මංගල - රවි කැබිනට්ටුවේ දී ගැටුමක

  👤  3617 readers have read this article !
2017-06-18

කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් සාකච්ඡාවට අගමැති වික්‍රමසිංහ මෙවර සහභාගි වූයේ සති දෙකකට පසුවයි. ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටීම නිසා පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි.

"ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය සන්ධාන ආණ්ඩුව කාලයේ මිලදී ගැනීමට කටයුතු කළ ගුවන් යානා 3ක් මිලදී ගැනීමේ බදු ගිවිසුම අවලංගු කිරීම ගැනත් නව ගුවන් යානා 4ක් මිලදී ගැනීම ගැනත් සාකච්ඡාවට ගැනුණේය. "මේ ගුවන් යානා 3 මිලදී ගැනීමෙන් ලාභයක් සිදුවෙලා තියෙනවද?"යි එහිදී ජනාධිපතිවරයා විමසූ අතර ඊට පිළිතුරු දුන් අගමැතිවරයා "නැහැ, පාඩුවක් සිදු වෙලා. ඒ ගැටලුවට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ වත්මන් රජයට" බව සඳහන් කළේය. මේ කතාබහට ඇමැතිවරු රැසක්ද එක් වූහ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් තීන්දු පවා ක්‍රියාත්මක නොකර අත්තනෝමතික පාලනයක් ගෙනයන බව මෙහිදී රාජිත හා පාඨලී පෙන්වා දුන්හ. "රැකියා 1250ක් හිතුමතේ ලබාදී තිබෙනවා. මමවත් දන්නේ නෑ කොහොම මේවා සිදු වෙනවද කියලා" ශ්‍රී ලන්කන් ගුවන් සමාගම භාර කබීර් හෂීම් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය.

"මේකෙ සේවකයෝ යහපාලනයට ඡන්දය දුන්නේ හිටපු ආර්යාවගේ අට පාස් සහෝ්දරයා එළවන්න කියලා. හිටපු ආරක්ෂක ලේකම් පත් කළ නිලධාරීන් තවම මේකෙ ඉන්නවා. ආරක්ෂක ප්‍රධානියා ලක්ෂ 4ක වැටුපක් ගන්නවා" රාජිත යළිත් පෙන්වා දුන්නේය. "හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝජිතයන් ගුවන් සමාගමේ හොල්මන් කරනවා" ෆොන්සේකාද එම කතාබහට එක් වෙමින් කීවේය. "මේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස මම යෝජනා කරනවා" යැයි රාජිත යළිත් කීවේය.

"ඒක වෙනම රාජ්‍යයක් වගෙයි." සරත් අමුණුගම කීවේ එවැනි කතාවකි. "මම කියන දෙයක්වත් අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ නැහැ" කබීර් යළිත් මැසිවිල්ලක් ඉදිරිපත් කළේය. මෙලෙස කතාබහ සිදුවන අතර එය වෙන පැත්තකට යොමු කරවමින් "ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්න එමිරේට්ස් ගුවන් සමාගම යෝජනා කොට තිබෙනවා" යැයි කීවේය. එහෙත් ඊට පෙර සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ අනුව ලබන කැබිනට් මණ්ඩල රැස්වීමට ඔවුන් කැඳවීමට නියමිතය. ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කිරීමට අමුණුගම හා රාජිත ඇතුළත් කමිටුවක් ද පත් කරනු ලැබුවේය.

ආණ්ඩුව විසින් භාර ගන්නා ඇතැම් ඉදිකිරීම් පෞද්ගලික අංශයට දීමේ යෝජනාවක් මෙහිදී මුදල් අමාත්‍යාංශය ගෙනාවේය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත සෞඛ්‍ය අධිකාරි කාර්යාලයක් සම්බන්ධව ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන්ය. රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව භාර සජිත් එහිදී "අපට කරපු වැඩවලට රාජ්‍ය ආයතනවලින් සල්ලි එන්න තිබෙනවා. ඒත් ඒවා තවම ලැබිලා නැහැ" යී කීවේය. රාජ්‍ය ආයතනවලින් ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 12,000ක් අයවිය යුතු බවද මෙහිදී අනාවරණය කෙරිණි.

