ශ්‍රී ලනිප පිරිසක් ස්වාධීනව ඉන්න යති

  👤  4592 readers have read this article !
2017-07-16

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බදාදා රාත්‍රියේ ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ හමුවක් මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. සැප්තැම්බර් 2දාට යෙදෙන ශ්‍රී ලනිප 66 වැනි සංවත්සර සැමරුම පිළිබඳ එහිදී පළමුවෙන් අවධානය යොමු වූයේය. එම සංවත්සරය උත්කර්ෂවත් ලෙස රත්නපුරයේදී සැමරීමටද එහිදී තීරණය කරන ලදී.

අනතුරුව "දැන් එක එක ආරංචි පැතිරෙනවා. එක එක ඇමැතිවරුන්ට ප්‍රශ්න තියෙනවා, ආණ්ඩුවෙන් යනවා කියලා. ඒවා ගැනත් ටිකක් විවෘතව කතා කරමු" එහිදී ජනපති ඇරයුම් කළේය. ඒ අනුව පළමුව අදහස් දැක්වූයේ ජෝන් සෙනවිරත්නයි. "අපි ඇමැති ධුර භාර ගත්තේ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ නිසා. ඒත් ආණ්ඩුවෙන් ඉවත් වෙලා කණ්ඩායමක් වශයෙන් ස්වාධිනව ඉන්න අපි තීරණය කළා. එජාපය එක්ක මේ දීගය ගිහින් ශ්‍රී ලනිපය පාවලා දෙන්න බැහැ. මගේ විශ්වාසය නම් අපි මේ ආණ්ඩුවේ රැඳී ඉන්න එක රට ඇතුළෙ ලොකු ප්‍රශ්නයක් වෙලා කියලයි" ඔහු දීර්ඝ අදහස් දැක්වීමක් කළේය. "අපි ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ආණ්ඩුව කරන සියලු පාපකර්ම්වලට අපිටත් කරගහන්න වෙනවා" නිමල් සිරිපාලද ජෝන්ගේ අදහස් අනුමත කරමින් කීවේය. "මහින්ද, ගෝඨා, බැසිල්, චමල් හැමෝම දැන් ඉවරයි. මේ අය උත්සාහ කරන්නේ නාමල් ගේන්න මිසක් රටට දෙයක් කරන්න නෙවෙයි. කවදාවත් මහින්දට දිනන්න බැහැ. ඒ හින්දා අපි මේවට කලබල වෙන්න ඕන නැහැ" එස්. බී. කීවේ ජෝන්ටත් නිමල්ටත් වෙනස් කතාවකි. "දැන් ජනාධිපතිතුමා එජාපයටත් ෂොට් එකක් දීලා තියෙනවා. ජනාධිපතිතුමා ශක්තිමත් කරන එකයි මේ වෙලාවේ කළ යුත්තේ" මහින්ද සමරසිංහ කීවේය. "බැඳුම්කර මගඩිය එළියට එන කොට රනිල්ගෙ රෙදි ගැලවෙනවා. එතකොට තීන්දු ගන්න ජනාධිපතිතුමාට අවස්ථාවක් එනවා. එතැනදි අපි ජනාධිපතිතුමා ශක්තිමත් කළ යුතුයි" ඩිලාන් පෙරේරා කීය. එහෙත් ඊට විරුද්ධ වෙමින් "ඕවා කියලා වැඩක් නැහැ. යන කෙනකුට යන්න කියලා අපි වැඩ කරගෙන යමු"යි අමුණුගම යෝජනා කළේය. "ඒ කතාව වැරැදියි. අපි යනවා නම් යා යුත්තේ 41 දෙනාම එකට. ඉන්නවා නම් ඒ සියලු දෙනාම ඉන්න ඕන" ඩිලාන් යළිත් කීවේය. "මොනවා වුණත් මම නම් යනවා. "ඩුලිප් විජේසේකර අවධාරණය කළේය." "කවුරු හරි යනවා නම් අල්ලලා නතර කරන්න මම සූදානම් නැහැ" ජනපති මෛත්‍රි දැඩි ස්වරයකින් කීවේය.

