සමෘද්ධි සහනාධාර කැපීම නවත්වන ලෙස දිනේෂ් සහ අජිත් ආණ්ඩුවට බල කරති

  👤  5275 readers have read this article !
2017-08-11

සමෘද්ධි සහනාධාර ලබාදීම කප්පාදු කිරීම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කළුපටි පැලඳගෙන පාර්ලිමේන්තුව තුළ විවිධ පාඨ සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම නිසා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැද කතානායක කරු ජයසූරිය සභාවේ කටයුතු අත්හිටුවනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා, ස්ථාවර නියෝග 23 (2) යටතේ ප්‍රකාශයක් කරමින්, ලක්ෂ සංඛ්‍යාත දිළිඳු ජනතාව වෙත ලබාදෙන සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට පටන්ගෙන ඇති බැවින් එය නතර කරන ලෙසත්, සමෘද්ධි සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධන ඇමැතිවරයා සභාවට දන්වනවා දැයි විමසන ලදී.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක - මේ සඳහා ඊළඟ පාර්ලිමේන්තුවාරයේදී ඇමැතිතුමා පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන - මේක බරපතළ ප්‍රශ්නයක්. ඊළඟ පාර්ලිමේන්තු වාරය වෙනකොට දවස් කීයක්ද? මේ කප්පාදුව ඒ වනතුරු සිදු කෙරෙනවා. ඒක සුදුසු නැහැ. ඇමැතිතුමා පිළිතුරු දෙන දවස වෙනතුරු මේ කපා හැරීම නැවැත්විය යුතුයි.

ගයන්ත කරුණාතිලක _ ඇමැතිතුමා ලබන පාර්ලිමේන්තු වාරයේ පිළිතුරු දේවි.
දිනේෂ් ගුණවර්ධන _ එහෙම බැහැ. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට මේ සමෘද්ධි කපාහැරීම ඇමැතිතුමා පිළිතුරු දෙන දවස දක්වා අත්හිටුවන්න. ඇයි ඒක කරන්න බැරි?

කතානායක _ මම ඇමැතිතුමා සම්බන්ධ කරගෙන අද දවස ඇතුළත පිළිතුරක් දෙන්නම්. එතෙක් සභාවේ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. අද ප්‍රධාන කටයුතු කරගෙන යන්න ඕන.

ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රිවරු නැඟී සිට සටන් පාඨ ලියූ පෝස්ටර් අල්ලාගෙන ඝෝෂා කරන්නට වූහ.
කතානායක _ කරුණාකර වාඩිවෙන්න. නැත්නම් මම සභාවේ කටයුතු අත්හිටුවා, පක්ෂ නායක රැස්වීමක් කැඳවනවා.
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා - මේ මන්ත්‍රිවරු කරන ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපිත් එකඟයි. මේ ක්‍රියාදාමය අසාධාරණයි. අපි මේ වැඩේට විරුද්ධයි. මේ වැඩේ වැරදියි. අපිත් ඉල්ලන්නේ මේ වැඩේ නතර කරන්න කියල.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු යළිත් නැඟී සිට ඝෝෂා කරති. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරු අතර වචන හුවමාරු වෙයි.
කතානායක _ කරුණාකර මන්ත්‍රිවරු වාඩිවෙන්න. මේ වැඩේ හැමදාම කරන්න ඉඩ දෙන්න බැහැ. මට සභාවේ ඉදිරි කටයුතු කරගෙන යන්න ඕන. පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු අත්හිටුවනවා.

විනාඩි විස්සකින් පසු, සභාව යළි රැස්විය.
කතානායක _ පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණය ප්‍රධාන සංවිධායකතුමා සභාවට දැනුම් දේවි.
ගයන්ත කරුණාතිලක - මේ සම්බන්ධයෙන් පිළිතුරක් ගරු ඇමැතිතුමා හෙට (11දා) සභාවට ලබා දෙන බව දැන්නුවා. හෙට පිළිතුරු දේවි.

කතානායක - සභාව කල් තැබීම
නිමල් සිරිපාල ද සිල්වා - පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 වෙන තෙක් කල් තැබිය යුතු යැයි යෝජනා කරනවා.
කතානායක - සභාව කල් තැබීමේ යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා.

(විවාදය ආරම්භ විය)

මුදල් ඇමැතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත් වුණා නම් ප්‍රශ්න මේ විදියට
නිර්මාණය වෙන්නේ නෑ

"2015, 2016 වර්ෂ දෙකේ සමස්ත ආර්ථිකයේ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට යෝජනා කරනවා" යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.

මේ පාර්ලිමේන්තුව නොමඟ යවලා, පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කරලා, සමහර කැබිනට් ඇමැතිවරු පවා අපහසුවට පත්වන ලෙස තමයි මුදල් වෙන් කෙළේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 203ක් වෙන් කරනවා කියා සභාව නොමඟ යවන අය-වැය ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයටත් එහෙමයි. රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් හා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන්ටත් මෙහෙම නම් සාමාන්‍ය මැති ඇමැතිවරුන්ට මේ අය-වැයෙන් වෙන් කරනවා කීම ව්‍යාජයක්. අප ඒ ගැන විශ්වාසභංගයකුත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව මැදිහත් වුණා නම් අද තිබෙන ප්‍රශ්න මේ අකාරයට නිර්මාණය වෙන්නෙ නැහැ.

ඔප්පු නොවන චෝදනා නිසා
රවි අස්වුණා
ඒකාබද්ධ විපක්ෂයත්
ඉල්ලා අස්විය යුතුයි

ඔප්පු නොවන චෝදනා පදනම් කරගෙන රවි කරුණානායක ඉල්ලා අස්වුණා. එය ආදර්ශයට ගෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන්ද ඉල්ලා අස්විය යුතුයි. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ භයානක රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඇති බව ප්‍රකාශ කිරීම සාර්ව ආර්ථික දැක්ම අනුව පදනම් විරහිත චෝදනාවක්. මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් එවැන්නක් ප්‍රකාශ නොවන බවත් ජනාධිපති මූල්‍ය අරමුදල හා ලෝක බැංකු වාර්තාවලින්ද එවැන්නක් ප්‍රකාශ වී නැති බවත් කියන්න කැමැතියි.

කඩා වැටුණු ආර්ථිකය කරේ ගහගෙන කෙටි කාලයකදී කටයුතු කළ නිසා අභියෝග ජයගත හැකි වුණා. මහත්මා දේශපාලනය කුමක්දැයි රවි කරුණානායක පාර්ලිමේන්තුවට පෙන්නුම් කළා. ඔප්පු වී නොමැති චෝදනා පදනම් කරගෙන ඔහු ඉල්ලා අස්වුණා. එය ආදර්ශයට ගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද ඉල්ලා අස්විය යුතුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්