ආණ්ඩුව කඩන්න, හදන්න තැන තැන සාකච්ඡා

  👤  6119 readers have read this article !
2017-07-23

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය. එහිදී කැබිනට් පත්‍රිකා 21කට පමණ අනුමැතිය පළ විය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව එහිදී ප්‍රකාශයට පත් කෙරිණි. එම අවස්ථාවේ අදහස් දක්වමින් "මේකට විරුද්ධව ඇමැති කෙනෙක් විදියට රෙද්දක් ඇඳගෙන විරෝධතා දක්වන්න මට බැහැ. ඒත් මේක නවත්තලා ඒ මිනිසුන්ට වන්දි දෙන්න" යි හරීන් කියා සිටියේය. එහෙත් නෝර්වේ සහ ජර්මන් විශේෂඥයන්ගේ උපදෙස් අනුව එය තාවකාලිකව නතර කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බව කැබිනට් අනුකමිටුව පෙන්වා දුන්නේය. මේ පිළිබඳ නෝර්වේ විශේෂඥයන්ගේ වාර්තාව අගෝස්තු 15දා රජයට භාර දීමට නියමිතය. උමා ඔය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසුව ගැනීමට නියමිතය.

තේ වගාවේ වල් මර්දනයට අවශ්‍ය ප්‍රමාණයට ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලා නවීන් දිසානායක පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබිණි. එහෙත් ඒ පිළිබඳ ඇමැතිවරු අතර එකඟතාවක් ඇති වූයේ නැත. "ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා නොගත් වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් හේතුවක් බව සොයා ගෙන තිබෙනවා. "මෙහිදී රාජිත කීවේය. "ග්ලයිෆොසේට් සෞඛ්‍යයට අහිතකර බවට සියයට සියයක් ඔප්පු කරලා නැහැ." නවීන් ඊට උත්තර දුන්නේය.

මේ අතර රජයේ වල් නාශක හා පළිබෝධනාශක ප්‍රගති සමාලෝචන කමිටුවේ වාර්තාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. ග්ලයිෆොසේට් ගෙන ඒමට ඔවුන් නිර්දේශ කර ඇති බවද කියැවිණි. එහෙත් රාජිත ඊට විරුද්ධ වෙමින් "මේ කමිටුවේ වෛද්‍යවරු නැහැ. රෝග පිළිබඳ සාකච්ඡා කරලා නැහැ" යි රාජිත කීවේය. "ග්ලයිෆොසේට් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ගෙන නැහැ" ඔහු වැඩිදුරටත් කීවේය. "අපි තේ කර්මාන්තය ගැන හිතන්න ඕන. වල් නාශකයක් තේ කර්මාන්තයට අවශ්‍යයි. එහෙම නැතිව මේක ඉදිරියට ගෙනයන්න බැහැ. මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් කර ගන්න බැහැ." එහිදී කබීර් පෙන්වා දුන්නේය.

"මමත් වැවිලි කර්මාත්න ඇමැතිවරයා ලෙස කටයුතු කළ අයෙක්. වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් ගෙන්වීමේ වරදක් මම දකින්නේ නැහැ" මහින්ද සමරසිංහ ද කියා සිටියේය. එහෙත් සුසිල් මෙන්ම දුමින්ද ද ග්ලයිපොසේට්වලට විරුද්ධව අදහස් දැක්වීය. ඉන් අනතුරුව මේ පිළිබඳ විමර්ශනය කරමින් ආර්ථික කළමනාකරණ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීමට නවීන්, රාජිත, සුසිල් හා දුමින්දගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබීය.

සමුපකාර සඳහා ලොරි මිලදී ගැනීමට බදුර්දීන් යෝජනාවක් ගෙනා අතර ඊට මුදල් අමාත්‍යාංශය විරෝධතා ගොනු කර තිබිණි. මේ කතාබහට එක් වෙමින් "සමුපකාර ක්‍රමය තිබ්බට වැඩක් නැහැ. මිනිස්සු යන්නේ නැහැ" කබීර් කීවේය.