"අපි ජනාධිපතිතුමා ගැනත් හිතන්න ඕන. මන්ත්‍රිවරු ගැනත් හිතන්න ඕන" අමරවීර ප්‍රශ්නය සමබර කර ගනු අටියෙන් යෝජනාවක් ගෙන ආවේය. "දෙසැම්බර් වනතුරු මේ ගිවිසුම තියෙනවා. ඒ වෙනකං කලබල වෙන්න එපා. අපි කාලය කිට්ටු වෙලා තීරණයක් ගනිමු" එහිදී ජනාධිපතිවරයා කීවේය.

එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් අඟහරුවාදා සවස විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්දගේ නිල නිවෙසේදී පැවැත්විණි. මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වූයේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇති පනත් සම්බන්ධයෙනි. "අතුරුදන් වූවන්ගේ පනත සම්මත කළොත් මේ රටේ රණවිරුවො වගේම හිටපු දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා විදේශ අධිකරණවලට පිටුවහල් කළ හැකියි" ජී. එල්. දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

"මේ විදේශ ප්‍රඥප්තියට ඇමෙරිකාව, බි්‍රතාන්‍ය වැනි රටවල් පවා අස්සන් කරල නැහැ. ඒත් වත්මන් ආණ්ඩුව එකඟ වෙලා" දිනේෂ් කීවේය. "මේක පාර්ලිමේන්තුවෙ සම්මත වෙන්න නොදී විරෝධය පළ කරන්න ඕන" මහින්ද කීවේය.
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු යොදා ඇති දේශීය ආදායම් පනත ගැනද මෙහිදී සාකච්ඡා විය. එය 'ඝානා' රටෙහි ක්‍රියාත්මක වන එකක්. නමුත් ශ්‍රී ලංකාවට උචිත නැති බව ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ අදහස විය. "විදේශීය සමාගම් බදුවලින් නිදහස් කරනවා. මෙරට වැසියන්ට බදු පටවනවා. එවැනි පනතකට කිසිසේත් එකඟ වෙන්න බැහැ" මහින්ද කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්ට හා ප්‍රසන්නට ඉල්ලා අස්වීමට මීට පෙර ගනු ලැබූ තීරණය ගැනද එහිදී යළි සාකච්ඡාවට ලක් විය. එහෙත් විමල් දැඩිවම ඔවුන් ඉල්ලා අස්විය යුතුය යන ස්ථාවරයේ තවදුරටත් සිටියේය.
එහෙත් ගම්මන්පිල ඇතුළු පිරිසකගේ අදහස වූයේ ආණ්ඩුව සියල්ල කිරීමට ඉඩ හැර බලා නොසිට ඊට සහභාගි විය යුතු බවයි. අවසානයේ එම අදහසට මහින්ද ද එකඟතාව පළ කළේය.

ඒකාබද්ධ විපක්ෂය විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීමට වැඩසටහනක් මීට සති කිහිපයකට පෙර සංවිධාන කිරීමට කටයුතු කළේය. ඒ මේ රටේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු කරුණු රැසක් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බව සඳහන් කරමින්ය. පසුගියදා තවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟුණේය. ඒ මැතිවරණ කල් දැමීම මඟින් ජනතා පරමාධිපත්‍යය අහෝසි වී ඇති බව කියමින් තානාපති කාර්යාල 46කට ලිපි යැවීමෙන්ය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සියලු දෙනාගේ අස්සනින් යුතුව එම ලිපි යොමු කොට තිබිණි.

