බැඳුම්කර කොමිසම සහ ආණ්ඩුවේ ආයුෂ

  👤  5463 readers have read this article !
2017-07-30

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ විමර්ශන කරන ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට පසුගියදා ජනාධිපතිවරයා කටයුතු කළේය. එහි සාක්ෂි විමසීම් මේ වන විට නව මානයන්ට ගමන් කරමින් ඇත. බැඳුම්කර ගනුදෙනු සිදුවන විට මුදල් ඇමැති ධුරය දැරූ රවි කරුණායක සම්බන්ධයෙන් සිදුවූ හෙළිදරව්ව මෙතෙක් සිදු කෙරුණු සුවිශේෂී

අනාවරණයක් විය. ඒ "ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස්" ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා එම්.ඒ. විනෝදනී ලබාදුන් සාක්ෂි සමඟින්ය. ඇයට අයත් කොල්ලුපිටියේ පිහිටි "මොනැක් එපාර්මන්ට්"හි වර්ග අඩි 4000ක නිවෙස මාස 6ක කුලියට මුදල් ඇමැති රවිට දුන් බවත් ඒ සඳහා වූ රුපියල් මිලියන 10.2 මුදල පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය ගෙවූ බවත් ඇය සාක්ෂි සහිතව
අනාවරණය කළාය.

මේ අනාවරණය මෙරට දේශපාලන කේෂ්ත්‍ර සසල කරමින් පවතින්නකි. මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මැදිහත්වීමට අනුව පුවත්පත් පටන් ගැනීම, නවීන මුද්‍රණ යන්ත්‍ර ආනයනය කිරීමට බදු පහසුකම් සැලසුවේ කෙසේද යන්න ආදී කරුණුද දැන් එකිනෙක අනාවරණය වෙමින් පවතී.

මේ අතර බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට පසුගිය 26 වැනිදා දෙවැනි දිනටත් කැ¼දවූ රවි කරුණානායක ඊට සහභාගී නොවී කල් ගෙන ඇත. ඒත් ඔහුට ඊට නොගොසින් සිටීමට හැකියාවක් නොමැත.
රවිගේ කැබිනට් පත්‍රිකා 3 ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේද මේ හෙළිදරව්වෙන් අනතුරුවයි. රවි සම්බන්ධයෙන් ආණ්ඩුව තුළින්ම ගොඩ නැඟෙමින් පවතින විරෝධය ඊට කදිම නිදසුනක් බවට පත්විය.

මේ සටහන තබන අවස්ථාව වන විටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ තවත් මාස තුනකින් පමණ ජනාධිපති කොමිසමේ වාර්තාව එළිදක්වන විට දැඩි ක්‍රියාමාර්ග කිහිපයකට යොමු වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවයි. මීට සති කිහිපයකට පෙර ආණ්ඩුවේ සිටින ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් පිරිසකගෙන් දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. එසේ ඔවුන් ආණ්ඩුව තුළ තබා ගැනීමට උත්සාහ කරන්නේ අය _ වැය සම්මත කර ගැනීමට බවට මුලදී ආරංචි පැතිර ගියද දැන් හෙළි වෙමින් පවතින්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වන තුරු එසේ රැඳීය සිටිය යුතු බවට වන අදහසයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ බැඳුම්කර කොමිසමේ හෙළිදරවු වූ කරුණු අනුව අගමැති රනිල්ටත්, විදේශ ඇමැති රවිටත් විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටියි. එම විශ්වාසභංගයේදී ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ල.නි.ප. අය බහුතරය කෙසේ
කටයුතු කරාවිද යන්න පිළිබ¼දව මේ වන විටත් කතා බහට ලක් වෙමින් පවතින මාතෘකාවක් වී තිබේ.

රවි කරුණානායක ගැන සිදුවූ මේ හෙළිදරව්වත් සමඟ එ.ජා.ප.යේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇත්තේද එම සිදුවීමයි. "ආණ්ඩුවත් කෑවා අපිත් කෑවා" අපි කොහොමද ජනතාව අතරට යන්නේ" ඔවුහු කතා කරන්නට වූහ.

