ට්‍රෝලිං ක්‍රමයට මසුන් ඇල්ලුවොත් දඩ හා සිර දඬුවම් දෙන්න නීති ගේනවා

  👤  5441 readers have read this article !
2017-07-07

බොටම් ට්‍රෝලිං පන්න ක්‍රමය විනාශකාරී බැවින්, එම පන්න ක්‍රමය සිදුකරන අයට රුපියල් පනස්දහසක දඩයක් නියම කිරීමටත්, සිර දඬුවම් නියම කිරීමටත් අවශ්‍ය නීති පනවන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඩයිනමයිට් දමා මසුන් අල්ලන අය අත්අඩංගුවට ගත් පසු, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ නීති යටතේ දඬුවම් දෙනවා. "ලයිලා සුරුක්කු දැල්" ආදිය තහනම් කිරීමටත් කටයුතු කරනවා.

"එසේ කිරීමේදී මත්ස්‍ය අස්වැන්න අඩුවුණා කියල අපට චෝදනාවක් නැඟේවි. අප එම චෝදනාව භාරගන්න සූදානම්. අපට අවශ්‍ය වන්නේ අනාගතයටත් මත්ස්‍ය අස්වැන්න ඉතිරි කිරීමටයි. අපගේ පියවරයන් හරහා දීර්ඝකාලීනව මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමට පුළුවන් වේවි.
මෙම ට්‍රෝලිං ක්‍රමය නිසා මුහුදු පතුලේ සියලුම සම්පත් විනාශවී යන බව ඉතා පැහැදිලියි. ධීවර ජනතාව මේ ගැන අපට කිව්වා. බොටම් ට්‍රෝලිං පන්න ක්‍රමය විනාශකාරී කියල දැන් අපි දන්නවා. ඉදිරියේදී සුදුසු පන්න ක්‍රම අපි හඳුන්වා දෙනවා.

ජී.එස්.පී. සහනය මඟින් ධීවර ප්‍රජාවට නැවත සහනයක් ලැබුණා. මාළු අපනයනය සඳහා රජයෙනුත් අවශ්‍ය දායකත්වය ලබාදෙනවා. ඉන්දීය ධීවර ගැටලුවට සාර්ථක විසඳුමක් ලබාදීමට අප ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා."

2016 වසර සඳහා අඩුවෙන් හා වැඩියෙන්
අමාත්‍යාංශවලට වැය කළ තොරතුරු මැතිසබයට

ඉකුත් 2016 වසර සඳහා වෙන් කළ අරමුදල් වැඩිම ප්‍රතිශතයකින් භාවිත කළ අමාත්‍යාංශ පහ සහ අඩුම ප්‍රතිශතයකින් භාවිත කළ අමාත්‍යාංශ පහ පිළිබඳ තොරතුරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පාර්ලිමේන්තුව වෙත ලබාදී ඇත.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සියයට 99.22ක්ද, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සියයට 98.89ක්ද, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සියයට 98.17ක්ද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සියයට 95.77ක්ද, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සියයට 95.27ක්ද වෙන්කළ අරමුදල් භාවිත කර ඇත.

වෙන්කළ අරමුදල්වලින් අඩුම ප්‍රතිශතයක් භාවිත කර ඇති, අධ්‍යාපන අමාත්‍යාංශය සියයට 31.96ක්ද, විශේෂ කාර්යභාර අමාත්‍යාංශය සියයට 37.35ක්ද, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සියයට 43.79ක්ද, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශ සියයට 59.64ක්ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සියයට 60.93ක්ද වෙන්කළ අරමුදල් භාවිත කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල නඟන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් සභානායකවරයා ලබාදුන් පිළිතුරෙහි එසේ සඳහන් වෙයි.

ශ්‍රී ලාංකික සියලු දෙනා
ආවරණය වන වෛද්‍ය ක්‍රමයක්

ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන් ආවරණය වන පරිදි වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වෛද්‍ය රක්ෂණ ක්‍රම, ලෝකයේ බොහෝ රටවල භාවිත කෙරෙන බවත් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා පැවැසීය.

