රතන සූත්‍රය

  👤  4214 readers have read this article !
2017-06-15

"මහින්ද මහත්තයෝ අපි ඔබව පරාජය කරනවාමයි. එය ධර්මයේ හඬයි. මිනිසුන්ගේ පපු කැවුතු තුළින් එන හඬ එයයි. මහින්ද ජනපතිතුමනි, ඔබ ජනපතිවරණයට යන්න. ඔබේ පැරදීම අනිවාර්යයි. අපි ප්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් කරනවාමයි. ඒක ඒකාන්තයි"

මේ කතාව කීවේ රතන හාමුදුරුවෝය. ඒ මීට අවුරුදු තුනකට කලින්ය. හරියටම කීවොත්, 2014 නොවැම්බර් 12 වැනිදාය. ඒ වෙනකොට මහින්දගේ ආණ්ඩුව තිබ්බේ "මහාමේරු පර්වතය" වගේය. හොල්ලනවා තියා හොල්ලන්න හිතන්නවත් බැරි තරම් හයියක් ඒ ආණ්ඩුවට තිබ්බේය. ඒ වෙනකොට යූ.ඇන්.පී හිටියේ 'ගෙදර ප්‍රශ්නවලින්' ගිනි අරන්ය. ආණ්ඩුවට පිටින් ඉඳන් ගැහුවේ ජවිපෙ විතරය. ආණ්ඩුව ඇතුළෙන් මැස්සෙක්වත් එළියට බහින්න ලෑස්ති වෙලා හිටියේ නැත. රතන හිමි 'රණ්ඩුව පටන් ගත්තේ' ඒ විදියට ආණ්ඩුව ඇතුළෙන් එළියට ඇවිත්ය. කොළඹ නවම් මාවතට යාබද මුත්තයියා පිටියේදී රතන හිමි ආණ්ඩුවට රිදෙන්න ගැහුවේ පිවිතුරු හෙටක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කරමින්ය.

කවුරු මොනවා කීවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගල්ලෙන බින්දේ රතන හාමුදුරුවෝය. පස්සේ වෙන වෙන අය 'ලකුණු' ගන්න හැදුවත් හැමෝම බය වෙලාවේ, වෙන කවුරුවත් හිතුවේවත් නැති වෙලාවේ ඒ ආණ්ඩුවට කන හරහා ඇස් ඇරෙන්න ගැහුවේ රතන හිමිය. 2005 මහින්ද දිනවන්න කවුරුත් හිටියේ නැත. ඒ වෙලාවේ ශ්‍රී ලංකා එකේ ඇමැතිවරුන් පවා හිටියේ පස්ස ගහලාය. එදා මහින්දව ගොඩ දැම්මේ ජවිපෙයි හෙළ උරුමයයි මුල් වෙලාය. මාවිල්ආරු සොරොව්ව වසා කොටි ඩෙඟා නටන විට එහෙම ගිහින් රතන හිමි මිනිසුන්ගේ 'මොරාල්" හැදුවේ එහෙමය. මෙහෙට ඇවිත් මහින්දට 'මොරාල් එක 'දීලා කොටින්ට ගහන්න ජවය දුන්නේ රතන හිමි එහෙමය.

එහෙම හිටපු රතන හිමි හිටි ගමන් නිහඬ වුණේ මහින්දගේ ආණ්ඩුව යන අත වැරදියි කියලාය. 18 වන සංශෝධනය ගෙනත් නැවත නැවත ජනාධිපති වෙන්න හදන එක ඇතුළු කරුණු රැසක් නිසා රතන හිමිට මහින්ද ආණ්ඩුව එක්ක 'රණ්ඩුවක්' තිබ්බේය. ඇතුළේ ඉඳන් කියලා කියලා බැරිම තැන රතන හිමි නිහඬ වුණේය.
'කෝ රතන හාමුදුරුවෝ?' සමහරුන් එහෙම ඇසීය.

හිටි ගමන් රතන හිමි මතු වුණේ 'පිවිතුරු හෙටක්' හරහාය. මහින්ද සිය 69 වන උපන්දිනය සමරන වේලාවේ හෙළ උරුමය මහින්දට උපන්දින තෑග්ගක් දුන්නේය. ඒ ආණ්ඩුවේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වීමට ජාතික හෙළ උරුමය ගත් තීරණයයි.

