අසිරිමත් කොළඹ

  👤  4935 readers have read this article !
2017-04-19

ටීවී එකේ නිවුස් බලලා නිදාගන්න ගමනුත් සිරිපාලගේ ඔළුවේ වැඩ කළේ හෙට බිහිවෙන අසිරිමත් කොළඹ ගැන... එක අතකට ඉස්සර වගේ නෙමෙයි කොළඹ දැන් කොයිතරම් සුන්දරද, ලස්සනද කියල සිරිපාල කල්පනා කළා... එහෙම කල්පනා ලෝකේ සැරිසරන ගමන්ම, මෝහනයට ලක්වෙලා වගේ හීනෙන් ඇවිදගෙන ගියපු සිරිපාල ඒ සිහියෙන්ම බූරු ඇඳේ ඇලවුණා..... හිතේ තිබ්බ සැහැල්ලුව නිසාම ද කොහෙද සිරිපාලට ඇඳට වැටුණු ගමන්ම නින්ද ගියා...
"යමු අපි අසුපිට හඳපානේ
මෙනුවර ම නිදිගත් රෑ යාමේ
එන්න මාගේ පෙම් අනංගා"

අවදියත් නින්දත් අතර දෝලනය වෙන ඒ අශිෂ්ට, අසංවර තත්ත්පර කීපය තුළ එකපාරටම මහා පුදුමාකාර දෙයක් වුණා.... සිරිපාලගේ සිරුරේ තිබ්බ පරමාණු, ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ඒවා හැදිලා තිබ්බ ක්වාක් අංශු එක්ක එක ක්ෂණයකින් සමාන්තර විශ්වයකට මාරු වුණා... අපි ජීවත් වන ත්‍රිමාණ ලෝකයෙන් ඔබ්බට හයවෙනි නැත්නම් හත්වෙනි මානයෙනුත් පොඩ්ඩක් එහාට මහා දැවැන්ත අවකාශ-කාල පිම්මක් පැනපු අංශුත් එක්කම සිරිපාලත් ඒ විස්මිත අනාගත මානයට විසිවෙලා ගියා... අවසන් වරට පුංචි තිරයෙන් දැකපු සුන්දර සිහින ලෝකය සිරිපාලගේ හත්වෙනි මානයෙන් එහාට මැවුණු සමාන්තර විශ්වයේ සිරිපාලගේ ඇස් ඉදිරිපිට මැවෙන්න ගත්තා.... අවදියත් නොවන, නින්දත් නොවන, ඒ විස්මිත හීනයේ, හෙට බිහිවන ස්මාට් සිටි එක ගැන සුන්දර හීනයක් සිරිපාලගේ ඇස් අද්දර දිවෙන්න පටන්ගත්තා....

"සෝබාව දේ මෙපුර
සිරි විසිතුරු බලනු මිතුරු
මඟ පියකරු වූ
සුසුදු වලා කැරලි
පලසකි මේ
මඟ දිග ඇතිරූ
අහස සූරන මැඳුරු"

.... බේරේ වැවේ නිල් කැටේට තියෙන වතුර ටිකට උඩින් පායපු රන්වන් හිරුරැස් වැදිලා සිරිපාලගේ ඇස් එක මොහොතකට නිලංකාර වුණා.... අමාරුවෙන් ඇස් ඇරගෙන බලපු පාර සිරිපාල මුලින්ම දැක්කේ හංසයෝ... වැව මැද්දෙන් පීනපු හංසයෝයි, හංස බෝට්ටුයි දෙගොල්ලන්ටම නිකං හරියට පණ තියෙනවා වගේ සිරිපාලට පෙනුණා... වැව වටේට වටයක් හැරිලා බලපු සිරිපාල විස්මයෙන් තුෂ්ණිම්භූත වුණා... කොළඹ බලන්න ආසයි... පාර දිගට එක කුණු පොදක් නැහැ.... බැලූ බැලූ අත අහස අනන්තය වෙනකල් ඉහළට නඟින සත්මහල් ප්‍රාසාදවල, සිරිපාල වගේම සාමාන්‍ය මිනිස්සු නිවාඩු දවසේ ළමයින්ට බැල්කනියෙ ඉඳන් කොළඹ පෙන්න පෙන්න බත් කැව්වා.... සේරම කන්තෝරුවල, පොලිසිවල, උසාවිවල, තාප්ප ගලවලා, ඒ වෙනුවට ඒවා වටේට මල්පාත්ති ඉන්දවල තිබුණා... ඇළ මාර්ගවල ඔක්කොම කුණුයි, ජපන් ජබරයි සේරම අහක් කරලා හංස බෝට්ටු දුවමින් තිබුණා.... ඒ හංස බෝට්ටුවල මිනිස්සු තමන්ගේ දරුමල්ලෝ එක්ක කෑම කකා විනෝදෙට සිංදු කිව්වා.... ඒ මිනිස්සු කෑවේ 100%ක් 'ඕගැනික් ෆුඩ්'... එයාල ඒවා අරං තිබ්බේ 'ගුඩ් මාකට්' කියල තැනකින්.... වස විස බිංදුවක් නොවැදී, සම්පූර්ණයෙන්ම කාබනික පොහොර විතරක් දාලා වවපු ගස්වලින් නෙළපු අලුත්ම අලුත් පලදාවෙන් හදපු රස ගුණ පූර්ණ සෞඛ්‍යාරක්ෂිත කෑම බීම විතරයි මිනිස්සු කෑවේ... පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල වෙළෙන්දෝ, නුවර වැසියන්ට දෙව්ලොව නැති සැප විකුණුවා... මිනිස්සු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දුන්නා...
"සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසක'යුරු තිසර තන
දිසි රණ ලියෙ'වු රූසිරි යුත් මෙපුර'ඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන"

