වෙසක් පෝදා උතුම් පූජාව

  👤  2633 readers have read this article !
2017-05-10

ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2561 වෙසක් දිනය ලාංකික බෞද්ධයන්ට සුවිශේෂී වන්නේ ජගත් වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිසාය. 2500 බුද්ධ ජයන්තිය මෙන්ම 2600 සම්බුද්ධත්ව ජයන්තිය මෙලෙස සැමරීමේ අවස්ථාව මෙරට බෞද්ධයන්ට හිමි විය.

ලෝක ජනගහනයෙන් සියයට 7ක් වන බෞද්ධ ජනතාව ථෙරවාදය හා මහායාන ලෙස දාර්ශනික ප්‍රවාහ දෙකකට බෙදී සිටී. ථෙරවාදය හෙවත් හීනයාන ධර්මය අනුදකින මෙරට බහුතරය වන බෞද්ධයෝ තෙමඟුල සැමරීමේදී ප්‍රතිපත්ති පූජා, ආමිෂ පූජා කරති. චිරාත් කාලයක් තිස්සේ සිදුකරන මේ ආමිෂ පූජාවට බෞද්ධ ධර්මයේ හරය කෙලෙසන ආකාරයේ විවිධ දේ එකතු වී තිබේ. වාණිජකරණය වූ සමාජයක එවැනි දේ නොවැළැක්විය හැකිය. එහෙත් වඩා වැදගත් වන්නේ තෙමඟුල සැමරීමේදී දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලට මුල්තැන දීමය.

මෙවර ජගත් වෙසක් උත්සවයට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි ඇතුළු ගිහි-පැවිදි විදේශිකයන් රැසක් මෙරටට පැමිණේ. ගෞතම බුදුන් තෙවරක් වැඩම කළ බව පැවැසෙන ජම්බුද්වීපය ලෙස අතීතයේ හැඳින්වුණු ලංකාවේ බෞද්ධයන් ධර්මානුකූල පිළිවෙත් රකිමින් ආදර්ශවත්ව වෙසක් උත්සවය සැමරිය යුතුය.
වසර 2500කට වැඩි මෙරට ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු සමාජයකට තෙමඟුල සමරන ආකාරය ගැන අමුතුවෙන් කියා දිය යුතුද? යන ප්‍රශ්නය අයකුට මතු කළ හැකිය. ඇත්ත කාරණය නම් වර්තමාන සමාජය පිළිවෙත් ගරු නොකරන, එනිසාම විනය බිඳ වැටුණු මිනිසුන් හා ගැහැනුන්ගෙන් පිරී ගොස් තිබීමය. වැඩිම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ලෝකයේ පළමුවැනි රට බවට ලංකාව පත්ව තිබීමෙන්ම එය තේරුම් ගත හැකිය.
ආගමික නැඹුරුව යනු මෙරට වෙසෙන බහුතරයක් වූ බෞද්ධාගමිකයන් බෞද්ධ ධර්මය සිය ජීවන විලාසය කරගෙන ඇති බව නොවේ. මිථ්‍යාව කරපින්නාගත් ඇදහිලිවන්තයන් 'බහුතරය' වී ඇති බවය. ගිහි ජනතාව ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමටත් ධාර්මිකව ප්‍රශ්න විස¼දා ගැනීමටත් කටයුතු කරන්නේ නම් මෙතරම් අවුල් වියවුල්වලින් පිරි අපරාධ රජ කරන සමාජයක් නිර්මාණය වන්නේ නැත.
වියපත් මවුපියන් ඝාතනය කරන පුත්තු, මව සමඟ එක්ව සිය පියා මරා දමන දියණිවරුන්, දරුවන් ගංගාවලට, ළිංවලට දමා දිවි නසා ගන්නා අම්මාවරුන්, සිය බිරිය සාහසික ලෙස මරා දමන සැමියන්, සැප සම්පත් ලබාගැනීමට දරුවන් පැහැරගෙන යන කප්පම්කරුවන්, දරුවන් දූෂණය කරන වැඩිහිටියන්, සහෝදරියව අපයෝජනය කරන සහෝදරයන්, ලජ්ජා බය දෙකම නැති කරගත් පාලකයන් සිටින සමාජයක් බෞද්ධ ධර්මයෙන් හෝ අන් කිසිදු ධර්මයකින් හික්මවා ඇතැයි සිතීම දෝෂ සහගතය.
පටිසෝතගාමී වන්නැයි ක්‍රියාවෙන්ම කියාදුන් ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයෙන් අබැටක් හෝ තේරුම් ගැනීමට උත්සාහ කිරීම මේ වෙසක් පුන් පොහෝ දින බෞද්ධාගමිකයන් වේවා අන් කවරකු හෝ වේවා කළ යුතු උතුම් පුණ්‍ය ක්‍රියාවකි. යහපත් සමාජයක් උදෙසා එය මහෝපකාරී වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්