උතුරු මැද පොරය

  👤  2488 readers have read this article !
2017-05-19

උතුරු මැද පළාත් සභාවේ බල අරගලයකි. ඒ ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වය හා රාජපක්ෂ පාර්ශ්වය (ඒකාබද්ධ විපක්ෂය) අතරය. මේ අරගලය ඇරැඹුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟය. උතුරු මැද පළාත් මහ ඇමැතිව සිටි එස්. එම්. රංජිත් ධුරයෙන් ඉවත් කර පේෂල ජයරත්න පත් කෙරිණි. රංජිත් නියෝජනය කළේ මහින්ද පාර්ශ්වය වීම ඊට හේතුව විය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන නිජභූමිය වන පොළොන්නරුව දිස්ත්‍රික්කය අයිති වන්නේ උතුරු මැදට වීම නිසා පළාතේ මහ ඇමැති ධුරයේ දේශපාලන හිතවතකු සිටීම වරදක් නැත. වැරැද්ද ඒ හරහා ඇවිළුණු ගින්නේ ගිනි පුපුරු අළු යට තිබී යළි ගිනි ඇවිළීමය.

උතුරු මැද පළාත් සභාවේ ඇමැතිවරයකු වූ කේ. එච්. නන්දසේනව පසුගිය 10දා ධුරයෙන් ඉවත් කළ අතර ඊට විරෝධය පළ කරමින් මහින්ද පාර්ශ්වය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 17 දෙනකුගේ අස්සනින් පෙත්සමක් ආණ්ඩුකාරවරයාට භාර දෙනු ලැබුවේ උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමිනි. එහෙත් ආණ්ඩුකාරවරයා අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළ අතර ඊට හේතුව නිශ්චිත නැත. මන්ත්‍රිවරුන් පිරිසක් අස්සන් කර ඉල්ලීමක් කළ පමණින් මහ ඇමැතිවරයකු ඉවත් කළ නොහැකි බව පැවැසේ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය අනුව පළාත් සභාවේ මන්ත්‍රිවරුන් බහුතරයකගේ සහාය ලබාගැනීමට හැකි යැයි ආණ්ඩුකාරවරයා අපේක්ෂා කරන මන්ත්‍රිවරයා මහ ඇමැතිවරයා ලෙස පත් කළ හැකිය. 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභාවකට තේරී පත්ව සිටින මන්ත්‍රිවරුන්ගෙන් අඩකට වැඩි පිරිසක් තනි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ නියෝජනය කරන්නේ නම් ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේ අදාළ පක්ෂයේ හෝ කණ්ඩායමේ නම් කරන මන්ත්‍රිවරයෙකි.

පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිගේ සෘජු නියෝජිතයකු ලෙස සැලකේ. 13 වැනි ව්‍යවස්ථාවට අනුව පළාත් සභාව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුකාරවරයා සතුවේ. ආණ්ඩුකාරවරයාගේ "තීරණ" ප්‍රශ්න කිරීම එදා මෙදා තුර පළාත් සභාවක සිදුවී නැත. ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මත උෟව පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉවත් කර හරේන් ප්‍රනාන්දු පත් කිරීම සිදු කළේ මන්ත්‍රිවරුන් පිරිසකගේ දිවුරුම් පෙත්සම් ලබාගෙනය.

කාරණය පැහැදිලිය. මේ සියලු පියවර දේශපාලනිකය. බල තරගයේ ප්‍රතිඵලය. උතුරු මැද පළාත් සභාවේ ඇමැති කුට්ටම ඇනීමට හේතුව ජාතික දේශපාලනයේ අර්බුදයක් මිස පළාත් සභාවේ අර්බුදයක් නොවේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලනිපයේ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය. එහෙත් එතැන් සිට ශ්‍රී ලනිපයේ මහින්ද - මෛත්‍රි පාර්ශ්ව අතර දේශපාලන ගැටුමක් ඇරැඹුණු අතර ඉකුත් මහ මැතිවරණයේදී "ගැටුම" රටටම අනාවරණය විය. ඉන් අනතුරුව ශීතල යුද්ධයක් වූ පක්ෂයේ බලය පිළිබඳ ප්‍රශ්නය මේ වනවිට උතුරු මැද පළාත් සභාව හරහා යළි උණුසුම් ලෙස මතුවී ඇත.
පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැර ඒවා අකර්මණ්‍ය වී තිබියදී සක්‍රිය මහජන නියෝජිත ආයතනය ලෙස පැවැති "පළාත් සභාව" ද මෙලෙස අර්බුදයට යෑම ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජනයාට හිතකර නැත. උතුරු මැද අර්බුදයට සෙසු පළාත් සභාද ගොදුරු වීමේ අවදානමක් තිබේ. කලබල විය යුත්තේ ඒ නිසාය. ජාතික තලයේ දේශපාලන බල අරගලයේ ගොදුරු බිමක් බවට පළාත් සභා පත්විය යුතු නැත. 13 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කළ බලය බෙදා හැරීමේ සංකල්පයට අනුව පළාත් සභාවලට නිදහසේ වැඩ කර ගෙන යෑමට ඉඩදිය යුතුය. ඊට මධ්‍යම ආණ්ඩුවේ "දේශපාලනය" හරස් විය යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්