ඇසිපිය හෙළන නිසා මිසක් නැත්නම් දෙවඟනන්ගෙන් වෙන්කරගන්න බැරි මේ පුරයේ අංගනාවන් දිහා ඇසිපිය නොහෙළා බලා උන්නු සිරිපාල ඒ වශීයෙන් මිදුණේ එකපාර ගෙදර මතක්වීම නිසා... මේ සුන්දර ලෝකෙ තමන්ගේ ගෙදර මොනවගේද බලන්න සිරිපාලට පුදුම ආසාවක් ආවා.... අඩිය ඉක්මන් කරලා බස් ස්ටෑන්ඩ් එකට ගිය සිරිපාල මොහොතක් එතැනම ගල්ගැහිලා බලාගෙන හිටියා... මොකද සිරිපාලට දැකල පුරුදු බස් එකක් නෙමෙයි ඒ... ඒ බස් එක පොඩි ප්ලේන් එකක් තරම් ලස්සනයි... සීට් ගාණට විතරක් සෙනග ගත්තු, එක කුණු පොදක් නැති ලස්සනම ලස්සන බස් එකක්... පොළොවට අඩි තුන හතරක් උඩින් පනවල තිබ්බ උච්චාසයන-මහාසයන ආසනේ හරිබරි ගැහිලා කොළඹ සිරි නරඹමින් ඒ.සී. එකේ සැපට වාඩිවෙලා සිරිපාල, ගේ ළඟින්ම බැහැලා ගේ දිහා බැලුවා....
"පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට"

සිරිපාලට ඇස් අදහගන්න බැරුව ගියා... වෙනදට සිරිපාල ජීවත්වන පර්චස් හයේ කෑල්ල මැද්දේ හිතාගන්න බැරි තරම් සුන්දර තුන්මහල් ගෙදරක් තිබුණා... ඇඟිලි සලකුණෙන් ක්‍රියාත්මක වන නවීන ඉලෙක්ට්‍රොනික් ගේට්ටුවෙන් ඇතුළට ගියාම හදල තිබ්බ ආරුක්කුවෙන් පල්ලෙහාට ඕකිඩ් පැළයි, කැක්ටස් වර්ගේකුයි එල්ලී එල්ලී තිබුණා... ඒ මල්පැළ ගත්තේ වෝටර් ඒජ් එක ගාවින් බව සිරිපාලට කොහෙන්දෝ මන්දා අයාලේ මතකෙකින් නිච්චි වුණා... මල් ආරුක්කුවෙන් ඇතුළට ගියාම මුහුණ පේන්න තරමට පිරිසුදු ටයිල් පොළොවත්, එක කුණු පොදක් නැති බිත්ති හතරත් අතරට මැදිවුණු සිරිපාලට තමන් ඉන්නේ තමන්ගේම ගෙදර බව මොහොතකට අමතක වුණා.