"අපේ ආණ්ඩුවම පසුගිය කාලයේ සමුපකාරයට බදු පැනෙව්වා. ඒවා සමුපකාරය කඩා වැටෙන්න බලපෑවා. ඒ බදු ඉවත් කළ යුතුයි. රාජිත කීවේය. "බදු ගහලා කුඩා මිනිහට තිබුණු සමුපකාරය කඩා වැටුණා. මේ අයට පොඩි මිනිහගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ" දයාසිරි කතාබහට එක්වූයේ එසේ පවසමින්ය. "සමුපකාර ව්‍යාපාරයට බදු සහන දෙන්න ඕන. අය-වැයෙන් ඒ සඳහා පියවර ගන්න" එහිදී ජනාධිපතිවරයා මංගලට කීවේය. කෙසේ වෙතත් එම කැබිනට් පත්‍රිකාව ලබන සතියේ යළි සලකා බැලීමට තැබීය.
මෙරටට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ලේකම් ජෙෆ්රි ෆිල්ට්මන් සමඟ අධිකරණ අමාත්‍යවරයා වාදයක් ඇති කර ගැනීමේ කරුණ පිළිබඳ මෙහිදී රවි කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේය.

"මේවගෙන් එක්සත් ජාතීන් සමඟ තිබෙන හොඳ හිත පලුදු වෙනවා. මේවා අනුමත කරන්න බැහැ." ඔහු කීවේය. "එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඒකපාර්ශ්විකව තීන්දු ගෙන තිබෙනවා. ඒ ගැන කියන්නෙ නැතිව ඉන්න බැහැ. රට ගැන බොරු කියන කොට ඒවට උත්තර නොදී කොහොමද?" ආචාර්ය විජයදාස රවිට උත්තර දුන්නේය. "පසුගිය රජය ජාත්‍යන්තරය සමඟ ගැටුම් ඇති කර ගැනීම නිසා රට හුදෙකලා වුණා. එවැනි දේවල් නැවත සිදු වෙන්න දෙන්න බැහැ" මංගල කීවේය. එම කතා බහට එක් වෙමින් පාඨලී "ඔය විදේශ නියෝජිතයෝ හදන බොරු වාර්තා නිසා ජනතාව නොමඟ යනවා. ඒවට ඉඩ තැබිය යුතු නැහැ" යැයි කියා සිටියේය.
"අපට රටක් විදියට ජාත්‍යන්තරය කරන හැම චෝදනාවකටම එකඟ වෙන්න අවශ්‍ය නැහැ" නවීන් කියා සිටියේය. "වාද නොකර විදේශ නියෝජිතයන්ට පිළිතුරු ලබා දිය යුතුයි" එහිදී අගමැතිවරයා උපදෙස් දුන්නේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත යෑමට අවසර ලබාදී තිබෙන්නේ කවුදැයි විමසා සිටියේය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගෙන නැති බවද ඔහු පැවැසීය. ඊට පිළිතුරු දුන් මංගල "විදේශ අමාත්‍යාංශය මඟින් අවසර දී තිබෙනවා" යැයි කීවේ එය පසුගිය රජයේ සිට ක්‍රියාත්මක ක්‍රමවේදයක් බවද සඳහන් කරමින්ය. "විදේශ නියෝජිතයකු බන්ධනාගාරවලට යනවා නම් අපේ නියෝජිතයකුත් යවන්න ක්‍රමවේදයක් හදන්න" එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සාම්පූර්හි ඉදිකෙරෙන "ස්වාභාවික ද්‍රව වායු" (එල්. එන්. ජී.) බලාගාරය සඳහා කොරියාව ඉදිරිපත් කළ වඩාත් වාසිසහගත ව්‍යාපෘති වාර්තාව තිබියදී ඉන්දියාව ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව තෝරා ගැනීම ගැන මෙහිදී කතා බහක් ඇතිවිය. "මෙහෙම කරන්න හොඳ නැහැ. ඉන්දියාව තෝරා ගැනීමට මම විරුද්ධයි. කොරියාව තෝරා ගනිමු" චන්දිම කීවේය. "මේවට අපි සතයක්වත් වියදම් කරන්නේ නැහැ. නොමිලේ ලැබෙන දේවල්" අගමැතිවරයා කියා සිටියේය. මේ පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් මා සමඟ සාකච්ඡා කළා. කොරියාවේ වාසිසහගත යෝජනා සලකා බලන්න ඉන්දියාව එකඟයි" ජනාධිපතිවරයා කීවේය.

