රවිගෙන් එජාප මන්ත්‍රින්ට එස් එම් එස්

  👤  6628 readers have read this article !
2017-08-06

කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා සුපුරුදු පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් එහිදී පළමුව සාකච්ඡාවට ගැනිණි. 'මීට පෙර ලබාදුන් සහනාධාර නිසි පරිදි ලැබී නැහැ. ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවට පත් කරන්න හිටපු ජනාධිපතිගේ වුවමනා මත කටයුතු කරනවා' සජිත් කීවේ ඒ පිළිබඳ සාකච්ඡාව අරඹමින්ය. 'සහනාධාර බෙදීම විනිවිදභාවයෙන් සිදු කරනවා. පැමිණිලි තියෙනවනම් ඉදිරිපත් කරන්න. ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පරීක්ෂණ සිදු කළ හැකියි' එස්. බී. කීවේය. මේ කතාබහට ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය.

'ඇතැම් අවස්ථාවල එක්සත් ජාතික පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදුවන බවට පැමිණිලි තිබෙනවා. එම නිසා සහනාධාර බෙදාදීම ගැන එජාප මන්ත්‍රිවරු සමෘද්ධි නිලධාරීන් මත යැපෙන්නෙ නැතිව ගමට ගිහිල්ල සොයා බලන්න.' මෛත්‍රි කීවේය. 'ඇතැම් සමෘද්ධි කාර්යාල හිටපු ජනාධිපතිගේ කාර්යාල වෙලා' මංගල එහිදී කියා සිටියේය.
ජල යෝජනා ක්‍රම සඳහා ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් විජයදාස සහ හකීම් මෙහිදී වාදයක පැටලිණි. 'තියෙන ක්‍රමවේද නිසා ඇතැම් ව්‍යාපෘති කල් යනවා.' විජයදාස කීවේය. 'ව්‍යාපෘති ඉක්මන් කරන්න ඉඩම් නිදහස් කරල දෙන්න' හකීම් එහිදී ඉල්ලා සිටියේය. මෙවැනි කතාබහ නිසා ඒ පිළිබඳ පසු දිනක සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සතු අක්කර පහ හමාරක ඉඩමක් සාගර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට නිදහස් කර දෙන ලෙස චන්දිම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. කොරියාවෙන් ඩොලර් මිලියන 50ක මුදල් ඊට ලැබී ඇති බවද හෙතෙම කීවේය. එම යෝජනාව ගෙන ඒමත් සමඟ 'ඇයි මේවට ගාල්ලෙන්ම ඉඩම් ඉල්ලන්නෙ. පොළොන්නරුවෙන් ඉල්ලන්න. ඕනතරම් ඉඩම් දෙන්නම්' ජනාධිපතිවරයා කීවේ සිනාසෙමිනි. 'සර් මේකට මුහුදට ළඟ තැනක් තියෙන්න ඕන' චන්දිම ජනාධිපතිට පිළිතුරු දුන්නේය. මේ කතාවට මැදිහත් වෙමින් වජිර 'මේ ඉඩම මාත් වෙනත් ව්‍යාපෘතියකට ගන්න හිතුවා. ඒත් රිච්මන්ඩ් විද්‍යාලය සතුයි කියල දැනගත්තම ඒ අදහස වෙනස් කර ගත්තා' යැයි පැවසීය. රිච්මන්ඩ් විද්‍යාලයේ ඉඩම පවරා ගැනීමට ජනාධිපතිත්, අගමැතිත් කැමැති වූයේ නැත. අනතුරුව බූස්ස ප්‍රදේශයේ ඉඩමක් ඊට භාවිත කිරීමට තීරණය වූයේය.