ජීවිතේ කවදාම හරි දවසක තමන්ටත් "ස්මාට් සිටිසන්" කෙනෙක් වෙන්න වාසනාව තිබුණා නේද කියන සුන්දර අහිංසක හැඟීමෙන්, මූණ පුරා පැතිරුණු හිනාවක් එක්කම ඇඳට ගිහිල්ලා නින්දට ගියා...
එකපාරටම සිරිපාල නිදාගෙන හිටපු ඇඳ හෙල්ලෙන්න ගත්තා.... ඇඳ විතරක් නෙමෙයි මුළු කාමරේම බිත්ති හෙල්ලෙන්න පටන්ගත්තා.... ජනෙල් වීදුරු එකකට එකක් හැප්පිලා සටාස් ගාලා කැඩිලා බිඳිලා කුඩුවෙලා ගියා.... හරියට භූමිකම්පාවක් වගේ.... අන්තිමට ඇඳත් එක්කම මුළු කාමරේම හෙල්ලිලා හෙල්ලිලා ඇඳ පෙරළුණා... පෙරළිච්ච පාර සිරිපාල කෙළින්ම ඇඳෙන් බිමට වැටුණා....
බිමට වැටුණා කියන එක වැරැදියි... මොකද සිරිපාල වැටුණේ බිමට නෙමෙයි... බිමට වැටෙන්න නම් බිමක් තියෙන්න එපැයි... සිරිපාල නිදාගන්න යද්දී කාමරේට බිමක් තිබුණට දැන් එතන බිමක් තිබුණේ නෑ.... ඒ වෙනුවට මහා විශාල ආවාටයක් සිරිපාලගේ ඇඳ පාමුල බිම විවර වෙලා තිබුණා.... ඇඳෙන් බිමට වැටුණු සිරිපාල කෙළින්ම පතිත වුණේ මේ ආවාටෙට....

