බොමුද සීතල වතුර වීදුරුවක්?

  👤  4636 readers have read this article !
2017-05-04

1950-54 අය _ වැය යෝජනාවලිය සකස් කළේ එවකට මුදල් ඇමැති වෙච්ච ජේ.ආර්. ය. එතෙක් දුන් සහන කපා දමා ලෝක බැංකුව සතුටු කරන්න ජේ.ආර්.ට ඕනෑ විය. හාල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා ඉහළ දැමීම, බස්, දුම්රිය හා තැපැල් ගාස්තු වැඩි කිරීම, පාසල් දරුවන්ගේ දිවා ආහාරය අහෝසි කිරීම වැනි ලෝක බැංකුව සතුටු කරන යෝජනා පොදියක් ඒ අය වැයේ තිබුණේය. එවකට දිවයිනට පැමිණ සිටි ලෝක බැංකු නියෝජිත පිරිසේ නායකයකු වූ සර් සිඩ්නි කේන්. ජේ.ආර්.ට ප්‍රශංසා කළේ නොම්බර එකේ අය වැයක් ගෙනත් කියාය.

මෙම අයවැය යෝජනාව රටේ සංවර්ධනය සඳහාත් සුබ සාධනයන් මත යැපීම අහෝසි කිරීම සඳහාත් ගත් එඩිතර පියවරයන් බව එවක ඩඩ්ලිගේ ආණ්ඩුව කීවේය.
එහෙත් ආණ්ඩුව තිත්ත වෙච්ච ජනතාව හිටියේ "මොහොත" එළැඹෙන තුරුය. පාර තොටේත්, ගෙයක් ගෙයක් ගාණෙත් මිනිස්සු ආණ්ඩුව පතුරු අරිමින් සිටිය අතර නගර සභා, පළාත් ආණ්ඩු සභා හා ගම් සභාවල නියෝජිතයෝ ඒ අයවැය යෝජනාවලට විරුද්ධව රජයට ඉල්ලා අස්වන ලෙස බල කරන යෝජනා සම්මත කළහ.
ආණ්ඩුවට ඒවා දැනුණේ නැත.

ඊට වඩා ලෝක බැංකුවේ ප්‍රශංසාව ආණ්ඩුවට ලොකු විය. 53 ජුනි 19 දා කම්කරුවෝ ගෝල්ෆේස් පිටිය ආක්‍රමණය කළහ. ජුනි 20 වැනිදා තවත් විරෝධයක් ගෝල්ෆේස් පිටියේදීම පැවැත්විණ. රට පුරා හර්තාලයක් පැවැත්වීමට ඒකමතිකව තීරණය කළේ එදාය. ජුනි 23 දින අය _ වැය විවාදය පාර්ලිමේන්තුවේ තියෙද්දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල්ම විරෝධතා රැලිය ගෝල්ෆේස් පිටියේදී පැවැතියේය. 50,000කට අධික ජනගඟක් ඊට එක්විය. එය විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
12 වැනිදා මහා හර්තාලය පටන් ගත්තේය. 56 ඩඩ්ලි ආණ්ඩුව ගෙදර ගියේ ගෝල්ෆේස් පිටියේ තිබ්බ ඒ මහා විරෝධයෙන් පස්සේය.
ඒ එදාය.

ඊට පස්සේ ගෝල්ෆේස් එකේ මැයි රැලියක් තිබ්බේ 1963ය. ඊට පස්සේ වාමාංෂික පක්ෂ ගෝල්ෆේස් රැලි තිබ්බත් 93 ප්‍රේමදාසට පස්සේ කවුරුවත් ගෝල්ෆේස්වල රැලි තියන්න ගියේ නැත. ඒ ඒක පුරවන එක සෙල්ලමක් නොවන බව දන්න නිසාය.
මේක දන්න රනිල් ලා ඒකාබද්ධයට මැයි රැලිය තියන්න දුන්නේ ගෝල්ෆේස් එකය. කුඩු වෙන්න දෙන්නම් කියා හිතාගෙන ආණ්ඩුව ඒ වැඩේ කරපු බව නොදන්න කෙනෙක් නැත. එහෙම දීලා ආණ්ඩුවේ නායකයෝ උපහාසෙන් සිනාසුණහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටඹේ රැලියට සියලු පහසුකම් සපයමින් ඒකාබද්ධ විපක්ෂය හාන්සි කරන්න දන්න දහංගැට සේරම ගැසුවේය. වේදිකාව ඉදිකරන අවස්ථාවේත් ඊට බාධා කළේය.
සෙනඟ නැති එක වහන්න ස්ටේජ් මැදට ගේන්න හදනවා කියා සමාජ ජාලවල පණිවිඩද යැව්වේය.
හැබැයි අන්තිමට ආණ්ඩුව ඉල්ලං කෑවේ මේ වතාවේය. ඒ අභියෝගය ඒකාබද්ධ විපක්ෂය භාර ගත්තේය. අවුරුදු දෙකකට කලින් ඡන්දයක් තියා මහින්ද ඉල්ලගෙන කෑව බව කීව ආණ්ඩුව මෙදා ඒකාබද්ධ විපක්ෂයට ගෝල්ෆේස් දීලා මේ කපේට අමතක නොවෙන ඉල්ලන් කෑමක් කෑවේය. එදා මෙදාතුර මැයි රැලි ඉතිහාසයේ දැවැන්තම රැලිය ගෝල්ෆේස්වල තිබ්බ බව කියන්නේ ආණ්ඩුවේම අයය. යහපාලනය ගේන්න රෑ දවල් වෙහෙසුණු නිර්මාල් දේවසිරිලා දැන් කියන්නේ ආණ්ඩුවට ජාතික මට්ටමේ මැතිවරණයකින් දිනනු තබා හිතන්නටවත් බැරි බවයි. "ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට දුවන්න ඉඩ මදිවෙන" බව කියන්නේ ඔවුන්ය.
මේ ආණ්ඩුවට මැතිවරණයක් කියනකොටම කකුල් ගැහෙනවා. හීන් දාඩිය දානවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් මැතිවරණයක් පැවැත්වීමට මේ ආණ්ඩුව බය වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඓතිහාසික මැයි දින රැලිය මේ ආණ්ඩුවේ අවසානය තීරණය කරන මැයි දින රැලියක් බවත් ආණ්ඩුවේ හොර නඩය පන්නා දමන බවත් ප්‍රකාශ කරන මහා ජන හමුවයි.

