කැබිනට් මණ්ඩලයේදී ජනපති පුස්ස බිඳියි

  👤  4874 readers have read this article !
2017-07-09

තෛ්‍රනිකායික මහා සංඝරත්නය අඟහරුවාදා ආණ්ඩුවට ඉදිරිපත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව කිසියම් තිගැස්මකට පත්ව තිබිණි. නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව, අතුරුදන්වූවන් සම්බන්ධ පනත ඉදිරිපත් කිරීමට විරෝධය පෑම ආදී කරුණු කිහිපයක්ම එහි අඩංගුව තිබිණි.

මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ ජනාධිපති මෛත්‍රි බ්‍රහස්පතින්දා නුවර පිහිටි ජනාධිපති මන්දිරයට මහා නාහිමිවරුන් වැඩම කරවා ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කළේය. "මහා සංඝරත්නයේ ආශීර්වාදය නැතිව නව ව්‍යවස්ථාවක් නොගෙනෙන බව මෙහිදී මෛත්‍රි ප්‍රකාශ කළේය. බුදු දහමට ප්‍රමුඛතාව දීම ආදී වගන්ති කිසිසේත් වෙනස් නොකරන බවටද පොරොන්දු විය. මේ අතර අර්ජුන වැනි ඇමැතිවරුන් බුදු දහමට මූලිකත්වය දෙන වගන්ති ඉවත් කරන්නේ නම් තමන් ආණ්ඩුවේ නොසිටින බවටද අනතුරු හැඟවූයේය.

මේ අතර අතුරුදන්වූවන් පිළිබඳ පනත බදාදා ඉදිරිපත් නොකිරීමටද රජය කටයුතු කළේය. එය මහා සංඝරත්නයේ විරෝධය හමුවේ සිදු වූවක් නොවුණද දෙමළ හා ඉංගී්‍රසි භාෂාවන්ගෙන් එම පනත සකස් කොට නොතිබීම ඊට හේතුව වූයේය. මේ අතර අධිකරණය හා ආණ්ඩුව අතර දැන් දැන් ගැටුම් නිර්මාණය වන සෙයක්ද විද්‍යමාන වෙයි. මුතුරාජවෙලට කුණු බැහැර කරලීම වළක්වාලමින් ශේ්‍රෂ්ඨාධිකරණය දුන් තීන්දුව එහි ආසන්නතම උදාහරණයයි. මෙය අගමැතිවරයාගේද දෝෂ දර්ශනයට ලක්විය. මේ රට ගමන් කරන ආකාරය අනුව අධිකරණය හා ආණ්ඩුව අතර හැලහැප්පීම් ජේ.ආර්.ගේ කාලයටත් පෙර සිටම පවතින්නකි.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ගෙවී ගිය කාලය තුළ පැවැති ආන්දෝලනාත්මකම කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා පැවැත්විණි. ඒ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ජුනි 30දා වසර එකහමාරක කාලය අවසන් වූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ කාලය දිගු කිරීමට ෆොන්සේකා කළ ඉල්ලීමත් සමඟ කැබිනට් මණ්ඩලය දැඩි ආවේගකාරී ස්වභාවයක් ගත්තේය. "කවුද මේකට වගකියන්නේ, මේක ගැන බරපතළ ප්‍රශ්න තිබෙනවා" මෙහිදී මෛත්‍රි කීවේය. "මේක මගේ යටතේ නෙවෙයි තියෙන්නේ" එහිදී අගමැතිවරයාගේ පිළිතුර වූයේය.

"දැන් වගකියන්න කවුරුවත් නැහැ, මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ජීවිතය පරදුවට තියලා. පරාද වුණා නම් මට, මගේ පවුලට මොන ඉරණමක් අත්වේද කියන්න බැහැ. එජාපය මාව ජනාධිපති කළ එක ඇත්ත. ඒත් දැන් සිදුවන දේවල් අනුව රාජපක්ෂලා බලයට ආවොත් යූ.එන්.පි.යේ අයට නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් මටත් රාජිත, චම්පික වගේ කිහිප දෙනකුට කුමන ඉරණමක් අත්වේද කියන්න බැහැ. පසුගිය ආණ්ඩුවේ අයගේ දූෂණ සොයන්න බාධා තියෙනවා කියලා දැනගන්න තිබෙනවා." එහිදී ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය. "ඒ බලපෑම් තියෙන්නේ කාගෙන්ද කියලා කියන්න පුළුවන් නේද?" එහිදී ජනාධිපතිවරයාට පිළිතුරු දුන්නේ අගමැතිවරයාය. "ඔව්, පුළුවන්, ඒ අය ගෙන්නලා වෙන වෙනම විමසන්න පුළුවන්." එහිදී ජනාධිපතිවරයා කීවේය.

