ආණ්ඩු විරෝධී කැරැල්ල රජරටින්

  👤  4085 readers have read this article !
2017-05-14

හිටපු ජනාධිපති මහින්ද බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවූවේය. එය මෝඩිගේ නිල චාරිකාවේ න්‍යාය පත්‍රයේ නොවූ හමුවකි. මෝඩිගේ ශ්‍රී ලංකා ගමනට විමල් වීරවංශ කළු කොඩි එසවිය යුතු බවට මීට පෙර ප්‍රකාශ කොට තිබිණි.
ඒත් මහින්ද සිටියේ ඊට වඩා මධ්‍යස්ථ තැනකය. මෝඩි හමුවූ මහින්ද ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන කාර්යයන් ඇගයීමට අමතක නොකළේය. මේ හමුවට ගෝඨාභයද එක්ව සිටීම විශේෂත්වයක් විය.
මෝඩි හා මහින්ද හමුවූයේ ජනාධිපති මන්දිරයේ බ්‍රහස්පතින්දා රාත්‍රි පැවැති විශේෂ භෝජන සංග්‍රහයෙන් අනතුරුවය.

කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා පැවැතියේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ඇමැතිවරුන් සහභාගි වෙමින්ය. ඇමැති මණ්ඩල මාරුවට උනන්දුවෙන් සිටින ජනාධිපති සිරිසේන එය ඉටු කිරීමට එජාපයෙන් සහායක් නොලදින් පසු වන්නේ බිඳුණු සිතකින් යුතුව බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේය. සිංහල අවුරුද්දට පෙර, ඊට පසුව මැයි දිනයට පෙර, වෙසක් පෝයට පෙර ආදී වශයෙන් කැබිනට් සංශෝධනය සිදු කරන බව ප්‍රකාශ වුණිද එය කිරීමට හැකි වූයේ නැත. සංශෝධනය කිරීමට නොහැකි නම් තමන් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබූ බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය. රාජිත හා ජෝන් සෙනවිරත්නගේ ප්‍රශ්නය, හම්බන්තොට වරාය ගිවිසුම ආදිය නිසා මෙවර කැබිනට් රැස්වීම ඉතා විශේෂ විය. එහිදී මුලින්ම සාකච්ඡා කෙරුණේ රාජිත හා ජෝන්ගේ කාකොටාගැනිල්ල සම්බන්ධයෙන්ය.
"මට පසුගිය දවස්වල ගොඩක් ප්‍රශ්න ආවා. රාජිත සේනාරත්න ඇමැතිතුමාගේ කතාව එතරම් හොඳ නැහැ. ඒත් මේවා අවසන් විය යුතුයි" ජෝන් සෙනවිරත්න පාපෝච්චාරණයක් කළේය.
"ඔව් මටත් මේ ප්‍රශ්න ඇදගෙන යන්න අවශ්‍ය නැහැ. මම මේ ආණ්ඩුව හදන්න බොහොම කැපවීම් කළා. මගේ පුතත්, ජනාධිපතිතුමාගේ පුතත් හැංගිලයි ඒ කාලේ හිටියේ. එහෙම තත්ත්වයකදියි අපි මේක කළේ. මම කතා කළේ මේ ආණ්ඩුව රැක ගන්නයි" රාජිත ද කීවේය. "මම සරත් ෆොන්සේකා පත් කරන්න කිව්වේ නැහැ. මේ ප්‍රශ්න සමනය කරගන්න මොනවා හරි කළ යුතුයි කියලයි මම ෆොන්සේකා ඇමැතිතුමාට යෝජනා කළේ; ප්‍රශ්න තියෙනවා නම් ඇතුළෙදි විසඳගන්න. මේක එක ආණ්ඩුවක්, එක ඇමැති මණ්ඩලයක් කියලා හිතාගෙන කටයුතු කරන්න" ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. එම කතාවෙන් පසුව රාජිත - ජෝන් ගැටලුව සමථයකට පත්විය.