මේ අතර තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීම සඳහා වූ යෝජනාවක් රවි ගෙනාවේය. "මේවාට ඉඩ දෙන්න බැහැ. චීනය, සිංගප්පූරුව සහ ඉන්දියාව සමඟ අස්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක කරලයි මේවා සලකා බලන්න වෙන්නේ" අගමැතිවරයා කීවේය.

රැස්වීම අතරතුර එම කාර්යාල පරිශ්‍රය දෙදරන්නට වූ බව ජනපති මෛත්‍රිට වරින් වර දැනෙන්ට විය. ඔහු ඒ පිළිබඳ ඇමැතිවරුන්ට පැවැසුවද එවැන්නක් තමන්ට නොදැනෙන බව ඇමැතිවරු කීහ. පසුව ජනාධිපතිවරයා ඇමැතිවරුන් තමන් සිටින තැනට කැඳවා ඒ පිළිබඳව විමසද්දී ඇමැතිවරුන්ටද එම දෙදරීම දැනෙන්නට විය. අනතුරුව ඒ පිළිබඳ විමසීමට ඉන්ජිනේරු සහාය ලබා ගැනීමට ක්‍රියා කළේය. එය යාබද පෝට්සිටියේ පොළොව කැණීමේදී ඇතිවන දෙදරීමක් බව ඉන්ජිනේරුවෝ කියා සිටියහ. "පෝට්සිටිය හදලා ඉවර වෙද්දී ජනාධිපති කාර්යාලය බිම වැටිලා තියේද දන්නේ නැහැ" ජනපති මෛත්‍රි සියලු දෙනාම සිනහ ගන්වමින් කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා සවස විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේදී පැවැත්විණි. එහිදී මූලික අවධානයක් යොමු වූයේ සකස් කෙරෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙනි.
"දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව දරන මේ උත්සාහයට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්දා අපි මේ ව්‍යවස්ථාව හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඕන" විමල් තරයේ කියා සිටියේය. විමල්ගේ අදහස අනුමත කරමින් එහිදී තිස්ස විතාරණද අදහස් දැක්වීය. ඒත් ඊට දිනේෂ් එකඟ වූයේ නැත.

"මමත් ප්‍රසන්නත් මේකෙන් ඉවත් වුණොත් ආණ්ඩුවේ මේ උත්සාහය රටට හෙළිදරව් වෙන්නේ නැහැ. මේ උත්සාහය රටට හෙළිදරව් කරන්න නම් අපි මේකෙ ඉඳලා ඒ අයගේ උත්සාහය රටට හෙළිදරව් කරන්න ඕන" ඔහු කීය. "අපිත් කැමැත්තෙන් නෙවෙයි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලේ ඉන්නේ. හැබැයි අපි නොහිටියොත් ආණ්ඩුව තමන්ට කැමැති යෝජනා දාලා පාර්ලිමේන්තුවම එකඟ වෙච්ච ආකාරයට මේ යෝජනා ටික ගෙනේවි. රටට හානියක් වෙන දෙයක් වෙනවද කියන එක විමසිල්ලෙන් බලාගෙන ඉන්න එක තමයි අපේ යුතුකම" ප්‍රසන්න පෙන්වා දුන්නේය.

"ඒක හොඳයි, අපි ඇතුළෙ වගේම පිටත ඉඳගෙනත් මේ ගැන විමසිල්ලෙන් ඉන්න ඕන." මහින්ද අවධාරණය කළේය. ඒ අනුව සති දෙකකට ඉහතදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වීමට කළ තීරණය ඒකාබද්ධ විපක්ෂය වෙනස් කළේය. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් ජාතික නිදහස් පෙරමුණ ඉවත් වන බව විමල් තරයේ කියා සිටියේය. ආණ්ඩුවට එරෙහිව විශාල වශයෙන් රට පුරාම විරෝධතා ඇති වන බව පවිත්‍රා, ප්‍රසන්න ඇතුළු පිරිසක් පෙන්වා දෙන්නට වූහ. "අපි කරන්න ඕන ඒ විරෝධතාවලට නායකත්වය දීලා එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් මතු කරන එක" මහින්ද පෙන්වා දුන්නේය.

