ස්ථාවර නියෝග මාලාව - චර්යාධර්ම සංග්‍රහය අවසන් කෙටුම්පත් කතානායක සභාගත කරයි

  👤  4039 readers have read this article !
2017-06-08

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා අලුතින් සකස් කරන ලද ස්ථාවර නියෝග මාලාවේ අවසන් කෙටුම්පත සහ චර්යාධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) සභාගත කළේය.

අභිමානවත් ලෙසත් නීති ගරුකවත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වන මේ යෝජිත ස්ථාවර නියෝග හොඳින් කියවා ඊට අදාළ අවසන් යෝජනා සහ සංශෝධන ඇත්නම් මෙම මස 21 වැනිදා හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදෙන්නැයි කතානායකවරයා මන්ත්‍රිවරුන් සියලු දෙනාගෙන් ඉල්ලීමක් කෙළේය.

යෝජිත ස්ථාවර නියෝග අවසන් කෙටුම්පතේ මූලධර්ම පිළිබඳ පොදු සාකච්ඡාවක් අවශ්‍ය නම් මෙම මස 22 වැනිදා පැය දෙකක කාලයක් ඒ වෙනුවෙන් ලබා දිය හැකි බවද කතානායකවරයා කීවේය.
ලබන ජූලි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියේදී නව ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිත බවත් හෙතෙම කීවේය.

මන්ත්‍රිවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයද ඉදිරියේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන්නේ යැයිද පැවැසීය.
දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග 1979 මැයි 01 වැනිදා සිට බලපැවැත්වෙන බැවින් යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවකැයිද හෙතෙම කීවේය.

දුම්කොළ වගාව 2020 වන විට තහනම් කරනවා

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගා කිරීම 2020 වන විට සම්පූර්ණයෙන් තහනම් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (7දා) පැවැසීය.

දුම් බීමෙන් පුද්ගලයන් 25,000ක් පමණ පිරිසක් වසරකදී මියයන බවත් එයින් සියයට 25%ක් එනම් 6,250ක් දරුවන් බවත් ඇමැතිවරයා කීය.
වැඩිහිටියන් දුම් පානය කරන අවස්ථාවේ පිටකරන දුම ආඝ්‍රාණය කිරීම නිසා දරුවන් මෙසේ මරුමුවට පත්වන්නේ යැයිද පැවැසූ ඇමැතිවරයා පාසල් පිහිටුවා ඇති මීටර් පන්සියයක් තුළ දුම්වැටි විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයිද හෙතෙම කීවේය.

විශ්‍රාම ගිය
ග්‍රාම නිලධාරීන්
යළි බඳවා ගැනීම
ගැටලු රැසකට මුල

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1,850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රිවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී චෝදනා කෙළේය.

ස්ථාවර නියෝග 23-2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී මෙසේද පැවැසීය. ග්‍රාම නිලධාරී සේවය සඳහා විශ්‍රාමලත් නිලධාරීන් නැවත බඳවා ගැනීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
මේ වන විට ග්‍රාම නිලධාරි සේවයේ පුරප්පාඩු 1,850ක් පමණ පවතින බවත් ඒ හේතුවෙන් රාජකාරි වසම් ගණනාවක වැඩ බලන නිලධාරීන් පත්කිරීමට සිදුව ඇති බවත් ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් මහජනතාවට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් වාර්තා වෙනවා.

එම පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පවත්වන ලද තරග විභාගය සඳහා එක් ලක්ෂ අසූදහසකට වැඩි පිරිසක් රුපියල් පන්සියය බැගින් විභාග ගාස්තු ගෙවා පෙනී සිටියා. මේ වන තෙක් එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති අතර ඒ හේතුවෙන්ම නව බඳවා ගැනීම් සිදු වී නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්