"පාඩු ලබන ආයතන තියෙනවා නම් වසා දමන්න" රවි යෝජනා කළේය. එහෙත් රාජිත මෙන්ම චම්පිකද ඉන්ජිනේරු සංස්ථාව විසින් මේ ඉදිකිරීම් කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබූහ. ජනාධිපතිවරයාද ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන මේ ඉදිකිරීම් ඉන්ජිනේරු සංස්ථාවට දීමට අවශ්‍ය බව කියා සිටියේය.
මේ අතර රුවන් ෆ්ර්ඩිනැන්ඩස් වෙබ් අඩවි මඟින් ආණ්ඩුවට පහර ගසන බවට රවි කරුණානායක චෝදනා කළ අතර ඊට මංගල සමරවීරට කේන්ති ගියේය.
"ආ....එයා මා ගාවනේ වැඩ කරන්නේ, එහෙම දෙයක් නැහැ" මංගල කියා සිටියේය.

"නැහැ ...ආණ්ඩුවේ සියල්ල අවුල් කරන්න කටයුතු කරනවා" රවි නැවත කීවේය. මේ අතර එක්තරා සති අන්ත පුවත්පතක් ආණ්ඩුවට මඩ ගසන බවටද තවත් ඇමැතිවරයෙක් කීවේය. එවිට ජනාධිපතිවරයා සිනා සෙමින් "මේ ඉන්නේ ඒකේ අයිතිකාරයා" කියමින් රවි දෙස බැලුවේ සෙසු ඇමැතිවරුද සිනාගන්වමින්ය.
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් යැයි කියැවුණු මල්වානේ පිහිටි ඉඩම සහ නිවෙස රජයට පවරා ගැනීමටද මෙහිදී තීරණය කෙරිණි. ඒ පූගොඩ මහෙස්ත්‍රාත් නඩු අංක බී/8674/15 පිළිබඳ අධිකරණ ඇමැති විජයදාස කර තිබූ යෝජනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. මෙය නඩු භාණ්ඩයක් බැවින් රජයට පවරා ගැනීමට නොහැකි බව අනුර යාපා කියද්දී අමුණුගම මෙන්ම රාජිතද ඊට විරුද්ධ වෙමින් ඉඩම් පනතේ 38 වගන්තිය අනුව එවැනි බාධාවක් නොමැති බව කියා සිටියහ. නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබෙන නිසා පවරා ගැනීමට බාධාවක් නොමැති බව නියෝගය අධිකරණ ඇමැති දුෂ්‍යන්ත මිත්‍රපාල කීවේය. "මෙච්චර වෙලා තර්ක විතරක් කළේ මොකටද නීතිපතිගෙන් උපදෙස් ලැබී තිබෙනවා නම් ඉඩම පවරා ගැනීමේ කටයුතු සිදු කරන්න" ජනාධිපතිවරයා කියා සිටියේය.

"රට තුළ අන්තවාදය පතුරුවන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. 1915 වගේ වෙන්න නොදී මේ ගැන කඩිනම් පියවර ගත යුතුයි." මංගල පෙන්වා දුන්නේය. රාජිත සහ එස්. බී. අන්තවාදයට එරෙහිව කරන ප්‍රකාශ අගය කරන බව මෙහිදී කබීර් සඳහන් කළේය. තමන් බොදු බල සේනා සංවිධානය ඥානසාර හිමියන් සඟවාගෙන සිටින බවට එල්ල වන චෝදනා මෙහිදී චම්පික ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානයේ සිදු කළේ නිල සංචාරයක් නොවන බව මෙහිදී රවි අවධාරණය කළේය. රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් නොදුන් බවද හෙතෙම කීය. නියෝජ්‍ය ඇමැති අරුන්දික හිටපු ජනපති මහින්ද සහ වරෙන්තු ලබා සිටින උදයංග වීරතුංග සමඟ සාකච්ඡා පැවැත්වීම ගැන සමාජ ජාලවල පළ වූ විස්තර හා ඡායාරූප ගැනද මෙහිදී අවධානය යොමු විය.. ඒ අනුව අරුන්දික ප්‍රනාන්දුගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමටද එහිදී තීරණය කරනු ලැබීය.