මෙහිදී රාජිත ද එම කතාබහට එක් වෙමින් "මේකෙ විමර්ශකයො ඉන්නෙ 6 දෙනයි. ඒත් උපදේශකලා කියලා තවත් පිරිසක් පත් කරලා ඉන්නවා. ඒත් වැඩක් නැහැ. නමුත් මාසෙකට මිලියන 12 විතර මේ අයගේ නඩත්තුවට රජය වියදම් කරනවා" ඔහු කීවේය.

"ඔව්, පරීක්ෂණ 76ක් විතර කරලා තියෙන්නේ මාත් එක්ක ඉන්න පිරිසට විරුද්ධව. පියංකරගේ දුවට රැකියාවක් දුන්නා කියලා නඩු දානවා. ෆවුසි හිටපු අමාත්‍යාංශයේ වාහනය ඊළඟ අමාත්‍යාංශයට අරගෙන ගියා කියලා නඩු දමනවා. ලලිත් වීරතුංගට විරුද්ධවත් නඩු දමලා. පුළුවන් නම් ඒ මිනිහවත් හිරේ දමන්න. එතකොට එකම රාජ්‍ය සේවකයෙක්වත් වැඩ කරන එකක් නැහැ. මේ ඔක්කොම බොරු නඩු" මෛත්‍රි යළිත් අවධාරණය කළේය.

"මූල්‍ය ගනුදෙනු පිළිබඳ ඇතැම් චෝදනා ඔප්පු කරන්න බැහැ." මෙහිදී මංගල කී අතර ඊට පිළිතුරු දුන්නේ රාජිතයි" ඇයි බැරි, ගාමිණී සෙනරත්ල මලුවල දමාගෙන ගිහින් මුදල් තැන්පත් කළ හැටි රියැදුරා කියනවා. ඒ වගේ බ්ලැක්ස් සීට් තියෙනවා. ඇයි ඒවට විරුද්ධව කටයුතු කරන්න බැරි" ඔහු විමසීය.
"තමන් දුර්වල කරලා ආණ්ඩුව ගෙනයන්න හිතනවා නම් ඒක ලෙහෙසි නැහැ" මෙහිදී මෛත්‍රි කීවේය. "මේ ප්‍රශ්න මම ඒ දවස්වලම පෙන්වා දුන්නා. ඒවා කළා නම් අද මෙවැනි දේවල් කතා කරන්න වෙන්නේ නැහැ" අර්ජුන රණතුංග කියා සිටියේය.

"ඇවන්ගාඩ් හොරු අල්ලන්නේ නැහැ. අපේම අය ඒගොල්ලො ආරක්ෂා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ තිබෙනකම් මේවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නැහැ" මෙහිදී ෆොන්සේකා කියා සිටියේය. ඊට පිළිතුරු දුන් ආචාර්ය විජයදාස "මට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න බැහැ" යැයි කියා සිටියේය.

"අපි බලයට ආවේ මහා පරිමාණ වංචා දූෂණ අල්ලනවා කියලා. ඒත් එහෙම සිදු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බැරි නම් පොලිසිය, එෆ්. සී. අයි. ඩී.ය, නීතිපති දෙපාර්තමේන්තුව මට දෙන්න. මම මාස තුනෙන් හොරු අල්ලලා පෙන්වන්නම්" මෙහිදී ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කළේය. "ඒක හොඳයි මාස තුනෙන් බැරි නම් 6ක් ගිහිල්ලා හරි ඒ කටයුතු සිදු වෙනවා නම් හොඳයි" එහිදී රාජිත කියා සිටියේය.