සීනි කන්ටේනර්වල සඟවා මත්කුඩු ගෙන ඒම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය. 'මේවට සතොස සම්බන්ධ නැහැ. ඒත් අන්තිමට අපටයි චෝදනා එන්නෙ' බදුර්දීන් කීවේය. 'මේවා ගැන සොයා නොබැලීම බලවත් ගැටලුවක්' කබීර් ද එම කතාබහට එක්විය. 'ඔය අත්අඩංගුවට ගත්ත කුඩුවලට මොකද වෙන්නෙ?' එහිදී මෛත්‍රි විමසා සිටියේය. 'මේවා අධිකරණ භාරයේ තිබෙනවා.' විජයදාස, සාගල ප්‍රකාශ කළහ. 'අත්අඩංගුවට ගත්ත ඒවා, දැනට තිබෙන ඒවා පිළිබඳ වාර්තාවක් සකස් කරන්න' ජනාධිපතිවරයා විජයදාසටත්, සාගලටත් කියා සිටියේය.

විදුහල්පතිවරුන්ට ගෙවන දීමනාව වැඩ බලන විදුහල්පතිවරුන් සඳහා ද ගෙවන ලෙස මෙහිදී දයාසිරි කීවේය. එහෙත් ඊට අකිල කැමැති වූයේ නැත. 'මේවා දේශපාලන පත්වීම්. ශේ‍ර්ණිධාරී විදුහල්පතිවරුන්ට පමණක් දීමනා දෙන්න තීරණය කළේ ඒකයි' අකිල කීවේය. "ඒ වුණාට මේ වැඩ බලන අයත් කරන්නෙ එකම කාර්යය. ඔවුන් අමතක කළ යුතු පිරිසක් නොවේ" දයාසිරි කියා සිටියේය.

වනජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වායු බලයෙන් ක්‍රියාකරන අවි ආයුධ භාවිතය නියාමනය කිරීමට අදාළ කැබිනට් සංදේශයක් ගාමිණී ජයවික්‍රම ඉදිරිපත් කළේය. ඊට අනුමැතිය දුන් ජනාධිපතිවරයා, 'මේක ඉතා පරෙස්සමෙන් කරන්න'යි ජයවික්‍රමට උපදෙසක්ද දුන්නේය.

හම්බන්තොට වරාය ගිවිසුමේ පිටපත් මෙහිදී ඇමැතිවරුන්ට දීමට ජනාධිපති මෛත්‍රි කටයුතු කළේය. 'ඒ සම්බන්ධ සංශෝධන, යෝජනා තිබෙනව නම් සති දෙකක් තුළ ඉදිරිපත් කරන්න' එහිදී මෛත්‍රි කීවේය.

මේ අතර පාර්ලිමේන්තුවේ වෙනම අය-වැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අගමැතිවරයා අවධාරණය කළේය. 'මේක එංගලන්තය වැනි රටවල ක්‍රියාත්මක හොඳ ක්‍රමයක්' ඔහු වැඩිදුරටත් කීවේය.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමට එරෙහිව තමන් ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය ජාලවල පළවන අදහස් පිළිබඳ ද මෙහිදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කළේය. තමන් එවැනි ප්‍රකාශයක් නිකුත් නොකළ බවද හෙතෙම කීවේය. 'මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් අනුමැතිය යටතේ ප්‍රකාශ නිකුත් කළ යුතු බවට මම අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දුන්නා. නමුත් එවැනි අනුමැතියකින් තොරවයි. එම නිවේදනය නිකුත් කරල තියෙන්නෙ' රවි කියා සිටියේය. ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවද හෙතෙම කීවේය.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසාන වෙත්ම රවි කරුණායක සියලු දෙනාටම ආරාධනා පත්‍රයක් බෙදුවේය. අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ගාලු මුව‍ෙදාරදී පැවැත්වෙන සංගීත සංදර්ශනයකට සහභාගි වන ලෙස එමඟින් ඉල්ලා තිබිණි. එහෙත් තමන් හෝ දැනුවත් නොවී සංවිධාන කොට ඇති එම ප්‍රසංගය පිළිබඳ අගමැතිවරයා නොසතුට ප්‍රකාශ කළේය. එය වහාම නතර කරන ලෙසද ඔහු දන්වා සිටියේය. හිල්ටන් හෝටලය, හයට් ගොඩනැඟිල්ල ආදිය පෞද්ගලීකරණය කිරීම ඇතුළු යෝජනා 30කට පමණ මෙහිදී අනුමැතිය හිමිවිය.