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.
කැබිනට් මණ්ඩල රැස්වීමට වෙනදා සහභාගි නොවන පිරිසක්ද මෙවර පැමිණ සිටියහ. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන ඩෙංගු රෝග පිළිබඳ විශේෂඥයන් පිරිසකි. ඩෙංගු රෝගය, ව්‍යාප්තිය, මදුරුවා, රෝගයේ භයානකම, පාලනය ආදී කරුණු රැසක් පිළිබඳ එහිදී සෞඛ්‍ය විශේෂඥයෝ ඇමැති මණ්ඩලය දැනුවත් කළහ. එම දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සතියේ සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. පළාත් සභා මැති ඇමැතිවරුන්ද ඊට සම්බන්ධ කර ගන්නා ලෙසද ජනපතිවරයා උපදෙස් දුන්නේය. ඩෙංගු මර්දන සති වැඩසටහන පිළිබඳ සාකච්ඡාව අවසන් වෙත්ම හරීන් ඊට නමක් යෝජනා කළේය. ඒ සියල්ලන්ගේම සිනා මධ්‍යයේය. "අපි මේකට ඩෙංගු එක්ක රණ්ඩු" කියල නම තියමු ඔහු කීවේය.

රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිත ආයතනයක් ස්ථාපනය කිරීමට මංගල මෙහිදී යෝජනාවක් ගෙන ආවේය. රජය කරන ව්‍යාපෘති තෝරා ගැනීම, ක්‍රියාත්මක කිරීම ආදියේදී මඟපෙන්වීම් ඇතුළු කටයුතු ඊට භාර වෙයි. එහෙත් ඊට චම්පිකගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. "මමත් විවිධ ව්‍යාපෘති කරනවා. මේ හැම එකකටම අනුමැතිය ගන්න වුණොත් මේව කරගෙන යන්න බැරි වෙනවා" ඔහු කීවේය. එහෙත් මංගලගේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වූයේය.

කොළඹ නගරාශි්‍රත කුණු ඉවත් කිරීමට වගකීම් පවරා ඇත්තේ චම්පික රණවකටයි. එම කටයුතු ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ආයතනය සමඟ ඍජුව සාකච්ඡා කොට සිදු කිරීමේ වැදගත්කම මෙහිදී චම්පික අවධාරණය කළේය. "එහෙම හරියන්නෙ නැහැ, මේකට විනිවිද බවක් අවශ්‍යයි. ටෙන්ඩර් කැඳවලා කුණු බැහැර කිරීම් කටයුතු කරන්න" එහිදී රවි යෝජනා කළේය. එහෙත් ඊට දැඩි ලෙස විරුද්ධ වූ චම්පික "එහෙම වුණොත් තව කුණු ටොන් දහස් ගණනක් ගොඩගැහෙනවා. මේවා වහාම කළ යුතු වැඩ. ටෙන්ඩර් කැඳව කැඳවා ඉන්න වෙලාවක් නෙවෙයි" ඔහු කියත්ම රවි කරකියාගත දෙයක් නොමැති තත්ත්වයට පත්වනු දැකගත හැකි විය.

මේ අතර මංගල අමරවීරට කිසියම් තරවටුවක් කළේය. ඒ ගෝඨාභය අත්අඩංගුවට ගැනීමක් පිළිබඳත් සමාව දීම පිළිබඳත් අමරවීර කරන ලද බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන්ය. "ඔයා කොහොමද මේ කතා කියන්නෙ, නඩුකාරයද? මෙහෙම කතා කළාම දේශපාලන වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා" මංගල කියත්ම ජනාධිපතිවරයාද "ඇමැතිවරු දේශපාලන වශයෙන් ප්‍රශ්න ඇති වන ප්‍රකාශ නොකිරීමට වගබලා ගන්න" යැයි ඉල්ලා සිටියේය. ඊට අමරවීර නිශ්ශබ්දව සිටියා මිස යමක් කියන්නට උනන්දු වූයේ නැත.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාලය අවසන් වීම ගැනද මෙහිදී කතාබහක් ඇතිවිය. "මේ කාර්යාලයේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කරනව නම් මම කැමැතියි. ඒත් ඇමැතිවරු තීරණය කරන දෙයක් සුදුසුයි" අගමැතිවරයා කියා සිටියේය. "ඔව්, මේක වැහුවොත් ආණ්ඩුවේ අයට චෝදනා තිබෙන නිසා වැහුවා කියාවි!" දයාසිරි කීවේය. "මේක ඇරියත් බනිනවා, වැහුවත් බනිනවා" ජනාධිපතිවරයා කීවේ සිනාසෙමින්ය. "මේකට ගෙවී ගිය කාලය තුළ මිලියන 65ක් විතර වියදම් වෙලා. වියදම තරමටවත් ප්‍රතිඵලයක් නැහැ." රාජිතද කීවේය. මෙවැනි කතාබහ අවසානයේ තීරණය වූයේ එහි කාලය තවත් දිගු නොකිරීමටයි.