මේ අතර අඟහරුවාදා සමඟ ඇමැති නවීන් ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණි. ආණ්ඩුවේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ විය. රවි සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
මෙහිදී පළමුව සාකච්ඡාවට ගැනුණේ හම්බන්තොට වරාය චීනයේ චයිනා හාර්බර් හෝල්ඩින්ස් සමාගමට අවුරුදු 99කට බදු දීමේ ගිවිසුම සම්බන්ධයෙන්ය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වරාය විෂය භාරව සිටින මහින්ද සමරසිංහ ඉදිරිපත් කොට තිබිණි. "හම්බන්තොට වරාය වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 9100ක් වැය වෙනවා. දැනටමත් මිලියන 46,000ක් ණය ගෙවා තිබෙනවා. මේ ආයෝජනයෙන් අපට ඩොලර් මිලියන 1100ක් ලැබෙනවා" ඔහු දීර්ඝ විස්තරයක් කළේය. "ඒත් මේ බදු දීමෙන් ගැටලු රැසක් මතු වෙනවා. අවුරුදු 99ක් කියන්නේ පරම්පරා ගණනාවක්." බදු දීම ගැන ආචාර්ය විජයදාස එලෙස විරෝධයක් පළ කරද්දී "විපක්ෂයට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්න එපා. මේවා හෙට දවසෙ පුවත්පත්වල පළ වෙන්න පුළුවන්. රජයට විරුද්ධව මහජන බලයක් ඇති වෙනවා" ආචාර්ය අමුණුගම ඔහුට විරෝධය පළ කළේය.
"චීන සමාගමකට වරාය දිය යුතු නැහැ. මේ නිසා මානව හිමිකම් ගැටලුවක් විය හැකියි." චම්පික තවත් කරුණක් පෙන්වා දෙමින් ගිවිසුමට විරෝධය පළ කළේය. "එහෙම මානව හිමිකම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මානව අයිතීන්
ගැන මාත් හොඳට දන්නවා" මහින්ද සමරසිංහ කීය. "නැත්තේ මොකද රටවල් පවා තරහ වෙන්න පුළුවන්." චම්පික යළිත් කියද්දී " ඉන්දියාවෙන් මුදල් ඉල්ලුවම නෑ කිව්වා. එම නිසයි චීන ආයෝජකයන් සහභාගි කර ගත්තේ" මහින්ද යළිත් උත්තර දුන්නේය. "ඇමෙරිකාවේ ඇතැම් නගර හදන්නෙත් චීනය. ඒ රට මේ වැඩේට සම්බන්ධ කර ගත්තට ප්‍රශ්නයක් නැහැ. රාජිතද කීවේය.

"පසුගිය රජය ලබා ගෙන තිබෙන ණය ගෙවන්න විශාල මුදලක් අවශ්‍යයි. වරාය බදු දීමෙන් ඩො. බි. 1.1ක් රජයට ලැබෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම්දීම නිසයි පසුගිය දවස්වල ආධාර ලැබුණේ. මෙය සමහරුන්ට තේරෙන්නේ නැහැ" අගමැති වික්‍රමසිංහ තවත් කරුණක් අනාවරණය කළේය. "මෙහි තිබුණු ගැටලු නිරාකරණය වූ නිසයි අනුමැතිය දුන්නේ" ජනාධිපති මෛත්‍රි කියා සිටියේය.

