ජූලි ඇවිත්...

  👤  4714 readers have read this article !
2017-07-13

"ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරමු" කියා 1977 රට පුරා ගැසූ පෝස්ටරය පුදුමාකාර එකක්ය. අවුරුදු 7ක් ආණ්ඩු කළ සමඟි පෙරමුණ ගෙදර යවන්නට ඒ පෝස්ටරය බලවත් විය. නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමැති වූ
ජේ. ආර්. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ජේ. ආර්. ඡන්දෙට ආවේ සමඟි පෙරමුණ සෝදා හරින්නටමය. හරියටම කීවොත් ඡන්දය තිබ්බේ 1977 ජූලි 22දාය. කීවා වගේම ජේ. ආර්.ගේ පක්ෂය ආසන 168න් ආසන 140ක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තේය. ආසන 18ක් ලබා ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් තරග කළ
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙවැනි තැනට එද්දී ශ්‍රී ලනිපයට හිමි වූයේ ආසන 7ක්ය.

"ජූලි" මාසය ධර්මිෂ්ඨ සමාජයට පාර හැදුවේ එහෙමය.

හැබැයි බිහිවුණේ "අපූරු" ධර්මිෂ්ඨ සමාජයක්ය. දිනෙන් දින අහසට නඟින බඩු මිල උහුලා ගත නොහැකි වූ මිනිස්සු 1980 ජුනි 5දා තම ඉල්ලීම් ලබාගැනීම සඳහා ආයතන ඉදිරිපිට පිකටින් කළහ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් ඊට එක්වූහ. ඊට පසුව 1980 ජූලි 15දා මහා වැඩ වර්ජනයක් සිදුවිය. දිනකට රුපියල් 10කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකගේ් ලක්ෂයකට ආසන්න පිරිසක් මීට අවුරුදු 37කට පෙර මහා වර්ජනයක් කළහ. වර්ජනය උග්‍ර වෙද්දී ජේ. ආර්. කළේ නිවේදනයක් කරමින් වර්ජනය කළහොත් වර්ජකයන් සේවය අතහැර ගියා සේ සලකන බවය. 1980 ජූලි 16දා රැස්වූ ඇමැති මණ්ඩලය එදිනම රාත්‍රි සිට රට පුරා හදිසි නීතිය පැනවීය.

එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළේ 40,356ක් සදහටම ගෙදර යවන එකය. ආණ්ඩුව අහිංසකයන් ගෙදර යැවුවේ ඒ මිනිසුන්ගේ ජීවිත සුනුවිසුනු කරමින්ය. එම වැඩ වර්ජනය නිසා සිය දිවි හානි කරගත් සේවකයන්ද කඩාකප්පල් වූ පවුල් ගණනද උන් හිටි තැන් නැතිව යාචකයන් බවට පත්වූ පිරිස්ද සිටිති. එම වර්ජනයට එක්වූ වෘත්තීය සමිති තහනම් කළ අතර වෘත්තීය සමිති කාර්යාලවලට සීල් තැබූ අතර එය 1935 වෘත්තීය සමිති ආඥාපනත අනුව ලියාපදිංචි වෘත්තීය සමිතියකට තිබූ අයිතිය පැහැර ගැනීමක්ය. 1951 කම්කරු ආරවුල් පනත යටතේද ක්‍රියාකළ නොහැකි වූ අතර 1980 ජූලි වර්ජනයට සම්බන්ධ සේවකයන් සේවයෙන් නෙරපා හැරීම 1978 ව්‍යවස්ථාවේ ඇති බලයද ශූන්‍ය කිරීමක් විය. ගෙදර යැවූ වර්ජකයන් වෙනුවට ආණ්ඩුව කළේ පක්ෂයේ මන්ත්‍රිවරු මඟින් අයැදුම්පත් ගෙන්වාගෙන පුරප්පාඩු පුරවන එකය.
කොළඹ සමස්ත ලංකා බෞද්ධ සමිති ශාලාවේ පැවැති රැස්වීමක කතා කරමින් සිටියදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව ඉතා නින්දිත ලෙස ශාරීරික වශයෙන් මැර ප්‍රහාරයකට ලක්කර අසල කානුවකට ඇද දමන ලද්දේ 1982 ජූලි 21දාය.