2018 වසරේ වෙසක් පොහොය අප්‍රේල් 29දාට යෙදී ඇති බවට නිකුත් කළ ගැසට් නිවේදනය ගැන සිසිර ජයකොඩි හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව සැලසුම්සහගතව කළ දෙයක් ලෙසට ඔහු එය අර්ථ දැක්වීය.

ඇමැති මංගල සහ එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් සඳුදා රාත්‍රි පැවැත්විණි. ඒ කොළඹ පිහිටි මංගලගේ නිල නිවෙසේදීය. පසු පෙළ මන්ත්‍රිවරුන් කලකිරීමෙන් සිටින බවට පළවන අදහස් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කෙරිණි.

සංවර්ධන යෝජනා ඉදිරිපත් කළත් ඒ සඳහා මුදල් අනුමත නොවීම නිසා තමන් ජනතාව ඉදිරියේ දුෂ්කරතාවට පත්වන බව එහිදී මන්ත්‍රිවරු පෙන්වා දුන්හ. මේ අතර හිටි හැටියේම අගමැති රනිල් ද එම ස්ථානයට පැමිණියේය. එය මන්ත්‍රිවරුන් බලාපොරොත්තුවෙන් නොසිටි කරුණක් විය. කෙසේ වෙතත් මන්ත්‍රිවරුන්ගේ අදහස් සාවදානව අසා සිටි අගමැතිවරයා ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 100ක මුදලක් මේ වසර තුළ ලබා දෙන බව කියා සිටියේය.
එමෙන්ම රජයේ රැකියා දීමේදී ඒ සඳහා පුද්ගලයන් යොමු කිරීමට මන්ත්‍රිවරුන්ට අවස්ථාව දෙන බවද එම කෝටාව 25%ක් වන බවද අගමැතිවරයා කීවේ මන්ත්‍රිවරුන්ගේ අත්පොළොසන් හඬ මධ්‍යයේය.

එමෙන්ම 2020දී එජාප ආණ්ඩුවක් හැදීමේ අවශ්‍යතාවද එහිදී සාකච්ඡාවට ගැනිණි. ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ පුද්ගලයකු ඉදිරිපත් කළ යුතු බව එහිදී සියලු දෙනාගේ අදහස වී තිබිණි. අවබෝධයෙන් යුතුව කටයුතු කරන පසුබිමක් තුළ එජාපය ආණ්ඩුවෙන් ඉවත් නොවන බව මංගල එහිදී කීය.
ශ්‍රී ලනිප ආණ්ඩුවෙන් ඉවත් වන බවට සිදු කරන ප්‍රකාශ ගැන ද මෙහිදී මන්ත්‍රිවරු කතා කරන්නට වූහ. එහෙම වුණොත් 2002 ආණ්ඩුව සමයේ මෙන් තත්ත්වයක් ඇති වන බව මන්ත්‍රිවරු සඳහන් කළහ. ඒත් මංගලගේ අදහස වූයේ දැන්ම ඒ සඳහා කලබල විය යුතු නැති බවකි. 'මොන පක්ෂයක් තුළ වුණත් ප්‍රශ්න තියෙනවා' මංගල අවසානයේ කීවේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස පත් කර තිබිණි. එහෙත් ඉන් ඉවත්වීමට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරු පස්දෙනා පසුගිය බදාදා පියවර ගත්හ. ඒ කරුණු 10කින් යුතු ලිපියක් කතානායක කරු ජයසූරියට භාර දෙමින්ය.
"ඔබතුමන්ලා විශ්වාස කරන්න මේ රටට ආදරය කරන මේ පොළොවේම මිහිදන් වෙන මිනිස්සු හැටියට අපි මොනම හේතුවක් නිසාවත් අපේ පැත්තෙන් රටට හානිදායක දෙයක් වෙන්න ඉඩ තබන්නේ නැතැයි" එහිදී කතානායකවරයා කීවේය.

ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ කරුණු පිළිබඳ නීති අංශයේ උපදෙස් ගැනීමටත් ඒ පිළිබඳ ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැන්වීමටත් කතානායක කරු ජයසූරිය මේ දිනවල කටයුතු කරයි. කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කොට වසර 125ක් සපිරීම සඳහා උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇත. එහි මූලික පියවරක් ලෙස පසුගියදා පා ගමනක් සංවිධානය කොට තිබිණි.ආදි ආනන්දයකු වූ කතානායක කරු ජයසූරිය ද ඊට එක් වෙමින් සහාය පළ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සඳුදා පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී රැස්විය. රටේ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයන් රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබිණි.