අඟහරුවාදා සවස විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්දගේ නිල නිවෙසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සතිපතා රැස්වීම සුපුරුදු පරිදි පැවැත්විණි. ඒ හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන්ය. එහිදී ප්‍රධාන ලෙසම අවධානය යොමු කෙරුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයට වසර 40ක් පිරීම වෙනුවෙන් අගෝස්තු 4දා පැවැත්වීමට කටයුතු කෙරුණු විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන්ය.

"රනිල් වික්‍රමසිංහගෙ දේශපාලන මතවාදයට එකඟ වෙන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේකට ආරාධනා කොට තිබෙන්නෙ කතානායකවරයා. කතානායක මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නෙ රනිල් අතේ" කෙහෙළිය එම කතාබහට ආරම්භයක් දෙමින් කීය. "අපිට රනිල්ගෙ වගේම එජාප ප්‍රතිපත්තිවලටත් එකඟ වෙන්න බැහැ. ඒ ප්‍රතිපත්ති හින්දා සිදු වුණේ රට විනාශ වෙන එක විතරයි." මහින්ද අවධාරණය කළේය. එවැනි අදහස් රැසක් ඉදිරිපත්වීම නිසා ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ අගමැති රනිල් වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට නොයා සිටීමටය.

"මහින්ද මහත්තය ෂැංගි්‍රලා හෝටලයට ඉඩම දුන්න කියල වරාය විකුණපු එක සාධාරණීයකරණය කරන්න ආණ්ඩුවෙ අය දැන් විවිධ කතා කියනවා" ප්‍රසන්න තවත් කතාබහකට මුල පිරුවේ එලෙසින්ය. "හෝටලයක් හදන්න යන අක්කර හයත් එක්ක අක්කර 5,000ක කර්මාන්ත කලාපයක් තිබෙන වරායක් සංසන්දනය කරන්න පුළුවන්ද? ඒවා විහිළු කතා" මහින්ද පැවැසීය.

"තමන්ගෙ වැරැදි වහගන්න එයාල හැමදාම කරන්නෙ මහින්ද මහත්තයට බනින එක තමයි" පවිත්‍රා කීවාය. "ඔය වගේ කතාවක් පෝට් සිටිය ගැනත් කියල තිබුණා. පෝට් සිටිය කියන්නෙ අපේ රටට අලුතින් එකතු වෙච්ච භූමියක්. හැබැයි හම්බන්තොට කියන්නෙ අපි හදපු වරායක්. අපේ ආණ්ඩුවෙන් තමයි විදේශිකයන්ට ඉඩම් ගන්න සීමා පැනෙව්වේ" මහින්ද යළිත් ප්‍රකාශ කළේය.

"දැන් මත්තලත් විකුණනවලු. රටේ සම්පත් විකුණල දාන එක ලොකු වැඩක් කියලයි රනිල් හිතාගෙන ඉන්නෙ" ප්‍රසන්න කීවේය. "යූ.ඇන්.පීි.යේ උපන් ගතියනෙ විකුණාගෙන කෑම. ගෙදර කන්න නෑ කියල අපි ගෙදර බඩුමුට්ටු විකුණන්නෙ නැහැ. මෙයාලට ඕන එදාවේල හොයා ගන්න විතරයි" මහින්ද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව සැලකෙන්නේ මෙරට උත්තරීතර ආයතනය ලෙසින්ය. එහෙත් හැත්තෑ වසරක් සපිරෙන යුගයක වුවද එම තත්ත්වය රැක ගැනීමට බොහෝ ජනතා නියෝජිතයන්ට වුවමනාවක් නැති තරම්ය. පසුගිය ජුනි මාසයේ අවසන් සිකුරාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අඩ පැයක් පමණ සභා ගර්භය තුළ නැටූ ජෝගියෙන් එම නුවමනාව යළිත් පසක් කළේය.

කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කල් දමා තිබියදී විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තු රැස්වීම් වාරයක් පැවැත්වූ අයුරු මහජන ගැලරියේ සිටි බොහෝ දෙනකුට එම මොහොතේම දැකගත හැකි විය. ඒත් කතානායකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සතියේ එහි රූප රාමු කිහිප වරක්ම නැරැඹුවේ එම මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට අවධානය යොමු වූ නිසාය. පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව සොයා ගොස් එය නාද කළේ මහින්දානන්ද අලුත්ගමගේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු කල් තියා සැලසුම් කර ගත් පරිදි සභා ගැබට පැමිණියහ. ජනාධිපතිවරයාගේ චරිතය රඟ දක්වමින් පැමිණි ප්‍රසන්න රණතුංග ජනාධිපතිට වෙන්කොට තිබූ පුටුවේ වාඩි වූයේය. ඔහුට සුබ පතමින් දිනේෂ් ඇතුළු පිරිසක් අතට අත දුන්නහ. ඒ සෙසු අයගේ අත්පොළසන් හඬ මධ්‍යයේය. පියංකර ජයරත්න කතානායකවරයා ලෙස රඟපාමින් කතානායක අසුනේ වාඩිවී සිටියදී පාර්ලිමේන්තු මහ ලේකම් ලෙස මාරුවෙන් මාරුවට මහින්දානන්ද සහ වෙල්ගම ද නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහ ලේකම් චරිත ලොකුගේ සහ සොයිසා මන්ත්‍රිවරු රඟ දැක්වූහ. ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් කතා කළහ. ඒ අතර ඇතැමකුගෙන් පරුෂ වචනද පිටවිය.

මෙලෙස එකතු වී තිබෙන සාක්ෂි පිළිබඳ ලබන සතියේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය. විනය පරීක්ෂණ සිදු කොට දඬුවම් පමුණුවන්නේද නැද්ද යන්න ඉන් පසුව තීරණය කෙරෙනු ඇත.

ගෙවී ගිය සතියේ මෙරට වඩාත් අවධානයට පත්වූ පුද්ගලයා වූ විදේශ ඇමැති රවි මහ බැංකු බැඳුම්කර විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට බදාදා ගියේය. එහිදී ඇසූ ප්‍රශ්න හමුවේ හෙතෙම වඩාත් අසීරුවට පත්වනු පෙනිණි.
රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා මෙන්ම බැඳුම්කර කොමිසමේදී මතක නෑ. බිරිය දියණිය කළ දේවල් තමන් දන්නෙ නැහැ ආදී ප්‍රකාශ ගැනද මේ වන විටත් බොහෝ ක්‍ෂේත්‍රවල ප්‍රධාන මාතෘකාව වී තිබේ.

තමන් අධිකරණයට යන අවස්ථාවට සහභාගි වන ලෙස ඉල්ලා රවිගේ මැදිහත් වීමෙන් එජාප පසු පෙළ මන්ත්‍රි පිරිසකට කෙටි පණිවුඩ යොමු වී තිබිණි. එහෙත් බොහෝ දෙනෙක් රවි මඟහැරියහ. කවින්ද, නලින්, අලුත්ගමගේ ඇතුළු කිහිප දෙනෙක් පමණක් රවි සමඟ එක්වී සිටියහ.

බැඳුම්කර විමර්ශන කොමිසමේ සාක්ෂි දීමෙන් අනතුරුව රවි රනිල් හමුවීමට ගියේය. කොමිසමේදී සිදුවූ දේවල් පිළිබඳ දිගු විස්තරයක් කළ අතර එය අසා සිටි රනිල් "කරපු දේවල් නම් හොඳයි, ඒත් මාධ්‍ය ගැන නම් බලාගන්න වෙයි." යයි පැවසීය.