දින ගණනක ජපාන සංචාරය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණියේ පසුගිය ඉරිදාය. හිටපු ජනාධිපති ලෙස තමන්ට ලැබුණු විජේරාම මාවතේ නිල නිවෙසට නිල වශයෙන් මහින්ද ඇතුළු පවුලේ සැම පදිංචියට පැමිණියේද එදිනයි. ඒ වෙනුවෙන් ඉරිදා පිරිත් සජ්¿ධායනයක්ද පසුදා සංඝගත දක්ෂිණාවක්ද පිරිනමනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුළු නෑ හිතවතුන් විශාල පිරිසක්ද එම පින්කමට සහභාගි වූහ. පිරිත ආරම්භයට පෙර මහින්ද සමඟ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සුහද සාකච්ඡාවක යෙදී සිටියහ. ඒත් ඔවුන්ගේ මාතෘකාව බවට පත්ව තිබුණේ රටේ වත්මන් දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.
"ආණ්ඩුවේ ලොක්කෝ ඡන්දෙට ඉස්සර නම් කිව්වේ විද්‍යාත්මක පදනමකට අමාත්‍යාංශ බෙදනවා කියලා. "ඒත් දැන් ඉතින් විදේශ ඇමැතිට සුද්දන්ට ලොතරැයි විකුණන්නත් පුළුවන්" ප්‍රසන්න රණතුංග කියා සිටියේය. "ආණ්ඩුව බයයි ඇමැතිවරුන් ඉල්ලන ඒවා නොදුන්නොත් ඒ අය විපක්ෂයට යයි කියලා" පවිත්‍රා ද එම කතාබහට එක් වූවාය. "ඇමැතිකම් බෙදන කොට දේශපාලන තීන්දු ගත්තත් අමාත්‍යාංශවල විෂයයන් බෙදන කොට එහෙම තීන්දු ගන්න බැහැ. හැම තිස්සේම අමාත්‍යාංශවල ගැටලු ඇති නොවන විදියට තමයි විෂයයන් බෙදන්න ඕන" මහින්ද පෙන්වා දුන්නේය.

"කාමරයක් නැහැ කියලා ලක්ෂ්මන් යාපා තාම ජනතාවට දුක කියනවා." "විමල් තවත් කරුණක් මතු කළ අතර කුමාර වෙල්ගම "මැතිවරණයක් ආ වෙලාවට ජන මතයට හිස නමන්න ආණ්ඩුවට සිදු වෙනවා. තාමත් මිනිසුන්ගේ ඉල්ලීම තියෙන්නේ මහින්ද මහත්තයට. ඔබතුමා නැතිව රට ගොඩනඟන්න බැහැ කියලා පොදු ජනමතයක් හාදිලා ඉවරයි" කීවේය.

"කෝ ප්‍රසන්න අර ජනාධිපතිට යවපු ලිපියට උත්තර ලැබුණද?" යි මහින්ද තවත් මාතෘකාවක් කතාබහට ගත්තේය. "මොන උත්තරද සර්, අඩුගාණේ ලියුම ලැබුණා කියලවත් දැනුම් දුන්නේ නැහැ" ප්‍රසන්න ඊට උත්තර දුන්නේය. "සමහර විට ලියුම ලැබුණේ නැද්ද දන්නේ නැහැ" පවිත්‍රා කීවේ සියලු දෙනා සිනා ගන්වමින්ය. "ලියුම නොලැබුණත් ඒක පත්තරවල පළ වුණු නිසා පත්තරේකින් හරි දකින්න ඇති. මොකද එතුමා ගොඩක් දේවල් දැනගන්නේ පත්තරවලින්නේ"යැයි ප්‍රසන්න යළිත් කීවේ ඔවුන් අතර සිනහව තවත් වැඩි කරමින්ය.

"සර් ඩෙංගු ප්‍රශ්නයයි, කුණු ප්‍රශ්නයයි බරපතළ වෙලා. මේ වෙන කොට හැට දෙදහකටත් වඩා ඩෙංගු රෝගීන් වාර්තා වෙලා. ඔවුන් ඉස්පිරිතාලවලට ඔරොත්තු නොදෙන තරම්" මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස සිටි කුමාරසිරි හෙට්ටිගේ තවත් අදහසක් කතාබහට ගෙනාවේය. "ඔය මොනව වුණත් ආණ්ඩුවට ගාණක් නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැති අය කොහොමද ආණ්ඩුවක් කරන්නේ. මම යුද්ධ කරලවත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න දුන්නේ නැහැ." මහින්ද ඊට දුන්නේ එවැනි පිළිතුරකි.

