රංගිරි දඹුලු අර්බුදය

  👤  3427 readers have read this article !
2017-07-18

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ රංගිරි දඹුලු විහාර අර්බුදය සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් විස¼දාගැනීමට දෙපාර්ශ්වය සමත්ව සිටින බව පෙනේ.
අස්ගිරි පාර්ශ්වයේ වරකාගොඩ ඤාණරතන මහ නාහිමි සඳහන් කර තිබුණේ පමා වී හෝ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිවීම සතුටට කරුණක් බවයි. ඉකුත් දිනෙක අස්ගිරි මහ විහාරයේ මංගල උපෝෂථාගාරයේදී පැය තුනකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවකින් අනතුරුව දෙපාර්ශ්වය යම් එකඟතාවකට පැමිණ ඇත. ප්‍රශ්නය පැනනැඟුණු පසු එය අර්බුදයක් බවට පත්වන තුරු විසඳුමක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව දෙපාර්ශ්වයම වගකිව යුතුය.

වළගම්බා රජු (ක්‍රි. ව. 43-17) කරවූ බව සඳහන් වන මේ විහාරය ක්‍රි. ව. 1187 - 1196 කාලයේදී නිශ්ශංකමල්ල රජු විසින් පිළිමවල රන් ආලේප කරවා ප්‍රතිසංස්කරණය කෙරුණු බව පැවැසේ. දඹුලු විහාරය එතැන් සිට රංගිරි දඹුලු ලෙස හඳුන්වා දී ඇත. දුල්ලෑවේ අදිකාරම් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුද මේ විහාරයේ ඉදිකිරීම් සිදුකර තිබේ. විහාරයේ ඇති වැදගත්කම වන්නේ එය සීලගම පරම්පරාවේ සිත්තරුවන් කර ඇති මහනුවර යුගයට අයත් බිතුසිතුවම් සහිත කලාගාරයක් වීමය. දඹුලු විහාරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් 1991දී නම් කෙරුණේ එනිසාය.

වර්තමානයේ මතුව ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ මේ බිතුසිතුවම් විනාශ වෙමින් පැවැතීමය. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල ප්‍රකාශ කර තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්‍ෂක කණ්ඩායමක් ඇරැඹූ සංරක්‍ෂණ කටයුතුවලට විහාරයේ හාමුදුරුවරුන් බාධා කිරීම නිසා අදාළ කටයුතු නතර කර දැමීමට සිදුවූ බවය. විහාරයේ අයිතියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොමැතිවීම නිසා විහාරාධිපතිගේ හා භාරකාර හිමිවරුන්ගේ කැමැත්ත නොමැතිව කිසිවක් කිරීමේ බලයක් කිසිවකුට ඇත්තේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත අනුව සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ බලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වුවද 1996න් පසු දෙපාර්තමේන්තුව ප්‍රවේශ පත්‍ර නිකුත් කර නැත.

පුරාවිද්‍යා අණපනත් උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කර ඇත්තේ වරක් දෙවරක් නොවන බවට චෝදනා එල්ල වී ඇත. යුනෙස්කෝ නිර්ණායකද මෙහිදී උල්ලංඝනය වී ඇතැයිද පැවැසේ. පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඉකුත් 10 වැනිදා රැස්වී තීරණය කර තිබුණේ ලෙන් විහාරය තාවකාලිකව වසා සංරක්‍ෂණ කටයුතු යළි ඇරැඹීමටය. ඊට නායක හිමිවරුන් විරුද්ධ වීම නිසා ප්‍රශ්නය තවත් අවුල් විය. අවුලේ ආරම්භය වූයේ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා දඹුලු විහාරයේ පින් කැටවලට සීල් තියන්න යනබවට පැතිරී ගිය කතාවක් හේතුවෙනි. පින් කැට කතාව කෙසේ වෙතත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ප්‍රකාශ කර තිබුණේ මේ විහාරයේ රුපියල් කෝටි 700ක මුදල් වංචාවක් සිදුවී ඇති බවය.

ජනාධිපතිගේ සහ අගමැතිගේ ඉල්ලීම පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක මණ්ඩලය අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවත් සමඟ සාකච්ඡා කළ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල පවසා තිබිණි. හෙතෙම අවධාරණය කර තිබුණේ විනාශ වෙමින් පවතින චිත්‍ර ආරක්‍ෂාවට පියවර නොගැනීම, රාජකාරිය පැහැර හැරීමක් වන බවය.

විෂය භාර ඇමැතිවරයා පත්කර ඇති උපදේශක මණ්ඩලය හරහා කටයුතු කරන විට ප්‍රශ්න මතුවීම සාධාරණය. වඩා වැදගත් වන්නේ ප්‍රශ්න උග්‍රවී අර්බුදයක් බවට පත්වනතුරු බකං නිලාගෙන නොසිටීමය. අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණය කිරීමට එකඟ වී ඇත. ගැටලු පැන නැඟුණු විට සාකච්ඡා කර විස¼දා ගැනීමටත් පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමටත් කැමැත්ත පළවී තිබේ. අවශ්‍ය වන්නේද එය ය. සාකච්ඡාවෙන් සංවාදයෙන් සම්මුතියෙන් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමය. බෞද්ධ පිළිවෙත එයම මිස අනෙකක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්