මේ අතර රවිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂ කටයුතු කළහ. බන්දුල, මහින්දානන්ද සහ රෝහිත විශ්වාසභංග යෝජනා සකස් කිරීමේ වගකීම භාර ගෙන තිබිණි. ඊට අස්සන් ගැනුණේ බදාදා තරු පහේ හෝටලයකදීය. ඒ කෙහෙළියගේ පුත් රමිත්ගේ විවාහ මංගල්‍ය අතරතුරදීය. දිනේෂ්, බන්දුල, මහින්දානන්ද, ප්‍රසන්න මුලින්ම අස්සන් කළහ. බ්‍රහස්පතින්දා සවස එම විශ්වාසභංග යෝජනාව භාර දෙන විට ඊට මන්ත්‍රිවරුන් 32 දෙනකු අස්සන් කොට තිබිණි.

විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරියට භාර දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් විය. එහෙත් ඒ වන විට අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට කතානායක කරු ජයසූරිය සහභාගි වී සිටි නිසා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට ගොස් නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාට එය භාරදීමට ඔවුන්ට සිදුවිය. මේ චෝදනාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පැවැත්වෙන අවස්ථාව අතරතුර එහි ඡන්ද විමසීමට පෙර කලබල ඇති කොට පාර්ලිමේන්තුව කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය කියා සිටියි.
මේ අතර රවි කරුණානායක තවදුරටත් ඇමැති තනතුරේ තබා නොගන්නා ලෙස මැති ඇමැතිවරුන්ගෙන් ජනාධිපතිටත්, අගමැතිටත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නට වූහ. එහෙත් අගමැති වික්‍රමසිංහ සිනහවකින් පමණක් ප්‍රතිචාර දක්වා එම ඉල්ලීම් මඟහරින්නට කටයුතු කර තිබිණි.

මේ අතර රවිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රහස් ඡන්දයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලනිප මැති ඇමැති පිරිසක් ජනාධිපතිගෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙති. ඒ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතු නිසාය. රවිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී රවිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් ආණ්ඩුවේ ඇතැමෙක් ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලය පසුගියදා පිහිටුවන අවස්ථාවට ඒකාබද්ධය නියෝජනය කරන නාමල්, ප්‍රසන්න, ඉන්දික, පියල්, රණවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී ඔවුන්ගේ කතාබහට ලක්වූයේ වත්මන් දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන්ය. 'ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට හැමදාමත් කළේ කෙනෙහිලිකම්. පාර්ලිමේන්තුව ඇතුළෙ වගේම පිටතදිත් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම තමයි ආණ්ඩුවේ එකම අරමුණ' නාමල් කීවේය.' ඒකෙන්ම පේනවනෙ ආණ්ඩුව අපට තියෙන බය. ආණ්ඩුව දන්නෙ නෑ මේ ඒකාබද්ධ විපක්ෂයට තියෙන බලවේගය තර්ජනයෙන් මර්දනය කරන්න බැරි බලවේගයක් බව' පියල් නාමල්ගේ කතාව අනුමත කරමින් කීවේය.
'ඒ දවස්වල බාප්පගෙ මල්වානෙ ඉඩමක් ගැන කිව්වා. මේ එද්දි දැක්කා කට්ටියක් ඒකෙ පොල් කඩනවා. මං බැලුවා අපේ බාප්පගෙ ඉඩමෙ කවුද පොල් කඩන්නෙ කියලා. බැලින්නම් ඉඩමෙ අයිතිකාරයො තමයි පොල් කඩන්නෙ' නාමල් තේ කෝප්පයක් පානය කරන අතරතුර තවත් කතාවක් ගැන අවධානය යොමු කළේය.

