සුපිරි පක්ෂය

  👤  4849 readers have read this article !
2017-07-20

"ඔබ ඇති තැන - නැත බිය සැක" කියන තේමා පාඨය හැදුවේ ගිරාඳුරුකෝට්ටේ තරුණයෙක්ය. ඒක හැදුවේ ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන්ය.
1993දී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ලලිත්ලා පක්ෂයෙන් නෙරපූ විට ඔවුන් අලුත් පක්ෂයක් හැදීය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. එහි නායකයා ලෙස තෝරා ගැනුණු ලලිත්ගේ තේමා පාඨය වූයේ වරෙක ගිරාඳුරුකෝට්ටේ සංචාරයකදී තරුණයකු විසින් ඇඳි බැනරයේ වූ මේ "ඔබ ඇති තැන - නැත බිය සැක" යන වැකියයි. එදා අලුත් පක්ෂය බිහිවුණාම මිනිස්සු එය පිළිගත්තේ 'බොක්කෙන්'ය.

'ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න' යනුවෙන් 'මව්බිම' ගිය සතියේ ඉරිදා ප්‍රධාන සිරස්තලයෙන් දේශපාලන ලෝකය හෙල්ලිලා ගියේය.
'මුලින්ම යන්නේ මම'

'මව්බිම' මාධ්‍යවේදියා සමඟ කියන්නේ අරුන්දික ප්‍රනාන්දුය. ඊට පස්සේ ඔහු නම් රැසක්ම කියන්නේය.
'ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ අවසානේ ළඟද?'

එහෙම බැලුවම ආණ්ඩුව තවදුරටත් යහතින් යන ගමනක් පේන්නට නැත. කොයි මොහොතේ මහා පළුවක් ගැලවී ගොස් ආණ්ඩුව කුඩුපට්ටම් වෙයිද කියා කියන්නට බැරිය. මේ දැනුත් තියෙන්නේ කෘත්‍රිමව අටවාගත් 'අස්වාභාවික" ආණ්ඩුවකි. බොහෝ දෙනෙක් ඉන්නේ ගෙදර මළගෙයක් තියාගෙන මඟුල් ගෙදරකට ගිය කෙනකුගේ ගානට ය.
මගේ ආසනයේ ශාඛා සමිතියක් පිහිටුවන්න එදා 150-200ක් ආවා. අද එන්නේ 50-60ක් වගේ පිරිසක්. ශ්‍රීලනිපය දිනන්නේ නැතිලු. ඒ හින්දා පාක්ෂිකයන් ශාඛා සමිතියට ඇවිත් වැඩක් නැතිලු.'

මෙහෙම කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න ඇමැති ජෝන් සෙනවිරත්නය.
'ඕනනම් අපිට හෙට වුණත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්.'
මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම්ය. ඒ පක්ෂයේම තවත් කිහිපදෙනෙක් ඔය කතාවම කියන්නේය.
බලාගෙන ගියාම මේ ආණ්ඩුවේ ප්‍රධානම පාර්ශ්වකාරයාටත් දැන් මේ ආණ්ඩුව එපා වෙලාය.
සියලු කරුණු කාරණා එක්ක බැලුවාම මේ ආණ්ඩුව තවදුරටත් යනවානම් ඒක අරුමයක් ය. ආණ්ඩුව පවතින්න හේතු කිසිවක් හොයාගන්න නැතත් ආණ්ඩුව පෙරළෙන්න හේතු නම් ඕනෑවටත් වඩා තිබේ.

'හරි, ආණ්ඩුව පෙරළලා ගේන්න ආණ්ඩුවක් තියෙනවද?'
කෙනෙක් එහෙම අහන්නට බැරි තැන. එහෙම අහනකොට සමහරු කියන්නේ 'මේ රටේ අලුත් පක්ෂෙකට ඉඩක් නෑ, ඒ හින්දා මහින්දලා ආයේ එනවා බොරු' කියලාය.
එහෙම කියන අයට කියන්න තියෙන්නේ නිකමට වගේ ප්‍රංශයේ වෙච්ච විපර්යාසය දිහා බලන්න කියලාය.