ගංවතුර ආපදා සහනාධාර ලෙස රජයේ මුදල්, ඇමැති වජිර තමන්ටත් නොදන්වා තනිවම බෙදා දෙමින් ලකුණු දමා ගැනීමට කටයුතු කරන බව මෙහිදී ගයන්තත්, චන්දිමත් චෝදනා කළහ. "ඒ වගේ වැඩවලදී ආණ්ඩුවේ අය සහභාගි කරගන්න" එම ප්‍රශ්නය දුරදිග යෑමට නොදී ජනාධිපතිවරයා කියා සිටියේය.
සයිටම් ගැටලුව පිළිබඳවද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු විය. පාඨලී, නවීන් හා දයාසිරි ඒ පිළිබඳ දැඩිව කරුණු ගෙනහැර පෑහ. "සයිටම් ගැටලුවට විසඳුම් දෙන්න පුළුවන් ක්‍රම 3ක් මම දකිනවා. එකක් තමයි ඒක රජයේ හා පෞද්ගලික අංශයේ එකතුවක් ලෙස පවත්වාගෙන යෑම. නැති නම් කොටස් වෙළෙඳපොළට ඒක දාන්න පුළුවන්. නැතිනම් භාරකාර මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා හැකියි" නවීන් කීවේය.

ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන්ගේ හැසිරීම් ගැනද මෙහිදී සාකච්ඡාවට ගැනිණි. නිමල් සිරිපාල අදහස් දක්වමින් "තෙවරප්පෙරුම හිටපු ගමන් උපවාස කරනවා. රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව වැඩ කරනවා. එහෙම වුණාම හොඳ නැත්තෙ ආණ්ඩුවටමයි" නිමල් චෝදනා කරද්දී "එහෙම වෙන්න දෙන්න එපා. රාජ්‍ය නිලධාරීන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න" ජනාධිපතිවරයා කීවේය.

තේ වතුහිමියන්ට පොහොර සහනාධාරය ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව මෙහිදී තලතා කීවාය. ඊට පිළිතුරු දෙමින් නවීන් "දෙන්න පුළුවන් ප්‍රමාණය දුන්නා. සහනාධාර මානසිකත්වයෙන් හැමදාම යැපෙන්න බැහැ" යැයි කීවේය.

රටේ සංවර්ධන කටයුතුවලදී මැති ඇමැතිවරුන්ට ගමට යන ලෙසට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ඔහු එවැනි අදහස් දැක්වීම් ඇමැතිවරුන්ට මීට පෙරද සිදු කොට තිබිණි. "විශේෂයෙන් උතුරු නැඟෙනහිර කටයුතු පිළිබඳ සොයා බලන්න" මෛත්‍රි වැඩිදුරටත් කීවේය.
උතුරුමැද මහ ඇමැතිවරයා විදුලි වැට ඉදි කිරීමේදී ප්‍රශ්න ඇති කරන බවට මෙහිදී ගාමිණී ජයවික්‍රම චෝදනාවක් කළේය. ඊට පිළිතුරු දෙමින් මෛත්‍රි "ඔය වගේ ප්‍රශ්න තිබුණත් සංවර්ධන වැඩවලට බාධාවක් කර ගන්න එපා" යැයි කියා සිටියේය.

තෛ්‍රනිකායික මහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය රජයට සිදු කළ යෝජනා සම්බන්ධව හිටපු ජනපති මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අඟහරුවාදා කතාබහක නියැළී සිටියහ. ඒ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිල නිවෙසේදීය.

"මහා සංඝරත්නයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් දක්වලා තියෙන නිසා අපි ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ඉන්නවාද නැද්ද කියලා තීරණයක් ගන්න ඕන" එහිදී මහින්ද අවධාරණය කර සිටියේය. "ඒක ඇත්ත, උගතුන් බුද්ධිමතුන් වගේම මහා සංඝරත්නයත් අපෙන් අහනවා මේ කමිටුවේ ඉ¼දගෙන කරන්නේ මොනවද කියලා. හැමෝම කියන්නේ අපිට අයින් වෙන්න කියලා" ප්‍රසන්න කීවේය. "අපි මෙච්චර කල් බැලුවා. දැන් තීරණයක් ගන්න කාලේ හරි" බව දිනේෂ්ද සිහිපත් කළේය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව තීරණය කළේය. එම තීරණය ලිඛිතව දැනුම් දීමේ වගකීම පැවැරුණේ දිනේෂ් ගුණවර්ධනටයි. මැතිවරණය කල් දැමීම, රණවිරුවන් දංගෙඩියට යැවීම, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ විරෝධය ආදී කරුණු රැසක් ඒකාබද්ධ විපක්ෂයේ තීරණයට හේතු වූයේය.

"අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගේන්න හදන්නේ මායි රණවිරුවන්වයි හිරේ දාන්න. මේ පනතෙන් මුළු රටම භයානක ඉරණමකට මුහුණපානවා. ඒ නිසා මේ පනත පරාජය කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන" මහින්ද තවත් කරුණක් මතු කළේය.

අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදුවී ඇති බව සැලවූ කතාබහ පිළිබඳවද මෙහිදී අවධානය යෙමු කෙරිණි. "අද උදේ කැබිනට් රැස්වීමේදී ලොකු කතාබහක් ගියාලු නේද?" යි අසමින් එම කතාබහට ප්‍රසන්න මුලපිරුවේය. "ඔව් ඔව්, එතැන හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම මට ඒ ගැන කතා කරලා කිව්වා. මා ගැනක් ලොකුවටම විවේචනය කරලා තියෙනවා" මහින්ද රාජපක්ෂද එම කතාබහට එක් වූයේ තමන්ට ලැබුණු ආරංචි සිහිපත් කරමින්ය.

"පොලිස් දෙපාර්තමේන්තුවයි නීතිපති දෙපාර්තමේන්තුවයි මාස තුනකට දුන්නොත් හොරු අල්ලලා පෙන්වන්නම් කියලා ජනාධිපති කිව්වලු" එසේ කීවේ සනත් නිශාන්තයි. "ඒවා ඉතින් කවුරුවත් දෙන්න ඕනෑයැ, එතුමනේ ජනාධිපති, අවශ්‍ය නම් එතුමට පවරා ගන්න පුළුවන්" ප්‍රසන්න යළිත් කීවේය. "අනික් එක ජනාධිපතිතුමාමනේ ඔය ආයතන ඔක්කොම එජාපයට දුන්නේ" පියල් නිශාන්ත පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසුව ඇමැති මංගලට ගුවන් විදුලි සංස්ථාවේ ඇතැම් විකාශන පිළිබඳ පැමිණිලි රැසක් ලැබිණි. ඉන් එක් පැමිණිල්ලක් වූයේ මෙගා හර්ට්ස් 102.1 මඟින් විකාශය වන දෙමළ මාධ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන්ය. පෙ.ව. 8.30ත් ප.ව 12.30 දක්වාත් රාත්‍රි 8 සිට 9 දක්වාත් විකාශය වන එම නාළිකාව මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කරන වැඩසටහන් විකාශය කරමින් සිටින බව ඔහුට අනාවරණය කෙරිණි. ඒ පිළිබඳ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ගෙන්වා කරුණු විමසීමටද මංගල පියවර ගත්තේය. ඒත් ඒ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බව ඔවුන්ගේ අදහස වී තිබේ. "මේ වගේ අන්තවාදය ව්‍යාප්ත කරන වැඩසටහන් විකාශනය වහාම නවත්වන්න. සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදයට වැට බඳින්න" මංගල ඔවුන්ට නියෝග කළේය."
ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන පනතක් මේ දිනවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මූලිකත්වය ගෙන සකස් කරමින් සිටියි.

ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවීම නිසා ඇමැති මංගල පසුගියදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන ගෙන්වා කරුණු විමසීය. "මේ ආණ්ඩුව ආවේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න. ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් මර්දනය කරන කිසිදු වගන්තියක් මේකට ඇතුළත් කරන්න එපා" මංගල ඔවුන් දෙදෙනාට දැඩිව අවධාරණය කළේය.