"ආණ්ඩුව ගේන බදු ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ මඟ පෙන්වීමට හදපු එකක්" අනුර කුමාර සඳහන් කළේය." දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු එකතු කිරීමත් ඇමෙරිකාවෙ මැකෙන්සි කියන පෞද්ගලික සමාගමකට දෙන්න හදනවා. විජිත හේරත් තවත් කරුණක් පෙන්වා දුන්නේය. "ඒ විතරක් නෙවෙයි හැම පුද්ගලයෙක්ටම බදු ෆයිල් එකක් ආරම්භ කරන්න යනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න හිතාගෙන හතරවරං ගහනවා" බිමල් කීවේය. "මෛත්‍රි ජනාධිපති වුණාට දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ එජාප බදු ප්‍රතිපත්ති. චන්ද්‍රිකා ජනාධිපති වෙලා රනිල් අගමැති වෙලා හිටපු කාලේ වගේම තමයි. ජේ. ආර්. ගෙනාපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල 40 වසර සමරන්න හැම අමාත්‍යාංශයකටම චක්‍රලේඛයක් යවලා විශේෂ අංගයක් ඉදිරිපත් කරන්න කියලා" විජිත හේරත් යළිත් දීර්ඝ ලෙස කරුණු දැක්වූවේය.

එක්සත් ජාතික පක්ෂය 1977දී බලයට පත්වී සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම සැමරීමට එම පක්ෂය කටයුතු කරයි. ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා රාත්‍රි එජාප මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ලබන 27 වැනිදා ජාතික තරුණ සභාවේ ප්‍රදර්ශනයකින් ඇරැඹෙන එම වැඩසටහනේ සංවිධාන කටයුතු ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

එහිදී අදහස් දක්වමින් "අපි ඇඟට පතට දැනෙන වැඩක් කරන්නැයි සූදානම් වෙන්නෙ. මේ සංවත්සරය නිමිත්තෙන් අලුත් උදා ගම්මාන 40ක වැඩ ආරම්භ කරනවා. දින වකවානු ඇතිව ඒවා ජනතා අයිතියට පත් කරනවා" යැයි සජිත් කීවේය. "නියම වැඩක්" අගමැතිවරයා එහිදී කීවේය. "අපිට ඒකට ඔබතුමාගෙ අශීර්වාදය විතරයි අවශ්‍ය" සජිත් කීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ සිටින ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වසර දෙකකට වරක් මාරු වෙති. ඒ පක්ෂය තුළ ඇති කරගෙන තිබෙන එකඟතාවක් අනුවයි. මෙය ප්‍රයෝජනයට ගනිමින් නැඟෙනහිර පළාතේ මහ ඇමැති නසීර් අහමඩ් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට උත්සාහයක නිරත විය.

නැඟෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වෙයි. පළාත් සභා මැතිවරණයට යළි තරග නොකොට පාර්ලිමේන්තුවට යෑම ඔහුගේ අදහස වී ඇත. මුස්ලිම් පක්ෂවල සහායෙන් සකස් කෙරෙන මුස්ලිම් සන්ධානය යටතේ ශ්‍රීලමුකො හිටපු මහ ලේකම් හසන් අලිට මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අවකාශ සැලසීමටත් ඔහු බලාපොරොත්තු වෙයි.

මේ අතර උතුරු පළාත් සභාවේත් ද්‍රවිඩ ජාතික සන්ධානයේත් ගැටුම් තවමත් නිමාවට පත් වී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිටින උතුරු පළාත් ධීවර ඇමැති ඉවත් කොට ටෙලෝ සංවිධානයේ මන්ත්‍රිවරයකු එම ඇමැති ධුරයට පත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය මේ දිනවල උත්සාහ ගනියි.

ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සභාපති ඇතුළු නියෝජිත පිරිසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමු වූහ. ඒ විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදීය. සිංහලට පරිවර්තනය කරන ලද කුරානයේ පරිච්ඡේද කීපයක පිටපතක් මහින්දට පිළිගැන්වීම එම හමුවේ අරමුණ වී තිබිණි. තවුහිඩ් ජමාත් සංවිධානය කුරානයේ එක් පිටපතක් පරිත්‍යාග කළ පසු මහින්ද තවත් පිටපතක් ඉල්ලා ගත්තේය.