මෙහිදී රවි කරුණානායක "මේක එජාපයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ආණ්ඩුවක්. අලුතින් එකතු වූ ශ්‍රී ලනිප අය අපි ගොදුරු කර ගන්න හදනවා. මේක විනාශ වෙන්න දෙන්න එපා" යැයි සඳහන් කළේය. ඊට ජනාධිපති මෛත්‍රිට තරමක් කේන්ති ගියේය. "ඔයාලා එජාප ආණ්ඩුවක් ගැන කතා කරන එක වැරැදියි. මට එජාපය ප්‍රධාන වශයෙන් සහාය දුන්නු එක ඇත්ත. ඒත් මේක සාමූහික ආණ්ඩුවක් බව හැම දෙනෙක්ම මතක තියා ගන්න. එහෙම කතා කරන්න එපා. ඔය කතා වැරැදියි. මේක එක්තරා විදියකට රජය අපහසුතාවකට පත් කිරීමක්, අසමඟිය ඇති කිරීමක්" ඔහු කීවේය. "අපි පසුගිය මැතිවරණවලදී මහින්ද මහත්තයට සහාය දුන් එක ඇත්ත. ආණ්ඩුවක් පිහිටුවන්න කාටවත් ජනතාව තනි බලයක් දීලා නැහැ. අපි එක එක තැන්වල කකුල් තියගෙන ඩීල් දමාගෙන කටයුතු කරන්නේ නැහැ" දයාසිරි කිවේය.
හම්බන්තොට වරාය ගිවිසුම ගැන විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය අමුණුගම කැබිනට් මණ්ඩලයට මූලික කෙටුම්පතක් ඉදිරිපත් කළේය. යෝජනා 12ක් යටතේ එම අනුග්‍රාහක ගිවිසුම ඉදිරිපත් කළේය. එහෙත් ඊට කැබිනට් අනුමැතිය පළ වූයේ නැත. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට තවත් කාලයක් අවශ්‍ය බව ජනාධිපතිවරයාගේ අදහස විය.
ඒ අනුව අවසන් තීරණයක් ගැනීමට ජනපති සහ අගමැති මේ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
කසළ කළමනාකරණය ගැන චම්පික මීට පෙරද යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලයට ගෙනාවේය. ඒ හැම වරකදීම රවි විරුද්ධ වූයේ කුමන හෝ කරුණක් ඉදිරිපත් කරමින්ය. මෙවරද චම්පික ගෙනා යෝජනාවට රවි විරුද්ධ විය.
"ඔහොම වෙනවා නම් කසළ කළමනාකරණ වගකීම මම භාර ගන්නේ නැහැ" පාඨලී එහිදී කීවේය.
"දැන් මෙතැන ඩොලර්වලින් කුණු කනවා" චම්පිකගේ සහ රවිගේ වාදය බලා සිටි අගමැතිවරයෙක් තවත් ඇමැතිවරයකුගේ කනට කොඳුරද්දී" තව සතියකින් හමාරකින් ජනාධිපති ඒ ගැන තීන්දුවක් ගනීවි" යැයි කීවේ කැබිනට් සංශෝධනය ගැන සිතමින්ය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සඳුදා සවස පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මැයි රැලියට සහයෝගය දුන් අයට ස්තුතියක් මෙහිදී රනිල් සිදු කළේය. කැම්බල් පිටියේ එජාප මැයි රැළියට එක් ලක්ෂ හතළිස් දහසක් සහභාගි වූ බව මහ ලේකම් කබීර් හෂිම්ගේ තක්සේරුව අනුව ප්‍රකාශ කෙරිණි.
මැයි රැලියට සෙනඟ ගෙන ඒමට තිබූ දුෂ්කරතා මෙහිදී අජිත් පී. පෙරේරා, හර්ෂණ ඇතුළු පිරිසක් මැසිවිලි නඟන්නට වූහ.
"අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අහවල් රැස්වීමට වැඩියෙන් සෙනඟ ආවා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. අපි ඡන්දයකින් පරදින්නේ නැහැ. මේකත් එක්ක ඉදිරියට යන්න බැරි අය ඉන්නවා නම් ඉවත් වෙන්න" රනිල් කීවේ කේන්තියෙන්ය.
