්" විදියට ආණ්ඩුව සැමරුවේය. ලෝක ඉතිහාසයේ සිදුවෙච්ච "ලොකුම වැඩේ" විදියට සැලකීය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි තිලක් මාරපන වත්මන් ආණ්ඩුව ආව ගමන් පත්වුණේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසය. නමුත් ඔහුට එම ධුරයේ කටයුතු කිරීමට හැකිවූයේ මාස කිහිපයක් පමණි.

තිලක් මාරපනට එලෙස සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ඔහු කලක් නීති උපදෙස් ලබාදුන් ඇවන්ගාඩ් සමාගමට පක්ෂපාතීව අදහස් පළ කළ බවට විවේචන එල්ල වීමේ තත්ත්වය හේතුවෙන්ය.
එම සමාගම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණවලට එම ධුරය හරහා බාධාවක් සිදුවෙතැයි ජනතාව සහ මන්ත්‍රිවරුන් අතර මතුවී තිබූ සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.

"මාරපන කියන්නේ මාර මනුස්සයෙක්, ඔන්න ආදර්ශවත් ඇමැතිවරු, චෝදනාව ආවා ඉල්ලා අස්වුණා"
ආණ්ඩුවේ හිතවත්තු වගේම ඇමැතිවරුත් එහෙම කීහ.

"මේවා මහින්දගේ කාලේ වුණාද..? එක ඇමැතියෙක් තියා ප්‍රාදේශීය සභා මන්ත්‍රියෙක්වත් ඉල්ලා අස්වුණාද..?"
එහෙම කියමින් ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී විපක්ෂයට "කුඩුවෙන්න ගැහුවේ" මාරපනගේ ඉල්ලා අස්වීමේ ආදර්ශයෙන් උද්දාම වෙලාය.
ඕකට තමයි "යහපාලනය" කියන්නේ.
ආණ්ඩුවේ ලොක්කෝ මාධ්‍ය හමුවලදී කීවේ එහෙමය.

ඇමැතිකම අත්හළ මාරපන පස්සට වී සිටියේය. හැබැයි ඒ බොහොම ටික දවසකි.
හැබැයි ආණ්ඩුව කැබිනට් සංශෝධනය කළේ "මාරපන"ට "ඇමැතිකමට" පාර කපමින්ය. අවුරුද්දකට කලින් ඉල්ලා අස්වෙච්ච මාරපන කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන කාර්ය භාර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ කැබිනට් සංශෝධනයෙන් වුණේ "වැඩක් කරපු "මංගල" ගේ තනතුරු වෙනස් වෙච්ච එකයි, මාරපනට ඇමැතිකමක් ලැබුණු එකයි" විතරයි කියලා සමහරු කීහ.
ටික කලක් යනකොට මෙරට ඉතිහාසයේ ලොකුම දූෂණයේ චෝදනා ගොන්නක් යහපාලන ආණ්ඩුවට එල්ල විය. ගැල වී බේරී යාගත නොහැකි "බැඳුම්කර" වංචාව මේ ආණ්ඩුවේ "කෙරුවාව" රටට හෙළිදරව් කරන්ට සමත් එකක් විය. ආණ්ඩුවේ "ලොකු" අයගේ කිල්ලෝටවල හුණු ගොඩගැසී තියෙන තරම දැන් හෙළිදරව් වෙමින් තිබෙන බව කියන්නේ මේ ආණ්ඩුවටම ඡන්දෙ දුන් මිනිසුන්ය.

"අපි ඉතිහාසයේ ලොකුම දූෂණය කළ ආණ්ඩුව කියන චෝදනාව අපිට ඇවිත්. මේක ලැජ්ජාවක්"
එහෙම කියන්නේ මේ ආණ්ඩුව හැදූ ඇමැතිවරුන්ය.
කෙළවරක් නැතිව ආව විරෝධයන්ගේ ප්‍රතිඵලයක් විදියට විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක ඉල්ලා අස්වුණේය. ඒ ඉල්ලා අස්වීම ගැන ඔහු කීවේ "මේක මෙරට ඉතිහාසයේ ආදර්ශයක්" කියාය.

මං සැලෙන්නේ නෑ. නමුත් මගේ චෝදනා මුල් කර යහපාලන රජය අපහසුතාවට ලක්කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මං දන්නවා. මේ බලලෝභී අවස්ථාවේ මං එජාපය විනාශ කරන්න දෙන්නේ නෑ. මං ජනපතිගේ - අගමැතිගේ ප්‍රජාතන්ත්‍රවාදී වෑයමට ඉඩ දෙනවා.
මුළු රටටම ආදර්ශයක් දෙමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනවා.
ඉතිහාසය සහ කාලය මට හිමි තැන ලබාදේවි. කියා "ලොකු ප්‍රකාශයක්" කරමින් රවි ඉල්ලා අස්වුණේය. ඔහු ඔහුගේ ප්‍රකාශයට ශේ්‍රෂ්ඨ ශාස්තෘෘවරුන්ද පාදක කර ගත්තේය.