මෙහිදී රටේ වත්මන් දේශපාලන ප්‍රවණතා පිළිබඳ ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබිණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ බේරුවල ඇතුළු ප්‍රදේශවල පදිංචි මුස්ලිම්වරුන්ට අහිතකර දේවල් සිදුවූ බව එම නියෝජිතයෝ මහින්දට ප්‍රකාශ කළහ. ඒත් මහින්ද එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීම ස¼දහා කතා නොකළේය.
"උතුරු නැඟෙනහිර මුස්ලිම්වරුන්ට මම විශාල සේවයක් කළා. ඒ මිනිස්සු අද නිදහසේ හුස්ම ගන්නේ මම නිසා. මගේ අතින් වැරැදි සිදු වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා" මහින්ද කීවේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද තවුහිඩ් ජමාත් සංවිධානය මෙහිදී මහින්දගේ අදහස විමසීය. "මේක මගේ පෞද්ගලික අදහසක්. මේක ගෙනාවොත් ඇතැම් විට පාර්ලිමේන්තුවට තේරෙන මුස්ලිම් නියෝජනය අඩු වෙන්න පුළුවන්" මහින්ද කීවේය. මේ හමුව විනාඩි 90ක පමණ කාලයක් පැවැත්වුණේය.

ජාතික ආණ්ඩුවේ දෙවසරක ගිවිසුම අගෝස්තු 21න් අවසන් වෙයි. ඒත් ඉන් පසුව ජාතික ආණ්ඩුව පවතින්නේද නැද්ද යන්න පිළිබඳ බොහෝ දෙනකු තුළ පවතින්නේ උභතෝකෝටිකයකි. ඒ සඳහා මුල් වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප පිරිසක් ඉවත්වීමට කටයුතු කරන නිසාය.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අතර නිරන්තරයෙන් සාකච්ඡා සිදු වෙයි. රහසේ සිදුවුවද ඒවා පසුව අනාවරණය වන්නේය. එවැනි හමු දෙකක් පසුගියදා සිදුවිය. ඉන් එකක් පැවැතුණේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ කණ්ඩායම් දෙකක් වශයෙන්ය.

බදාදා රාත්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනකුගේ හමුවක් එසේ පැවැත්විණි. සුසන්ත පුංචි නිලමේ, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, පියංකර ජයරත්න ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද හිටපු ජනපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ කුමාරසිරි හෙට්ටිගේ, ලක්ෂ්මන් හුලුගල්ලේ ඇතුළු පිරිසක්ද එක් වී සිටියහ.

ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් රැසක් පිළිබඳ එහිදී කතාබහට ලක්විය. සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවෙන් ශ්‍රී ලනිප මැති ඇමැති පිරිසක් අනිවාර්යයෙන්ම ඉවත් වන බව ඔවුහු කියා සිටියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු පිළිබඳවද එහිදී බැසිල් පැහැදිලි කළේය.

දෙසැම්බර් සිට ආණ්ඩුවේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා කර ඇති ඉල්ලීම ගැනද මෙහිදී බැසිල් විමසා සිටියේය. එහෙත් ඒ දක්වා සිටීමට මහජන ආශීිර්වාදය නොමැති බව එම මැති ඇමැති පිරිස බැසිල්ට දන්වා සිටියහ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වන බවට ආරංචි පැතිර යන ශ්‍රී ලනිප මැති ඇමැති පිරිසක් අඟහරුවාදා ඇමැති අනුර යාපාගේ නිවෙසේ දී මුණගැසුණහ. අරුන්දික ප්‍රනාන්දු ඇතුළු 14 දෙනකුගෙන් යුතු පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ආණ්ඩුවෙන් ඉවත් නොවී එම පිරිස තව දුරටත් ආණ්ඩුවේ රඳවා ගැනීම එම සාකච්ඡාවේ අරමුණ වී තිබිණි.
එහෙත් ඔවුන්ගේ අදහස වී ඇත්තේ දෙසැම්බර් වනතුරුවත් ආණ්ඩුවේ සිටීමෙන් රටට හෝ පක්ෂයට ප්‍රයෝජනයක් නොමැති බවයි. ඒ පිළිබඳ ජනාධිපතිවරයාටත් ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවටත් දැනුම් දෙන බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වන බවට ආරංචි පැතිර ගිය ශ්‍රී ලනිප පිරිසක් ශ්‍රී ලනිප මාධ්‍ය හමු සඳහා කැඳවීමට එම පක්ෂය පසුගිය සතියේ කටයුතු කළේය. හිස්බුල්ලා, සුමේධා වැනි අය එසේ මාධ්‍ය හමුවට පැමිණ තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට පොරොන්දු වූහ.

