ජගත් වෙසක් උළෙල

  👤  2603 readers have read this article !
2017-05-12

ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල සැමරෙන වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව ලෝකවාසී බෞද්ධයන් එක්වන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය අද සිට තෙදිනක් පුරා ශ්‍රී ලංකාවේ පැවැත්වේ.

මීට පෙර අවස්ථා 11කදී තායිලන්තයේද, දෙවතාවක් වියට්නාමයේදී පවත්වා ඇති මේ උත්සවය නිසා ජාත්‍යන්තර වශයෙන් ඉහළම අවධානයක් මෙරටට යොමුවේ. බුදුන් උපන් දේශය ලෙස සැලැකෙන ඉන්දියාවේ වත්මන් නායකයා වන නරේන්ද්‍ර මෝඩි අද ඇරැඹෙන වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා වීමද සුවිශේෂී කාරණයකි.
එහෙත් පිරිසක් ඉන්දීය අගමැතිවරයාගේ පැමිණීමට විරෝධය පළකර ඇත්තේ ආගමික කාරණා මත නොව, හුදෙක් දේශපාලනික කාරණා මතය. ඔවුන්ට අනුව මෝඩි මහතා මෙරටට එන්නේ වෙසක් උත්සවය මුවාවෙන් දේශපාලන කටයුත්තකට බවය.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය වෙසක් උත්සවය වෙනුවෙන් මිස අන් කිසිදු කාරණයක් නිසා නොවන බව ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කර ඇත. එතුමාගේ වගකීම් සහිත එම ප්‍රකාශය පිළිගැනීම හැර අන් විකල්පයක් නැත.
පළමුවරට 'වෙසක් දිනය' පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරනු ලැබුවේ 1950 ලෝක බෞද්ධ සම්මේලනයේදී ආචාර්ය ගුණපාල මලලසේකරයන් විසිනි. හිටපු විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම්කර ගැනීමට මැදිහත් වූවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර වෙසක් උත්සවයක් පැවැත්වීමට ඉදිරිපත්වීමද සුවිශේෂී වන්නේ බෞද්ධයන් සිටින්නේ ලෝක ජනගහනයෙන් 7%ක් පමණක් වන නිසාය.
මෙවර වෙසක් උත්සවයට ඉන්දීය අගමැති, නේපාල ජනාධිපතිනි ඇතුළු රටවල් 85ක නියෝජිතයන් 700ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ද සමඟ සහභාගි වන සංඛ්‍යාව දහස ඉක්මවනු ඇත. උත්සවයේ සමාරම්භය කොළඹදී සිදුවන අතර සමාප්තිය මහනුවරදී සිදු කිරීමට නියමිතය. ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ලෝකයේ ආගම් මුල් කරගත් ගැටුම් පවතිද්දීය. ගැටුම් නිරාකරණයට බුදු දහම පෙන්වාදී ඇති මඟ පිළිබඳව මෙහිදී සාකච්ඡා වනු ඇත.
සාමය උදාකර ගැනීමේදී බුදුදහම තුළින් ලබාගත හැකි අනුබලය සුවිශාලය. බෞද්ධ දර්ශනය තුළින් සමාජ සාධාරණත්වය හා තිරසර සාමය සඳහා සන්නිවේදනය වන ආදර්ශ රැසකි.

ථෙරවාදී දහම සුරැකී ඇති රටක් ලෙස බුදුන් වහන්සේගේ 'දහම් පණිවිඩය' ලෝකයට රැගෙන යෑමට මේ ජාත්‍යන්තර වෙසක් උත්සවය මාර්ගයක් කර ගත යුතුය. එතුළින් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාවට යොමුවනු ඇත. ඉන් ලබාගත හැකි වාසි රැසකි. ජාත්‍යන්තර වෙසක් උත්සවය අපට ආශීර්වාදයක් වන්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්