ඩෙංගු මර්දනයට කළ යුත්තේ කුමක්ද?

  👤  2110 readers have read this article !
2017-05-17

ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපතිවරයා විසින් හදිසියේ ඊයේ කැඳවනු ලැබීය. ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම එහි අරමුණ බව පැවැසිණි.

ඩෙංගු රෝගය රටපුරා පැතිරයෑම මහජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් බවට පත්වෙමින් තිබේ. මේ වසරේ පළමුවැනි මාස 04 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 42,141ක් ගැන වාර්තා වී ඇත. ඉකුත් වසරේ වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 55,150ක් පමණි. 2015 වසරේ ඩෙංගු රෝගීන් 29777දෙනෙක් වාර්තා වී තිබුණු අතර රෝගය පැතිරයෑමේ ශීඝ්‍රතාව කෙතරම්දැයි ඉන් අවබෝධ කරගත හැකිවේ.

2017 මැයි 9 වැනිදා වනවිට මෙරට වාර්තා වී ඇති ඩෙංගු රෝගය බව සැක සහිත සිදුවීම් 43,915කි. මාස ලෙස ගත් කල ජනවාරියේ සිදුවීම් 10,464කි. පෙබරවාරියේ 8500කි. මාර්තුවේ සිදුවීම් 13,420කි. අප්‍රේල් මාසයේ සිදුවීම් සංඛ්‍යාව 10,878ක් වේ. 2016 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු බවට සැක සහිත සිදුවීම් 55,150කි.

ඩෙංගු රෝගීන්ගේ වැඩිම ප්‍රතිශතය බස්නාහිර පළාතෙනි. එය 40.7%කි. කොළඹ දිස්ත්‍රික්කයෙහි පමණක් රෝගීන් 9798කි.
ඩෙංගු රෝග තත්ත්ව අවස්ථා හතරකි. 2016 වසරේ මුල් කාලය වනතුරු වාර්තා වූයේ එම අවස්ථා හතරෙන් පළමුවැනි අවස්ථාව පමණි. එහෙත් මේ වසරේදී ඩෙංගු රෝගීන් දෙවැනි අවස්ථාවට පත්ව ඇති අතර එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව විශේෂඥ මතය වේ. මේ වනවිට ඩෙංගු රෝගීන් රෝහල්වලට පැමිණීම වර්ධනය වී ඇත. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ රෝගය පිළිබඳ ජනතාව දැනුවත් වීමය.
2017 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,623කි.

2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246ක් සහ මරණ 97ක් වාර්තා විය. 2015 වසරේදී රෝගීන් 29,777ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩුවී තිබිණි. එහෙත් 2016 වසරේදී ඩෙංගු යළි වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව රෝගීන් 55,150ක් සහ මරණ සංඛ්‍යාව 90 දක්වා වර්ධනය විය. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මඩකළපුව, කෑගල්ල, රත්නපුර, පුත්තලම හා මාතර යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ.
ඊයේ කැඳවූ ජනාධිපති කාර්ය සාධක බළකායේ හදිසි රැස්වීමේදී මේ සියලු කාරණා අවධානයට ගෙන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ජුනි 01 වැනිදා සිට ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ජුනි 01 දා සිට මාස 03ක කාලයක් ඩෙංගු මර්දන කාලසීමාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද එහිදී තීරණය කර තිබේ. ඩෙංගු මර්දනයට අදාළව දැනට ගෙනයන වැඩසටහන්වලදී මතුව ඇති ගැටලු පිළිබඳ ලිඛිත වාර්තාවක්ද ජනාධිපතිවරයා අදාළ අංශවලින් ඉල්ලා ඇත. ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය අංශයේ ආයතන ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ කිහිපයක් ඉදිරියේදී නිකුත් කරන අතර ඒ පිළිබඳ පෞද්ගලික අංශය දැනුවත් කිරීමට කටයුතු කිරීමටද නියමිතය.

ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය බැක්ටීරියාව නිපදවීමේ කටයුතු මෙරට සමාගම් හරහා නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකාය තීරණය කර ඇත. රාගම හා කළුබෝවිල රෝහල් තාවකාලික ගොඩනැඟිලි ලබාදීමටද ඩෙංගු රෝගීන් සඳහා ජාතික රෝහලේ විශේෂ වාට්ටුවක් විවෘත කිරීමටද පියවර ගෙන තිබේ. ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා ඩෙංගු මර්දනයට සියලු දෙනා කැපවීම අවශ්‍යය. එය ආණ්ඩුවට තනිව කළ නොහැකි බව සියල්ලන් තේරුම් ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්