ඇමෙරිකාවේ සිට පැමිණි අගමැති රනිල් පසුගිය ගංවතුරෙන් හා නායයෑමෙන් ආපදාවට පත්වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාව නිරත විය. ඒ සඳහා පිටත්ව යෑමට සූදානම් වී බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට ගිය අගමැතිවරයාට එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ සුහද කතාබහක නියැළෙන්නට අවස්ථාවක් ලැබිණි. 'චම්පික ඇමැතිතුමයි, විජයදාස ඇමැතිතුමයි ඥානසාර හාමුදුරුවෝ හංගගෙන ඉන්නව කියල රටේ මතයක් තිබෙනවා' දයා ගමගේ එහිදී ප්‍රකාශ කළේ විජයදාස ඇමැතිවරයා දෙස බලමින්ය. ඊට පිළිතුරු දෙමින් චම්පික කැබිනට් එකේදී ඔය චෝදනාව ප්‍රතික්ෂේප කළා. මට කියන්න තියෙන්නෙත් එච්චරයි. 'රාජපක්ෂලාට හිතවත් නීතිඥයෙක් හාමුදුරුවන්ට රැකවරණ දෙන කතාවක් රාජිත කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා' විජයදාස කීවේය. 'පොලිසිය කාර්යක්ෂම වීම අවශ්‍යයි. නීතියට උඩින් යන්න උසාවියට අභියෝග කරන්න ඉඩදෙන්න ආණ්ඩුවකට බැහැ'යි අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.

'ගංවතුරට අදාළ ආධාර සමුළුවක් ගැන ඔබතුමා ඇමෙරිකාවෙ ඉඳන් කතා කළා. ඒක පවත්වනවා දැයි රවි අගමැතිගෙන් විමසීමක් කළේය.' මුලින් විනාශය තක්සේරු කරල ආධාර ගන්න බැරි නැහැ. ආධාර දෙන රටවල් කැඳවල කියන්න පුළුවන්නම් වටිනවා. නැතිනම් මුලින්ම ඒ රටවලට කතා කරන්න ඕන' අගමැතිවරයා දුන්නේ එවැනි පිළිතුරකි.

'කටාර් අර්බුදය තාම නිමා වී නැහැ. අපේ ස්ථාවරය මොකක්ද? විජයදාස අගමැතිට තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර අගමැතිවරයා ඒ පිළිබඳ ප්‍රකාශ කළේ 'ඇමෙරිකාවෙන් හා සෞදියෙන් කොළ එළි දැන් කටාර්වලට එන ලකුණු තියෙනවා. ලෝකයේ වැඩි රටවල් කටාර් එක්කයි ඉන්නෙ. අපේ ස්ථාවරයත් ඊට කිට්ටුයි' යනුවෙන්ය.

රීති ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවක හැර පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රිවරයකු තම කතා අවස්ථාවේ නැඟී සිට කතා කරන විට ඔහුට බාධා කිරීමට අන් අයට නොහැකියි. එහෙත් රීති ප්‍රශ්න ඇති බව සඳහන් කරමින් ප්‍රතිවිරුද්ධ කථිකයන්ට බාධා කිරීම දැන් දැන් පාර්ලිමේන්තුවේ සුලබ දසුනක් වී ඇති සෙයකි. ඒ පිළිබඳ කතානායක කරු ජයසූරිය දිගින් දිගටම මන්ත්‍රිවරුන්ට අවවාද කළේය.

එවනි පසුබිමක කතා නායකවරයාට තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් ඉන් ඉල්ලා අස්වන ලෙස උදය ගම්මන්පිල කතානායකවරයාට ලියුමක් යොමු කොට තිබිණි. එහෙත් ඊට කතානායකවරයා සෘජුව පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට තිබූ අතර කතානායකවරයාගේ මාධ්‍ය ඒකකය ගම්මන්පිලගේ ලිපිය දෝස දර්ශනයට ලක් කොට තිබිණි.