සටන් පාඨ දේශපාලනයක් රට තුළ පවතින බැවින් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකර එම යෝජනාව ක්‍රියාත්මක කළහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණයට සූදානම් වන බවට ප්‍රචාරය විය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය තුළ හෘද රෝගීන් සඳහා භාවිත කරන ස්ටෙන්ට්වල මිල ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන බවද ඇමැති රාජිත සේනාරත්න පැවැසීය.
වෙළෙඳපොළේ ලක්ෂ තුනකට අලෙවි කෙරෙන ස්ටෙන්ට් එකක් රුපියල් එක් ලක්ෂ 20,000ක මුදලකට අලෙවි කළ යුතු බවට එම ගැසට් නිවේදනය මඟින් මිල නියම කෙරෙන බවද ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ නඟන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

ජල ගැටලුව විසඳීමට විශේෂඥ සහාය

ප්‍රජා ජල යෝජනා ක්‍රම මඟින් බෙදාහරින ජලයෙහි පවිත්‍රතාව පිළිබඳව ගැටලුවක් පවතින බව නගර නිර්මාණ සහ ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මෙම ගැටලුව විසඳීම සඳහා විශේෂඥයන්ගේ සහාය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ඇමැති රවුෆ් හකීම් සඳහන් කළේය.
පානීය ජලයෙහි බැර ලෝහ තිබෙන නමුත් ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයාට ලබා දෙන පානීය ජලය, පර්යේෂණාගාරවලදී පිරිසුදු කර ලබාදෙන බැවින් එම ජලය පිරිසුදු ජලය බවට සහතික කළ හැකි බව ඇමැතිවරයා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ නඟන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.
ප්‍රමිතියකින් තොරව පානීය ජල බෝතල් නැවත පුරවන බවට තොරතුරු අනාවරණය කරමින් ඊට එරෙහිව ගනු ලබන පියවර කුමක්දැයි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ එවැනි ස්ථාන පිළිබඳ තොරතුරු වෙතොත් තමාට දැනුම් දෙන්නැයි ඉල්ලා සිටියේය.

බොටම් ට්‍රෝලිං පන්න ක්‍රමය නිසා
මත්ස්‍ය සම්පත වැනසෙනවා

"බොටම් ට්‍රෝලිං ක්‍රමය වැඩියෙන් ක්‍රියාත්මක කරන්නේ ධීවරයන් නොව ව්‍යාපාරිකයන්" යැයි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් පැවැසීය.

"ධීවර ඇමැතිවරයා ඉදිරිපත් කළ සංශෝධනය උතුරේ ධීවරයන් බොහෝ කාලයක් බලා සිටි දෙයක්. නීති විරෝධී පන්න ක්‍රමවලින් ඉවත්වී, ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවලට මාළු ඇල්ලීමට ධීවරයන් කටයුතු කිරීම ඉතා වැදගත්.
බොටම් ට්‍රෝලිං පන්න ක්‍රමය නිසා මත්ස්‍ය සම්පත විනාශ වෙනවා."

දැන් ආණ්ඩුව
පවත්වාගෙන යන්නේ
බොරුවෙන්

"නංගී පෙන්නා අක්ක දුන්න මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් බොරු කියලා. දැන් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ බොරුවෙන්" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයත් ලියැවිල්ලක් බෙදාදී තිබෙනවා. ඒ බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා පෙන්වා දුන්නා. අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් බොරු කියන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් පෙන්වා දුන්නා.
ලක්ෂ්මන් කිරිඇල්ල - නව ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් තවම හදල නැහැ.

මහින්දානන්ද අලුත්ගමගේ - කිරිඇල්ල මහත්තය නිදාගෙන ඉන්න වෙලාවක මේ ලියැවිල්ල ඉදිරිපත් කරන්න ඇති. කිරිඇල්ල ඇමැතිතුමාට පාර්ලිමේන්තුවේ නින්ද යනවා.
මේගොල්ල පෝට්සිටි එක සුදු අලියෙක් කිව්වා. හම්බන්තොට වරාය විකුණල ණය බේරනවා කිව්වා.

ලක්ෂ්මන් කිරිඇල්ල - පෝට් සිටි එක සින්නක්කර දුන්නා. මේ හිටපු ජනාධිපතිතුමත් ඉන්නවා. අපි තමයි ඒක බදු දුන්නේ.
මහින්ද රාජපක්ෂ - විකුණන්න පෝට් සිටිි එකක් තිබුණද? කරුණාකරල ඇත්ත කියන්න. මම කැමැති නෑ කිරිඇල්ල ඇමැතිතුමත් එක්ක හැප්පෙන්න.
මහින්දානන්ද අලුත්ගමගේ - අගමැතිතුමා අධිකරණයේ ඉහළ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් ඊයේ කතා කළා. කුණු සම්බන්ධයෙන් දෙන තීන්දු ගැනයි අගමැතිතුමා එසේ කිව්වේ. අපිට කිව්වා අපි අධිකරණයට බලපෑම් කරනවා කියල. දැන් කවුද අධිකරණයට බලපෑම් කරන්නේ කියල පේනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්