විදේශ අමැති රවි කැබිනට් පත්‍රිකා 3ක් මෙදින ඉදිරිපත් කොට තිබිණි. ඉන් පළමු වැන්න වූයේ විසුම්පාය ඔහුගේ නිල නිවෙස ලෙස ලබා ගැනීමේ යෝජනාවයි. එහෙත් ඊට ජනාධිපති ඇතුළු පිරිසෙන් විරෝධතා ඉදිරිපත් වන්නට විය. "ඕකෙ හිටපු අනුර, දි.මු, ජී. එල්. වගේ අය අද දේශපාලනයෙත් නැහැ. ඔබතුමාටත් එහෙම වෙනවාට කැමැති නැහැ. "ජනපති මෛත්‍රි ඇඟට පතට නොදැනෙන්නට මෙන් කීවේය. "ඔබතුමා තවදුරටත් දේශපාලනයේ ඉන්න ඕන නිසයි මේකට එන්න එපා කියන්නේ" දයාසිරි ද කීවේය. එහෙත් චම්පික ඊට වඩා තදින් කතා කළේය. "මේක විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණි විට දෙන ස්ථානයක්. දැනට මේක සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. නිල නිවාසයකට දෙන්න බැහැ." ඔහු කීවේය. ඒ ආකාරයට අදහස් ඉදිරිපත් වීම නිසා රවිගේ පළමු කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප විය. "ඕකට කවුරු හරි යනවා නම් බහිරව පූජාවක් තියන්න වේවි!" ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාව ඉවත් කරමින් කීවේය.
රවිගේ දෙවැනි කැබිනට් පත්‍රිකාව වූයේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු පත් කර ගැනීම සම්බන්ධයෙනි. ඒ මාසයකට රුපියල් දෙලක්ෂ පනස් දහසක දීමනාවක්ද ගෙවීමේ එකඟතාව මතයි. "කාර්ය මණ්ඩල ප්‍රධානීන් පත් කරන්නේ ජනාධිපතිටත්, අගමැතිටත් විතරයි. මෙහෙම ගියොත් අනෙක් අමැතිවරුන්ටත් කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඉල්ලාවි" ජනාධිපති මෛත්‍රි කීවේය. එසේ කියත්ම ඇමැතිවරු බොහෝ දෙනෙක් දෑත් ඔසවා තමන්ටත් කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඉල්ලා සිටින්නට වූහ. "ජනාධිපති උපදේශකටත් ගෙවන්නෙ රුපියල් හැත්තෑ පන්දහසක් වගේ මුදලක්. ඕන නම් උපදේශක කෙනෙක් පත් කර ගත හැකියි" ජනාධිපතිවරයා යළිත් රවිට කීවේය.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන සාගල "මම නම් වැටුප් දීමනා ගන්නේ නෑ" යැයි කීවේය. ඊට එක් කරන්නට වචනයක් මංගලටද තිබිණි. "ඒ වුණාට ඔබතුමාට කාමරයක් තියෙනවා" ඔහු කියත්ම සියලු දෙනා උස් හ¾ඩින් සිනාසෙන්නට වූහ.
රවිගේ තෙවැනි යෝජනාව වූයේ නවදිල්ලියේ පිහිටි වන්දනා බෞද්ධ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන්ය. එය 1960දී ජවහල්ලාල් නේරුතුමා පරිත්‍යාග කරන ලද්දකි. නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් එහි පාලන කටයුතු සිදු කෙරෙයි. එය බානගල උපතිස්ස හිමිගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහ බෝධි සංගමයට පැවැරීම සඳහා වූ යෝජනාවක් රවි ඉදිරිපත් කොට තිබිණි. ඒත් ඊට ආචාර්ය විජයදාස, එස්. බී. ඇතුළු පිරිසක් වෙනස් අදහස් ඉදිරිපත් කිරීම නිසා එය ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා බව ජනාධිපති මෛත්‍රි ප්‍රකාශ කළේය. ඒ ආකාරයට රවිගේ කැබිනට් පත්‍රිකා 3ම එකම දිනකදී ප්‍රතික්ෂේප කෙරිණි.
ගම්මිරිස් ආනයනය කොට ප්‍රතිඅපනයනය කිරීම දිගටම සිදු කිරීමෙන් වාසියක් ලැබෙන බව දයා ගමගේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළේය. එහෙත් මේ නිසා දේශීය ගම්මිරිස් ගොවීන් නිසි මිලක් නොමැතිව අසාධාරණයට
පත්වී සිටින බව විජයමුණි කියා සිටියේය. අවසානයේ මේ කතා බහට මැදිහත්වීමට ජනපති මෛත්‍රිට සිදුවිය. "මොනම හේතුවක් නිසාවත් ගම්මිරිස් ප්‍රතිඅපනයනයට ගෙන්නන්න එපා. මේක නවත්වන්න" ජනපති මෛත්‍රි
අවධාරණය කළේය.

නිමල් සිරිපාල දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරිවරයකු පත් කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවේය. එහෙත් ඊට රවි අදහස් දක්වන්නට වූයෙන් ඇමැතිවරු අතර කසුකුසුවක් ඇතිවිය. "දැන් සිටින සාමාන්‍යාධිකාරිවරයාට ගෞරවයෙන් ඉවත් වෙන්න ඉඩ දෙන්න" රවි කීවේය. "මෙයා හැම දේකටම හොට දානවා. වැඩකට වැඩකුත් නැහැ" ඇමතිවරු එකිනෙකාට පවසන්නට වූහ.

