බුද්ධාගම හා ඉන්දියාව

  👤  2513 readers have read this article !
2017-05-15

ශ්‍රී ලංකාව යනු සිංහල ජාතිකයන්ද, බෞද්ධ ආගමිකයන්ද බහුතරයක් ජීවත්වන බහු ජාතික, බහු ආගමික රටකි. බහුතරයක් සිටින්නේ සිංහල බෞද්ධයන් යැයි කියමින් ඒ විවිධත්වය නොතකා කටයුතු කිරීමට කිසිවකුට නොහැකිය. එහෙත් අතීතයේ ඒ බව අමතක කිරීම නිසා වන්දි ගෙවීමට සිදුවූයේ ලේවලිනි.
තිස් වසරක ඊළාම් යුද්ධය විශාල ජීවිත හා දේපොළ හානියකින් පසුව අවසන් කර මේ මැයි මාසයට අවුරුදු අටකි. ජන ඝාතක යුද්ධයට තුඩුදුන් හේතුවලට තවමත් විසඳුමක් ලබානොදී තිබියදී දූපත් මානසිකත්වයෙන් පෙළෙන අන්තවාදී ජාතිකවාදීන් හා භින්නෝන්මාදය වැලඳුණු බලලෝභීන් උත්සාහ කරන්නේ විසඳුමකට ඉඩ නොතබා යළි ප්‍රශ්නයේ මුලට යෑමට බව පෙනේ.

80 දශකයේ මැද භාගයේ ඇවිළුෑ ඉන්දියානු විරෝධය නිසා සිදුවූයේ නැති ප්‍රශ්න වැලක් ඇතිවීමය. අසල්වැසි ඉන්දියාවෙන් වෙන්වී යැයි කියමින් තනි ගමනක් ලංකාවට නැත. ඉන්දියන් සාගර කලාපයේ බලවතා මෙන්ම ලෝකයේද බලවත් රටක් වන ඉන්දියාවට පොල්පිතිවලින් පහරදීමට යෝජනා කළ දේශපාලනඥයෝද මේ රටේ සිටියහ. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව අන්තිම ඉන්දියානු සෙබළාත් මරා බඩවැලෙන් එල්ලීමට කතා කළ ඊනියා දේශප්‍රේමීන් සිය ජීවිතය රැක ගත්තේ ඉන්දියාවට පලා ගොස්ය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දැනට පවතින ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමිකරදී ඇති තැන ඉවත් කිරීමට යන බව කියමින් ඇතැම් මාධ්‍ය ද අල්ලාගෙන රට ගිනි තියන මේ පිරිස, ඒ අතරට ඉන්දියානු විරෝධයද එකතු කර ගින්න අවුළුවාලීමට මාන බලති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර වෙසක් උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණීමට විරෝධය පා කළුකොඩි ඔසවන්නැයි යෝජනා කිරීම එවැනි උත්සාහයකි.
තමා තනතුරේ සිටින තුරු බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛස්ථානය කිසිදු ලෙසකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කර ඇත. ඇති ප්‍රශ්න නැති කිරීමට මිස, නැති ප්‍රශ්න ඇති කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් නොකරන බව ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද ප්‍රකාශ කර තිබිණි. එසේ තිබියදී යෝජිත ව්‍යවස්ථාවෙන් 'බුද්ධාගම' සෙසු ආගම් හා සමාන කරන බවට දැනගන්නට ඇතැයි කියමින් දේශපාලනඥයන් පිරිසක් හා ඇතැම් මාධ්‍ය මේ කරමින් සිටින්නේ බිල්ලකු මවා පෑමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දුන් පමණින් බුද්ධ ශාසනය හෝ බුද්ධ ධර්මය මේ ලංකාවේ ආරක්ෂා වන්නේ නැත. ශාසනය පිරිහීමට ලක් වී ඇති අතර බුද්ධ ධර්මය ජීවිත විලාසයක් කරගන්නවා වෙනුවට මිථ්‍යාදෘෂ්ටික ඇදහිලිවන්තයෝ පිරිසක් බවට බෞද්ධයෝ පත්වෙමින් සිටිති. රජයට ඒ වෙනුවෙන් කළ හැකි දේ අල්පය. ශාසනයත් බෞද්ධයාත් බේරාගත හැක්කේ ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේට හා නැණවත් ගුණවත් ගිහි ධර්මධරයන්ට පමණි.
පවතින ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධාගමට ලබාදී ඇති ආරක්ෂාව යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් නොකරන බවට ජනාධිපතිවරයා සහතිකයක් ලබාදී ඇත. ආණ්ඩුවේ කිසිවකු ඊට වෙනස් මතයක් ප්‍රකාශ කර නැත.
එසේ තිබියදී තවදුරටත් 'බුද්ධාගම' හා ඊට හිමි තැන ගැන කතා කිරීම කොරහේ කිඹුලන් දැකීමක් මිස අන් යමක් නොවන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්