මේ අතර සභා ගර්භය තුළ සාකච්ඡා විය යුතු රීති ප්‍රශ්න පිළිබඳ කරුණු මාධ්‍ය වෙතට ගෙන ඒම පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට පටහැනි බව පවසමින් උදයගේ නිවේදනයට විරුද්ධව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමට කතානායකවරයාට හිතවත් භික්ෂුන් වහන්සේ කිහිප දෙනෙක් බ්‍රහස්පතින්දා ඔහු මුණගැසුණහ. එහෙත් කතානායකවරයා උන් වහන්සේට ප්‍රකාශ කළේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරලා ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකු එවැනි විවේචනයකට තිබෙන අයිතියට ගරු කරන බවයි. නමුත් නවක මන්ත්‍රිවරයකු ලෙස ඔහු එම කරුණු පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළා නම් වඩාත් සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ සංකීර්ණ බවද කතානායකවරයා පෙන්වා දුන්නේය. "කතානායකකම අහස වගෙයි, වැසසත් බැනුම් අහනවා, පෑව්වත් බැනුම් අහනවා" ඔහු කීවේය.

ශ්‍රී ලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා පැවැත්විණි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී එය ජනාධිපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන විට රාත්‍රි 7.30ට පමණ වී තිබිණි. පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැති එහි මූලික අවධානය යොමු කොට තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ය. "ගොඩක් කාලෙකින් තමයි අපි මේ විදියට හමු වුණේ. මේක ඕනම අදහසකට විවෘතයි. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න කිසිවකුටත් බාධාවක් නැහැ" සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රි කියා සිටියේය.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව අවශ්‍ය කටයුතු කිරීමට ශ්‍රී ලනිප පත් කොට ඇත්තේ නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක්. ඒ අනුව ඔහු දීර්ඝ විස්තරයක් කළේය. නව ව්‍යවස්ථාවේ තාක්ෂණික කරුණු සම්බන්ධවද පැවැසීය.

"දැනටමත් මෙහෙයුම් කමිටුවල යෝජනා රැසක් ගැන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේදී සාකච්ඡා කළා. ඒකීය රටක් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ශ්‍රී ලනිප දිගුකාලීන ස්ථාවරයයි" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. "ඔබතුමා ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණේ ජනමත විචාරණයකට යන සංශෝධනයක් නොකිරීමටයි. ඒ අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, විධායක ජනාධිපති ධුරයට සංශෝධන ගෙන ඒම ප්‍රමාණවත්, ජනවරම තිබෙන්නේ ඒකටයි" සුසිල් ප්‍රේම්ජයන්ත් කීවේය. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට එහිදී උත්සාහ නොකළත් ලබන සඳුදා එජාපය සමඟ නව ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වූ අතර ඊට නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් සහභාගි වීමට නියමිතය.

"පළාත් පාලන මැතිවරණය ඉක්මන් කරන්න. අපට මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නැහැ" මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මන්ත්‍රිවරයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ය.
රැස්වීම අතරතුර "සර් බලයට යන්න තිබෙනවා" යැයි කියමින් මනුෂ නැඟිට යන්නට සූදානම් විය. "හා....හා....ඒක හොඳයි, බලයටනෙ යන්නේ" ජනාධිපතිවරයා සිනා සෙමින් ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මාස දෙක තුළ දිස්ත්‍රික් මට්ටමින් දිරිය පුරවැසි සමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටියි. ඒ සඳහා මේ දිනවල දිස්ත්‍රික් මට්ටමින් සූදානම් කිරීමේ කටයුතු ජවිපෙ ඉදිරි පෙළ නායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුකරමින් පවතී. එවැනි කටයුත්තකට ගොස් හඳුන්නෙත්ති දින තුනක්ම පොළොන්නරුවේ ගත කළේය. එහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ගොඩනඟා තිබෙන දිරිය පුරවැසි සමිති කැඳවා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමටත් අලුතින් දිරිය පුරවැසි සමිති ගොඩනැඟීම සඳහාත් මන්ත්‍රිවරයා මැදිහත් විය. අරලගංවිල ගිය හඳුන්නෙත්තිට ගුරුවරයෙක් විශේෂ අනාවරණයක් කළේය. "අපි ඉන්නෙ මහවැලි ඉඩම්වල. ඒත් තවමත් අපිට ඉඩම්වලට ඔප්පු නැහැ. අඩුම තරමෙන් බලපත්‍රයක්වත් දීලා නැහැ" ඔහු කීවේය.

