තීරු බදු රහිත වාහන හා මජර දේශපාලනය

  👤  3105 readers have read this article !
2017-05-16

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාර්ෂිකව ලබාදෙන විමධ්‍යගත අරමුදල් වැය කර ඇති ආකාරය මාධ්‍ය මඟින් රටට හෙළිකර තිබිණි. ඇමැතිවරුන්ද ඇතුළුව ඇතැම් පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රිවරුන් අරමුදල් සිය ඡන්ද දායකයන් ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් වැය කර තිබුණද, සැලකිය යුතු පිරිසකගේ විමධ්‍යගත අරමුදල්වලින් වැයකර තිබුණේ අඩු කොටසකි. වැඩි කොටසක් ඉතිරි වී තිබිණි. එසේ වී ඇත්තේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සියලු ප්‍රශ්න විස¼දා ඇති නිසා නොව මේ මහජන නියෝජිතයන්ට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වුවමනාවක් නැති නිසා විය යුතුය.

එහෙත් පක්‍ෂ, විපක්‍ෂ භේදයකින් තොරව මන්ත්‍රිවරුන් සියයකට වැඩි ගණනක් තීරුබදු රහිතව තමන්ට හිමි වාහන බලපත්‍රය නම් නොවරදවාම නොපමාව ලබාගැනීමට කටයුතු කර ඇත. එපමණක් නොව බලපත්‍රය කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණා තිබේ.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ දිනපතා 'මව්බිම'ට ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබාදීම මේ වන විට අල්ලසක් බවට පත්වී ඇති බවය. දිසානායක මහතා පවසා තිබුණේ ඇමෙරිකන් ඩොලර් 62,500ක් වටිනා මේ වාහන බදු සහිතව ගෙන්වූවා නම් රුපියල් තුන්කෝටි තිස් ලක්‍ෂයක බදු මුදලක් භාණ්ඩාගාරයට ලැබීමට ඉඩ තිබූ බවය.
මන්ත්‍රිවරුන්ට නිල වාහන ලබා දෙන්නේ මහජන සේවය කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමටය. එහෙත් මන්ත්‍රිවරුන් සැලකිය යුතු පිරිසක් කරන්නේ තීරුබදු රහිත බලපත්‍රයේ වාසිය ලබානොගෙන බලපත්‍රය විකුණා දැමීමය. එය වැරැදි ක්‍රියාවක් මෙන්ම දැවැන්ත මුදල් අපහරණයකි. පුදුම විය යුත්තේ මේ ඊනියා මහජන නියෝජිතයන් එසේ නොකරන්නේ නම් පමණි.

විමධ්‍යගත අරමුදල් ටිකවත් සිය ජනතාව වෙනුවෙන් වැය කිරීමට වැඩපිළිවෙළක් යොදන්නේ නැති මේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු පැමිණ ඇත්තේ බඩ වඩා ගැනීමට, ගරු සත්කාර ලබා ගැනීමට මිස අනෙකකට නොවේ. තීරුබදු රහිත වාහන, මන්ත්‍රි වරප්‍රසාද, වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් සහ දේශපාලන බලයට මුවාවී කරන වංචා දූෂණ මොවුන්ට ඉල්ලමකි. අවුරුදු පහක් ගොඩ දා ගත්තොත් හොඳටම ප්‍රමාණවත්ය. ආණ්ඩු පක්‍ෂයේ නම් ඇමැති පට්ටමක්ද සහතිකය. විපක්‍ෂයට ගියත් දේශප්‍රේමය නාමයෙන් ආණ්ඩු පක්‍ෂයට කරණමක් ගැසිය හැකිය.

මේ මජර දේශපාලනය ආරම්භ වූයේ 80 දශකයේ මුල සිටය. මේ වන විට පක්‍ෂ, විපක්‍ෂ භේදයකින් තොරව දේශපාලනඥයන් ඒ මජර දේශපාලනය වැලඳගෙන හමාරය. උඩුගං බලා පිහිනීම කිසිසේත් පහසු නැත. අඩු වැඩි වශයෙන් සියලු මන්ත්‍රිවරු මේ මජර දේශපාලනය පෙරට ගෙනයන යාන්ත්‍රණයේ ඇණ මුරිච්චි වී සිටිති. මින් රට ගලවා ගැනීමට නම් ආණ්ඩු වෙනස් කර පලක් නැත. වෙනස් කළ යුත්තේ 'සිස්ටම්' එකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්