රවිගේ ඉල්ලා අස්වීමෙන් පසු...

  👤  3220 readers have read this article !
2017-08-13

රවි කරුණානායක මහතා විදේශ ඇමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩු පක්ෂයේ පසු පෙළ අසුනක හිඳ ගැනීම අලුත් පාර්ලිමේන්තු සංස්කෘතියක් සහ සම්ප්‍රදායක ආරම්භයක් යැයි අගමැතිවරයා ආඩම්බරයෙන් ප්‍රකාශ කර තිබිණි. බැඳුම්කර කොමිසමේ පරීක්ෂණවලට ආණ්ඩුව ඇඟිලි ගැසීම් හෝ මැදිහත්වීම් නොකරන බවට කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම කදිම සාධකයක් බවත් යහපාලනය යථාර්ථයක් වී ඇති බව ඉන් සනාථ වන බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා තිබිණි.

රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවේ යහපාලනයේ ප්‍රතිඵලයක්ද? නොඑසේ නම් බැඳුම්කර සිද්ධියේ හෙළිදරව් වූ කරුණු හරහා ආණ්ඩුව ගිලී සිටින අර්බුදයෙන් මිදීමට මඟක් සෙවීමක්ද? ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට අනුව රවි කරුණානායක මහතාට එල්ල වූ නිවාස චෝදනාව සැලකිය හැක්කේ මිනීමැරුමක් පිළිබඳ සොයද්දී ස්ත්‍රී දූෂණයක් අසුවීමකටය. මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය එකකි. රවි කරුණානායක මහතා මුදල් ඇමැති ධුරය දරමින් සිටියදී බැඳුම්කර සිද්ධියේ චූදිතයකු වූ ඇලෝසියස් මුදල් ගෙවූ නිවෙසක පදිංචියට යෑම අනෙකකි. ජනාධිපති බැඳුම්කර කොමිසමේ අවසන් නිර්දේශ තවමත් ලබාදී නොමැති පසුබිමක රවි කරුණානායක වැරැදිකරුවකු කළ නොහැකි වුවත් දෝෂසහගත ගනුදෙනුවක් රවි හා ඇලෝසියස් මහත්වරුන් අතර සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. එනිසා දේශපාලන සදාචාරයට අනුව රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් වහා ඉවත් විය යුතුව තිබිණි.

බැඳුම්කර සිද්ධියත් ඒ හරහා හෙළිදරව් වෙමින් පවතින විවිධ කරුණු කාරණාත් නිසා අර්බුදයට පත්වූ ආණ්ඩුවට තරමක් හෝ ගොඩ ඒමට තිබූ එකම විකල්පය වූයේ රවි කරුණානායක මහතා ධුරයෙන් අස්වීම හෝ අස් කිරීමය.

එනිසා මේ ඉල්ලා අස්වීම එතරම් ආඩම්බර වීමට කාරණයක් වන්නේ නැත. අනෙක ඔහුගේ ඉල්ලා අස්වීමෙන් යහපාලනය යථාර්ථයක් වී ඇතැයි කීම යථාර්ථය වසං කිරීමකි. රවි කරුණානායක මහතාගේ දියණිය ෆේස්බුක් සටහනකින් නිවැරැදිව කියා ඇති පරිදි වංචා දූෂණ පිළිබඳ චෝදනා සිය පියාට පමණක් අදාළ කාරණයක් නොවේ. 'යහපාලනය' ගැන සංවාදය මතු වූයේද එපමණටම මේ රටේ දේශපාලන දේහය දූෂිත වී තිබීම නිසාය. ක්‍රියාකාරී දේශපාලනයේ බොහෝ දෙනා නියැළෙන්නේද මුදල් ඉපැයීමේ අරමුණින්මය. දේශපාලන බලය යොදා ගනිමින් අයුතු ලෙස ධනය රැස් කළ බවට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ දෙනාට චෝදනා එල්ල වූ අතර මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට චෝදනා එල්ල වෙමින් පවතී. දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර සම්බන්ධය කවදත් පැවැති අතර මේ වනවිට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා රජයේ නිලධාරීන් අතර දැඩි සබඳතාවක් ගොඩනැඟී තිබේ. විශේෂයෙන් දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර ඇති සන්ධානය කඩා බිඳ නොදමා යහපාලනයක් කරා යා නොහැකිය. බැඳුම්කර සිද්ධිය තුළින් මතුවන තිත්ත ඇත්ත එයය.

ලක්ෂ 62ක ජන වරමක් ජනාධිපතිවරයාට ලැබුණේත්, බහුතර ආසන සංඛ්‍යාවක් අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට (උව්ර්ථී) මහ මැතිවරණයේදී ලැබුණේත් රජය සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට බඳුන් කිරීමෙන් ඇතිවන 'වෙනස' හරහා යහපාලනයක් කරා යෑමටය.

දෙවසරකට වැඩි කාලයක් ගතවී තිබුණද ඒ 'වෙනස' කිරීමට ආණ්ඩුව සමත් වී නැත. ඇමැති රාජිත සේනාරත්න ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව වෙනස් වුවද තවමත් රාජ්‍ය වෙනස් වී නැති බවය. ආණ්ඩුවට 'වෙනස' කිරීමට නොහැකි වී ඇති බව ඇමැතිවරයා පිළිගනී. 'වෙනස' කිරීමට පෙරමුණ ගත යුත්තේ ජනාධිපතිවරයා මිස අනෙකෙක් නොවේ. ලක්ෂ 62ක ජනවරම ලැබුණේ ඔහුටය. අගමැතිවරයාගේ සහායද ඊට ලැබෙනු ඇත. මන්ද 'වෙනස' වෙනුවෙන් ජනවරමක් ඉල්ලුවේ එක්සත් ජාතික පෙරමුණය. එක්සත් ජාතික පක්ෂයේ හොරුන්ට ඉඩ නැති බවද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා අවධාරණය කළේය. එනිසා කළ යුත්තේ ජනාධිපති කොමිසම පුළුල් කර අදාළ ආයතනද ශක්තිමත් කර පැරැණි හා අලුත් හොරුන් නීතිය හමුවේ හෙළිදරව් කර දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් අතර සන්ධානය බිඳ දැමීමය. නොඑසේ නම් යහපාලනය මහ පොළොවේ යථාර්ථයක් වන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්