‘ඩෙංගු’ සමඟ එක්සත්ව එක්සිත්ව සටන් වදිමු !

  👤  2499 readers have read this article !
2017-06-19

ඉකුත් 16 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමුණේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසකට උණ හා පාචනය වැලඳීම නිසාය. නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් අතර පැතිර යන මේ උණ රෝගය ඩෙංගු උණ රෝගයදැයි සැක පළ වී ඇත. රෝහල් ආරංචි මාර්ග ස¼දහන් කරන්නේ ඩෙංගු උණ වැලඳුණු රෝගීන් අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ද සිටින බවය.

යුද්ධ කාලයේ 'බෝම්බ' භීතිකාවත් රටේ රජ කරමින් තිබූ ආකාරයට මේ වන විට 'ඩෙංගු' භීතිකාවත් රටපුරා පැතිර යමින් පවතී. ඩෙංගු අධි වසංගත තත්ත්වයට පත්වීම නිසා 'ආපදා' සතියක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුවට සිදුවිය. මේ වන විට දිවයිනේ පිහිටි රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල් පවා ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් පවතී.

තත්ත්වය කෙතරම් බරපතළ ද යත් ඩෙංගු අයි. ඩී. එච්. උණ රෝහල 14 වැනිදා රාත්‍රියේ සිට රෝගීන් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. බලධාරීන්ගේ මැදිහත් වීමෙන් 15 වැනිදා සිට යළි රෝගීන් භාර ගැනීමට රෝහල පියවර ගෙන තිබිණි. පිළියන්දල, තලංගම, වෑතර, දකුණු හා උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල්වලටත් කොළඹ ජාතික රෝහලටත් රෝගීන් ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, කොළඹ උතුර හා කොළඹ දකුණ ශික්‍ෂණ රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබුණේය.

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,000ක් පමණ වාර්තා වී තිබේ. මේ වන විට රෝගීන් 150ක් පමණ මියගොස් ඇත. එය මෙරට ඉතිහාසයේ වැඩිම ඩෙංගු මරණ වාර්තාව ලෙස සැලකිය හැකිය. ඩෙංගු වර්ධනයට ගංවතුර තත්ත්වය හා පරිසර දූෂණය බලපා ඇත. කැළිකසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළ ද පසුගිය කාලයේ අවුල්වීම ද පරිසර දූෂණය ඉහළ යෑමට හේතුවකි. අනෙක සාමාන්‍ය ජනතාවගේ නොසැලකිල්ල ද ඩෙංගු කීටයන්ගේ උත්පත්තියට ආධාරක වෙයි.

නිවෙසේ එකතුවන කුණු ටික මහපාර අයිනට, කුඹුරකට, වගුරු බිමකට, පාළු ඉඩමකට හෝ ඇළ මාර්ගයකට දමායෑමට අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පුරුදු වී සිටිති. සිය හතර මායිමෙන් එපිට කුණු කඳු ගැසුණත් ඔවුන් සිතන්නේ ඩෙංගු බෝ නොවන බවකි. නිවෙස හතර වටේ තාප්පයක් බැඳ ගේට්ටුවක් දමා ඊට ඉබ්බන් දමා ඇති නිසා ඩෙංගු මදුරුවා සිය නිවෙසට නොපැමිණෙනු ඇතැයි ඔවුහු සිතති. නිවාසවල වහලේ පීලිවලත් ස්ලැබ්වලත් මදුරු කීටයා නිවහන් සාදා ගනී. ඉදිකෙරෙමින් පවතින ගොඩනැඟිලි, පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම පොදු ගොඩනැඟිලිවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව තිබිය හැකිය.
යෝගට් කෝප්පය, තැඹිලි කෝම්බය, ඩෙංගු කීටයාට තෝතැන්නකි. බස් රියේදී හෝ දුම්රියේදී එසේත් නැතිනම් මෝටර් රියේ, වෑන් රථයේ යන ගමන් පාර අයිනට විසි කරන යෝගට් කෝප්පය, හිස් වතුර බෝතලය තමන්ටම මාරාන්තික විය හැකි යැයි එවැනි දේ කරන කිසිවකු නොසිතයි. එලෙස සිතන්නේ නම් එවැනි 'වැරැදි' නම් කරන්නේ නැත. එක් මදුරුවකු වර්ග කිලෝමීටරයක පමණ ප්‍රදේශයක පියාසර කරන බව එවැන්නන්ට සිහිකටයුතුය. මැලේරියා මර්දනය කළ රටකට ඩෙංගු රෝගය මර්දනය දුෂ්කර යැයි සිතිය නොහැකිය. අවශ්‍ය වන්නේ ඇමැතිගෙන් ඇමැතිට, ජනාධිපතිගෙන් ජනාධිපතිට, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික සැලසුමකි. ඒ සඳහා කැපවූ නිලධාරීන් පිරිසකි. සිය වගකීම කුමක්දැයි අවබෝධයක් ඇති ජනතාවකි.

දැනටමත් ඩෙංගු මැ¾ඩීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමත් සාමූහික වැඩපිළිවෙළක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමත් අත්‍යවශ්‍ය වී තිබේ. එකිනෙකාට ඇඟිල්ල දිගු කර කර අවලාද නඟමින් චෝදනා කරමින් සිටීමෙන් පලක් නැත. ඩෙංගුවලට එරෙහිව සාමුහිකව මුහුණ නොදුන්නොත් ඩෙංගු වාට්ටුවක් බවට රට පත්වනු නියතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්