'මහින්ද මහත්තය පරාජය වුණාම ඉන්න කොළඹ ගෙයක්වත් තිබුණෙ නැහැ' ඒත් මහින්ද මහත්තයට ගෙවල් තියෙනවා කියල කොච්චර චෝදනා කළාද' ප්‍රසන්න විමසා සිටියේය. 'මේ ආණ්ඩුවෙ මොකක් හරි වැරැද්දක් එළියට ආවම තාජුඩීන් ගැන කියනවා. අපේ ආච්චි අම්ම, මල්ලිලා විතරක් නෙවෙයි බලු පැටියත් උසාවි ගෙන යන්නයි මේ අයට අවශ්‍ය' නාමල් කීවේය.

උතුරේ දිනෙන් දින හිස ඔසවමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ උතුර මෙන්ම දකුණද අවධානයෙන් සිටියි. උතුරේ චාරිකාවක නිරත වූ පොලිස්පති පූජිත් ජයසුන්දර එය කොටි සංවිධානය මුල් කාලයේ නැඟී සිටි අන්දමේ සිදුවීම් ලෙස කළ විග්‍රහය පිළිබඳ රජයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. මේ අතර ඒ සම්බන්ධයෙන් උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂවලද අවධානය යොමු කර ඇති අතර පොලිස්පතිගේ කතාව වෙනත් ඉසව්වකට ගෙන යමින් උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ එල්. ටී. ටී. ඊ. හිස එසවීමක් සිදු නොවන බව කියා සිටියි. මුලතිව්, කන්කසන්තුරය ආදී ප්‍රදේශ රැසක තවදුරටත් හමුදාව අනවශ්‍ය ප්‍රමාණවලින් රැඳී සිටීම නිසා ජනතාව එය නොඉවසන බවද කියන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද ද්‍රවිඩ සන්ධානය කටයුතු කර තිබේ.

මේ අතර සති අන්තයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය වවුනියාවේදී විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. උතුරේ යළිත් හමුදාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම එහි මූලික අරමුණ වී තිබේ. උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරලීමට කොටි හිතවාදී හා විදේශගත ද්‍රවිඩ ඩයස්පෝරාව මුදල් ලබා දෙමින් සිටින බවද පැතිරෙන ආරංචි ගැන ද්‍රවිඩ දේශපාලන පක්ෂ තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. විපක්ෂ නායක ආර්. සම්පන්දන් සඳුදා නීතිපති ජයන්ත ජයසූරිය මුණ ගැසුණේය. ඒ දමිළ සිරකරුවන් නිදහස් කිරීමට ඇති බාධා සම්බන්ධව කතා කිරීම සඳහාය. ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරේ ජනතාවට දුන් පොරොන්දුවක් අනුව එම හමුව සිදු වී ඇත. නැඟෙනහිර කේන්ද්‍ර කර ගනිමින් ගොඩනඟන මුස්ලිම් සන්ධානය නියෝජනය කරන හසන් අලි, බසීර් සේගුදාවුද් ඇතුළු පිරිසක් බදාදා නැඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මුණ ගැසුණහ. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදීය. ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී මුස්ලිම් නායකයෝ ආණ්ඩුකාරවරයා දැනුවත් කළහ.

සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට ඉහතදී අනුමැතිය පළ කළේය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතෙහි ඊට අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබේ. 20 වැනි සංශෝධනය ලෙස එය ඉදිරිපත් කිරීමටද නියමිතය.

එහෙත් මේ පිළිබඳ විශේෂ වාර්තාවක් ප්‍රකට ජනාධිපති නීතිඥයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා දී තිබේ. නව පනත් කෙටුම්පතට 2/3 බහුතරයකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව ශේ‍ර්ෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බව එමඟින් පෙන්වා දී තිබේ.

