සිංගප්පූරු පුරවැසියකු අපේ රටේ මුදල් නෝට්ටුවලට අස්සන් කිරීම නීති විරෝධියි

  👤  4375 readers have read this article !
2017-05-05

සිංගප්පූරු පුරවැසියෙක් අපේ රටේ මුදල් නෝට්ටුවකට අස්සන් තැබීම නීති විරෝධී යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මේක වෛරයෙන් මුසපත් වූ ඇමැතිවරු සිටින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ඒ නිසාම ජනතා අප්‍රසාදයට පත්වෙලා. හිටපු හමුදාපතිවරයා කියනවා, රට බේරාගත් නායකයා සාටකයෙන් එල්ලා මැරිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවත් දැන් අඩු කරලා. එතුමාගේ ආරක්ෂාවට දැන් තර්ජනයක් එල්ල වෙලා. එය බරපතළ තත්ත්වයක්.

මේ වෛරී දේශපාලනය නිසා රට තවදුරටත් අගාධයට යොමු වනවා. රාජ්‍ය මර්දනය අද ඉස්මතු වෙමින් පවතිනවා.
මහ බැංකුවේ අධිපති හැටියට අර්ජුන් මහෙන්ද්‍රන් අත්සන් කර ඇති රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු එළියට දැම්මේ නැහැ. රුපියල් සියයේ නෝට්ටු සංසරණය වෙනවා. ඒ නෝට්ටුවක ඡායා පිටපතක් මම සභාගත කරනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ඇති කෙනකුට මේ රටේ මුදල් නෝට්ටුවලට අස්සන් තැබීමට හැකි නම් ගීතා කුමාරසිංහ මන්ත්‍රිතුමියට විදෙස් රටක පුරවැසිභාවය ලැබීම නීත්‍යනුකූල නොවන්නේ ඇයි?
මේ යෝජනා ගැන අපේ විරුද්ධතාවක් නැහැ. නමුත් 2017 වසර සඳහා බලපැවැත්වෙන මෙම යෝජනා දැනුයි ඉදිරිපත් වන්නේ. ඒක කනගාටුවට කරුණක්. මේ රජය තවමත් පසුගිය රජයට අපහාස කරන එක පමණයි කරන්නේ. රටේ ආර්ථිකය නංවන්න නිශ්චිත වැඩපිළිවෙළක් මේ රජය සතුව නැහැ.

හිටපු ජනපතිගේ ආරක්ෂාව අඩු කිරීම
ජීවිතයට බලවත් තර්ජනයක්

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සඳහා ලබාදී තිබුණු ආරක්ෂාව අඩුකර ඇති බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරවන ලෙසත්, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කතානායක කරු ජයසූරිය අමතමින් ඉල්ලීමක් කළේය.
මෙය ඉතා බරපතළ තත්ත්වයක් සුමන්තිරන් මන්ත්‍රිතුමාගේ ජීවිතයට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ තර්ජන එල්ලවී තිබෙන බව දැනුම් දීමෙන් පසු ආරක්ෂාව ලබා දුන්නා. එතුමාට එවැනි තර්ජනයක් තිබෙනවා නම් මහින්ද රාජපක්ෂ මහතාටත් එවැනිම තර්ජන ඇතිවිය නොහැකිද? කතානායකතුමනි, මැයි දිනය අවසන්වූ පසු ඊයේ මේ ආරක්ෂාව ඉවත්කර ආරක්ෂාවට යොදා තිබූ පිරිස ආපසු කැ¼දවා තිබෙනවා.
මීට පෙර එතුමාගේ ආරක්ෂාවට සිටි හමුදා කණ්ඩායම ඉවත් කළ අවස්ථාවේ, අගමැතිතුමා මේ සභාවේදී ප්‍රකාශ කළා, මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ප්‍රමාණය පොලිසියෙන් හා එස්.ටී.එෆ්. එකෙන් ලබා දෙනවා කියා. ඒ අනුව ලබාදී තිබුණු ආරක්ෂාව ඉවත් කිරීම බරපතළ වැරැද්දක්.
ඩලස් අලහප්පෙරුම _ මහින්ද රාජපක්ෂ මහතා සාටකයෙන් එල්ලන බවට සරත් ෆොන්සේකා ඇමැතිවරයා, කැම්බල් පිටියේ මැයි දින රැලියේදී ප්‍රකාශ කළා. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයක්. දේශපාලන වශයෙන් මෙවැනි ප්‍රකාශ කිරීම සුදුසු නැහැ. අපි මේ ගැන සිතන්න ඕන. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී තිබෙනවා. එතුමාගේ ආරක්ෂාව මේ අන්දමට හිටි හැටියේ අඩු කිරීම සැකයට හේතුවනවා. කතනායකතුමා මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඇතැයි බලාපොරොත්තු වනවා.
කතානායක - මේ ගැන මම අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් දැනුවත් කරනවා. සාගල රත්නායක ඇමැතිතුමා සමඟත් සාකච්ඡා කරනවා. හො¼දයි මම මේ ගැන අවධානය යොමු කරන්නම්.

