ඇත්ත සහ බොරුව

  👤  5038 readers have read this article !
2017-05-11

විචාර බුද්ධිය හා තර්ක ඥානය අහිමි කරගත් සමාජයක අඳබාලයකුට හෝ තක්කඩියකුට ඕනෑම මිථ්‍යාවක් වැපිරීම දුෂ්කර නැත.
ලේ ලබාගන්නා මුවාවෙන් යම් සංවිධානාත්මක කණ්ඩායමක් එච්.අයි.වී. (ඒඩ්ස්) වයිරසය ශරීරගත කරන බවට තක්කඩියන් පිරිසක් සමාජ ජාල හරහා පතුරුවා හරින 'බොරුව' ඇතැමුන් ඇත්තක් ලෙස ගෙන ඇත.

මේ 'ප්‍රබන්ධය' කටකතාවක් ලෙස රට පුරා පැතිර යන්නේ ඉන් අනතුරුවය. මේ කටකතා අසා බොහෝ පිරිසක් කලබල වීම හේතුවෙන් මේ කතාව අසත්‍යයක් බවත් එලෙස පැමිණෙන්නේ බරවා රෝග මර්දන නිලධාරීන් බවත් සඳහන් කර නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය.
බරවා රෝග පරීක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර ලත් නිලධාරීන් ලේ පටක ලබාගැනීමට මේ දිනවල නිවෙස්වලට පැමිණේ. එලෙස පැමිණෙන සෑම නිලධාරියකුටම නිල හැඳුනුම්පතක් හෝ නිල අවසර පත්‍රයක් ලබාදී තිබෙන අතර ඊට අමතරව ඔවුන් නියමිත නිල ඇඳුමෙන් සැරැසී සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර ඇත.

දන්නා කාලයේ සිට බරවා පරීක්ෂක නිලධාරීන් නිවෙස්වලට පැමිණෙන්නේ රාත්‍රි කාලයේය. ඒ බරවා රෝග පරීක්ෂාවට සුදුසුම කාලය රාත්‍රිය නිසාය. තක්කඩියන්ගේ බොරු ප්‍රචාරවලට රැවටෙන්නන් අඩුම ගණනේ මේ සරල කාරණයවත් නොදනී. නොඑසේ නම් මෙතරම් කලබල වන්නේ නැත.
ලේ ලබාගන්නා මුවාවෙන් යම් කණ්ඩායමක් එච්.අයි.වී. (ඒඩ්ස්) වයිරසය ශරීරගත කරන බවට කටකතා පැතිර ගියත් බරවා රෝග පරීක්ෂාවට පැමිණෙන කිසිවකුටත් එවැනි අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම එවැනි සංවිධානාත්මක පිරිසක් ගැන දිවයිනේ කිසිදු තැනකින් වාර්තා වී නැත. මේ වෙසක් සමයේ මේ තක්කඩියන් කරන්නේ මිථ්‍යා වපුරමින් ගෞතම බුද්ධ වචනයටත් නිගරු කිරීමය.
ගෞතම බුදුන් වහන්සේගේ කාලාම සූත්‍ර දේශනාව දන්නා බෞද්ධාගමිකයකු වේවා, අන්‍යාගමිකයකු වේවා නොඑසේ නම් අනාගාමිකයකු වේවා මෙවැනි බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැත. සත්‍ය කියා අසත්‍ය වැලඳ ගන්නේ නැත. ඔවුන් මිථ්‍යා දෘෂ්ටිය වෙනුවට සම්‍යයක් දෘෂ්ටිය මත පිහිටා තීරණ ගනී. එවැන්නන් සිටින සමාජයකට විචාර බුද්ධිය හා තර්ක ඥානය නොවඩුව හිමිවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්