සර්ව ආගමික සමුළුවේ නියෝජිත පිරිසකුත් කතානායක කරු ජයසූරිය ඇතුළු පක්ෂ නායකයනුත් අතර විශේෂ හමුවක් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. රට තුළ කාලීන වශයෙන් උද්ගත වී ඇති ප්‍රධාන ගැටලු පිළිබඳ තීරණ ගැනීමේදී සර්වාගමික සමුළුවේ මතය දැක්වීමට අවකාශ ලබා දෙන ලෙස මෙහිදී සර්වාගමික නායකයෝ ඉල්ලීමක් කළහ. එමෙන්ම සර්වාගමික සමුළුව වෙත යම් පිළිගැනීමක් ලබාදීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට භාජන විය. ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ ආගමික නායකත්වය එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්ම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව රටේ විවිධ පාර්ශ්වයන්හි පවතින මතිමතාන්තර පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර සර්වාගමික සමුළුව විසින් ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අවධානයට ලක් කිරීමටද මෙහිදී කතානායක කරු ජයසූරිය පොරොන්දු විය.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, බෙල්ලන්විල විමලරතන, තිනියාවල පාලිත, නාගොඩ අමරවංශ, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, බානගල උපතිස්ස, වල්පොළ විමලඤාණ, හොරවල ධම්මජෝති, කිහිඹියේ විජිත, රුක්මලේ ධම්මකිත්ති යන භික්ෂුන් වහන්සේද අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා ඇතුළු ඉස්ලාම්, හින්දු හා ක්‍රිස්තියානි නායක පූජකවරු පිරිසක් සර්වාගමික සමුළුව නියෝජනය කරමින් සහභාගි වී සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ තෙවැන්න සඳුදා ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ය. එම ජන රැලියේ සංවිධාන කටයුතුවල නිරත වෙමින් සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමට ඉරිදා පළාත් පාලන ඡන්දය සම්බන්ධව අලුත් ආරංචියක් ලැබිණි. ඒ මැතිවරණය තවත් මාස තුනකින් කල් දමමින් පළාත් පාලන ඇමැති මුස්තාපා නිකුත් කළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙනි. "ආණ්ඩුව ආයෙත් පළාත් පාලන මැතිවරණය කල් දමලා නේද?" විමලවීර දිසානායක මන්ත්‍රිවරුන් අතර කතාබහකට මුල පිරුවේය. "මේ ආණ්ඩුව තරම් ඡන්දවලට බය ආණ්ඩුවක් තිබිලම නැහැ. ඡන්ද සිතියම අකුළල හරි තමන්ගේ බලය රැක ගන්න තමයි ආණ්ඩුවට ඕන" යැයි ප්‍රසන්න රණතුංග කියා සිටියේය. "ආණ්ඩුව ඡන්ද කල් දමන්නේ පරදින බව දන්න නිසා" සී. බී. කීවේය. "පොරොන්දු ඉෂ්ට නොකර ජනතාව අතරට යන්න ආණ්ඩුව බයයි" ප්‍රසන්න යළිත් පැවැසීය. "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කයිවාරු ගැහුවට ආණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකුම හතුරා වෙලා ඉවරයි." එහිදී මහින්දානන්ද කීවේ එවැනි කතාවකි.

පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් මේ ජනරැලි මාලාව දිවයින පුරාම පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය අදහස් කර ඇත. මේ අනුව මීළඟ රැලිය පොළොන්නරුවේදී පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂය කතිකා කරමින් සිටියි.

කොළඹ විශ්වවිද්‍යාලය මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේය. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ලබාදීමට රජයේ ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණට ආරංචියක් ලැබී තිබිණි. ඒ පිළිබඳ පසුගියදා ජවිපෙ මන්ත්‍රි කණ්ඩායම දීර්ඝ සාකච්ඡාවක නිරත වූහ. ඒ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදීය. "මේ කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලා විකුණන්න. ඒ වගේම දේශපාලනඥයන්ට ඕන විදියට විශ්වවිද්‍යාලය හසුරුවන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදා ගන්න" වෛද්‍ය නලින් ද ජයතිස්ස කියා සිටියේය. "මේක එජාප මන්ත්‍රිවරුන්ගේ මැදිහත්වීම මත තමයි කෙරෙන්නේ. ආණ්ඩුව කළ යුත්තේ අලුතින් විශ්වවිද්‍යාල හදන එක වුණත් දැන් කරන්නේ තිබෙන ඒවත් නිදහස් අධ්‍යාපනයෙන් ගලවන එක" යැයි බිමල් රත්නායක කියා සිටියේය. "විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ගැලෙව්වම කොළඹ විශ්වවිද්‍යාලයට ස්වාධීන තීරණ ගන්න පුළුවන්. තමන් කැමැති විදියට සිසුන් ගන්නත් පාඨමාලා හදලා විකුණන්නත් පුළුවන්" සුනිල් හඳුන්නෙත්තිද එම කතාබහට එක් වූයේය.

මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමටද ජවිපෙ තීරණය කළේය. ඒ අනුව පසුගිය අඟහරුවාදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයන් කෝප් කමිටුව අබිමුවට කැඳවීමට කෝප් කමිටුවේ සභාපති කඩිනමින් පියවර ගත්තේය.

බ්‍රහස්පතින්දා නැඟෙනහිර මහ ඇමැති නසීර් අහමඩ් අරලියගහ මන්දිරයේදී අගමැති වික්‍රමසිංහ හමුවිය. නැඟෙනහිර පළාතේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු මෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් ගැනද මෙහිදී දෙදෙනාගේ කතාබහට ලක්විය.
"නැඟෙනහිරට අපි අද්දැකීම් බහුල, ලෝක සබඳතා ඇති රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයා ලෙස පත් කළා. නැඟෙනහිර සංවර්ධනය කරන රජයේ සැලැස්මේ පිටපතක් මහමැතිතුමාට අපි දෙන්නම්. ඒ අනුව වැඩ කරන්න. රෝහිත බෝගොල්ලාගමට පුළුවන් නැඟෙනහිරට විදේශ ආයෝජන ගේන්න. ඉන් ප්‍රයෝජන ගන්න" මෙහිදී අගමැතිවරයා කීවේය.

අනතුරුව එජාප මැති අමැතිවරු පිරිසක්ද අගමැතිවරයා හමුවූහ. ඒ රටේ පවතින කාලීන ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කිරීම සඳහාය. ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජපක්ෂ යුගයේ මහ හොරු ඇල්ලීමට ක්‍රියා නොකිරීම ගැන කරන ලද චෝදනා ගැනද මෙහිදී අවධානය යොමු විය.
"ජනපතිතුමා එකපාරටම ෆයර් වීම ගැන ශ්‍රී ලනිප අයත් පුදුම වුණා. එතුමා කියපු සමහර ඒවා ඇත්ත. ඒත් අගමැතිතුමා තත්ත්වය කූල් කරපු එක වටිනවා" කිරිඇල්ල කීවේය. "මේ ගැන ක්‍රියා කරන්න පොලිසියට හා අදාළ අයට වගකීම් පවරලයි තියෙන්නේ. අපි ඇඟිලි ගැහුවෙ නැහැ. ඒත් සමහර තැන්වල ප්‍රමාදයක් තියෙනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඒ පමාවෙන නඩු ඉක්මන් කරන ක්‍රියාමාර්ගවලට යා හැකියි. දූෂණ කොමිසම කාගෙවත් යටතෙ නැහැ. ඉක්මනින් ඒ අය පොලිසිය යටතට දැමීමෙන් වැඩ ඉක්මන් වේවි" අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

"නව ව්‍යවස්ථාවටත් ඔය හාමුදුරුවරු විරුද්ධයි වගේ. දැන් මේ ව්‍යවස්ථාව එපා කියන්නෙ මහින්දට සහාය දීපු හිමිවරු. නව ව්‍යවස්ථාව අවශ්‍යයි කියලා ලක්ෂ 62ක් අනුමත කරලයි තියෙන්නෙ. ව්‍යවස්ථා සභාව දිගටම රැස්වෙනවා. කෙටුම්පත ළඟදීම රට හමුවේ තියනවා" එහිදී අගමැතිවරයා කීවේය.
"කුණු ජාතික ප්‍රශ්නයක්. උසාවි වගකීමෙන් ක්‍රියාකළ යුතු බව මම පාර්ලිමේන්තුවේදිත් කිව්වා. පුත්තලමේ කුණු වළවල් 3න් 2කට තහනම් නියෝග දීලා. පුදුමයි. රටේ ප්‍රශ්න ගැන උසාවිත් ප්‍රායෝගිකව වැඩකළ යුතුයි" අගමැතිවරයා යළිත් කීවේය.