1980 ජූලි 19දා රත්මලාන මැලිබන් හන්දියේදී ජූලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීද ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් තිබූ රැලියකදී ජේ. ආර්. ආන්දෝලනාත්මක අනතුරු ඇඟවීමක් කළේය.
"ව්‍යවස්ථානුකූලව තියෙන බලයට අනුව ගැහැනියක මිනිසකු කිරීම හැර වෙන ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් මට බලය ඇත."
ඔහු උජාරුවෙන් කීවේය.

පාර්ලිමේන්තුවේ නිල කාලය 1983 ජූලි මස අවසන් වීමට නියමිතව තිබ්බේය. එහෙත් ජේ. ආර්. කළේ ජනමත විචාරණයක් මඟින් නිල කාලය තවත් වසර 6කින් ව්‍යවස්ථානුකූලව දික්කර ගන්නා එකය.

මේ රටේ කැලැන්ඩරයේ කළුවරම මාසය කුමක්ද කියා සොයා බැලුවොත් දෙපාරක් හිතන්නේ නැතිව කියැවෙන්නේ "ජූලි මාසය" කියලාය. 1983 ජූලි මාසයේදී දිවයින තුළ, රට පුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට දැන් වසර 34ක් ගත වෙලාය. කොටි සංවිධානය විසින් 1983 වසරේ ජූලි මස 23දා හමුදා භටයන් 13 දෙනකු මරා දැමීමේ සිද්ධිය මුල්කරගෙන මේ මහා විනාශය සිද්ධ වුණේ ඉතිහාසයට මහා කළු පැල්ලමක් එකතු කරමින්ය. සෙබළුන් 13 දෙනකු කොටි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමෙන් කෝපයට පත් හමුදා සෙබළුන් ජූලි 24දා උදෑසන පලාලි, ගුරුනගර් හා යාපනය කොටුව කඳවුරුවලින් එළියට පැමිණ දිගට හරහට වෙඩි තැබීම නිසා යාපනයේ සාමාන්‍ය වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්විය. මියගිය සෙබළුන් කොළඹට ගෙනා ආණ්ඩුව ඒ සිරුරු මිහිදන් කළේ ජනතාව කුපිත වෙන තැනට වැඩ සලසමින්ය.

මෙම සිදුවීමෙන් කුපිත වූ සිංහල කලහකාරී පිරිස් විසින් සතියක පමණ කාලයක් තුළදී දෙමළ වැසියන් පිරිසක් ඝාතනය කරන ලද අතර දෙමළ වැසියන්ට අයත් 23,000කට අධික ප්‍රමාණයක් නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කොට විනාශ කරනු ලැබීය. 150,000ක් පමණ දෙමළ වැසියන් අවතැන් වූ අතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් කැනඩාව හා ඕස්ට්‍රේලියාව ආදී රටවල සරණාගතයන් ලෙස සංක්‍රමණය වීමද මේ ව්‍යසනයෙන් පසු සිදු විය. තීරණාත්මක යුද්ධය පටන් ගත්තේ ඊට පස්සේය. බොරැල්ලෙන් ආරම්භ වූ මෙම විනාශකාරී ජාතිවාදී රැල්ල දෙමටගොඩ, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, තිඹිරිගස්යාය, හැටේවත්ත, කොටහේන, නාරාහේන්පිට, කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, මෝදර හා කොම්පඤ්ඤවීදිය ආදී ප්‍රදේශවලට පැතිර ගොස් රටම වෙළා ගත්තේ මහා ව්‍යසනයක් කරමින්ය.

මේ මහා ව්‍යසනයට එරෙහිව "ඇල්මැරුණු" පිළිවෙතක හිටිය ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව කළේ 83 ජූලි 30දා නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මෙම කෝලාහල ඇවිළවූ බවට ප්‍රකාශ කරමින් තහනම් කරන එකය. 88-89 සමයේ දකුණේ ඇති වූ කැරැල්ලට මඟ පෑදුවේ මේ ව්‍යසනයමය.