එහෙත් රජය සිදු කරන සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කළ යුතු බව කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පොදු අදහස විය.
ඉදිරි මැතිවරණ සඳහා පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි. එමෙන්ම පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමේ අදහසද ඇතැමෙක් යෝජනා කළහ. ඒ වෙනුවෙන් කබීර්ගේ ප්‍රධානත්වයෙන් සජිත්, කිරිඇල්ල, වජිර යන අයගෙන් සමන්විත කමිටුවක්ද පත් කෙරිණි. එම කමිටුව පළමු වරට රැස්වීමට තිබුණේ සිකුරාදාය. එහි වාර්තාවක් මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමද ඔවුන්ට භාර කෙරිණි. ප්‍රතිසංවිධාන කටයුතු සඳහා විදේශීය විශේෂඥ ආයතනයකින් උපදෙස් ලබා ගැනීමටද එජාපය කටයුතු කරමින් සිටියි.
සමාජ මාධ්‍ය ජාල සම්බන්ධව කටයුතු කිරීමටද මෙහිදී හරීන්, මංගල, අජිත් පී., සුජීව, ඇතුළු පිරිසගෙන් යුතු කමිටුවක්ද පත් කරනු ලැබුවේය.

කතානායක කරු ජයසූරිය ගෙවීගිය සතිය කැප කොට තිබුණේ එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල සාර්ථක කර ගැනීම සඳහාය. අඟහරුවාදා ජාතික වෙසක් නිල උත්සවය සඳහා කෑගල්ල වට්ටාරම අරහන්ත මලියදේව රජමහ විහාරය වෙත ගිය ජනපති හා කතානායකවරයා එය නිමවූ විගසින්ම කොළඹ බලා පිටත්වූයේ සම්බුද්ධාලෝක විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැති වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාවට එක්වීම සඳහාය. වෙසක් පුර පසළොස්වක පොහෝ දින දියවන්නා වෙසක් කලාපයේ සමාරම්භය සිදුවූයේ ද කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්ය. වෙසක් දා රාත්‍රියේ පෙහෙවස් සමාදන් වූ දහසකට අධික පිරිසක් පසුදින අලුයම විශේෂ භාවනාමය වැඩසටහනකට එක්වූයේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීය. කතානායක කරු එහි යන විට පිරිස භාවනානුයෝගීව සිටි නිසා ඊට බාධා නොකරමින් ඊට එක්වූ කතානායකවරයා හෝරාවකට අධික වේලාවක් භාවනානුයෝගීව සිටියේය. භාවනා වැඩසටහනට එක් වූ පූජ්‍ය ඊරියගම ධම්මජීව හිමි 'දැන් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවත් ආරම්භයේදී ටික වේලාවක් භාවනා කරනවා. ඒක අපේ පාර්ලිමේන්තුවට වගේම පාසල්වලටත් හඳුන්වාදීම උචිතයි.' කතානායකවරයාට පැවැසුවේය. 'ඒක ඉතා හොඳ යෝජනාවක් අපේ හාමුදුරුවනේ. ඒක ක්‍රියාත්මක කරන්න මම අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා' කතානායකවරයා කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ තංගල්ලේය. එහි සිටි ඔහුට සඳුදා ඉතා ශෝකජනක ආරංචියක් කන වැකිණි. ඒ සිය බාල සහෝදරිය වූ ගාන්ධිනී රණවකගේ අභාවයයි. රාජපක්ෂ පවුලේ බාලම දියණිය වූ ඇය මහින්ද අයියාගේ නොමඳ ආදරය ලැබූ තැනැත්තියකි. ඩී.ඒ. රාජපක්ෂ පියා ඇයට සෙල්ලම් බඩුවක් ගෙනත් නොදුන් විටෙක පවා නැගණියට සෙල්ලම් බඩු ගෙනැවිත් දුන්නේ මහින්ද අයියාය.