'අළු යට ගිනි ඇවිළුනේ' එතැන් සිටය.
'අපි ජනපති මහින්ද පරාජය කරනවාමයි'

'පිස්සුද මේ ආණ්ඩුව පෙරළන්න රතන හාමුදුරුවන්ට පුළුවන්ද?

ආණ්ඩුවේ ඇමතිවරු විතරක් නොවේ විපක්ෂයේ සමහරුත් එහෙම කීය. රතන හාමුදුරුවෝ රැලිය තියලා ආණ්ඩුවට රිදෙන්න ගහලා දවස් කීපෙකට පස්සේ යුතුකම සංවාද කවයෙන් රතන හිමිගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

යුතුකම - ඊළඟ ජනාධිපති ධුරය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බව ආරංචි වෙනවා. ඔබ වහන්සේ හිතනවද මේ මාස දෙක තුනක් වැනි කෙටි කාලය ඇතුළත ඔය කියන බලවේගය ගොඩනඟන්න පුළුවන් වෙයි කියලා?

රතන හිමි - බලවේග ගොඩනඟන්න වැඩි කල් ගත වෙන්නෙ නෑ. ඒකට අවුරුදු ගණන් යන්නේ නෑ. අපේ සමාජය බොහොම සංවිධානාත්මක සමාජයක්. හෙළ උරුමය බිහි වුණේ කොහොමද? මාසයයි ගියේ ඒකට. එවකට ඡන්ද නිවේදනය කළාට පස්සෙයි හෙළ උරුමය බිහි කළේ.

අන්තිමට වැඩේ හරියටම හරි ගියේය. මෛත්‍රි එළියට අරන් පොදු අපේක්ෂකයා කරලා හැමෝගෙම උදවු අරන් ඔහුව ජනාධිපති කරන්න රතන හිමි පුදුම කැපවීමක් කළේය. ආණ්ඩුවෙන් එනවා කීව අය නෑවිත් ඉන්නකොට සමහරු රතන හිමිට උපහාසෙට සිනාසුණහ.

'සොබා දහම ඇත්ත නම් අපි දිනනවා. මේ වියරු පාලනය නිමා වෙනවා. මහින්ද මහත්තයෝ අපි ඔබව පරාජය කරනවාමයි'
රතන හිමි නිතර නිතර කීවේය.

අන්තිමට ඒක එහෙමම වුණේය. සමහරු කීවේ 'රතන සූත්‍රය' වැඩ කළා කියලාය. අලුත් ආණ්ඩුව හදලා ඒ ආණ්ඩුවේ මන්ත්‍රි කෙනෙක් වෙලා රතන හිමි බලාගෙන හිටියේ ආණ්ඩුව යන රටාවය. ආණ්ඩුව හරි අතට අරන් පෙරට ගෙනියන්න රතන හිමි නිතර නිතර නායකයන්ට කීවේය.

අවුරුදු දෙකක් යනකොට ආණ්ඩුව යන අත හරි නැති බව උන්වහන්සේ තේරුම් ගත්හ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන හෙයින් ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කරන බව උන්වහන්සේ කීවේ පසුගිය ජනවාරියේය. විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව උන්වහන්සේ කීවද ආණ්ඩුව පැත්තෙන් සසල වෙන්නට ඒ තීරණය හේතු විය.
එහෙම නිහඬව හිටපු රතන හිමි දවස් කීපයකට කලින් ආණ්ඩුවට තීරණාත්මක 'ටොක්කක්' ඇන්නේය.

'මේ ආණ්ඩුවෙන් තවදුරටත් හොඳ දෙයක් රටට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි නරක දෙයක් වෙන්න දෙන්න බෑ. එච්චරයි බලාපොරොත්තුව'

රතන හිමිගේ නිහඬ බව අස්සේ තිබුණේ තීරණාත්මක තිගැස්මක්ය. එය වැසී තිබුණේ ආණ්ඩුවේ 'අලුත්' බව හින්දාය. හැබැයි මහින්දගේ ආණ්ඩුවට එදිරිව රතන හිමි තීන්දුව ගන්නේ දශකයක් විතර ආණ්ඩුව පරණ වුණාමය. දැන් සිදුව තියෙන්නේ ආණ්ඩුව අලුත් පිටම රතන හිමිගේ එපා වීමට ලක්වෙච්ච හැටිය.