ජනමාධ්‍ය අයිතිය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන කතිකාවක් ආරම්භ කොට මාස දෙකක් තුළ කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙහිදී පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. ඒ මංගලගේ ප්‍රධානත්වයෙන්ය. රාජිත, ගයන්ත, අමුණුගම හා කරු පරණවිතාන එහි සෙසු සාමාජිකයන්ය.

මෙවර කැබිනට් පත්‍රිකා 46කට පමණ අනුමැතිය පළ වීමද

විශේෂත්වයක් විය. ඒ එතරම් යෝජනා සංඛ්‍යාවක් වත්මන් ආණ්ඩුව යටතේ අනුමත නොවූ නිසාය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ජුනි 30දායින් පසුව තව දුරටත් පවත්වාගෙන නොයෑමට රජය ගත් තීරණය ගැන සමාජයේ විවිධ පාර්ශ්වවල විවිධ කතාබහට ලක් වූයේය. ඒ අතර ජවිපෙ නායකයන්ගේ විශේෂ අවධානයකට එම කරුණ ලක් විය. ඒ බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයේදී පැවැති නායකයන්ගේ හමුවකදීය.
"මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙන කොට රටේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ වංචා දූෂණ. වංචා දූෂණවලට තිබෙන විරෝධය නිසයි එතුමා ජනාධිපති වුණෙත්. ජනතා ඉල්ලීමට හදන එම කාර්යාලය පිළිබඳ ජනාධිපතිට අමතක වීම කනගාටුවට කරුණක්." විජිත හේරත් කීවේය.

"පසුගිය ආණ්ඩුවෙ හොරු ටිකත් ජනාධිපතිතුමා තමන්ගේ ඔඩොක්කුවෙ දමා ගත්තට පස්සේ රාජපක්ෂලාගේ වංචා දූෂණ ගැන කතා කළ අයගෙ කටවල් හිරවුණා" හඳුන්නෙත්ති කීවේ එවැනි කතාවකි. "මේ ආණ්ඩුවේ රාජිතට, රවිට, අනුර යාපාට, නිමල් සිරිපාලට, හැරිසන්ට, අකිලට, එස්. බී.ට, බෝගොල්ලාගමට පැමිණිලි ආවා. ඒවා විමර්ශනය පටන් ගත්ත නිසා කට්ටියම එකතු වෙලා මේක වහ ගත්තා. ඒකයි ඇත්ත" වසන්ත සමරසිංහ කියා සිටියේය. "මේකට මිලියන ගණනක් වැය වුණත් ප්‍රයෝජනයක් නොවූ බවට ආණ්ඩුව කතාවක් ගොතනවා. ඒ වියදම මිලියන 32යි. ඒත් දැන් මිලියන 500ක් විතර අය කරගෙන තිබෙනවා" විජිත හේරත් යළිත් පෙන්වා දුන්නේය." මේ කාර්යාලයට පැමිණිලි 1100කට වඩා ලැබී තිබෙනවා. ජනතා මුදල් කොල්ලකාපු අය අද පැත්තක. පැමිණිලි භාර ගන්න තැනක් නැහැ. දූෂණ ගැන හොයපු නිලධාරීන් වැරැදිකරුවන් කරන්නයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ" සුනිල් හඳුන්නෙත්ති යළිත් පෙන්වා දුන්නේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ජීවත්ව සිටියදී අනුරාධපුර, මහවිලච්චිය, ඇලපත්ගම නඟාසිටුවන්නට මූලික පියවර ගත්තද උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම කටයුතු සිදුනොවන තත්ත්වයට පත්විය. එහෙත් සෝභිත හිමි වෙනුවෙන් එම වගකීම භාර ගන්නට කතානායක කරු ජයසුරිය පියවර ගත්තේය.

