රෝගී ආර්ථිකයට ජී.එස්.පී. ප්ලස් සහනය

  👤  3023 readers have read this article !
2017-05-14

ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමේ අවසන් කඩුල්ලත් ශ්‍රී ලංකාව පැනගත්තේය. යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ ඇමැතිවරුන්ගේ කවුන්සිලය ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දීමට අනුමැතිය දී ඇත.

ඒ අනුව තව සති දෙකක පමණ කාලයකින් අපනයනය ඇරැඹීමේ අවස්ථාව ලංකාවට හිමිවේ.
මේ තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡන්ද 317කින් ඉකුත් 27 වැනිදා පරාජයට පත්වීම මේ අනුමැතියට බලපෑමක් කරන්නට ඇත.

යුරෝපා සංගමය මඟින් ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි වූයේ 2010 වසරේදීය. එවකට පැවැති රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමෙන් යුරෝපා සංගමයේ කොන්දේසි කඩවීම නිසා යුරෝපා සංගමය 'සහනය' ලංකාවට අහිමි කළේය. වර්තමාන ආණ්ඩුවේ ඉල්ලීම පරිදි අදාළ සම්මුතීන් 27 සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කිරීමෙන් පසු ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා දීම සලකා බැලීමට යුරෝපා සංගමය පියවර ගත්තේය.

කඩුලු කිහිපයක් පැන ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වූ අතර යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විරෝධතා යෝජනාව පරාජය වීම අසීරු කඩුල්ලක් විය. අවසන් කඩඉම හෙවත් කඩුල්ල ලෙස සැලකුණේ යුරෝපා විදේශ සහ වෙළෙඳ ඇමැතිවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය ලබාගැනීමයි.
ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ යුරෝපා සංගමයේ රටවල් 28කට අපනයන යැවීමේ වරම යළිත් ලංකාවට හිමිවනු ඇත. මේ සහනය යටතේ භාණ්ඩ 6,600කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපා සංගමයට අපනයනය කිරීමේ අවස්ථාව හිමි වුවද අපනයනය කෙරෙන්නේ සීමිත භාණ්ඩ සංඛ්‍යාවක් පමණි.
ඒ අතරින් ඇඟලුම් නිෂ්පාදන ප්‍රධාන තැනක් ගනී. මේ සහනය අහිමි වීම නිසා පසුගිය වසර හයක කාලයේදී ඇඟලුම් ක්‍ෂේත්‍රයට පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 30කට අධික පාඩුවක් සිදු වී ඇත. ඒ අනුව සලකා බලන විට ජී.එස්.පී. ප්ලස් අහිමි වීම නිසා මෙරට ආර්ථිකයට සිදුව ඇති පාඩුව අතිවිශාලය.
පහළ මැදි ආදායම් රටක් වීම හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට හිමිවුවද ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ යෑම හා ඉදිරියේදී ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීමට නියමිත නිසා මේ සහනය තවත් අවුරුදු තුනකදී පමණ අපට අහිමි වනු ඇත. ඒ නිසා මේ සහනය ලැබීම ගැන උදම් ඇනීම පසෙකලා පාලකයන් කළ යුත්තේ අනාගතයට මුහුණදීමට සැලැසුම් සකස් කිරීමය. නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පිවිසිය යුතු බවත් යුරෝපා සංගමයෙන් ඉවත් වන රටවල් සමඟද එවැනි ගිවිසුම් අස්සන් කළ යුතු බවත්ය. වඩා වැදගත් කාරණයක් වන්නේ භාණ්ඩ කිහිපයක් මත රැඳී නොසිට යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව වර්ධනය කර ගැනීමය.

ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුව විශාල වෙහෙසක් දැරීය. එහිදී විපක්ෂයේ ඇතැම් පිරිස් කියා සිටියේ මේ සහනය යළි ලබාගැනීමෙන් ආර්ථිකයට එතරම් ඵලදායක නැති බවය. අනෙක රටට අහිතකර කොන්දේසිවලට එකඟ වී ආණ්ඩුව මේ සහනය ලබාගැනීමට යන බවට ඔවුහු චෝදනා කළහ. ඒ චෝදනා බොහොමයක් පදනම් විරහිතය. වඩා වැදගත් වන්නේ මේ සහනය යළි ලැබීමෙන් දුර්වල වී ඇති අපේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වීමය.
පාලකයන්ම කියන පරිදි ණය උගුලක සිරවී ආර්ථික අර්බුදයක සිටින රටට විදේශ විනිමය වැඩි වැඩියෙන් සොයා ගත යුතුය. ජී.එස්.පී. ප්ලස් සහනය ඊට හොඳ මාර්ගයකි. එහෙත් පසුගිය අවුරුදු හය තුළ ලංකාවට අහිමි වූ වෙළෙඳපොළ යළි දිනා ගැනීමට ආණ්ඩුවට සැලසුමක් අවශ්‍යය. විශේෂයෙන් ඇඟලුම් වෙළෙඳපොළේ ලංකාව හිමිකරගෙන සිටි ප්‍රමුඛත්වය ජී.එස්.පී. ප්ලස් නොලැබී යෑමෙන් පසු අහිමි විය.
කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු ආයතන සමෝධානිකව කටයුතු කිරීම තුළින් ජී.එස්.පී. ප්ලස් සහනය යළි හිමි වීමේ උපරිම ප්‍රතිඵල නෙළාගත හැකිවනු ඇත. ඒ බව විශේෂයෙන් සඳහන් කරන්නේ අන්තර් සම්බන්ධයන් රජයේ බොහෝ ආයතන අතර නොමැති වීම නිසාය. අලුත් කර්මාන්ත ලියාපදිංචියේදී අදාළ ගාස්තු අඩුකිරීමේ තීරණයක් කර්මාන්ත අමාත්‍යාංශය ගෙන තිබීම ගැන මෙහි සඳහන් කරන්නේ ජී.එස්.පී. ප්ලස් සහනයේ ප්‍රතිඵල නෙළා ගැනීමේදී එවැනි පියවරද වක්‍රාකාරව ප්‍රයෝජනවත් වන නිසාය.

අන්තර්ජාතික වෙසක් උළෙල මෙරට පැවැත්වෙද්දී ජී.එස්.පී. ප්ලස් සහනය අපට ලැබීම සුවිශේෂී වේ. දුකට පත් සිත් සුවපත් කර ගැනීමට බුද්ධ ධර්මයේ ඇති වටිනාකම ලෝකයට කියා දෙන මේ වෙසක් සතියේ රෝගී වූ අපේ ආර්ථිකය නිරෝගී කර ගැනීමට උපකාරී වන ජී.එස්.පී. ප්ලස් සහනය ලෝකයෙන් මෙරටට ලැබීම සතුටට කරුණක් වන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්