ඇයගේ අභාවය සැලවීමත් සමඟ ඇඹුල්දෙණියේ පිහිටි එම නිවෙස වෙත පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. එසේ පැමිණි අය අතර සාගල, මංගල වැනි ඇමැතිවරුද වූහ. මහින්ද සාගල සමඟ කතාබහක නිරත වී සිටියදී ඊට ගෝඨාභයද එක්විය. ඔවුන් තිදෙනා දිගු වේලාවක් කතා බහ කළ අතර සාගල ගියේ ගෝඨාභගේ දුරකතන අංකයද ඉල්ලා ගනිමින්ය.
මළ ගෙදරට පැමිණ සිටි බොහෝ දෙනකුගේ මාතෘකාව වූයේ දේශපාලනයයි. සඳුදා නිදි වරමින් සිටි පවිත්‍රා 'එජාප ඇමැතිකම් කරන්න රනිල් ඉඩ දෙන්නෙ නැහැ' යි කියමින් කැබිනට් සංශෝධනය ගැන කතාවක් පටන් ගත්තාය. 'මුදල් ඇමැති කිව්වලු එයා මාරු කළොත් බැඳුම්කරේ විස්තර සේරම එළි කරනව කියලා. ඒකට බය වෙලා රනිල් කැබිනට් සංශෝධනයට විරෝධය පළ කරනවලු' ප්‍රසන්න තමන්ට ලැබුණු ආරංචියක් කීවේය. 'අපේ අය මහ ලොකුවට ගිහිං එජාපයේ එල්ලිලා හිටියට ඒ අය අපේ අය ගණන් ගන්නෙවත් නැහැ'' රෝහිත කීවේය. 'එජාප ඇමැතිකම් වෙනස් කරන්න ගියදාට තමයි කවුරුත් අත පුච්ච ගන්නෙ. අපි නොදන්න රනිල්' සනත් නිශාන්ත කීවේ එවැනි කතාවකි.
නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ඩුලිප් විජේසේකර, නිමල් ලන්සා, ඇඹුල්දෙණියේ පිහිටි මළගෙදර රැඳී සිටිනු දැකගත හැකි විය. ආණ්ඩුවේ සිටි කාලය ඇති බව ඔවුන් සමඟ කතා කළ බොහෝ දෙනෙක් ඔවුන්ට පවසන්නට වූහ. 'අපි සුදුසු වෙලාවට සුදුසු තීරණ ගන්නවා. අපි ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ' ඊට පිළිතුරු දෙමින් ඩුලිප් කීය.
'ඇත්ත තමයි රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විධියට යන්න පුළුවන්ද කියල අපටත් ප්‍රශ්නයක් තමයි. අපේ සමහර නායකයො ඇත්ත දකින්න කැමැති නැහැ. මහින්ද මහත්තය වටා පෙළ ගැහෙන ජනතාව ගැන මගෙ නම් අවතක්සේරුවක් නැහැ. අපේ සමහර නායකයො සමුපකාර ඡන්දයවත් ගණන් ගන්නෙ නැහැ' වසන්ත සේනානායක දිගු කතාවක් කියන්නට උත්සුක විය.
මේ නියෝජ්‍ය ඇමැතිතුමාලට රට යන අත හොඳට තේරිලා වගෙයි. මේ අච්චාරු ආණ්ඩුව නිසා රටට වෙන්න යන විපත ගැන දැන් බොහෝ දෙනකු තේරුම් අරන්' එසේ කීවේ කුමාරසිරි හෙට්ටිගේය.
'සර්ගෙ ආරක්ෂාව අයින් කරන්න කරන්න මිනිස්සු සර්ගෙ වටේ එකතු වෙනවා' රොෂාන් රණසිංහ කීවේය.
'සමහර නායකයො උදේ හවස හිතන්නෙ අපිව වට්ටන්නෙ කොහොමද කියලා විතරයි. මේ විධියට කොහොමද රටක් පාලනය කරන්නෙ. බලන්නකො අපි හදල තියන රටට මේ අය කරන අපරාදෙ' මහින්ද කීවේ මේ කතාබහට එක් වෙමින්ය.