යුද්ධයෙන් බැටකෑ මායිම් ගමක් වූ ඇලපත්ගමට නිවාස 153කින් යුතු ගම්මානය ඉදිකිරීම සිය යුතුකමක් සේ සැලකූ කතානායකවරයා වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි සංකල්පය අනුවම එහි කටයුතුවලට මුල පිරුවේය. ඒ සඳහා කතානායක කරු ජයසූරියගේ ඉල්ලීම මත මූල්‍ය ප්‍රදානය ඉන්දීය රජය සිදු කළේය. රුපියල් මිලියන 300ක් ඉන්දීය රජය පරිත්‍යාග කළ අතර ඒ පිළිබඳ ගිවිසුම පසුගියදා මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. කේ. කේ. අතුකෝරල අස්සන් කළේ කතානායක නිල නිවෙසේදීය. ඒ සඳහා චාම් උත්සවයක් කතානායක කරු ජයසූරිය විසින් සංවිධාන කොට තිබිණි.

බදාදා රාත්‍රියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත ද එක්ව සිටියේය.

ඔවුන්ගේ කතාබහේ මූලික තේමාව වූයේ සයිටම් ගැටලුවයි. "සෞඛ්‍ය ඇමැතිතුමා ප්‍රකාශ කරන්නේ රජයේ මතය. ඒ නිසා සෞඛ්‍ය ඇමැතිතුමාට ඔයගොල්ලෝ පෞද්ගලිකව පහර දෙන්න එපා" අගමැතිවරයා එහිදී කියා සිටියේය. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ සයිටම් වෛද්‍ය උපාධිවල ප්‍රමිතිය පිළිබඳවයි. "මම 2015දී ප්‍රමිතිය සකස් කිරීමට උත්සාහ කළා. ඒ වාර්තාව පසුගිය 22 භාර දීමට නියමිතව සිටියත් සිසුන් ඒක කඩාකප්පල් කළා. එම වාර්තාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කොට තිබනෙවා." එහිදී රාජිත කීවේය. "මම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මේ ගැන විමසුවා. එම කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු ගැසට් කරන්න පුළුවන් යැයි දැනගන්න ලැබුණා" එහිදී අගමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු විය. එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා නම් දෙකක් යෝජනා කළේය. "හොඳින් කල්පනා කර බලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පත් කළ යුතුයි. ඒ වගේම ක්‍රියාශීලී වෛද්‍ය සභාවකුත් පත් කළ යුතුයි" අගමැතිවරයා කියා සිටියේ වෛද්‍ය සංගමය වෛද්‍ය සභාවේ සභාපති ලෙස යෝජනා කොට තිබූ හිටපු සභාපතිවරයකුගේ සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයකුගේ නම ඇසීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මහාචාර්ය කොල්වින් ගුණරත්න එම තනතුරට පත් කිරීමට තීරණය වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලනිපයෙන් ඉල්ලා අස්වීමට යන බව කියන මැති ඇමැතිවරු ඒ පිළිබඳ නිරන්තරයෙන් කතා බහේ නියැළෙති. අරුන්දික ප්‍රනාන්දු සංවිධානය කළ එවැනි හමුවක් පසුගියදා මීගමුවේදීත් පැවැත්විණි. ආණ්ඩුවෙන් ඉවත්වන බවට ආරංචි පැතිර යන ජෝන්, ඩුලිප්, ලාන්සා, අරුන්දික, තාරානාත්, දුෂ්‍යන්ත, අනුරාධ, ටී.බී. ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ. ඔවුහු අගෝස්තු 21න් පසුව ගනු ලබන තීරණය පිළිබඳ ජනාධිපතිට දන්වා යැවීමට මේ දිනවල තමන්ගේ තීරණයට අදාළ වූ හේතු ඇතුළත් ලිපියක් ද සකසති. ඒ අනුව ශ්‍රී ලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වන බව ස්ථීර වෙමින් පවතී.

