වෙන්දේසියෙන් පස්සේ...

  👤  4932 readers have read this article !
2017-08-03

1987 ජූලි 24 වැනිදා පාර්ලිමේන්තුව රත්වුණේ, අත්තනගල්ල ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි ලක්ෂ්මන් ජයකොඩි නැඟිිටලා අහපු ප්‍රශ්නයෙන්ය.
"රජය ඉන්දියාවත් සමඟ අස්සන් කරන ගිවිසුම ගැන වහාම පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුයි"

ඒ එක්කම නැඟී සිටියේ මහරගම මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනය. ඔහු පාර්ලිමේන්තුව හෙල්ලෙන්න කෑගසා ඉල්ලා සිටියේ "ඉන්දු-ලංකා ගිවිසුම ගැන වහා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි" කියාය. ඉන් නොනැවතී දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු දැඩි විරෝධයක් දැක්වූහ. පාර්ලිමේන්තුව අගෝස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් සම්මත කර ගත් ආණ්ඩුව "විපක්ෂයේ විරෝධය" වසා දැම්මේය.

1987 ජූලි 28 වැනිදා පෙරවරු 11.30 වනවිට 20,000කට අධික පිරිසක් කොටුව බෝගහ ඉදිරිපිට සත්‍යග්‍රහයක් පටන් ගත්තේය.
මවුබිම සුරැකීමේ සංවිධානය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, බෙංගමුවේ නාලක හිමි, විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, ගාමිණී ඊරියගොල්ල, අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන වැන්නෝ ඊට නායකත්වය දුන්හ. සෙත් පිරිත් හඬ මැද සුළු මොහොතකින් පොලිසිය හා ගැටුම පටන්ගත්තේ ඔය අතරේය. 21 දෙනෙක් වෙඩි වැදී එතැනම මැරී වැටුණාහ. රට පුරා පැවැති විරෝධතාවලදී පොලිසියේ හා හමුදා වෙඩිතැබීම්වලින් 132ක් මිය ගියහ.

ගිවිසුම් විරෝධීන්ට ආණ්ඩුව පැත්තෙන් උත්තර දෙන්න ඉදිරිපත් වුණේ ඒ වෙනකොට මුදල් ඇමැති වෙච්ච රොනී ද මෙල්ය.
"මේ ගිවිසුම මඟින් රටේ ස්වාධීනත්වයට හානියක් වන්නේ නෑ"

ඔහු කීවේ එහෙමය. පහුවදා ඒ කියන්නේ හරියටම 1987 ජූලි 29දා සුබ නැකැතින් ගිවිසුම අස්සන් තැබුවේය.
මේ ගිවිසුම නිසා රටේ ස්වාධීනත්වයට කිසි හානියක් නොවන බව කීව රොනීවත් ගිවිසුම දැක තිබුණාද කියා දන්නේ නැත. එවක ඉන්දීය තානාපති කාර්යාලයේ දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ හර්දීප් සින් පූරී ඉන්දියාවේ ඕනකමට හැදූ ගිවිසුමක් අපිට වාසි විදිහට හදනවා කියලා හිතනවා නම් ඒක විහිළුවක්ය.
"උත්තමාචාර පිළිගන්න ලංකාවේ හමුදාව ආසන්නයට යන්න එපා" කියා රජීව්ට ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත් මුල සිටම අවධාරණය කොට තිබුණේ මේ ගිවිසුමේ "තරම" කාටත් වඩා ඔහු දන්නා නිසාය. අන්තිමට කී දේ නෑසූ රජීව් අගමැතිතුමා විජිත රෝහණ සෙබළාගේ රයිෆල් ප්‍රහාරයට ලක්වුණේ ජීවිත කාලයටම එක ඇලයකට හැරී නිදාගන්නට වෙන තැනට පත්වෙමින්ය.

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ඉන්දීය සාම හමුදාව පලාලි කඳවුර වෙත ගොඩබසින තුරු එහි අණදෙන නිලධාරියාද මේ ගැන දැන සිටියේ නැත. ඉන්දීය හමුදාව එනකොට මල්මාලා දමා පිළිගත් සමහරු සතිය දෙක යනකොට "තරම" තේරුම් ගත්හ. ඒ ගිවිසුම නිසා ලංකාව ලේ වැගිරෙන බිමක් විය. උතුර-දකුණ ගිනියම් විය. තැන තැන ඇටසැකිලි මළමිනී පිරුණු රටක් බිහිවිය. තරුණයන් හැටදහසක් එයින් ඝාතනය විය.