ගෙවී ගිය පාර්ලිමේන්තු සතිය අවසානයේ සභා ගර්භයේ සිදුවූ කලබගෑනිය පිළිබඳ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූහ. පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ජවිපෙ නායකයෝද ඒ පිළිබඳ විශේෂ කතිකාවක නිරත වූහ. "ආණ්ඩුව වරාය විකුණන ගිවිසුම සම්බන්ධ ගැසට් එක සම්මත කර ගත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව නෙවෙයි. අගමැතිවරයා ලබා දුන්න හස්ත සංඥාව අනුව තමයි කතානායක කටයුතු කළේ. ආණ්ඩුව කටයුතු කරන්නේ මේ විදියට නම් ඒක කනගාටුදායක තත්ත්වයක්" අනුර කුමාර කීවේය. "ජනාධිපතිතුමා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පොරොන්දු වුණා ගිවිසුම අස්සන් කරන්නේ නැහැ සාකච්ඡාවක් දෙනවා කියලා. ඒත් ඊට පෙර ගිවිසුම අස්සන් කළා." විජිත හේරත් කීය. "ජනාධිපතිවරයා දැන් ඔප්පු කළ යුතුයි ඔහු මේ රටේ පාලකයාද එහෙම නැත්නම් රූකඩ පාලකයෙක්ද කියලා" ගිවිසුම අස්සන් කිරීම සම්බන්ධයෙන් අනුර ජනාධිපතිවරයාට දැඩි චෝදනාවක් කළේය. "හොර ගිවිසුම් අස්සන් කරන ගමන් අගමැතිට ප්‍රශංසා කරන්නත් දිනයක් වෙන් කර ගත්තා" වෛද්‍ය නලින්ද කීවේය. "අපි එදාට පාර්ලිමේන්තුව වර්ජනය කරමු" අනුර කළ යෝජනාව සෙසු අය අනුමත කළහ.

"රවි කරුණානායකගේ ප්‍රශ්නෙත් බරපතළයි. මොන තර්කය දැම්මත් හොරු කවුද කියලා ඔප්පු වෙලා ඉවරයි. එජාපයේ ඇතැම් කණ්ඩායම් රවිට විරුද්ධව ගන්න පියවර මොකද්ද කියලා බලාගෙන ඉන්නවා" විජිත හේරත් තවත් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. ඒ අනුව රවි කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ සහාය දැක්වීමටද තීරණය කළේය.

නිවාස යෝජනා ක්‍රමවලට හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ නම් තැබීමට නිවාස ඇමැති සජිත් කටයුතු කරයි. පසුගියදා තිස්සමහාරාමයේදී එවැනි රණවිරු ගම්මානයක් සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී සිටි සජිත්ට ගයන්තගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.

"පොලිසියේ අය වෙනුවෙන් තිස්සපුර නිවාස 40ක ගම්මානයකට මුල්ගල තියෙනවා" සජිත් කියද්දි, "මොකද්ද ගමට තිබ්බ නම?" යැයි ගයන්ත විමසා සිටියේය. "පොලිස් විශේෂ කාර්ය බළකායට කුඩා කණ්ඩායම් ප්‍රහාර ක්‍රමය හඳුන්වා දීලා නැඟෙනහිර කොටින්ට තර්ජනයක් වුණු උපාලි සහබන්දු නියෝජ්‍ය පොලිස්පතිතුමා නමින් අපි මේ ගම නම් කළා". සජිත් උත්තර දුන්නේය. 'උදා ගම්මාන හදන්න ඉඩම් නැතිනම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයිති ඉඩම් දෙන්න මම උදව් කරන්නම්" ගයන්ත කීවේය.
මේ අතර නිවාස අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරියට ඇමතුමක් දෙමින් ජානක පෙරේරා සහ උපාලි සහබන්දු රණවිරුවන් නමින් ඉදිවන ගම්මානවල ඔවුන්ගේ ප්‍රතිමා දෙකක් ඉදි කිරීමට පියවර ගන්නා ලෙසද සජිත් දැන්වීය. අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් එම ගම්මානවල නිවාස 40 බැගින් ඉදිකිරීමට පියවර ගෙන තිබිණි.

චෝදනා එල්ලවීම නිසා රවි කරුණානායකගේ විදේශ අමාත්‍ය ධුරය වෙනස් කරනු ඇති බවට මේ දිනවල විවිධ ආරංචි පැතිර යයි. ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. විශේෂයෙන් ඒ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ගෙන්ය. එජාපයේ මෛත්‍රිට හිතවත් අයද එම ඉල්ලීම කරති.