මොවුන් පිරිස ආණ්ඩුවෙන් ඉවත් වුවද ඒකාබද්ධ
විපක්ෂයට එක් නොවී සිටින බවද කියැවේ. ඒ ජාතික ආණ්ඩුවේ එජාප ශ්‍රී ලනිප ගිවිසුම ලබන
දෙසැම්බර්වලින් අවසන් වූ පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගනු ලබන
තීරණයෙන් පසුව ඉදිරි තීරණ ගැනීම සඳහාය. මේ අතර ඩුලිප්, ටී.බී. අරුන්දික ඇතුළු පිරිසක් හිටපු ජනපති මුණගැසී එම තීරණය පිළිබඳ සාකච්ඡා කොට ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

2017 ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් නිමාලි ලියනාරච්චි සහ රිදී පදක්කම්ලාභී ගයන්තිකා තුෂාරි අබේරත්න යන ක්‍රීඩිකාවන් දෙදෙනාම තමන් නියෝජනය කරන තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ පදිංචිකරුවන් වීම නිවාස ඇමැති සජිත්ගේ සතුටට කරුණක් විය. පසුගිය සැප්තැම්බර් මාසයේදී එම ක්‍රීඩිකාවන් දෙදෙනාට කොළඹට නුදුරු සයුරුපුර නිවාස සංකීර්ණයෙන් ලක්ෂ 45ක් වටිනා නිවාස දෙකක් දීමටද සජිත් පියවර ගෙන තිබිණි. පසුගියදා සජිත් ඔවුන් දෙදෙනාට දුරකතනය ඇමැතුමක් දුන්නේය. "ළඟදීම දිනයක් දාගෙන හම්බන්තොටට එන්න. තෑගි දෙකක් තියෙනවා දෙන්න" සජිත් කියද්දී ඔවුන් තෑගි පිළිබඳ නොඉවසිල්ලෙන් විමසන්නට වූහ. "මම ඔයාල දෙන්න ඔලිම්පික් යවල පදක්කමක් ගන්න පාර හදන්නයි යන්නෙ" සජිත් ඔවුන් තුළ තවත් කුතුහලයක් ඇති කරමින් උත්තර දුන්නේය. "අනේ සර් අපේ පුහුණුකරුවන්ටත් උදව්වක් කරන්න" ඔවුහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම ඉටු කිරීමටද සජීත් භාර ගත්තේය.