ශ්‍රී ලනිප නියෝජනය කරන ඇමැතිවරු 11 දෙනෙක් සඳුදා රාත්‍රි මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූහ. ඒ පක්ෂයක් ලෙස පැන නැඟී ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමටයි. විශේෂයෙන් රාජිත කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කිරීමටද ඔවුහු ජනාධිපතිවරයාට යෝජනා කළහ. රාජිත කැබිනට් ප්‍රකාශක ඉවත් කළයුතු බවට එජනිස ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද එම පිරිස ජනාධිපතිට කීහ. එහෙත් ඊට එකඟ නොවූ ජනපතිවරයා ශ්‍රී ලනිප වෙනුවෙන් කරුණු කීමට පක්ෂයෙන් වෙනම කැබිනට් ප්‍රකාශකයකු පත් කළ හැකි බව දැන්වීය.
ඒ අනුව ඊට ඇමැතිවරු එකඟ වූහ.
එම තනතුරට හිටපු කැබිනට් ප්‍රකාශකයකු වූ අනුර යාපා පත් කිරීමට යෝජනා වුවත් ඔහු ඊට කැමැත්තක් නොදැක්වූයේ 'මට අමාරුයි' කියමින්ය. ඉන් අනතුරුව යෝජනා වූයේ දයාසිරිගේ නමයි. 'මම දන්නව මේක අමාරු වැඩක්. පක්ෂයේ සුබසිද්ධිය වෙනුවෙන් මම ඒක භාර ගන්න කැමැතියි. ඒත් කැබිනට් තීරණ දැනුම් දීමට පෙරාතුව සියලු දෙනා එක අදහසක් දැරිය යුතු වෙනවා. ඒ ගැන සාකච්ඡා කරලයි රැස්වීමට යන්න ඕන.' දයාසිරි කීවේය.
රාත්‍රි 8ට පමණ ඇරැඹි එම හමුව පැය එකහමාරක් තිස්සේ පැවැත්විණි. අනුර යාපා, ජෝන්, නිමල්, දයාසිරි, අමරවීර, තිලංග, ඩිලාන්, අලගියවන්න, එස්.බී සුසිල්, දුමින්ද ඊට සහභාගි වී සිටියහ. ඊට ඇතැම් ඇමැතිවරුන් නොපැමිණියේ තමන් දරන ඇමැති ධුර අහිමි වන බවට ඉඟි පළවීම නිසා බවද එහිදී කසුකුසුවක් ඇති විය.

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති කේ. එච්. නන්දසේන ඉවත් කොට එම්. හේරත්ට එම ඇමැති ධුරය දුන්නේ වෙසක් දිනයේය. ඊට විරෝධය පළ කරමින් ක්‍රීඩා හා යෞවන ඇමැති එස්. එම්. රංජිත්ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේය. මෙය දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් කරමින් ගිනි දැල්ලක් සේ බුර බුරා නැඟෙන්නට පටන් ගෙන ඇත.
උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රි සංඛ්‍යාව 33 දෙනෙකි. ඔවුන්ගෙන් 18 දෙනකු මේ වනවිට ඒකාබද්ධ විපක්ෂට එක් වී සිටියි. ඒ එජාපයේ කින්ස් නෙල්සන්ද එක්කය. ඔවුන් පළාත් සභාවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට තිබෙන අතර පළාත් සභාවේ කිසිදු ප්‍රඥප්තියක් සම්මත කිරීමට ඉඩ නොතැබීමටද ඔවුුන්ගේ අදහස වී ඇත. එමෙන්ම තම කණ්ඩායමේ බලය පෙන්වමින් ලබන සැසි වාරයේදී මහ ඇමැති ධුරය ඉල්ලා සිටීමට ඔවුන් පියවර ගනිමින් ඇත. මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ගැනීමට උතුරු මැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රි කණ්ඩායම සිකුරාදා හිටපු ජනපති මහින්ද හමුවීමටද කටයුතු කර තිබිණි. එම අවස්ථාවට සරත් නන්ද සිල්වා, මහාචාර්ය ජී. එල්. ඇතුළු පිරිසක්ද එක්වීමට නියමිතව සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ සති අන්තයේ චීනයේ නිල චාරිකාවකට සහභාගි වීමට නියමිතය. නාගරික සංවර්ධනය, ප්‍රවාහනය, විදුලිබලය, මාර්ග සංවර්ධනය ආදී ගිවිසුම් කිහිපයකට ද එළැඹීමට ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම 'ර්ණීදඥ ඕඥතබ ධදඥ අධභබඥ' නමින් බීජිංහි පැවැත්වෙන විශේෂ සමුළුවකටද හෙතෙම සහභාගි වෙයි.