1987 ජූලි 28දා කොටුව බෝගහ අසල 20,000කට ආසන්න ජනතාවකගේ සහභාගිත්වයෙන් මහා විරෝධතාවක් පැවැතිණි, ඒ විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝය. ආණ්ඩුව ඔවුන්ට එළවා එළවා පහර දුන්නේය.
ඒ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවය. ආණ්ඩුව කළ වෙඩි තැබීමකදී 21 දෙනකු එම ස්ථානයේදීම මිය ගියේය.

එහෙම බැලුවම ජූලි කියන්නේ මළ ජූලියක්ය. එහෙමත් නැත්නම් කළු ජූලියක්ය.
එහෙම බැලුවම ජූලි මාසය මේ රටේ කැලැන්ඩරයේ කළු පාට වසරක් කළේ එක්සත් ජාතික පක්ෂයය. දැන් එළැඹ තියෙන්නේ ජූලිය ය. වටින් ගොඩින් රත් වෙන්නේ පුරුදු රටාවක ඉඟි පෙන්වමින්ය.

දැන් විපක්ෂය කියන්නේ ආණ්ඩුව දෙවැනි කළු ජූලියට "ආරාධනා" කරන බවය. හැමතැනම වර්ජනය.
"දැන් බලන්න විශේෂයෙන් මුස්ලිම් දේවස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට පහර එල්ල වෙනවා. ඇත්තෙන්ම මෙවැනි දෙයක් සිදුවුණොත් ඊට අදාළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්. නමුත් මෙතැනදී පහරදීම් පෙනෙන්න තිබෙනවා. කළ කෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එහෙම නම් අපට හිතන්න වෙන්නේ මේ දේවල් මේ ආණ්ඩුව විසින්ම සිදු කරන හැටියටයි. මේ ආණ්ඩුවට ජාතිවාදී ගැටුම් වළක්වන්න කිසිම වුවමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදී ගැටුම් අවුළුවන්න. සිංහල - මුස්ලිම් ජාතිවාදී ගැටුමකට පාර කපන්න. මේ ආණ්ඩුවට අද ඕනෙ වෙලා තිබෙනවා දෙවැනි කළු ජූලියක්. ඒ දෙවැනි කළු ජූලිය ඇති වුණාම ඔවුන්ට පුළුවන් හදිසි නීතිය ගෙන එන්න. ඒ මඟින් රට බෙදන ව්‍යවස්ථාවට, එට්කා ගිවිසුමට එරෙහිව සටන් වදින දේශපාලන පක්ෂ තහනම් කිරීමටත් මේ ආණ්ඩුව අවස්ථාව පාදා ගනීවි. මේ අඳුරු සහගත ඉරණමෙන් රට බේරාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා"

මෙහෙම කීවේ විමල් වීරවංශය. උඩින් අතපත ගාන සරල දේශපාලනයෙන් මිදී බැලුවොත් ඒ කතාවේ කිසියම් ඇත්තක් හොයා ගන්නට අමාරු නැත.
ආගමික වශයෙන් අතිශය සංවේදී කාරණාවලට ආණ්ඩුව ඉව අල්ලමින් සිටී. විහාරස්ථානවල පැවැත්මට "ටොකු" අනිමින් සිටී. සංහිඳියාවට මුවා වෙමින් අසමතුලිත "රටාවක්" හදමින් සිටී. ව්‍යවස්ථාව මඟින් බෞද්ධ උරුමයට පහර දීමට පිඹුරුපත් හදන බව කියන්නේ ආණ්ඩුවේම සමහර ඇමැතිවරුන්ය.
ඒ අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල ආරම්භ කරමින් සිටී. බදු පනත් ගෙනෙමින් ව්‍යාකූලත්වයට පාර කපමින් සිටී.

මේ සියල්ල අතර ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙමින් තිබේ.
ජේ. ආර්. ධර්මිෂ්ඨ පාලනයක් ගෙනාවේ "උපාසක" ලීලාවෙන්ය. මේ අය "යහපාලනයෙන්" ගේන්න යන්නේ මොනවාද කියා ටික දවසක් යනකොට දකින්න හැකිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්