ප්‍රංශ ඉතිහාසය පමණක් නොව මුළු මහත් යුරෝපා ඉතිහාසයම උඩු යටිකුරු කරන්නට සමත් ප්‍රතිඵලයක් එක්ක එමානුවෙල් ප්‍රංශයේ නායකයා විය. එමානුවෙල් ඡන්දෙට ආවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නොවේ. ඔහු ආවේ අලුත්ම පක්ෂයකින්ය. 1858 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පස්සේ එරට ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් පිටත අපේක්ෂකයකු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ප්‍රථම අවස්ථාවද මේකය. එමානුවෙල් දිනයි කියා කවුරුවත් හිතුවේ නැත. හැමෝම කීවේ අලුත් පක්ෂෙකට ප්‍රංශ සමාජයේ ඉඩක් නෑ කියලාය. දශක ගණනාවක් සාම්ප්‍රදායික රටාවට නායකයෝ පත් කරගත් මිනිස්සු මෙවර වෙනස් විය. අන්තිමට ප්‍රංශයට 'අලුත් පක්ෂයකින්' අලුත් නායකයෙක් හිමිවිය. ප්‍රක්ෂේපිත ප්‍රතිඵලවලට අනුව එමානුවෙල් මැකේ‍රා්න් ප්‍රකාශිත ඡන්දවලින් 65% ක් ලබා ගනිද්දී ප්‍රතිවාදී මරීන් ලපෙන්ට ලබා ගැනීමට හැකිවූයේ 35% ප්‍රතිශතයක් පමණක්ය. ඒ අනුව අන්ත දක්ෂිණාංශික මරීන් ලපෙන් පරාජයට පත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තීරණාත්මක ජයක් ලැබීමට මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්රෝන් සමත් විය.

"අපි ප්‍රංශ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළනවා. එය විශ්වාසයත් බලාපොරොත්තුවත් අලුත් කරන නව පිටුවක් වේවා." මෙහෙම කීවේ ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැකේ‍රා්න්ය.

මැකේ‍රා්න්ගේ මේ ජයග්‍රහණයත් එක්ක ලෝකයම එක අතකින් තිගැස්මටත්, තව අතකින් නව බලාපොරොත්තුවකටත් ‍ෙදාරගුළු විවර විය. තිගැස්මට ලක්වුණේ හැමදාම තට්ටු මාරු ක්‍රමයට බලය ගත්ත ද්වි පක්ෂ තිබ්බ රටවල්ය. බලාපොරොත්තු සහගත වුණේ, අලුත් පක්ෂ හරහා 'බලය' සොයන රටවල්ය.
පහුගිය සතියේ ජනපති සිරිසේන අලුත් කතාවක් කීවේය. ඒ 'සුපිරි පක්ෂයක්' බිහිවන බවය. ඔහු කියන්නේ මැකේ‍රා්න් තියරිය සිහිපත් කරමින්ය. හැබැයි, එහෙම බැලුවොත් මැකේ‍රා්න් සිස්ටම් එකට වත්මන් ශ්‍රීලනිපය අදාළ කරගන්නට බැරිය. මැකේ‍රා්න් යනු අලුත් පක්ෂයකින් පෙරට ඇවිත් ප්‍රංශයේ බලය ගත්ත 'තරුණයෙක්ය.' ශ්‍රීලනිපය කියන්නේ සාම්ප්‍රදායික බල හුවමාරුවේ තියෙන පක්ෂයක්ය. එහෙම නම් ජනපතිගේ ප්‍රකාශයේ අර්ථ දෙකක් තිබේ. එකක්, ශ්‍රීලනිපය වෙනුවට 'අලුත් පක්ෂයක්' පිහිටුවන බවය. ඒ අර්ථයෙන් ඔහු සිතන්නේ වත්මන් පක්ෂය අත්හැරීමද කියන්න දන්නේ නැත. එහෙම නොවේ නම් ඔහු කියන්නේ වෙනත් පිරිසක් පිහිටුවන 'අලුත් පක්ෂයක්' ගැනය.

ඒක එහෙමනම් ඒ පක්ෂය මහින්දලා මුල් වී පිහිටුවනු ලැබූ 'පොදුජන පක්ෂය'ද දන්නේ නැත.
දැන් බොහෝ දෙනෙක් තේරුම් ගත් කතාවක් තිබේ. ඒ මේ පක්ෂ දෙකම මිනිස්සුන්ට එපා වී ඇති බවය.
'අලුත් පක්ෂ හදපු ලලිත්ලට ගාමිණීලට වෙච්ච දේ මතකද?'
සමහරු එහෙම අහන්නේ හරිහැටි කරුණු නොදැනය. 17ත් වසරක එ.ජා.ප. පාලනයේ අවසානය ආරම්භ කළේ පිහිටුවලා මාස තුනක්වත් වයස නැති ලලිත්ලාගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය.

"මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුණාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා" ලලිත් පක්ෂය පටන් ගත්තේ එහෙම කියලාය. එවක එක්සත් ජාතික පක්ෂයට තම පූර්ණ සහාය දැක්වූ උගතුන් බුද්ධිමතුන් රැසක් ඒ වනවිට ලලිත්, ගාමිණී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා එකතුව සිටියහ. ඒ අනුව පළාත් සභා මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බොහෝ විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ ඉදිරිපත් විය. එහිදී ලලිත් සඳහන් කර තිබුණේ 'රජය අලියා සලකුණ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් කරගෙන ඇතත් එම සංකේතයේ සම්ප්‍රදායයන් ඔවුන් වෙත නොමැත. ඔවුන් එම උතුම් ගුණය කෙලෙසා ඇත" යන්නය.

අවස්ථාවාදීන්ට 'අතුල් පහරක්' ගැසූ ලලිත්ලා අලුත් පක්ෂයෙන් මැතිවරණයට ආහ. ආවා විතරක් නෙවේ. ඔවුන් හා ජනතාව ඉන්න බව ඔප්පු කරලාම පෙන්නුවේය. 1991 සැප්තැම්බරයේ නුගේගොඩදී මෙම එජාපයෙන් නෙරපූ මන්ත්‍රින් අට දෙනා එක්ව පැවැත්වූ ජන රැලියට ලක්ෂ හතරහමාරකට අධික වාර්තාගත ජනකායක් එක්කාසු වීමෙන් ඔවුන්ට තිබූ අපරිමිත ජනතා බලය ඔප්පු විය. ලලිත්ගේ ඝාතනයත්, ගාමිණීගේ නැවත 'මහගෙදර' යෑමත් නොවන්නට 'රාජාලියා' නවතින තැන හිතාගන්නට බැරිය. ලලිත් - ගාමිණී යුගලය එක්ව පිහිටුවූ එම පක්ෂය අනපේක්ෂිත ලෙස විනාශ නොවන්නට සිදුවන දේ හිතාගන්නටත් බැරිය. මුල්ම මැතිවරණයේදී ශාඛා සමිතියක්වත් නැතිව තරග කළ 'රාජාලියා' සියයට 15කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගත්තා විතරක් නොව 'වයඹ' පළාත් සභාවේ මහ ඇමැතිකමද දිනා ගත්තේය. බස්නාහිර එවක චන්ද්‍රිකා මහ ඇමැතිනිය වන්නේ 'රාජාලියාගේද' හයිය අරගෙනය. දකුණේ'හැරවුම් ලක්ෂ්‍යය' හැදෙන්නේ 'රාජාලියා නිසාය. එක්සත් ජාතික පක්ෂයෙන් ලලිත්ලා නෙරපා හරිනකොට ඔවුන් කළේ ශ්‍රීලනිපයට යන එක නොව අලුත් පක්ෂයක් හදන එකය.

බොහෝ දෙනෙක් අද 'අනුමාන' කතා කියන්නේ 'රාජාලියා' පූර්වාදර්ශයට අරගෙනය. හැබැයි එදා මෙදාතුර 'බලවත් ආණ්ඩුවක්' හොල්මන් කරලා දැම්මේ ඒ මාස තුනක් වෙච්ච පක්ෂය ය.

එහෙම බැලුවම 'අලුත්' දේවල් 'අමුතු' දේවල් කියා හිතන්නට ඉඩක් නැත. මේ යහපාලන ආණ්ඩුව එකක් හරියට කළේය. ඒ පක්ෂ වෙත 'බර තබා' සිටීමේ සම්ප්‍රදාය වෙනස් කිරීමය. ඒ අනුව අලුත් පක්ෂවලට පැවැත්මක් නැතැයි කියන මිථ්‍යාව දැන්වත් ඉවත් කරගන්නා එක හොඳය.

ජනපති කියන 'මැකේ‍රා්න් සිස්ටම් එකේ' පක්ෂයක් වේ නම් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය විය නොහැකිය. එය ඒ දෙකෙන්ම පරිබාහිර එකක්ය. එහි ඉන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම කලකිරී වෙන්ව ගිය අය විය හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්