සඳුදා චීන ජනාධිපති ෂීං ජිං පින් හමුවීමටද නියමිත අතර හම්බන්තොට වරාය පිළිබඳ අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට අගමැතිවරයා අපේක්ෂාවෙන් සිටියේය.
ඒත් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් ඊට අනුමැතියක් පළ නොවූ නිසා ඔහුට රැගෙන යන්නට සිදු වී ඇත්තේ අනුමත නොවූ ලියැවිල්ලක් පමණි. විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු 8 දෙනකුගෙන් යුතු අමාත්‍ය අනුකමිටුව විසින් එකඟතාව පළ නොවූ කරුණු 12ක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට තිබිණි.
පසුගිය 5 වැනිදා වරාය අධිකාරිය විසින් ජඩ/ඩ්චථ ර්ථීපධන/2017/47 අංකය යටතේ ආචාර්ය සරත් අමුණුගමට යවන ලද ලිපියක්ද ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබිණි. ගිවිසුමෙහි ව්‍යාකූලතා එමඟින් අවධාරණය කොට තිබිණි.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ නොවූ ලියැවිල්ලක් ගෙන අගමැති වික්‍රමසිංහට චීන ජනාධිපති හමුවීමට සිදු වී ඇත.

මහ ඇමැතිවරුන්ගේ 33 වැනි සමුළුව පසුගිය සෙනසුරාදා (5දා) පැවැත්වුණේ හබරණ සිනමන් ලොජ් හෝටලයේදීය. එහි ආරම්භක අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද එක්ව සිටියේය.
පළාත් සභාවන්හි මැති ඇමැතිවරුන්ට මෙන්ම නිලධාරීන්ට දීමනා ගෙවීමේදී පළාත් සභා සියල්ලට එක ප්‍රමාණයක දීමනාවක් ගෙවිය යුතු බවටද එහිදී යෝජනා ස්ථීර කෙරිණි. පළාත් සභාවල පුරප්පාඩු වී පවතින ගුරු පුරප්පාඩු 3,900ක් වහාම පිරවීම සඳහා අනුමැතිය දෙන ලෙස මධ්‍යම ආණ්ඩුවට බල කිරීමටද ඔවුහු කතිකා කර ගත්හ. පළාත් සභා සහ මධ්‍යම රජය වෙන වෙනම කරන කාර්යයන් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් ඍජුව ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කළ යුතු බවටද එහිදී මහ ඇමැතිවරු තීරණයක් ගත්හ. එමෙන්ම පළාත් සභා සියල්ල එකවර විසුරුවා හැරීමට විරුද්ධ විය යුතු බවටද එහිදී තීරණය කළහ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ඒවා විසුරුවා හැරිය යුතු බව ඔවුන්ගේ තීරණයයි.
මීළඟ ප්‍රධාන ඇමැති සමුළුව වයඹ පළාතේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් සහභාගි වූයේ නැත. ඔහුගේ දෙවැනි දියණිය නිමන්ති ශානිකාගේ විවාහය යෙදී තිබීම ඊට හේතුවයි. වෝටර්ස් එජ්හි පැවැති ළහිරු රාජපක්ෂගේ සහ ශානිකාගේ විවාහයට සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළේ ජනාධිපති මෛත්‍රි සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකාය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් ඊට එක්වා සිටි අතර ඔවුන්ට ස්තුති කරමින් ශාන් සිය දියණියට අවවාද කළේ කවියෙන්ය.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් තිස්සමහාරාම ප්‍රදේශය පොසොන් කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමයි. ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ වෙහෙර විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු ඊට සහභාගි වී සිටියහ.