ගිවිසුම අස්සන් කරන වකවානුවේ අගමැති ප්‍රේමදාස හිටියේ එතෙරය. ඔහු මීට ප්‍රසාදයක් පෑවේ නැත. ලලිත් ඇතුලත්මුදලි හිටියේත් නිහඬ පිළිවෙතකය. ක්‍රියාකාරීව සහාය දුන්නේ ගාමිණී දිසානායකය. අන්තිමට ගිවිසුම අස්සන් කොට ආණ්ඩුව "හිතුවක්කාර" ක්‍රියාව කළේය.
වැඩේ අසාර්ථක වූ තරම පස්සේ කාලෙක කීවේ ඉන්දීය යුද විචාරකයකු වන කර්නල් ආර්. හරිහරන්ය.

"ඉන්දියාවේ බල පරාක්‍රමය විදහා පෑමේ මෙම යුදමය මැදිහත්වීම ජයග්‍රහණයෙන් නිමා වූ බංග්ලාදේශයේ යුදමය මැදිහත්වීමට කිසිසේත් සම කළ නොහැකිය. බංග්ලාදේශයේදී ඉන්දීය හමුදාව පාකිස්තාන හමුදාව සමඟ පැහැදිලි සංග්‍රාමයකට මුහුණ දුන්නා. එහෙත් ශ්‍රී ලංකාවේදී ඉන්දීය සාම සාධක හමුදාවට ගරිල්ලා සටන්කරුවන් සමඟ යුද වැදීමට සිදුවුණා. ඉන්දියාව නැඟෙනහිර පාකිස්තානයට මැදිහත්වූයේ ඉන්දීය සම්භවයක් සහිත බෙංගාලිවරුන් සඳහා දේශයක් ගොඩනැඟීමටයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී සාම සාධක මෙහෙවර දියත් කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙනුයි.

අවසානයේ ශේෂ වූයේ ජරාජීර්ණ රටක් පමණි.
ඊට අවුරුදු 30කට පස්සේ ඒ දවසේම ඉතිහාසය ආපසු කැරකුණේය.
ඒ ලංකා-චීන ගිවිසුමෙන්ය.

හරියටම ඉන්දු - ලංකා ගිවිසුමට වසර 30ක් පිරෙන දා, චීන-ලංකා ගිවිසුම අස්සන් කළේය. සමහරු කියන්නේ නැකැත පවා සමානයි කියලාය. එදා ජේ.ආර්. රටේ ජනාධිපතිය. අද ඔහුගේ බෑනා වන රනිල් රටේ අගමැතිය. එදා අගමැති ප්‍රේමදාස ජනපති ජේ. ආර්.ගේ ගිවිසුමට ලොකු තල්ලුවක් නොදුන්නේය. මෙදා සිරිසේන ජනාධිපතිවරයාද මීට පූර්ණ සහාය දුන්නා කියා හිතන්නට අමාරුය. එදා විෂය භාර (ආරක්ෂක) ඇමැති ලලිත් ඇතුලත්මුදලි ඒ ගිවිසුමට ප්‍රසාදයක් නොදැක්වීය. මෙදා විෂය භාර මහින්ද සමරසිංහ මේ ගිවිසුමට පූර්ණ ප්‍රසාදයකින් ඉන්න බවක් පේන්නට නැත. එදාද ගිවිසුමට කලින් දා පාර්ලිමේන්තුව ඇවිළුණේය. මෙදාද එහෙමම විය. එදා පාර්ලිමේන්තුවේ ලොකුම විරෝධය කළේ දිනේෂ් ගුණවර්ධනය. මෙදාද එහෙම කළේ දිනේෂ් ගුණවර්ධනය. එදා ඉන්දු-ලංකා ගිවිසුම ගැන බොහෝ දෙනා නිසි අවබෝධයකින් නොසිටි අතර මෙදාද ඒක එහෙමම විය. එදා ගිවිසුම ඉන්දියාවට ඕන හැටියට සැකසුණු අතර මෙදා ගිවිසුම චීනෙට ඕන හැටියට සකස් විය.
යහපාලන ආණ්ඩුවේ අය-වැය යෝජනාවලින් පෙනෙන්නේ ඔවුන් කොළඹ හිල්ටන් හෝටලය වැනි විශේෂ උපාය මාර්ගික වැදගත්කමක් නැති රජයට අයත් ආයතනවල සිට උපාය මාර්ගික වැදගත්කමක් ඇති නොරොච්චෝලේ බලාගාරය වැනි ආයතන දක්වා සියල්ල විකිණීමට සූදානම් වෙමින් සිටින බවය. හම්බන්තොට වරාය ආරම්භයක් පමණි. මීළඟට විකුණන්නේ මත්තල ගුවන් තොටුපළ බව අගමැතිවරයා දැනටම පවසා ඇත. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයත්, දක්ෂිණ අධිවේගී මාර්ගයත්, ජලාපවහන මණ්ඩලයත්, විදුලිබල මණ්ඩලයත් පෞද්ගලීකරණයට නැතිනම් විදේශීයකරණයට නියමිත ආයතන අතර වේ.