කොත්මලේ මහවැලි සෑයේ භාරකාරිත්වය නවීන් විසින් රාජ්‍ය නොවන සංවිධානයකට භාර කිරීමට යන බවට සති කිහිපයක් තිස්සේ කතාවක් පැතිර යයි. මේ නිසා නවීන්ට එරෙහිව භික්ෂුන් වහන්සේ පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වූහ. එහෙත් නවීන් තමන් කරන්නට සිතන දේ ගැන භික්ෂුන් වහන්සේ දැනුවත් කරමින් ඒ සඳහා උන් වහන්සේගේ අදහස් ලබා ගැනීමට සිතීය. මේ අනුව ඔහු පසුගියදා කොත්මලේ පන්සල් රැසකටම ගියේය. නවීන් සමඟ කතා කරමින් සිටි විහාරාධිපති හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ "ඇත්තද ඇමැතිතුමා ඔබතුමාට විදේශ ඇමැතිකම ලැබෙන්න යනව කියන්නෙ" යැයි විමසා සිටියහ. "එහෙම ඉල්ලීමක් නම් නැහැ. මේ වෙලාවේ විදේශ ඇමැතිකම වෙනස් කරාවි කියල මම නම් දන්නෙ නැහැ" නවීන් උත්තර දුන්නේ එලෙසින්ය.

හම්බන්තොට වරාය ගිවිසුම සුප්‍රකට ජූලි 29 අස්සන් කළේය. විවිධ පාර්ශ්ව වෙතින් විවේචන එල්ල වෙමින් තිබියදී එය අස්සන් කෙරුණේ සංශෝධන සිදු කිරීමකින්ද තොරවය. සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාද කොට ඊට අදාළ සංශෝධන සහිතව සෙනසුරාදා ගිවිසුම අස්සන් කළ හැකි බව රජයේ තීරණය වී තිබිණි.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදී සිදුවූ ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාව වනවිට විදුලිය විසන්ධි වී තිබිණි. වායුසමීකරණ පද්ධතිය පවා අක්‍රිය වීමෙන් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ අස්සන් කෙරුණද ඊට ආරාධිතයෝ රැසක්ම සහභාගි වීම ප්‍රතික්ෂේප කළහ. හිටපු වරාය ඇමැති අර්ජුනද ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ අයෙකි.

මේ අතර වරාය ගිවිසුම නීත්‍යනුකූල නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ තර්කයයි. ඒ පිළිබඳ ඔවුහු අධිකරණය හමුවට යෑමටද කටයුතු කරමින් සිටිති. ඒ අනුව ගිවිසුම අධ්‍යයනය කොට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් නීති විශාරදයන් පිරිසක් නම් කොට ඇත. එහි ප්‍රධානියා ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා නම්කොට තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහට පසුගිය සතිය කාර්ය බහුල සතියක් විය. ඒ සැමරුම් උත්සව සහ පින්කම් නිසාය. එහෙත් ඒ අතර ඔහු අරලියගහ මන්දිරයට පැමිණ රාජකාරි කටයුතුවලද නිරත විය. බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට පැමිණි අගමැතිවරයාට හිතවත් මැති ඇමැති පිරිසක් සමඟ කාලීන දේශපාලන සංසිද්ධි සම්බන්ධව කතාවක යෙදෙන්නට ද අවස්ථාව උදාවිය.

'හම්බන්තොට ගැන විවාද ඉල්ලලා දිනේෂ් හා බන්දුල ජනපතිට ලියුමක් යවල නේද?' හැරිසන් ඇසුවේය. 'පාර්ලිමේන්තුව මෙහෙයවන්නෙ කතානායක, අගමැතිත් සභානායක ඇතුළු පිරිසක් මිස ජනාධිපති නෙවෙයි. රටට පේන්නයි ජනාධිපතිට මේ ලියුම යවල තියෙන්නෙ' කිරිඇල්ල කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්