මේ අතර ශ්‍රී ලනිප නියෝජනය කරන මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ලියාපදිංචි දේශපාලන පක්ෂ රැසක් ආණ්ඩුවට සහාය පළ කිරීමෙන් වැළකී සිටීමට මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටියි. සන්ධානයේ පක්ෂ නායක හමුවක් සෑම මසකට වරක් පැවැත්වීමට එකඟ වී තිබුණත් මාස 6ක් තිස්සේ නොපැවැත්වීම, එම දේශපාලන පක්ෂවලට උදවු නොකිරීම, රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර නොගැනීම ආදී කරුණු රැසක් ඔවුන්ගේ තීරණයට හේතු වී ඇත. මේ වනවිට ආණ්ඩුවට සහාය පළ කරමින් ලංකා කම්කරු කොංග්‍රසය, ඊ. පී. ඩී. පී., අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය, ආරියවංශ දිසානායකයගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, නව සිහළ උරුමය, ලිබරල් පක්ෂය, ඒ. එස්. පී. ලියනගේගේ කම්කරු පක්ෂය, ප්‍රභා ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය ආදී පක්ෂ රැසක් සිටියි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිංගප්පූරු සහ ඕස්ට්‍රේලියා විදේශ ඇමැති දෙපළ වෙනුවෙන් බදාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඊට එජාප මැති ඇමැති පිරිසක්ද එක්ව සිටි අතර ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වීමට අගමැතිවරයාට හැකි විය.
"ජනාධිපතිතුමා දෙසැම්බර් 31 දක්වා කල් ගත්තේ හොර නඩයට ගේම දෙන්නද එජාපයට ගේම දෙන්නද කියලා ජනතාව අහනවා" දයා ගමගේ කීවේය. "අර නඩය කොටු කළත් එජාපය කොටු කරන්න බැහැ" විජයදාස කීවේය. "මම අගමැතිකමින් අයින් කරන්නේ කවදද දන්නේ නෑ නේද?"යි අගමැති ඇසුවේ සියලු දෙනා සිනා ගන්වමින්ය. "මහින්ද ආණ්ඩුවට එවපු ඔත්තුකාරයෝ කියන දේ කරන්න ගිහින් ජනාධිපතිතුමා හිරවෙන බව එතුමා දන්නවා. වජිර තවත් කරුණක් හෙළි කළේය.
"වීරවංශගේ පක්ෂය ව්‍යවස්ථා සභාවෙන් ඉවත් වෙනවා කියලා නාට්‍යයක් රඟපෑවා. එදා උපවාස කළා. මේ සැරේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ආවම තව රඟපෑමක් කළා. දෙකම අසාර්ථකයි" හැරිසන් කීය. "වීරවංශගෙ පක්ෂය පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂයක් නෙවෙයි. ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුයි" අගමැති කීවේය.

හම්බන්තොට වරාය චීනයටත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවටත් දීර්ඝ කාලයකට බදු දීමේ කතා පුවත යළිත් දේශපාලන කරළියට අවතීර්ණ වී ඇත. තෙල් ටැංකි බදු දීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සූදානම් වෙද්දී ඔවුන් හා අගමැති වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට අර්ජුන රණතුංග කටයුතු කළේය. එම සාකච්ඡාවේදී අගමැතිවරයා කළ අදහස් දැක්වීමට වෘත්තීය සමිති අඩියක් පස්සට ගත්තේය. එහෙත් දෙපිරිස ඇතැම් දේ සම්බන්ධව වාද වන විට ඒවා සමනයට අර්ජුන මැදිහත් විය. "මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. නඩුව අවසන් වුණාම තීරණයක් ගනිමු." අගමැතිවරයා සාකච්ඡාවට සමු දුන්නේ එහෙම කියමින්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්