යුද හමුදාවේ දිගු දුර විහිදුම් බළකායේ ප්‍රහාරකයකු ලෙස ක්‍රියාත්මක රාජකාරියේ යෙදී සිටියදී යුද්ධයේ අවසන් කාලයේ ජීවිතක්ෂයට පත් නීරෝ හෙවත් ඩබ්ලිව්. ඊ. රංජිත් ප්‍රේමසිරි රණවිරුවා නමින් උදා ගම්මානයක් ඉදිකිරීමට නිවාස ඇමැති සජිත් පසුගිය සති අන්තයේ මුල්ගල් තැබුවේය. එම ගම්මානය "වීරෝදාර රණවිරු නීරෝ ගම්මානය" ලෙස නම් කොට තිබිණි. නිවෙසක් නොමැතිව සිටි නීරෝගේ මවටද ආණමඩුව ගම් උදා භූමියේ නිවෙසක් ඉදිකිරීමටද මීට පෙර සජිත් කටයුතු කළ අතර නීරෝ ගමට මුල්ගල තැබීමෙන් පසුව සජිත් නීරෝගේ මව වෙනුවෙන් නිවෙස ඉදිකරන ස්ථානයට ගියේය. එහිදී එම මාතාව සමඟ පිළිසඳරේ යෙදුණු සජිත් "වෙන මොනවද අම්මට අපෙන් වෙන්න ඕනෑ" යි විමසා සිටියේය. "අනේ පුතේ මගේ පුතාගේ පිළිරුවක් හදන්න ඇත්නම්" යැයි ඇය එම මොහොතේ සුසුම් හෙළුවාය. එහිදී සජිත් "හරි අපි ගම්මානය විවෘත කරනකොට ඒ පිළිරුවත් විවෘත කරමු" යැයි කියමින් ඇය අස්වසාලූයේය.

අඟහරුවාදා සවස අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සහ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පළාත් පාලන මැතිවරණය කල් යෑම සම්බන්ධව මතු වී ඇති තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම එහි මූලික පරමාර්ථය වී තිබිණි. ඔක්තෝබර් 1දා වනතුරු පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට හේතු වූ කරුණු මෙහිදී ඇමැති මුස්තාපා කීවේය "මේකෙ තාක්ෂණික දෝෂ තියෙනවා. ඒවා හදා ගන්නකං තමයි මැතිවරණය කල් දැම්මේ, ඒත් පක්ෂ නායකයන් එකඟ වී එම තාක්ෂණික දෝෂ සකස් කර ගත්තොත් ඉක්මනින් ඡන්ද පවත්වන්න මේ ගැසට් එක බාධාවක් නැහැ" ඔහු කීවේය. "මේක සම්මත කරන්න විශේෂ දිනයක් හරි යොදා ගන්න පුළුවන්" එහිදී අගමැතිවරයා කීවේය. ඒත් තාක්ෂණික ගැටලු සකස් කිරීම සඳහා නීතිපතිගෙන් උපදෙස් ගත යුතු බවද අගමැතිවරයා කියා සිටියේය.

ග්ලයිපොසේට් වල් නාශකය තහනම ගැන යළිත් දේශපාලන කරළියේ කතාබහ ඇති වන අතරතුර කෘෂිකර්මය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කැඳවීම් කොට තිබිණි. ඒ තේ කර්මාන්තයට ග්ලයිපොසේට් අවශ්‍ය බවට නවීන් දිසානායක දිගින් දිගට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය. "පාර්ලිමේන්තුවට ගිහින් ග්ලයිපොසේට් ගැන තිබෙන තත්ත්වය පැහැදිලි කරන්න. මේ ගැන සොයා බැලීමට අගමැතිතුමා කුඩා කමිටුවකුත් පත් කළා. ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට වල් නාශකයයක් ලෙස යොදා ගැනීමට අවසර දෙන්න කියලයි තියෙන්නේ. ඒ තේ පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතෙයි "නවීන් තම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය නම් වූ පනත් කෙටුම්පතට විරුද්ධව සඳුදා ජාතික සංවිධාන එකමුතුව සත්‍යග්‍රහයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කළේය. ඊට සහභාගි වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ජනපති මෛත්‍රිට දුරකතන ඇමැතුමක් දුන්නේය. "මේ කෙටුම්පත සම්මත වුණොත් රට බේරාගත් ආරක්ෂක හමුදාවලටත් අනර්ථයක් වෙනවා ඊට ඉඩ දෙන්න එපා. උන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්