මේ ආකාරයට රජයට අයත් දේපළ විකිණීම සාධාරණීකරණය කරනු පිණිස සිතාමතාම ඒවා පාඩු ලබන තැනට මේ ආණ්ඩුව වැඩ සලස්වන බවද පෙනේ. හම්බන්තොට වරායේ නැව්වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය ඔවුන් නවතා දැමුවේ මේ සඳහාය.
හිටපු ජනාධිපතිවරයා නිවේදනය කරන්නේ එහෙමය.

සමහරු කියන්නේ සිද්ධ වෙලා තියෙන්නේ වෙන්දේසියක් කියලාය. ගිවිසුමට අනුව චයිනා මර්චන්ට් සමාගම වසර 99කට ආණ්ඩුවට ලබාදෙන්නේ ඩොලර් මිලියන 1,888ක ආදායමක් බවත් මේ වරාය ගැනීමට තරග කළ චයිනා හාබර් සමාගම වසර 50කට ඩොලර් මිලියන 3,281ක් ගෙවන්නට සූදානම්ව සිටිය බවත් පැවැසේ. එහෙම බැලුවම වසර 99ට නම් දළ වශයෙන් ඩොලර් මිලියන 6,560ක ආදායමක් හිමිවේ. චයිනා හාබර් සමාගම දෙන මුදලෙන් තුනෙන් එකක්වත් දෙන්නේ නැති චයිනා මර්චන්ට් සමාගමට වරාය දුන්නේ ඇයිද කියා දන්නේ නැත.

එදා කලාපීය බලවතා ඉන්දියාවය. ඉන්දියාව නාඩගම නැටුවේ ඔවුන්ට ඕනෑ හැටියටය. මෙදා ආසියාතික බලවතා චීනයය. චීනය නටන්නේ ඔවුන්ට ඕනෑ නාඩගමය.
ඒ දවස්වල කෑ ගැසුවේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැනය. අද කතා කරන්නේ චීන ව්‍යාප්තවාදය ගැනය.

මේ වෙනකොට චීනය තායිලන්තය හරහා ඇළ මාර්ගයක් කපමින් සිටින්නේ අනාගතයේ හම්බන්තොට වරාය තමන්ගේ මායිමට ගන්නට බව බොහෝදෙනා කියයි.
"මෙහෙම ගියාම කොළඹ වරාය නට්ටං වෙනවා. මොකද චීන්නු හම්බන්තොට වරාය අල්ලගෙන ලෝකෙම වෙළෙද අධිකාරිය තමන්ට ගන්නවා"
මෙහෙම කතා දැන් සුලබය.

ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට වරාය හදනකොට කීවේ පුදුම කතාය.
"හම්බන්තොට වරායේ ගලක්"
"කෝ එනවා කීව නැව්"
"ලෝකේ ලොකුම පිහිනුම් තටාකය"

මෙහෙම කරපු අපහාස උපහාසවලට පස්සේ ඊනියා යහපාලන අණ්ඩුව ඇවිත් කරන්නේ ඒක විකුණන එකය. තමන් නරකයි කීව දෙයක් ලැජ්ජාවක් නැතිව තියා ගන්නට බැරි හේතුව නිසාම මේ අය ඒක විකුණන බව මිනිස්සු කියන්නේ තරහින්ය. විපක්ෂ දේශපාලන වේදිකාවේදී උග්‍ර විවේචනයට ලක්වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියය. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදීද, එක්සත් ජාතික පක්ෂයේ, ජාතික හෙළ උරුමයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලදීද එය පට්ටා ගසනු ලැබූ අතර යහපාලනය ආවම කළේ ඒක එහෙමම කරගෙන යන එකය.
"හැබැයි වරාය වික්කේ ඇයි..?"

කෙනෙක් එහෙම අහන්නට බැරි නැත.
"රාජපක්ෂලා එක්ක ඊරිසියාවට"
සරලම උත්තරේ ඒකය.
ඉන්දියාවේ වල්ලපඩම් නමැති වරාය 2011දී අලුතෙන් ඉදිකළ අතර එය ආරම්භ වී අවුරුදු 2ක් යනතුරු එකදු නැවක් එහි ආවේ නැත. හැබැයි 2014 අප්‍රේල් මාසය වෙද්දී පමණක් මාගම්පුර වරායට පැමිණි නෞකා ගණන 204ක්ය. 2014 වර්ෂය වෙද්දී මාගම්පුර වරාය ඉපයූ ආදායම රුපියල් මිලියන 5396ක්ය. 2014 වර්ෂයේදී ප්‍රතිඅපනයනය කිරීම් 151,160ක් සිදුකර ඇති අතර 2015දී ප්‍රතිඅපනයනය කිරීම් ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට සැලසුම් වී තිබිණි. මාගම්පුර වරාය 2014 වර්ෂයේදී නැව් 134කට ටොන් 40,000ක් පමණ ඉන්ධන ලබාදී ඇත. වාහන ප්‍රති අපනයනයෙන් පමණක් 2013 දී ආදායම රු. බිලියන 0.5 කුත්, 2014 වර්ෂයේදී ආදායම රු. බිලියන 1කුත් 2015දී ඉලක්කගත ආදායම රු. බිලියන 5කුත් ලෙස ගණනය කර තිබිණි.

