පාසලට පැන්න ‘හොරා’

  👤  2895 readers have read this article !
2017-05-18

පාසලට පැන දරුවන් ඉදිරියේ ගුරුවරියක දණ ගැස්සූ දේශපාලනඥයකු ගැන කලෙකට පෙර වාර්තා වූයේ ආණමඩුවෙනි. ගිරිබාවේ පාසලකින් ඉකුත් 15 වැනිදා වාර්තා වූයේ හොරකු පාසලකට පැන දරුවන් බලා සිටියදී ගුරුවරියකගේ මාල - මුදු උදුරාගෙන ගිය පුවතකි.

දේශපාලනඥයකු පාසලට පැනීම හා හොරකු පාසලට පැනීම අතර ලොකු වෙනසක් නැත. ඒ වර්තමානයේ බොහෝ දේශපාලනඥයන්ද හොරුන් වන නිසාය. ප්‍රශ්නය වන්නේ පාසලක පන්තියේ දරුවන්ට උගන්වමින් සිටින ගුරුවරියකගේ කට ලේන්සුවකින් වසා ඇය අතෙහි පැලඳ සිටි රන් මුදු දෙකක් සහ ගෙල බැඳි රන් මාලය පැහැරගෙන යෑමට 'හොරා'ට හැකි වීමය. ගිරිබාව ප්‍රාථමික විද්‍යාලයට 'හොරා' පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි.

පාසලේ පළමුවැනි ශේ‍ර්ණියට උගන්වමින් සිටියදී සිය ගුරුවරිය මෙලෙස හොරාගේ ග්‍රහණයට හසුවෙද්දී කුඩා දරුවන් කොතරම් මානසික පීඩාවකට ලක්වන්නට ඇත්ද? දරුවන්ගේ කෑ ගැසීම ඇසී පැමිණි යාබද පන්තියේ ගුරුවරියට උල් පිහියක් පෙන්වා අනින බවට බියගන්වා 'හොරා' පැමිණි විලසම යතුරුපැදියෙන් පලා ගොස් ඇත.
කොල්ලයට පැමිණි 'හොරා' කලිසමකින් හා කමිසයකින් සැරැසී සපත්තු පැලඳ 'මහත්මා' විලාසයෙන් සිටි බවත් පාසලට පැනීමට පෙර ගිරිබාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ආසන්නයේ පැයකට ආසන්න කාලයක් රැඳී සිට ඇති බවත් වාර්තා වී තිබේ. වර්තමානයේ 'හොරුන්' බහුතරයක් පෙනී සිටින්නේ මහත්වරුන් ලෙසය. එනිසා මේ හොරා මහත්මා විලාසයෙන් සිටීම පුදුමයක් නොවේ.

මීට පෙර පාසල්වලට හොරුන් පැන්න අවස්ථා ඕනෑ තරම්ය. එහෙත් ඒ පාසල් වේලාවෙන් පසුව හෝ රාත්‍රි කාලයේය. හොරකු පාසලකට පැන ගුරුවරියක කොල්ල කෑ සිද්ධියක් මෑත කාලයේ වාර්තා වූයේ නැත.

මේ සිද්ධිය බරපතළ වන්නේ දරුවන් ඉදිරියේ මේ කොල්ලය සිදුවීමය. එය කිසිසේත් යහපත් නැත. ලංකාවේ වැඩියෙන්ම ඇත්තේ තාප්ප බැඳ ගේට්ටු දමා මුරකරුවන් යොදා සිටින පාසල් නොවේ. ආරක්ෂාව ඇති පාසලකට මෙලෙස පැන කොල්ල කා පලායෑම දුෂ්කරය. එහෙත් අනාරක්ෂිත ගිරිබාව ප්‍රාථමික විද්‍යාලය වැනි පාසලකට ඕනෑම කෙනකුට ඇතුළු වීම පහසුය.

ලංකාව වංචා, දූෂණ, අපචාර, අපයෝජන හා අපරාධවලට තෝතැන්නක් වී තිබේ. තිඹිරිගෙදර සිට සුසානය දක්වා මේ සියලු දේ පැතිරී ඇත. සමාජ සංස්ථා සියල්ල පිරිහී ගොස්ය. ආදර්ශයට ගත හැකි හොඳ දේ අඩුය. වැඩියෙන් ඇත්තේ නරක ආදර්ශය. වෙසක් පෝය ගෙවී ගොස් ලබන්නේ පොසොන් පෝයයි.
නොමඟට යන සමාජය සුමඟට ගැනීමට එවැනි පෝය කීයක් ගතවේද යන්න ප්‍රශ්නයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්