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අගෝස්තු 1දා සිට ශික්ෂණ රෝහලක් ලෙස රජය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ විය. ඒ වෛද්‍ය යූ. ඒ. අජිත් මෙන්ඩිස්ගේ සහභාගිත්වය යටතේය. විජය සමරසේකර, ප්‍රියන්ත අතපත්තු, දිනේෂ්
වීරක්කොඩි, සරත් ලියනගේ, කපිල රණසිංහ, මහාචාර්ය සරත් විජේසූරිය, ලලිත් ද සිල්වා, මහාචාර්ය අමරතුංග, බන්දුල සමරසිංහ, එස්. පින්තු, දීපාල් වීරසිංහ, ජයසුන්දර බණ්ඩාර හා සයිටම් රෝහලේ පීඨාධිපති පුණ්‍යකීර්ති යන අය එහි සෙසු සාමාජිකයෝ ලෙස නම් කරනු ලැබූහ.

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වෙත්ම ජනාධිපති මෛත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහගේ 40 වසරක දේශපාලන දිවියට සුබ පතමින් කේක් ගෙඩියක් කැපුවේය. අනතුරුව එහි කෑල්ලක් කවමින් අගමැතිවරයාට තවත් දිගු කලක් රටට සේවය කිරීමට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ මහජන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවූයේය. එහිදි මහින්දට කාලීන දේශපාලන හා සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක්ම විවිධ පුද්ගලයන් යොමු කළහ. ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් සේවකයන්ට ආරක්ෂ අංශ කළ පහරදීම හෙළා දකින බවද මහින්ද කියා සිටියේය. 2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ මහින්දට තවත් ප්‍රශ්නයක් යොමු විය. "වර්තමානයේ තමන් ඇතුළු කණ්ඩායම දිනවීමට උත්සාහ ගනිමින් සිටින්නේ වැඩපිළිවෙළක් මිස පුද්ගලයෙක් නෙවෙයි. සුදුසු අවස්ථාවේ සුදුසු තීරණ ගන්නවා" මහින්ද දී තිබුණේ එවැනි පිළිතුරකි.

රටේ තිබෙන බැරෑරුම් ප්‍රශ්න හමුවේ ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සූදානම් දැයි මෙහිදී මහින්දට තවත් ප්‍රශ්නයක් යොමු විය. ඔහු ඊට පිළිතුරු දුන්නේ "ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡාවකට සූදානම්" යැයි සඳහන් කරමින්ය.
රාජපක්ෂ කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවස්ථාවක් නැත්දැයි යොමු කළ තවත් පැනයකට මහින්දගේ පිළිතුර වූයේ 'නායකත්වය ජනතාව තීන්දු කරන්නක්' බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ය. හම්බන්තොට වරාය චීන සමාගමකට අවුරුදු 99කට බදු දීමට අදාළ ගිවිසුම එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ගැන එහි මූලික අවධානයක් යොමු වී තිබිණි.
"පසුගිය කාලේ ජනාධිපතියි අගමැතියි දෙන්නම කිව්වේ මේකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා කියලා. ඒත් දැන් පාර්ලිමේන්තුවටත් හොරෙන් කැබිනට් අනුමැතිය අරගෙන." නාමල් තමන්ට ලැබුණු අලුත්ම ආරංචිය පිළිබඳ කියා සිටියේය. "මේක නම් ජාතික අපරාධයක්. කොහොම හරි මේ උත්සාහය නතර කරන්න ඕන. අපි කවදාවත් ජාතික සම්පත් විකුණලා නැහැ. අපි හැමදාම කළේ විකුණලා තියෙන ජාතික සම්පතුත් ආපසු ජාතියට අරගෙන දෙන එක" ඊට මහින්දද සිය අදහස් එක් කළේය.
"ආණ්ඩුව හැම දෙයක්ම මහින්ද මහත්තයාගේ කර උඩටයි දාන්නේ. අපිට බැන බැන ජාතිය වළපල්ලට යවන එක තමයි දැන් ආණ්ඩුවේ කාර්ය වෙලා තියෙන්නේ" එසේ කීවේ ලොකුගේය. "මේ කියන එකක්වත් පිළිගන්න පුළුවන් චෝදනා නෙවෙයි. අපිට බොරු චෝදනා කරන ගමන් ජනතාවගේ ඇස් වහලා තමන්ගේ පටු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමයි ආණ්ඩුවේ අරමුණ." නාමල් යළිත් කීවේය. "පළාත් පාලන මැතිවරණ වගේම පළාත් සභාත් කල්දමා තිබෙනවා" මැතිවරණ කල් දමලා තමන්ගේ දේශපාලන සතුරන් අඩපණ කරලා මැතිවරණ දිනාගන්නයි ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ" දිනේෂ් පෙන්වා දුන්නේය. "ඡන්දය කිව්ව ගමන් මේ ජනාධිපතිගෙයි අගමැතිගෙයි කකුල් වෙවුලනවා. දෙන්නම දන්නවා මොන මැතිවරණයක් තිබ්බත් ජනතාව එයාලගේ පැත්තෙ නැහැ කියලා" ප්‍රසන්න කීවේය.