සමාගම් ලියාපදිංචියට නව තාක්ෂණය සම්බන්ධ කරගත යුතුයි

විදේශ සමාගම් ලියාපදිංචිය සියයට හැත්තෑවක් වී ඇති බවත්, සමාගම් ලියාපදිංචියට නව තාක්ෂණය සම්බන්ධ කරගත යුතු බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් පැවැසීය.
මේ නියෝගවල අරමුණ 2016 අයවැය යෝජනා අනුව යම් යම් සංශෝධන ඇති කිරීමයි. අපේ අරමුණ ව්‍යවසායකත්ව වර්ධනයයි.
සීමා රහිත සමාගම් ලියාපදිංචි ගාස්තුව රුපියල් 15,000 සිට 20,000 දක්වාද, සීමාසහිත සමාගම් ලියාපදිංචි ගාස්තුව රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා, ණය දෙන සමාගම් ලියාපදිංචිය රුපියල් 5,000 සිට 7,500 දක්වාද නමක් අනුමත කිරීමේ ගාස්තුව රුපියල් 1000සිට 2000 දක්වාද, සමාගම් ලිපිගොනු පරීක්ෂා කිරීමේ ගාස්තුව රුපියල් 1000 සිට 2000 දක්වාද උද්ධෘත පරීක්ෂා කර ලබා ගැනීමේ ගාස්තුව රුපියල් 500 සිට 1000 දක්වාද ඉහළ දමා තිබෙනවා.
මීට අමතරව විදේශ සමාගම් ලියාපදිංචි ගාස්තුව රුපියල් 75,000 සිට ලක්ෂය දක්වාත්, විදේශ සමාගම් ලියාපදිංචිය අලුත් කිරීම රුපියල් ලක්ෂයේ සිට, 1,50,000 දක්වාද ඉහළ දමා තිබෙනවා.
සමහර අංශවල ගාස්තු අපි අඩු කර තිබෙනවා. වසර තුනකට වරක් ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය යටතේ තමයි අපි මෙවර ගාස්තු සංශෝධනය කර තිබෙන්නේ.

අද ආර්ථිකය කඩා වැටිලා උද්ධමනය ඉහළ ගිහින්

නීති විරෝධී මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන සොයා බලන්නැයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළේය.
ආයතනයක් ලියාපදිංචි කළ පමණින් රටක් දියුණු වෙන්නෙ නැහැ. අද මේ රජය බදු ඉහළ දමා ජනතාව අපහසුතාවට ලක්කර තිබෙනවා.
ආදායම් බද්ද පවා අද ඉහළ දමා තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්.
අද රටේ ආර්ථිකය කඩා වැටිලා. ආයෝජන පහළ බැහැලා. උද්ධමනය ඉහළ ගිහිල්ලා. ආර්ථික වර්ධනය පහළ වැටිලා. ඇතිවී තිබෙන මේ තත්ත්වයට විසඳුම් අවශ්‍යයි.
මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන සඳහා කළමනාකරණයක් නැහැ. ඒ සඳහා කළමනාකරණයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. මේ රජය ලාභ ලබන ආයතන විකුණා දමනවා. ලුණු සමාගම, ඇපලෝ රෝහල වැනි ලාභ ලබන ආයතන විකුණනවා. පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරන්න උත්සාහ කළ යුතුයි.