උත්සවයේ අංග පිළිබඳ එකින් එක සාකච්ඡා කරමින් සිටියදී සජිත් එකවරම ඇසුවේ "පොසොන් කලාපය දින කීයක් පවත්වනවද?" කියාය. "දින හතයි" සියල්ලෝම එක් හ¾ඩින් පිළිතුරු දෙද්දී සජිත් ඇසුවේ "තැබෑරුම්, මත්පැන් හල් කී දවසක් වහල තියෙනවද?" කියාය. "දවස් තුනයි" අතරින් පතර කීපදෙනෙක් පිළිතුරු දුන්හ.
"ඒක හරි වැඩක්නේ. පොසොන් කලාපය දවස් 7යි. මත්පැන් අලෙවි තහනම් දින 3ක් විතරයි. එහෙම හරියන්නෙ නෑ. පොසොන් කලාපය පවත්වන දින 7ම අනිවාර්යයෙන්ම තැබෑරුම්, මත්පැන් හල් වහල තියන්න ඕනෑ. අපේ ආණ්ඩුව තැබෑරුම්වලට උදවු කරන ආණ්ඩුවක් නෙවෙයිනේ.
මෙතැන ඉන්න රාජ්‍ය නිලධාරීන් ඒ පිළිබඳව අවශ්‍ය පියවර වහාම ගන්න. තැබෑරුම් ඇරගෙන පවත්වන පොසොන් කලාපයකින් ඵලක් නෑ" සජිත්ගේ පිළිතුර විය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කර වසර 8ක් ගත වන්නේ මැයි 18දාය. එහෙත් එල්ටීටීඊ හිතවාදීන් මෙවරද එය විරු සැමරුමක් කරගෙන ඇත. ඔවුන් එය සතියක් තිස්සේ සමරන්නේ 'දෙමළ ජනතා සංහාරක සතිය' ලෙස නම් කරමින්ය. 12 සිට 18 දක්වා එම සතිය නම් කොට ඇත.
ආණ්ඩුවේ අනුදැනුම මත සිදුවන ඊට ආරක්ෂක අංශවලින් බාධා නොකෙරෙන බවද කියැවේ. එහි අවසන් සමරු වැඩසටහන වෙල්ලමුල්ලිවෛක්කාල්හිදී සිදුවන බවත් ඊට උතුරේ ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන්, පළාත් සභා මන්ත්‍රි ශිවාජිලිංගම් ඇතුළු පිරිසක්ද එක්වීමට නියමිතය. උතුරේ මිය ගිය හා අතුරුදන් වූ බව කියන ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා මාලාවක් ද රජයට ඉදිරිපත් කිරීමටද කටයුතු යොදා ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම මාවතේ නිල නිවෙසේදීය. එහි වැඩි අවධානයක් යොමු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගීත කුමාරසිංහ මන්ත්‍රිවරියගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරීමට ගත් තීන්දුව සහ වෙසක් උළෙල සම්බන්ධයෙනි.
"ගීතාගේ මන්ත්‍රිකම අහෝසි කරන්න හදන්නේ ගීතා අපිත් එක්ක ඉන්න නිසයි. ආණ්ඩුව එක්ක හිටියා නම් ගීතාට කිසිම ප්‍රශ්නයක් නැහැ" පවිත්‍රා එහිදී පෙන්වා දුන්නාය. "ආණ්ඩුවට දැන් ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. ආණ්ඩුව බලන්නේ එක එක්කෙනා තමන්ගේ පැත්තට බාගෙන හරි මන්ත්‍රි ධුරය අහෝසි කරලා හරි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි සංඛ්‍යාව අඩු කිරීමටයි" ප්‍රසන්න කීවේය. "ගීතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කළොත් ගාල්ල දිස්ත්‍රික්කයේම සන්ධාන අපේක්ෂක ලැයිස්තුව අහෝසි වීමේ අවදානමකුත් තියෙනවා" රෝහිත මතු කළේ විශේෂ තත්ත්වයකි. "ගීතා කියන්නේ ලොකු කැපවීමක් කළ කෙනෙක්. අපි මේ මොහොතේ ගීතා එක්ක ඉන්න ඕන" මහින්ද කීවේය. ඒ අනුව ගීිතාට උපකාර කිරීමට පවිත්‍රාට භාර කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්