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුතුවට සම්බන්ධව හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ නම බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේදී හෙළි වූ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගනු ලැබූහ. "මේ වෙන කොට මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සියලු හොර ගනුදෙනු හෙළි වෙමින් තිබෙනවා. මේකට හිටපු මුදල් ඇමැති සෘජු ලෙස වගකිව යුතුයි." බන්දුල පෙන්වා දුන්නේය. "මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා හිටපු මුදල් ඇමැතිවරයා කෝටි ගණන් වටිනා ගෙවල් ගන්නේ කොහොමද කියලා. එදා මම තීරණය කළා නඩු දානවා කියලා. දැන් මමද බොරු කියන්නේ රවිද බොරු කියන්නේ කියලා කොමිසමේදී හෙළිවෙයිනේ." මහින්දානන්ද කීවේය.
"හරි නම් මේ මුදල් ඇමැති ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස්වෙලා රටින් පිටවුණොත් මෙලොව වශයෙන් කීර්තියයි පරලොව වශයෙන් පින්කමයි" බන්දුල කියත්ම සියලු දෙනාම සිනා සෙන්නට වූහ. "හැබැයි මේ මගඩියට රවි විතරක් නෙවෙයි මෛත්‍රියි රනිලුයි දෙන්නත් වග කියන්න ඕන. මේ ආණ්ඩුවම මේකට වග කියන්න ඕන." මහින්ද අවධාරණය කරද්දී ප්‍රසන්න කීවේ "මෛත්‍රියි රනිලුයි මේක රවිගේ ඇඟේ ගහලා බේරෙන්න හදනවා. මේවට ඉඩ තියන්න බැහැ. අපි මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන" ප්‍රසන්න කීවේය.

පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යෝජනා ගෙන ඒමටද මෙහිදී මන්ත්‍රි කණ්ඩායම තීරණය කළහ.
ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන බව සති දෙකකට ඉහතදී ප්‍රකාශ කොට තිබූ රොෂාන් රණසිංහද එම සාකච්ඡාවට සහභාගි වී සිටියේය.
බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ සම්බන්ධීකරණ කාර්යාලයේදී හිටපු ජනපති මහින්ද සමඟ වෘත්තීය සමිති සංගම්
නියෝජිත හමුවක් බ්‍රහස්පතින්දා සවස පැවැත්විණි. ජාතික සම්පත් විකිණීමේ රජයේ වැඩපිළිවෙළට විරුද්ධවත් මර්දනයට විරුද්ධවත් වෘත්තීය සමිති ලෙස ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වීමේ අවශ්‍යතාව එහිදී දැඩිව අවධාරණය
කෙරිණි. ඒ අනුව අගෝස්තු 2දා පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණයට වෘත්තීය සමිති ලෙස සහභාගි වී සහාය පළ කිරීමට එහිදී කතිකා කරගනු ලැබූහ. "ඔයගොල්ලෝ කරන ඕනෑම සටනකට මම නායකත්වය දෙනවා" සාකච්ඡාව අවසානයේදී මහින්ද කීවේය.

අට වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කරු ජයසූරිය වැඩ භාර ගත්තේ 2015 සැප්තැම්බර් පළමු වැනිදාය. ඔහු එදින පාර්ලිමේන්තුවේදී පොරොන්දුවක් දෙමින් දීර්ඝ සේවාව කාලයක් සම්පූර්ණකොට ඇති පාර්ලිමේන්තු
කාර්ය මණ්ඩලය අගයමින් උපහාර කරන බව කීවේය. පොරොන්දු වූ පරිදි එම උපහාර උත්සවය සඳුදා බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී සංවිධානය කෙරිණි. උත්සවය අවසන් වනතුරුම එහි රැඳී සිටි කතානායකවරයා පාර්ලිමේන්තු
කාර්ය මණ්ඩලය වෙත ගොස් පෞද්ගලිකවම ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය.

වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම ප්‍රමුඛ පක්‍ෂ විපක්ෂ මැති ඇමැතිවරු කණ්ඩායමක් පසුගියදා කතානායක කරු ජයසූරිය මුණ ගැසුනාහ. කතානායකවරයාගේ ඉල්ලීමක් අනුව එම මැති ඇමැතිවරු පිරිස චීනයේ අධ්‍යයන චාරිකාවක නිරත වී සිටි අතර ඒ පිළිබඳ සැකසූ වාර්තාවක් කතානායකවරයාට භාරදීම එම හමුවේ අරමුණ විය. "1965දී මම චීනයට යනකොට හැම පාරකම තිබුණෙ බයිසිකල්. ඉඳහිට පරණ කාර් එකක් තිබුණා. ඒත් අද චීනයේ තත්ත්වය අපිට ආදර්ශයක්. ඒ ගැන හැඟීමක් ගන්නයි මම අපේ මන්ත්‍රිවරුන්ට මේ අවස්ථාව ලබා දෙන්න හිතුවේ" කතානායකවරයා එම මන්ත්‍රීන්ට කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ මෙහෙයුම් කමිටුව අඟහරුවාදා
පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ එහි සභාපති අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගනු ලැබීය. එහෙත් ශ්‍රී ලනිප නියෝජනය කරමින් පැමිණ සිටි නිමල් සිරිපාල 'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ශ්‍රී ලනිප එකඟ නැහැ'යැයි පැවැසීය. එහෙත් ඊට එකඟ නොවූ පිරිසක් 'ඒකට
ජනාධිපතිවරණයේදී පොරොන්දු වී තිබෙනවා' ප්‍රකාශ කරන්නට වූහ' ඒක එතුමාගේ පෞද්ගලික අදහස. එතකොට එතුමා ශ්‍රී ලනිප සභාපති නෙවෙයි. අපේ පක්ෂයේ ස්ථාවරය විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන එක' නිමල් සිරිපාල යළිත් කියා සිටියේය.

ශ්‍රී ලනිප ස්ථාවරයට එජාපය මෙන්ම ජවිපෙද විරුද්ධත්වය පළ කරන්නට වූහ. 'අපි මේ පිළිබඳ විශේෂ වාර්තාවක් ඊළඟ ව්‍යවස්ථාදායක සභා රැස්වීමට ඉදිරිපත් කරනවා' නිමල් යළිත් කීවේය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ මීළඟ රැස්වීම අගෝස්තු 8දා පැවැත්වීමට දින නියම කරනු ලැබුවේය.

ජනවාරි 08 පෙරළියට සහාය පළ කළ පුරවැසි සංවිධාන එකමුතුව පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසුණහ. ඔවුන්ගේ මූලික අදහසක් වී තිබුණේ යහපාලන ආණ්ඩුව පැවැතියද සිංහල බෞද්ධ නොවන ජනතාවට හිරිහැර සිදුවන බවයි. ඒ සම්බන්ධව මැදිහත් වී කටයුතු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එමෙන්ම ජනවාරි 08 පෙරළියට එකඟ වූ අයුරින් බලය බෙදීමේ අවශ්‍යතාවද ඔවුහු දැඩි ලෙස අවධාරණය කළහ. විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට යටත් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම මඟින් ජනවාරි 08 පෙරළිය සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් තිබෙන බව මෙහිදී අගමැතිවරයා පුරවැසි සංවිධාන වෙත පෙන්වා දුන්නේය.