සමාගම් සඳහා
ගාස්තු අය කිරීමට
රෙජිස්ට්‍රාර්ට බලයක් නෑ

'සමාගම් සඳහා වාර්ෂික ගාස්තුවක් අය කිරීමේ නෛතික බලයක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට නැහැ'යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවැසීය.
මේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ සමාගම් පමණක් නෙවෙයි, ගමේ තිබෙන සමිති සමාගම්වලටත් බලපානවා.
සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට නැති බලයක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් පාවිච්චි කරමින් මෙසේ වාර්ෂික ගාස්තු අයකිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි.
එවැනි තත්ත්වයක් යටතේ තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. මේ ගැසට් නිවේදනයට අනුව, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින්ඹ සමිති සමාගම්වලින් වාර්ෂික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් කෙනෙක් අධිකරණය හමුවට ගියහොත්, ඇමැතිවරයාටවත් අමාත්‍යාංශයටවත් නොවේ වග කියන්න වෙන්නේ ගාස්තු අය කළ නිලධාරියාටයි.
කොන්ත්‍රාත් ලබාගැනීමේදී ප්‍රධාන නියෝජිතයාට ඒවා ලබා ගැනීමට ඇති අවස්ථාව මේ පනත යටතේ අහිමිවී ගොස් තිබෙනවා. අනු නියෝජිතයන්ට ඒ ස¼දහා අවස්ථාව සැලසී තිබෙනවා.
ලාභ ලබන හම්බන්තොට ලුණු සමාගම විකුණලා, ගමේ පන්සලේ, පල්ලියේ තිබෙන සමිතියෙන් ගාස්තු අය කරනවා. මොකක්ද මේ විහිළුව. නෛතික රාමුවක් නැතිව නීතිමය පියවර ගැනීම වැරැදියි.

කවුරු මොනවා කීවත් මාස හැටක් ඇතුළත
අලුත් රටක් හදනවා

කවුරු මොනවා කිව්වත් මාස හැටක් ඇතුළත අපි අලුත් රටක් හදනවා'' යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම (එ.ජා.ප.) පැවැසීය.
''අපි සෑම අවස්ථාවකම උත්සාහ කරන්නේ ජනපතිගේ හෝ අගමැතිගේ ප්‍රතිරූප ගොඩනඟන්න නොවේ. අපට අවශ්‍ය ජනතාවට සහන ලබා දෙන්නයි. ජනතා බලය තිබෙන්නේ අපේ පැත්තේ. අපගේ රජය ජනතාවගේ හිතසුව පිණිස කැපවී සිටිනවා.''
''සමිති සමාගම් ගැන මතක් කරන කොට පසුගිය කාලයේ තිබුණු පවුල් සමාගම්, සහෝදර සමාගම් ගැන මතක් වෙනවා. ඒ සමාගම් මේ රට කෑවා.''
''අද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා වෛරී දේශපාලනය එපා කියනවා. එදා සරත් ෆොන්සේකා මහතා සිරගත කරන කොට තිබුණේ වෛරී දේශපාලනය නොවෙයිද?''