එළැඹෙන නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවට මුස්ලිම් පක්ෂ කිහිපයක් එකතු කොටගත් සන්ධානයක් ලෙස ඉදිරිපත්වීම සඳහා මුස්ලිම් නායකයෝ පිරිසක් උත්සාහ කරති. ඒ සඳහා වූ සාකච්ඡාවක් පසුගිය සතියේ සෙනසුරාදා යොදාගෙන තිබුණු නමුදු බලාපොරොත්තු වූ තරම් පිරිසක් සහභාගිවීමට පියවර නොගත් නිසා එය එදින පැවැත්වුණේ නැත. අඟහරුවාදා සවස යොදා ගත්තද එදිනද එය අසාර්ථක වූයේය. එම නිසා එම රැස්වීම මේ සති අන්තයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බදුර්දීන්, ජාතික කොංග්‍රසයේ නායක හිටපු ඇමැති අතාවුල්ලා යහපාලනය උදෙසා ජාතික පෙරමුණේ නායක එම්. රහුමාන්, නැඟෙනහිර නවෝදය සංවිධානය ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට සූදානමින් සිටිති. මුස්ලිම් කොංග්‍රසයේ හිටපු අමාත්‍ය හසන් අලි එහි කැඳවුම්කරු ලෙස ක්‍රියා කරයි. ඉදිරි නැඟෙනහිර පළාත් සභා මැතිවරණයට මුස්ලිම් සන්ධානයේ මහ අමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම ඔහුගේ අපේක්ෂාව වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කැඩී යෑමක් මේ නිසා සිදුවිය හැකි බව සිතන රවුෆ් හකීම් මීට සම්බන්ධ වීම මඟහරිමින් සිටින බව කියැවේ. හිටපු ඇමැති අශ්රෆ් යෝජනා කර තිබූ කොංග්‍රස් ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම, නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීම මොවුන්ගේ අරමුණකි. එමෙන්ම නැඟෙනහිර වෙරළ කලාපයීය ප්‍රදේශයට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා සිටීමද මොවුන් සන්ධානගත වීමේ අභිප්‍රායකි.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය බදාදා පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්විය. නව ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණේය. සමස්ත පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ඇතත් ඉන් ඉවත් වීමටද එම පක්ෂය තීන්දු කළ අතර එය ලබන සතියේදී කතානායක කරු ජයසූරිය මුණගැසී දැනුම් දීමටද කටයුතු යොදා තිබේ. ඒ අනුව මන්ත්‍රිවරු 225 දෙනා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි නොවන බැවින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ වලංගු භාවය ප්‍රශ්න කිරීමද ජානිපෙ අරමුණක් වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "පොදුජන යොවුන් පෙරමුණ" නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් සඳහා විශේෂ වැඩමුළුවක් පසුගිය ඉරිදා පැවැත්විණි. ඒ කොච්චිකඩේ 'රෙනෝවෙල්' උත්සවය ශාලාවේදීය. හත්සිය පනහකට අධික යොවුන් පිරිසක් ඊට සහභාගි වී සිටියහ. පක්ෂ නායක මහාචාර්ය ජී.එල්. සමඟ බැසිල් ඇතුළු පිරිසක් ඊට සහභාගි වී දැනුවත් කිරීමේ කටයුතුවල නියැළුණහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකයන් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් ජූලි 22 සිට අගෝස්තු 5 දක්වා සිදු කිරීමටද කටයුතු යොදා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රැස්වීමට නියමිතව තිබිණි. ඒ අනුකමිටු 6 යෝජනා පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහාය. එහෙත් හදිස්සියේම මෙන් අගමැති රනිල් වික්‍රමසිංහගේ දැනුම්දීමක් අනුව එය අවලංගු කරනු ලැබීය. එහෙත් ඒ වෙනුවට අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මෙහෙයුම් කාරක සභාව රැස්විය. මීට අමතරව දේශපාලන පක්ෂ අතර නව ආණ්ඩුක්‍රමය ගැනද සාකච්ඡා සිදු විය.

මේ අතර අඟහරුවාදා පැවැති මෙහෙයුම් කාරක සභාවේදී සුමන්තිරන් හා මනෝ ගනේෂන් වාදයක පැටලුණහ. "ෆෙඩරල් නම නැතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් කියලා උතුරේදී කියනවා. ඒ නිසා හාමුදුරුවරු කලබල වෙලා" මනෝ සුමන්තිරන්ට චෝදනා කළේය. "මම ටී. එන්. ඒ. ගැන බලාගන්නම්. ඔබ ඒ ගැන කතා කරන්න එපා" එහිදී සුමන්තිරන් කීවේය. "ඒත් ජනතාවට ප්‍රශ්න ඇති කරන්න එපා. බුදු දහමට තිබෙන ප්‍රමුඛතාව නැති කරන්නෙත් නැහැ. ෆෙඩරල් ගේන්නෙත් නැහැ. ඒත් නව ව්‍යවස්ථාවක් ගේනවා" එහිදී මනෝ ගනේෂන් කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්