ප්‍රංශය සහ ලෝකය

  👤  3195 readers have read this article !
2017-05-09

යුරෝපයේ ප්‍රමුඛ රටක් වන ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඉමැනුවෙල් මැක්රොන් පත්ව සිටී. 48 හැවිරිදි අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මාරීන් ල පෙන් ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් පරාජය කළ 39 හැවිරිදි ඉමැනුවෙල් මැක්රොන් ප්‍රංශයේ එදා මෙදාතුර ජනාධිපති ධුරයට පත් වූ ළාබාලම පුද්ගලයා ලෙස සැලකේ.
ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමුවැනි වටයට අපේක්ෂකයන් 11 දෙනෙක් සහභාගි වූ අතර එරට සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂවන සමාජවාදී හා රිපබ්ලිකන් පක්‍ෂ ඉදිරිපත් කළ
අපේක්ෂකයන් දෙදෙනා තරග බිමෙන් අතුගෑවී ගියේය. එය අඩ සියවසකට වැඩි කාලයක් තුළ එරට මැතිවරණ ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී පෙරැළියකි.
සමාජවාදී ආණ්ඩුවේ ආර්ථික කටයුතු ඇමැති ධුරය දැරුවද මැක්රොන් දේශපාලනයට කෝඩුකාරයකු ලෙස සැලකේ. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇමැති ධුරයෙන් ඉවත්වී පිහිටුවාගත් එන්මාර්ෂ් නම් අලුත් පක්ෂයෙනි.

ප්‍රතිවාදී අපේක්ෂිකා මාරීන් ල පෙන් ගේ තේමාව වූයේ "පළමුව ප්‍රංශය" යන්නයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ඇයද පෙනී සිටින්නේ 'ජාතිකවාදය' වෙනුවෙනි. පෙන් මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් ඉදිරියේ පැවැත්වීමට නියමිත ජර්මන් හා බි්‍රතාන්‍ය මැතිවරණවලදී ජාතිකවාදීන්ට එය විශාල තල්ලුවක් වීමට ඉඩ තිබිණි. මැක්රොන් ජයග්‍රහණය කළද ප්‍රංශයේ අනාගතයට මාරින් ල පෙන් ප්‍රමුඛ ජාතිකවාදීන් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරක මතයයි.
ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මධ්‍යස්ථ මතධාරි ඉමැනුවෙල් මැක්රොන්ට ඇමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු බටහිර නායකයන් සහාය දැක්වුවද ඇමෙරිකා හා රුසියානු ජනාධිපතිවරුන්ගේ සහාය හිමිවූයේ ල පෙන්ට ය. යුරෝපා සංගම් හිතවාදී හා ලිබරල්වාදී ස්ථාවරයක සිටින මැක්රොන්ට 'ජාතිකවාදී' යුරෝපයක් අපේක්ෂා කරන ඇමෙරිකානු හා රුසියානු නායකත්වය කැමැති නැත. ගෝලීය ලිබරල් මතවාදය වෙනුවට ජාතිකවාදය ලෝකයේ යළි හිස ඔසවමින් සිටියදී ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්රොන් ජයග්‍රහණය කළද ඔහුට මුහුණදීමට සිදුවන අභියෝගය සුළුපටු නැත. ප්‍රංශය ප්‍රමුඛ යුරෝපයට එල්ල වී ඇති ත්‍රස්තවාදී තර්ජනය ඉන් ප්‍රධානය. එරට ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි අතරදී ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල වීමෙන් එහි බරපතළකම පැහැදිලිය.

ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් 'ජාතිකවාදය' පරාජය කිරීම පිළිබඳව සබුද්ධික ප්‍රංශ ඡන්දදායකයන්ට ගෞරවය හිමි විය යුතුය. එහෙත් ගෙවෙන සෑම දවසක්ම ප්‍රංශයට මෙන්ම ලෝකයට තීරණාත්මකය. හේතුව ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය අර්බුදයට යෑම හමුවේ ලෝකයට තවමත් විකල්පයක් සොයාගත නොහැකි වී තිබීමය.
ජාතිකවාදය විකල්පයක්ද? නොඑසේ නම් තවත් අර්බුදයක ආරම්භයක්ද යන්න තීරණය කිරීමට කල් වැඩිය. ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමැනුවෙල් මැක්රොන් ජයග්‍රහණය කිරීම වඩා යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරන්නන්ට යම් අස්වැසිල්ලක් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්