කොළඹ වරාය ජාත්‍යන්තර මුහුදු මාර්ගයට වඩා බෙහෙවින් අෑතින් පිහිටි අතර නැඟෙනහිර දෙසින් එන නැවකට ශ්‍රී ලංකාවට කිසියම් සැපයුමක් ලබාදීම සඳහා කොළඹ වරායට පිවිසෙද්දී වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. ත්‍රිකුණාමලය වරාය ගත්තද එයට බටහිර දෙසින් එන නැව් සඳහා විශාල දුරක් යෑමට සිදුවෙයි. ඒ අනුව ස්ථානය අතින් ගත් කල ජාත්‍යන්තර වරායකට ප්‍රශස්තම පිහිටීම වන්නේ හම්බන්තොටය. දැන් විපක්ෂය කියන විදියට "වෙන්දේසි" කරලා තියෙන්නේ මහා සම්පතක්ය.
පුදුමය වෙන්නේ ඉතිහාසයේ සිදුවූ දේවල් යළි එලෙසම සිදුවීමය.
"මහින්ද හැදුවා මෛත්‍රි විවෘත කළා... රනිල් වික්කා"

එහෙම ලියූ සටහනක් මේ දිනවල සමාජ ජාල පුරා සැරි සරන්නේය.
"මේ ආණ්ඩුවේ වෙන්දේසිය ඉවර නෑ. ඊළඟට මත්තල, ඊට පස්සේ සූරියවැව ක්‍රීඩාංගණය. ඊට පස්සේ මුහුද. ඊට පස්සේ මිනිස්සු ටික"
කවුදෝ එහෙම කියා තිබුණේය.

ඉන්දියන් සාගරයේ "ලොකු අයියා" වෙන්න දඟලන චීනය ලංකාවේ වරාය ගත්තම ඉන්දියාව නිකන් ඉඳියි කියලා හිතනවා නම් ඒක විහිළුවක්ය. එහෙම බැලුවම ඉන්දියාවට අපි ගෙවන්න වෙන වන්දිය තවමත් කියන්නට දන්නේ නැත. සමහරු කියන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කියලාය. ඔය අතර සේතු සමුද්‍රම් නැවත කරළියට එන්නට බැරි නැත. මෙම ව්‍යාපෘතියේ අරමුණ පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැව් මාර්ගය පුළුල් කොට තවත් ගැඹුරු කිරීමෙන් ප්‍රමාණයෙන් විශාල වාණිජ නැව්වලට ගමන් කිරීමට හැකිවන පරිදි සැකසීමය. ඒ නැව් යන්නේ ඉන්දියාව හරහාය.

එහෙම වුණොත් චීනයයි ඉන්දියාවයි දෙකම ඉන්දියන් සාගරය හොල්ලනු ඇත. ඒ හෙල්ලීමෙන් කැලඹෙන්නේ බිත්තරයක් තරම් වෙච්ච "ශ්‍රී ලංකාව" ය. ඉන්දියාව පිහිටා තිබුණේ ජාත්‍යන්තර බටහිර නැඟෙනහිර වෙළෙඳ නැව් මාර්ගයෙන් බොහෝ අෑතිනි. එබැවින් එහි යන - එන නෞකා ඉන්දීය වරායවලට නොඑයි. මේ තත්ත්වය නිසා සිය නාවික ප්‍රවාහන කටයුතු ලංකාවේ කොළඹ වරාය මඟින් ඉටුකර ගැනීමට ඔවුන්ට සිදුවී තිබේ. ඉන්දීය නැව් බඩුවලින් සියයට 80ක්ම මෙහෙයවන්නේ කොළඹ වරාය ඔස්සේය. ඉතිරි සියයට 20 සිංගප්පූරු වරාය ඔස්සේය. ඉතිං සේතු සමුද්‍රම් ආවොත් දෙයියන්ගේම පිහිටය. හම්බන්තොට තමන්ගේ ප්‍රතිවාදියාට දීමෙන් "කම්පා වී" සිටින ඉන්දියාව ඉස්සරහට මොනවා කරාවිද කියා දන්නේ දෙවියන් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්