ගෝල්ෆේස්වලදී මහින්ද කීවේ එහෙමය.
දවසින් දවස හවුල් ආණ්ඩුව මෙරට ආගාධයට ගෙන යන හැටි අමුතු කතාවක් නොවේය. සාහසික ලෙස පළිගනිමින් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කරන අයුරු අමුත්තක් නොවේය. පැල් බැඳගෙන හොරකම් කරමින් ගජ මිතුරන්ට සංග්‍රහ කරන එක අමුත්තක් නොවේය. ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණමින් කරන නාඩගම බොරුවක් නොවේය. සදාචාරය සභ්‍යත්වය විනාශ වෙමින් ජාතියේ මළ බෙර වැයෙන කතාව බොරුවක් නොවේය. හරියටම 50 _ 54 වගේමය. අසහනය මිනිස්සු පිට පටවා සුරංගනා කතාවලින් සංග්‍රහ කරමින් ආණ්ඩුව එදා වගේම ලෝක බැංකුව සතුටු කරමින් ඉන්නේය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ශිෂ්‍ය, රණවිරු අරගල රට පුරාමය. මේ මැයි දිනය ආවේ එහෙම වෙලාවකය.
ආණ්ඩුව සෝදා පාළු වී තියෙන තරම මේ රැලිවලදී හොඳටම පෙනුණේය. සියලු පහසුකම් මැදත් කැම්බල් පිටියේත්, ගැටඹේත් හිටියේ ආයාසයෙන් රඳවාගත් පිරිසක්ය. ඒ වේදිකාවල කතා සියල්ල මහින්දට බැන වැදීම් සහ බැරිකමේ අඳෝනා විතරක්ම විය.
රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටින ආණ්ඩුවට දැන් ආපසු හැරෙන්න වෙලාවක් නැත. මොහොතින් මොහොත ආණ්ඩුව අසාර්ථකත්වයේ මාවත තෝරාගනිමින් සිටින්නේය.
රනිල්ගේ ආණ්ඩුව 2002දී හුස්ම හිරවුණේ රනිල්ලාටත් හොරෙන්ය. අද වගේ නමින් "යහපාලනයක්" නොවෙතත් එදා තිබ්බෙත් පක්ෂ දෙකේ ආණ්ඩුවක්ය. ජනාධිපතිනිය පොදු පෙරමුණෙන් වෙත්දී අගමැති එක්සත් ජාතික පක්ෂයෙන්ය. ආණ්ඩුවට කීවේ "විසංවාදී ආණ්ඩුව" කියලාය. අන්තිමට විසංවාදයට හෙණ ගැහුණේ කාටත් හොරෙන්ය. ඒ වෙනකොට ගම්බිම්වලට රනිල්ගේ ආණ්ඩුව තිත්ත වෙලා තිබිණි. ඇමැතිවරුන්ට ගමට එන්නටවත් ඉඩක් තිබුණේ නැත. පොදුජන එක්සත් පෙරමුණ සන්ධානගතව පැමිණ එජාපය කුජීත කර දැම්මේය.
මෙදා ආණ්ඩුව එදාට වඩා තිත්ත වෙලාය. ගෝල්ෆේස් එකෙන් දෝරේ ගැලුවේ ඒ තිත්ත වීමේ තරමය.
ආණ්ඩුවට හිත හදාගන්නට කියන්නට ඉතිරිව තියෙන්නේ එකක් පමණි.
"ජනාධිපතිවරණේදිත් මහින්දට සෙනඟ ඉතිරුවා. කෝ දින්නද..?"
එහෙම අහන අයට කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර දේශපාලන ප්‍රවාහයේදී ගසාගෙන යන රැලිවලට අසුවුවහොත් එයින් මිදීම අපහසු බව හිතේ තියා ගැනීම හොඳ බවය.

ආණ්ඩුව මේ මොහොතේ සිටින්නේ "ජනාධිපති තව අවුරුදු දෙකක් යනකම් ආණ්ඩුව විසුරුවන්නේ නෑ" කියන විශ්වාසය අදහාගෙනය.
එහෙත් බොහෝ දේ සිදුවන්නේ මේ මහ පොළොවේ බව ඉතිහාසය ඔප්පු කර තිබෙන බව කියන්නම ඕනය.
ගෝල්ෆේස් කියන්නේ සටන් පටන් ගෙන ඒ සටන් දිනූ තැනක්ය. එහෙම බැලුවහම ඒකාබද්ධය සටන පටන් ගත්තේ ගෝල්ෆේස්වලින්ය.
ඒ සටන නවතින තැන කියන්න තවම කල් වැඩිය. හැබැයි ගෝල්ෆේස් සෙනඟ දැකලා ඉරිසියාවෙන් පෙළෙන අයට ඒකාබද්ධයේ අය දැන් කියන්නේ "බොමුද සීතල වතුර වීදුරුවක්" කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්