ජනතාවට අලුත් රෝහලක්

  👤  3472 readers have read this article !
2017-07-17

‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද ජනතාව සතු කෙරේ. එනම්; ලංකාවාසීන්ට නොමිලයේ සේවය සලසන රජයේ ශික්ෂණ රෝහලක් බවට පත්කරනු ලබයි. මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පාලනය වන ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් බත්තරමුල්ල, මාලඹේ, කඩුවෙල, ගම්පහ, වතුපිටිවල, අතුරුගිරිය, මහරගම, හෝමාගම, හංවැල්ල, අවිස්සාවේල්ල වැනි ප්‍රදේශවල ජනතාවට වෛද්‍ය පහසුකම් සලසා ගත හැකි වනු ඇත. අධිවේගී මාර්ගයෙන් පැමිණිය හැකිවීම නිසා ගාල්ල, මාතර ජනතාවට වුවද නෙවිල් ප්‍රනාන්දු රෝහල මහත් පහසුවකි.

අති නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ හා අන්තර්ජාතික ප්‍රමිතියේ සායනික පහසුකම්වලින් මේ රෝහල අංග සම්පූර්ණය. අක්කර පහක භූමි ප්‍රදේශයක වර්ග අඩි 1,80,000කින් යුත් මහල් හතරක ගොඩනැඟිල්ලකින් හා මහල් 8ක ගොඩනැඟිලි දෙකකින් රෝහල සමන්විතව ඇත. රජයට පවරා ගැනීමෙන් පසු දැනට රෝහලේ පවතින අඩුපාඩු සපුරාගත හැකිවීම නිසා ජනතාවට මින් උපරිම සේවයක් ලබාගත හැකි වනු නිසැකය.

රජයේ රෝහල්වල පහසුකම් මේ වනවිට සැලකිය යුතු ලෙස දියුණු වී තිබේ. දිවයිනේ සියලුම රජයේ රෝහල්වල තත්ත්වය ඉහළ යැයි ඉන් නොකියැවේ. සාපේක්ෂව ගත් කල රජයේ ප්‍රමුඛ රෝහල් නවීකරණය කෙරී ඇත. ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලද මේ ගොන්නට එකතුවීම සතුටට කරුණකි. දිවයිනේ රෝහල්වල ප්‍රමිතිය තවදුරටත් ඉහළ දැමිය යුතුය. ශ්‍රී ජයවර්ධනපුර වැනි රෝහලක තත්ත්වයෙන් ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල පවත්වාගත හැකි වේ නම් වැදගත්ය.
‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සායනික පුහුණු කිරීම් පිළිබඳ ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇත. සයිටම් තවදුරටත් පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන යනවාද? නොඑසේනම් රජයට පවරා ගන්නවාද? එසේත් නොමැතිනම් වසා දමනවාද? යන්න අද හෙටම තීරණය කළ යුතු වේ.

පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගියද, රජයේ පාලනයට පවරාගත්තද සායනික 'පුහුණුව' හිරිහැරයකින් තොරව ලබාගැනීමේ අවස්ථාව සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාගත හැකිවේ.

සයිටම් ආයතනයට විරුද්ධ වුවද කිසිවකු ‍ෙදාස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලට විරුද්ධ වූයේ නැත. එය රජයට පවරා ගන්නැයි කිසිවකු ඉල්ලා සිටියේද නැත. එහෙත් 'සයිටම්' පැත්තක තිබියදී රජයට පවරාගෙන ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහලය. රටේ ජනතාවට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාගැනීමට නවීන ශික්ෂණ රෝහලක් ලැබී ඇත. එහෙත් සයිටම් ප්‍රශ්නය විසඳී නැත. නව රෝහලක් ලැබීම ජනතාවගේ සෞඛ්‍යයට හිතකරය. 'සයිටම්' ප්‍රශ්නය විසඳීම යහපත් වන්නේ රටේ සෞඛ්‍යයටය. බොහෝ විට එය ආණ්ඩුවේ සෞඛ්‍යයටද හිතකර වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්