අගමැති කාර්යාලයෙන් ආ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් රතන හිමි ආණ්ඩුවට 'රිදෙන්න' ඇනපු ටොක්ක දැන් දේශපාලන බිමේ ආන්දෝලනාත්මක එකක් වෙලාය.
'2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රි පාලනයක්, ස්ථාවර පාලනයක්, ප්‍රතිපත්තිගරුක පාලනයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 20 වැනි පිටුවේ ඉතාම පැහැදිලිව මේ පිළිබඳ සඳහන් කරලා තිබෙනවා. එහිදී විද්වතුන් ඇතුළත් ජාතික ආර්ථික සැලසුම් මණ්ඩලයක් ස්ථාපනය කරන බව සඳහන් කරලා තිබෙනවා. දැන් ව්‍යවස්ථා සංශෝධනය කරන්න කතා කරනවා. ඒක ජනාධිපතිතුමා දුන් පොරොන්දුවක්. එක එක ඇමතිවරුන්ට ඕන විදියට තීන්දු ගන්නේ නැතුව ලෝක තත්ත්වයත් සැලකිල්ලට අරගෙන සැලසුම් සකස් කරමු. ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ'

රතන හිමි එතනින් නවතින්නේ නැත
"භාණ්ඩ එක්දාස් ගාණකට සෙස් බද්ද දැම්මේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව. දැන් මේ සෙස් බද්ද නැති කරන්න යන්නෙත් එජාප ආණ්ඩුව. ජේ.ආර්. ජයවර්ධන ආර්ථික ප්‍රතිපත්තිය ගැන කොතරම් විවේචන තිබුණත් අඩුම තරමේ ඒ මිනිස්සු මේ රටේ දේශීය කර්මාන්තකරුවා ගැන හිතල තිබෙනවා. ජාවාරම්කාර පුද්ගලයන් හතරපස් දෙනකුට ඕන විදියට කටයුතු කරන බවක් දැන් පේන්නේ. මේ ලියවිල්ල රටට කිසිම ආදරයක් නැති විදිහට කරපු ලියවිල්ලක්. රට යම් කිසි අගාධයකට යනවා නම් අප ජීවත්වීමේ ප්‍රතිඵලයක් නැහැ."

රටක් විදිහට ආණ්ඩුව ජනතාවට විහිළු සපයමින් ඉන්න බව කියන්නේ මිනිස්සුමය. මෑතක කළ කැබිනට් සංශෝධනය හොඳම උදාහරණයය. ආයතන වෙන් කරද්දී ඊටත් වඩා 'ජෝක්' වෙලාය. ඒ ජෝක් එකේ තරම කීවේ ආණ්ඩුවේම ඉන්න ක්‍රීඩා ඇමැතිවරයාය.
සංවර්ධන ලොතරැයියෙන් ඉදිරියේදී රටම ඉදිරියට ගෙන යන බව කියන්නේ මේ රටේ විදේශ කටයුතු ඇමැතිය. රාජ්‍ය පරිපාලනේට චිත්‍රපට සංස්ථාව ලබාදී මාධ්‍ය ඇමැතිට රන්මිනිතැන්න දීමේ විද්‍යාව කුමක්ද කියා අසන්නේ ආණ්ඩුවේ ඇමැතිලාමය.

මේ වෙනකොට ආණ්ඩුවේ තියෙන බල අරගලය එළියට පේනවාට වඩා දරුණුය. ඒ අස්සේ සමහරු කෙළින්ම විවේචනය කරන අතර සමහරු ඉන්නේ නිහඬවය.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවෙන් එළියට එනතුරු වචනයක්වත් කීවේ නැත. හැබැයි ඔහු හිටියේ කලකිරීමෙන්ය. හැබැයි ඔහු හා එක්වන්නට හිටිය අය කල් ඇතිව 'ඉඟි' ලබාදුන්නේය. ඒක එක විදිහක සූත්‍රයක්ය. රතන හිමිගේ සූත්‍රය කුමක්ද කියා තාමත් කියන්න කල් වැඩිය. හැබැයි දැන් 'සෙල්ලම පටන් ගෙනය'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්