ගෝල්ෆේස් මැයි රැලියට ගිය
තිදරු පියෙක් හෘදයාබාධයකින් මරුට

බේරුවල _ ඩී.එම්. ගුණසේන , අලුත්ගම - කේ.ඩී. පවුලිස්

ගාලු මුවර‍ෙදාර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගි වී නිවෙස බලා එමින් සිටි තුන්දරු පියකු හෘදයාබාධයක් හේතුවෙන් කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (03දා) මියගොස් ඇත.
මියගොස් ඇත්තේ අලුත්ගම, සීනවත්ත පදිංචිව සිටි මෝදරගේ ටයිටස් ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි තුන්දරු පියෙකි.
මියගිය මෝදරගේ ටයිටස් ප්‍රනාන්දු මහතාගේ බිරිය වන මාලනී වීරකෝන් මහත්මිය පවසා සිටියේ මම දන්න විදියට මහත්තයා මම බඳින්න කලින් ඉඳලාම මැයි රැලිවලට යනවා. ඔහු මොන වැඩ තිබුණත් මැයි රැලිවලට යනවා. එදා මැයි රැලියට ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතාගේ ආධාරකරුවන් සමඟයි. එදින රාත්‍රි 9.00ට පමණ දැන ගන්න ලැබුණා මහත්තයා පපුවේ අමාරුවක් හැදිලා කළුතර නාගොඩ රජයේ රෝහලට ඇතුළත් කළ බව. පසුව මම රෝහලට ගොස් බැලුවා. ඒ අවස්ථාවේ මගෙන් වතුර ඉල්ලුවා. පසුව දැන ගත්තා ඊයේ මියගිය බව. මියගිය ටයිටස් මහතාගේ සිරුර පෙරේදා (03දා) නිවෙසට ගෙනැවිත් තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු ඊයේ (04දා) සවස අලුත්ගම ගනේගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

ආධුනික කාලයේ කසාද බැන්දාට රැකියාවෙන් ‍ෙදාට්ට දාපු
පොලිසියේ 149කට යළි රැකියා

චාමර අමරසූරිය

ආධුනික කාලයේ විවාහ වීම හේතුවෙන් රැකියාවෙන් පහකළ පොලිස් නිලධාරීන් 149 දෙනකු නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නිලධාරීන් අතර පෙර පොලිස් සේවයේ සිටි උප පොලිස් පරීක්ෂකවරුන් 3 දෙනකුද, පොලිස් කොස්තාපල්වරුන් 132 දෙනකුද, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 13 දෙනකුද, පොලිස් කොස්තාපල් රියැදුරකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
ශ්‍රී ලංකා පොලිසිය වෙත ආධුනික නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන පොලිස් නිලධාරීන්ට ඔවුන් බඳවා ගනු ලැබූ දින සිට වසර 03ක කාලයක් විවාහ වීමට අවසර දෙනු නොලැබේ.
යම් නිලධාරියකු මෙම කාලය තුළ විවාහ වීමට අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධව බලපාන කරුණු ඔහු යටත් වී සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා සලකා බැලීමෙන් අනතුරුව විශේෂ අවසරයක් මත විවාහ වීමේ අවස්ථාව නිලධාරීන්ට ලැබෙනු ඇත.
මෙම නිලධාරීන් විසින් මෙම විෂය අරභයා ඔවුනට මුහුණ පෑමට සිදුව ඇති මානුෂීය ගැටලු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ මහජන සහන දිනයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම තත්ත්වය ගැන තම විශේෂ අවධානය යොමු කර අමාත්‍ය සාගල රත්නායක මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව දැනට රැකියාව අහිමි වී ඇති නිලධාරීන්ට ලබාදී ඇත.

කොටස් වෙළෙඳපොළේ සභාපති රේ අබේවර්ධන

සිදත් මෙන්ඩිස්
කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙස රේ අබේවර්ධන මහතා පත්කර තිබේ.
මෙම පත්වීම අද (5දා) සිට බලාත්මක වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.
මෙතෙක් සභාපතිවරයා ලෙස කටයුතු කළ වජිර කුලතිලක මහතා වසර 3ක ධුර කාලයකින් පසු ඉවත්වීම හේතුවෙන් නව සභාපතිවරයා පත්කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්