"හැම දෙයක්ම දිනාගන්න පුළුවන් වෙන්නෙ ජනතාව සංවිධානය වුණොත් විතරයි. ඒ නිසා තමයි අපි කල්පනා කළේ ගමට සමිතියක් හදන්න." හඳුන්නෙත්ති කීවේය.

තිස්සමහාරාමයේ ආගමික උත්සව සඳහා පැමිණෙන බැතිමතුන්ට සහ අලි ඇතුන්ට දිය නෑමට ස්ථාන දෙකක් ඉදිකිරීමට පසුගියදා නිවාස ඇමැති සජිත් මුල්ගල තැබුවේය. ඒ වල‍ෙදාර වාරිමාර්ග ඇළේ තොටුපළේය. මුල්ගල තැබීමට එම ස්ථානයට ගිය සජිත්ට නෑවීම සඳහා රැගෙන එන ලද අලි පැටවුන් දෙදෙනකු නෙත ගැටිණි. එසේ අලි පැටවුන් දෙදෙනා දුටු සජිත් ආරක්ෂක නිලධාරීන් ලවා පලතුරු විශාල ප්‍රමාණයක් ගෙන්වා ගත්තේය. සජිත් එම අලි පැටවුන්ට පලතුරු කවනවිට ඇත් ගොව්වෙක් "මෙයා ටිකක් සැරයි" ප්‍රකාශ කළේ එක් අලි පැටවකු ගැන සජිත්ට අවබෝධයක් ඇති කිරීම සඳහාය. "මට අලින්ගෙන් කිසිම කරදරයක් නැහැ. බුදුහාමුදුරුවෝ නාලාගිරි ඇතා දමනය කළ හැටි සිහි කරගෙනයි අලින්ට කිට්ටු වෙන්නෙ. එතකොට කරදරයක් සිදුවන්නේ නැහැ" සජිත් කීවේ එම අලි පැටවා සිපගනිමින්ය.

"ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස්විය. ඒ පක්ෂ නායක විමල් වීරවංශ හා ලේකම් ප්‍රියන්ජිත් විතාරණගේ ප්‍රධානත්වයෙනි. ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට විරුද්ධව නීති ගෙනඑන බවට අගමැති වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශය පිළිබඳ එහි වැඩි අවධානයක් යොමුවී තිබිණි. ආණ්ඩු සිංහල _ මුස්ලිම් ගැටුමක් හදන ගමන් එය මැඬලීමට නීති ගෙන එන බවට මාධ්‍ය සන්දර්ශන කරනවා. ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා පරාජය කරන්න ඇත්ත වුවමනාවක් තිබුණා නම් කරන්නට තිබුණෙ ආගමික නායකයන් කැඳවලා ගැටුම්කාරී ප්‍රවණතා පැරදවීම" යැයි විමල් කීවේය.

"සැබෑ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතිව හැම දේකටම නීති ගේන්න හදන්නෙ ආණ්ඩුවේ නොහැකියාව නිසා" වීරකුමාර පෙන්වා දුන්නේය. එවිට යළිත් විමල් "කැබිනට් මණ්ඩලයත් මේ ගැන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා. ස්වාභාවික විපතින් ආපදාවට පත්වූ අයට සහන සලසන ආකාරය ගැන ප්‍රකාශ නිකුත් කළා නම් ඒක ජනතාවට ප්‍රයෝජනවත්" යැයි සඳහන් කළේය. "අද බඩු මිල අහස උසට නැඟලා. පාලන මිලක් නියම කළා කියලා මාධ්‍ය සන්දර්ශන කළාට වැඩක් නැහැ. ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කළ යුත්තේ එවැනි කාරණා ගැන" ජයන්ත සමරවීර ද එම කතාබහට එක්විය. "දැන් පළාත් පාලන මැතිවරණය කල්දමලා වසර දෙකකටත් වැඩියි. ඊට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව තවමත් ප්‍රකාශ කර නැහැ." පියසිරි විජේනායක තවත් කරුණක් පෙන්වා දුන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නොතබන බව දැඩිව අවධාරණය කරමින්ය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් රැසකට විරෝධය පළ කරමින් ජානිපෙ මඟින් පැවැත්වීමට යෝජිත "සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසනා ලක් මව" සම්මන්ත්‍රණ මාලාවේ සංවිධාන කටයුතු ගැනත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව ජුනි 24 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී එහි පළමුවැන්න ආරම්භ කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්