ඒත් ආවාටෙකට හරි පතුලක් තියෙන්න එපැයි... ඇයි මේ තරම් වෙලාවක්....?
.... අන්ධකාරය... කෙළවරක් නොපෙනෙන මහා ගන අන්ධකාරය.. ඒ ගන අඳුරේ අතක් පයක් හොලවන්න බැරිවෙන්න කිටි කිටියේ සෙනඟ.... ඒ මහා මිනිස් කන්දරාවේ කකුල්වලට යටින් කළුම කළුපාට මඩ ගොහොරුවේ නළියන සුදුපාට පණුවන්ගේ චිරි චිරිය... ඒ මඩ කකුල් තෙමාගෙන ගලා බහින කළුපාට කළුදිය දහරාව... ඒ කළුදිය ගංගාවේ පීනන තාර පාට ඉස්ගෙඩි....
"මං මේ කොහෙද?"
සිරිපාල තමන්ගෙන්ම ඇහුවා....
"කොළඹ"
නන්නාඳුනන කටහඬක් සිරිපාලගේ උරහිසට උඩින් පිටිපස්සෙන් උත්තර දුන්නා... ඒ කවුද කියල හැරිලා බලන්නවත් සිරිපාලට ඉඩක් තිබුණේ නැහැ. ඒ මහා ජන සන්නිපාතය මැද්දේ....
"ඔව්, කොළඹ. මේ තමයි කොළඹ"
ඒ පාර උත්තර දුන්නේ වෙනත් කටහඬක්.. මැදිවියේ ගැහැනු කටහඬක්...
"කොළඹ? මේ කොළඹ කොහෙද?"
සිරිපාල ඇහුවා.
"මේ තමයි කොළඹ" අර කටහඬ ආයෙම උත්තර දුන්නා. ඒත් කලින්ට වඩා ඒ කටහ‍ෙ¾ඩ් උපහාසයක් තිබුණා කියල සිරිපාලට හිතුණා.
"ඔයාල කවුද?"
සිරිපාල බයාදුවෙන් වගේ ඇහුවා.
"අපි කොළඹ මිනිස්සු"
ඉස්කෝලෙ දහවෙනි, එකොළොස්වෙනි ශේ‍ර්ණියේ වගේ කියල හිතන්න පුළුවන් පිරිමි කටහඬක් උත්තර දුන්නා.
"එතකොට අර ලස්සන කොළඹ?"
සිරිපාල ඇහුවා.
"ඒත් කොළඹ තමයි"
මේ පාර උත්තර දුන්නේ සිරිපාල ඉස්සරහම හිටපු තරුණ ගැහැනු කටහඬක්.
"එතකොට ඇයි එතන එහෙම, මෙතන මෙහෙම?"
සිරිපාල තමන්ගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නය එළියට දැම්මා.
"එහෙම තමයි. එයාල සුදු පාටයි. අපි කළු පාටයි"
"අපි තමයි තරාදියේ අනෙක් පඩිය"
"එයාල එහෙම ඉන්නේ අපි මෙහෙම නිසා තමයි"
කටහඬවල් කීපයක්ම උත්තර කීපයක්ම දුන්නා.
"එතකොට ඔයාල මෙහෙම ඉන්නේ මම නිසා"
උගුරේ හිරවෙන ඉක්කාවක් එක්ක සිරිපාල ඇහුවා.
"ඔව්!" කටහඬවල් සේරම එක හ¾ඩින් කිව්වා.
"මට සමාවෙන්න. මීට පස්සේ මම එක ටොපි කොළයක් තරමේ දෙයක් පාරට දාන්නේ නැහැ"
සිරිපාල කිව්වා.
ඒ කියනවත් එක්කම "බකස්" ගාල කීප දෙනකුටම හිනා ගියා.
"මම වැරදි දෙයක් කිව්වද?"
සිරිපාල ඇහුවා.
"නැහැ. ඔයා වැරැදි දෙයක් හිතාගෙන ඉන්නවා"
සිරිපාලට ඉස්සරහින් හිටපු ඉස්කෝලේ මහත්තයෙක් වගේ කටහඬවල් කිව්වා.
"ඒ කිව්වේ?"
සිරිපාල ඇහුවා
"එයාල කැමැති ඔයාල ඔහොම හිතන තරමට තමයි"
ඒ කටහඬ ආයෙම උත්තර දුන්නා.
"ඒ කිව්වේ?" සිරිපාල ඇහුවා
"ඔයාල විසිකරන හැම දේම මෙතනට එන එක ඇත්ත. නමුත් ඔයාල කවදාවත් කිව්වේ නෑනේ, අපේ ඔළුවට කුණු දාන්න කියල. නේද?"
ඒ ප්‍රශ්නේ ඇහුවේ ඉස්පිරිතාල මිසී කෙනෙක් වගේ කටහඬක්.
"ඔව්, ඒ වුණත්..."
"තමුසේ වැරැදි නෑ නෙමෙයි, ඒ වුණාට තමුසෙගෙ වැරැද්ද ටොපි කොළයත් නෙමෙයි."
තරමක් නොඉවසිල්ලෙන් ඉන්නවා වගේ පෙනුණු මරුමුස් කටහඬක් කිව්වා.
"එහෙනම්?"
තමුසෙගෙ වැරැද්ද තමුසේ තවම නිදාගෙන ඉන්න එක!" අර කටහඬ ආයෙම කිව්වා.
"ඒ කියන්නේ මම ඇහැරෙන්න ඕනේ?" සිරිපාල ඇහුවා.
"ඔව්. ඇහැරෙන්න ඕනේ. ඇහැරිලා පේන දේට එහායින් බලන්න ඕනේ."
වයසක පිරිමි කටහඬක් උත්තර දුන්නා.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ අනික් අයව ඇහැරවන්න ඕනේ"
"මට තනියම කරන්න බැහැ. ඔයාලත් එන්න මාත් එක්ක. මම කාට හරි කියන්නම්. කවුරුහරි මෙතනින් ඔයාලව ගොඩට ගනියි."
සිරිපාල හැඬුම්බර හ¾ඩින් කිව්වා.
"නැහැ කවුරුත් අපිව ගොඩගන්නෙ නැහැ. අපි අමතක වෙමින් ඉන්නෙ. තව ටික කාලෙකින් බැලුවම අපි ජීවත් වෙලා ඉඳලම නෑ කියාවි. දැනටත් එයාල හිතන්නේ මෙතන ඉන්නේ දහදෙනයි කියලා"
කාරුණික වයසක ආච්චි කෙනකුගේ කටහඬක් කතා කළා.
"දහදෙනෙක්?! දහදෙනෙක්?? මෙතන කී දෙනෙක්ද? සිය ගාණක්! දහදෙනෙක් වෙන්නේ කොහොමද?" සිරිපාලට පිස්සු හැදෙන්න වගේ ආව.
"එහෙම තමයි. මෙතන ඉන්නේ දහදෙනයි. එහෙම මතක තියාගන්න. එහෙම තමයි අනාගතේ ඉතිහාස පොත්වල ලියවෙන්නේ."
තරුණ ගැහැනු කටහඬ ආයෙම උත්තර දුන්නා.
එකපාරටම කකුල් දෙකට යටින් දැනුණු මහා කම්පනයකින් සිරිපාල වැටෙන්න ගියා.
"මොකක්ද ඒ? සිරිපාල ඇහුවා.
"ඒ ඊළඟ එක"
ළමා කටහඬක් උත්තර දුන්නා
"ඊළඟ එක?" සිරිපාල ඇහුවා.
"ඔව්. ඊළඟ එක. කලින් එක පටන්ගත්තෙත් ඔහොම තමා. පොළොව හෙල්ලිලා උඩ විසිවුණා"
මේ උත්තරේ කරනවා එක්කම සිරිපාල උන්නු තැනට යටින් මහා විශාල සද්දයක් එක්ක පිපුරුම් කම්පනයක් ආවා.
ගැස්සිලා ඇහැරුණු සිරිපාල බූරු ඇඳ උඩ වාඩිවෙලා විනාඩි පහක් විතර හති ඇරියා. ඒ විනාඩි පහ පුරාම වචන දෙකක් සිරිපාලගේ ඔළුව ඇතුළේ හොල්මන් කළා.
ඒ තමයි,
"ඊළඟ එක"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්