හෙට දිනන පෙර මඟ "77 පෙරළියට 40" ලෙස නම් කරන ලද සැමරුම් උත්සවයක් එජාපය විසින් සංවිධානය කොට ඇත. ඒ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ඇරැඹූ විවෘත ආර්ථික වැඩපිළිවෙළ මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයට වසර 40ක් සපිරීම සැමරීමද එහි අරමුණ විය.
ඒ සම්බන්ධව සිවු දින ප්‍රදර්ශනයක් බ්‍රහස්පතින්දා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ඇරඹූහ. එහිදී එජාපයේ පෙරළියට දායක වූ පිරිසට උපහාර පිදීමක්ද සිදු කරනු ලැබීය. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහටද උපහාර තිළිණයක් ප්‍රදානය කෙරිණි. ඒ එජාපයේ ජේ‍යෂ්ඨයකු වන ජෝශප් මයිකල් පෙරේරා අතින්ය. එජාපයේ මැති ඇමැතිවරුන් මෙන්ම කතානායක කරු ජයසූරියද එම අවස්ථාවට එක්ව සිටියහ. එජාපයේ සැමරුම් උත්සව දින 10ක් පුරා පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. මේ අතර අගමැති වික්‍රමසිංහ ඒ වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වී සිටින අයුරුද දැකගත හැකිය.

නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු නිවාස අමාත්‍යංශ යටතේ ඇති ආයතනවල නිලධාරීන් හා කළමනාකරුවන්ගේ හමුවක් පසුගියදා සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් පැවැත්වුණේය. එහි දී සජිත් එම නිලධාරීන්ට තරවටු කරන්නට පියවර ගත්තේය. "මම දැන් අවුරුදු දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ කිසිම භේදයක් නැතුව මේ නිලධාරීන් එක්ක වැඩ කළා. ඒ අයගෙ කලින් තිබුණු දේශපාලන සම්බන්ධකම් බැලුවෙ නැහැ. මට හොඳ මූණක් පෙන්වාගෙන හිටියත් සමහරුන්ගේ මහජන සම්බන්ධතාව බිංදුවයි. ඉවසීමක් නැහැ. මිනිසුන්ට කාරුණිකව කතා කරන්න දන්නෙ නැහැ. අනවශ්‍ය විදියට රස්තියාදු කරනවා. එහෙම කළාම ජනතාව මේ ආයතන ගැන
කලකිරෙනවා. මං ගැන තිබෙන විශ්වාසයයි නැති වෙන්නෙ. මගේ ප්‍රතිරූපයයි බිඳවැටෙන්නෙ. නියම ජනතා සේවයක් ඉටු නොකරන අය සම්බන්ධව
විනයානුකූලව කටයුතු කරන්න මම කිසිසේත් පසුබට වෙන්නෙ නැහැ. ඒක හොඳට මතක තියා ගන්න" ඔහු කීවේය.

හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දීමට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දැඩි අවධානයක් යොමු වී ඇත. ඒ පිළිබඳ ජවිපෙ නායකයෝ පිරිසක් පසුගියදා පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.
"මේක රනිල්, චන්ද්‍රිකා රටටම හොරෙන් අස්සන් කරපු සාම ගිවිසුම් වගේ හොරෙන් තමයි අස්සන් කරන්න ගියේ. කැබිනට් මණ්ඩලයට එනකල් සමහරු දන්නෙත් නැහැ" අනුර කුමාර කියා සිටියේය. "අර්ජුන වරාය ඇමැති ධුරයෙන් ඉවත් කළේ ලොකු ප්ලෑන් එකක් නිසයි. මහින්ද සමරසිංහ කියන්නේ මෛත්‍රිපාල සිරිසේනට ඕන විදියට නටවන්න පුළුවන් කෙනෙක්" ලාල්කාන්ත කීය. "ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කළෙත් 1987 ජූලි 29දා. හම්බන්තොට වරාය ගිවිසුමත් ජූලි 29දා අස්සන් කරන්න සැලසුම් කරලා" විජිත හේරත් අතීත කාරණාවක්ද ගෙනහැරපාමින් කීවේය. තෙල් වෘත්තීය සමිති සිදු කළ වර්ජනය සාර්ථකයි. මේ ගැන අපි ජනතාව දැනුවත් කරන්න ඕන" අනුර කුමාර එහිදී තවත් කතාවක් ජවිපෙ නායකයන්ගේ අවධානයට යොමු කළේය.

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බල කරන සයිටම් විරෝධී ජන පවුර අගෝස්තු 2දා පැවැත්වීමට නියමිත ජාතික විරෝධතාව පිළිබඳ මෙහිදී ජවිපෙ නායකයන්ගේ කතාබහට ලක් විය. ඊට ජවිපෙ සහාය පූර්ණ ලෙස ලබා දීමටත් ඔවුහු තීරණය කළහ.

ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇති ග්ලයිෆොසේට් සීමිත ප්‍රමාණයක් හෝ උඩරට තේ කර්මාන්තය සඳහා ගෙන එමේ අවශ්‍යතාව නවීන් විසින් දෙසතියකට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවකින් ඉදිරිපත් කරන ලදී. එහෙත් ඊට අනුමැතිය පළ නොවුණද ඒ පිළිබඳ සොයා බැලීමට සිවු පුද්ගල ඇමැති කමිටුවක් පත් කෙරිණි. ඒ රාජිත, දුමින්ද, සුසිල් හා නවීන්ගෙන් සමන්විතවය.

එම කමිටුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බ්‍රහස්පතින්දා රැස්විය. ග්ලයිෆොසේට් තහනම දිගටම පවත්වා ගත යුතු බව කියන පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක්ද ඊට එක් වී සිටියහ. "සමස්ත තේ වතුවලින් උඩරට තේ වගාව 25%ක් පමණයි ආර්ථිකයට දායක වෙන්නෙ. එවැනි පසුබිමක
ග්ලයිෆොසේට් ආනයනය කිරීම සුදුසු නැහැ' උන්වහන්සේ කීහ. අද තේවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒත් වල් පැළ නිසා එම කර්මාන්තය කඩා වැටෙන්න දෙන්න බැහැ. ඒ නිසයි වල් මර්දනයට ග්ලයිෆොසේට් සීමිත
ප්‍රමාණයක් ගෙන්වන්න වතු සංගම් යෝජනා කළේ' නවීන් කීවේය.

මේ කතාබහ දිගින් දිගට ඇදී යත්ම වල් මර්දනය සඳහා වෙනත් විකල්ප හඳුන්වාදීමට මෙහිදී කමිටුවේ එකඟතාවක් ඇතිවිය. එම යෝජනා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාව මේ මස 22දා සිට රට පුරා ආරම්භ කෙරිණි. එම රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් රැස්වීමක් පැවැත්වුණේ දිවුලපිටියේදීය. දිවුලපිටිය සණස ශාලාවේ පැවැති එම රැස්වීමට ප්‍රසන්න, ජොන්ස්ටන්, ඉන්දික, කංචන, සනත් රණවීර ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් සහභාගි වී සිටියහ. "ඔයා තාම බේරිලා ඉන්නවා නේද?" ප්‍රසන්න දුටු ජොන්ස්ටන් ඇසුවේය. "රිමාන්ඩ් එක ළඟටම ගිහින් හැරිලා ආවට තවම නම් කරදරයක් නැහැ" ප්‍රසන්න පැවැසීය.
"ඔයත් අවදානම් කලාපයේ ඉන්න හින්දා පරිස්සමෙන් ඉන්න. දවසින් දවස පිරිහෙමින් යන හින්දා දැන් ආණ්ඩුවේ ලොක්කෝ වියරු වැටිලා ඉන්නේ. තියෙනවාටත් වඩා ලොකු මර්දනයක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි" ජොන්ස්ටන් කීවේය. "ඒ කතාව නම් හරියටම හරි. මර්දනයට බය නම් අද අපිත් ඉන්න ඕනේ ආණ්ඩුවේ ඇමැතිලා වෙලා. මහින්ද මහත්තයා වටේ ඉන්නේ මර්දනයට තර්ජනයට බය පිරිසක් නෙවෙයි" කංචන පැවැසීය.

"මහින්ද මහත්තයට එල්ල කරපු චෝදනා සේරම අද යහපාලන ආණ්ඩුවටම පාරාවළල්ලක් වෙලා" රණවීර පැවැසීය. "තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ" ප්‍රසන්න කීවේය.
"මේ රැස්වීම්වලට එනවා කියලා අපිටත් විනය පරීක්ෂණ තියයිද දන්නේ නැහැ" සනත් ඇසුවේය.

"සමහර මහලේකම්ලා හිතාගෙන ඉන්නේ විනය පරීක්ෂණ තියලා සේරම විසඳන්න පුළුවන්. එහෙම නම් මුලින්ම විනය පරීක්ෂණ තියන්න ඕනේ පක්ෂයේ සභාපතිවරයාට විරුද්ධව. එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ
සංවත්සරයටයි, මැයි දිනයටයි ගිය එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා" ප්‍රසන්න පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්