"මට එල්ල වූ චෝදනා පදනමක් නෑ. නමුත් සමහරු පසුගිය දින 10-12 මට විවිධ චෝදනා එල්ල කළා. ඔවුන් මා කුරුසියට තබා ඇණ ගහන්න කටයුතු කරනවා. මේ වැනි අභියෝග 'බුදුන්ට' ජේසුස්ට පවා තිබුණා. මං සැලෙන්නේ නෑ"

අර ශාස්තෘෘවරුන්ටත් ආවේ බොරු චෝදනා, රවිට ඇත්තෙත් බොරු චෝදනා කියලා මිනිස්සු හිතයි කියලා ඔවුන් හිතනවා වෙන්නට පුළුවන්ය. එහෙම හිතෙනවා ඇත්තේ "ඉල්ලා අස්වී" ගෙදර යනකොට ඔහු වටකරගත් "සංවිධානාත්මක" ආරාධිතයන් මිසක් රටේ මිනිස්සු නොවේය.
ඔහු කියන්නේ "ඉතිහාසය සහ කාලය විසින් මට හිමි තැන තීරණය කරාවි. මම ඉල්ලා අස්වෙන්නේ දුකින් හෝ කම්පාවෙන් නොවෙයි. ආඩම්බරයෙන්" කියලාය. ඒ කතාවට ජනතා විමුක්ති පෙරමුණ කිස්කන උත්තරයක් දුන්නේය.
"රවිට හිමි ඉතිහාසයේ කුණු බක්කියයි"
ඒ ඔවුන් කියන කතාවය.

රවිගේ පුරප්පාඩුවට විදේශ කටයුතු ඇමැතිකමේ තිලක් මාරපන දිවුරුම් දුන්නේ ඔය අතරේය. එහෙම බැලුවම මේ වැඩෙන් පින පෑදිලා තියෙන්නේ මාරපනටය. වතාවක් චෝදනා හින්දා ඉල්ලා අස්වූ මාරපන ආණ්ඩුවක ප්‍රබලතම ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නේ මීට කලින් ඉල්ලා අස්වෙන්න හේතු වෙච්ච කාරණයට නිර්දෝෂී වෙලාද කියලා කියන්න දන්නේ නැත. එහෙම බැලුවම ඉල්ලා අස්වීම ප්‍රමෝෂන් එකකට හේතුවක්ද දන්නේ නැත. "අහේතුව හේතුව බවට" හරවන යහපාලන ආණ්ඩුවට අනුව නම් ඒක එහෙම වෙන්න පුළුවන්ය. මෙහෙම ගියොත් "ඉල්ලා අස්වීම" ආඩම්බරයක් විදියටත් පිමි කිහිපයක් ඉස්සරහට පනින්න පුළුවන් වැඩක් විදියටත් මන්ත්‍රිවරුන් හිතනවාට සැක නැත.

"පිටු අටසිය ගාණක වාර්තාවෙන් තවමත් කතා කළේ පිටු විසි ගාණයි. මේවට සම්බන්ධ තෝරුන්ගේ නම් ඒ ටිකෙන්ම එළිවෙනවා. ඉස්සරහට තව මොන මොන තෝරු අහුවෙයිද කියලා කියන්න බෑ."

මිනිස්සු කියන්නේ එහෙමය. ගෙඩිපිටින් මහදවල් කරපු හොරකම් සැණකින් හෙළිවෙනකොට ආණ්ඩුවේ සමහරු දැන් කෑ ගසන්නේ "කෝ පරණ හොරු" කියලාය. ඒකෙන් නොනැවතී ආණ්ඩුවේ අධිකරණ විෂය භාර ඇමැතිවරයාට හතර අතේ බනිමින් යන්නේ ආණ්ඩුවේම ඇමැතිවරුය.
"රාජපක්ෂලා කුදලලා ගෙනියන්නේ නැත්තේ ඇයි..?
ඒ අය අහන්නේ එහෙමය.

"විජයදාස රාජපක්ෂත් රාජපක්ෂ කෙනෙක්නේ. ඕවා ඩීල්"
සමහරු කියන්නේ එහෙමය.

හැබැයි විජයදාස රාජපක්ෂම කියන විදියට "රාජපක්ෂලාට එරෙහිව බල්ලෙක්වත් බුරන්නේ නැති කාලේ" එළියට බැස්ස මනුස්සයා විජයදාස රාජපක්ෂය. එහෙම ඇවිත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ මනුස්සයා විජයදාස රාජපක්ෂය. දැන් ඒ ආණ්ඩුවේ අපක්ෂපාතීව වැඩ කරන විජයදාස රාජපක්ෂ ආණ්ඩුවේ ද්‍රෝහියෙක් වෙලාය.
"රවි කරුණානායක මහතා රටටම ආදර්ශයක් දුන්නා" කියා අගමැතිවරයා රටටම ඇහෙන්න කියන අතරේ විජයදාස රාජපක්ෂට පක්ෂව වචනයක් කියන්නේ නැත.
"මම අඩියක් පස්සට ගියේ අඩි දෙකක් ඉස්සරහට යන්න" කියලා පසුපෙළට ගිය රවි ආඩම්බරයෙන් කියන්නේය. මේ යන විදියට එහෙම වෙන්නත් බැරි නැත. එක්සත් ජාතික පක්ෂයේ මෑත ඉතිහාසය බැලුවම පේන්නේම නුසුදුස්සාට තැන දීමේ කලාවය. වතාවක් දයාසිරි ජයසේකරයි දයා ගමගේයි දෙන්නා ජාතික සංවිධායකකමට ඉල්ලුවම කෘත්‍යාධිකාරි මණ්ඩලය ඡන්දෙ දෙන්නේ දයා ගමගේටය. ඒ වෙනකොට ඔහු පාර්ලිමේන්තු වෙත් නැත. එහෙම එකේ ඉස්සරහටත් ඔහොම දේවල් නොවෙන්න බැරිකමක් නැත.

හැබැයි සලාක ක්‍රමයට සමුපකාර ඡන්ද ටික පවා පරාජය වෙන ආණ්ඩුව ඉස්සරහට නවතින තැන හිතාගන්න ඒ තරම් අමාරු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්