තැටිය රත් වෙලාද?

  👤  3933 readers have read this article !
2017-04-13

අවුරුදු ආවේ සරුසාරෙට නොවේ. හැම තැනම 'කුරුවල් වූ' ස්වාභාවයක් තුළ අලුත් අවුරුද්ද සතුටින් සමරන්නට මිනිසුන්ට පුළුවන්කමක් නැත. ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලාය. මිනිස්සුන් ගැන තඹ සතේකට මායිම් කරන්නේ නැත. ආණ්ඩුවට පළු යන්න බනින්නේ මහින්දට ඡන්දේ දුන් අය විතරක් කියලා හිතනවා නම් ආණ්ඩුවට පිස්සුය. හත්පොළේ ගාගත් ආණ්ඩුවට බනින්නේ ආණ්ඩුව හදන්න දර දිය ඇද්ද මිනිස්සුන්මය. ආණ්ඩුව කරන්නේම විහිළු වැඩය. ආණ්ඩුවට ලොකුම ප්‍රශ්න වී තියෙන්නේ පාසල් දරුවන්ගේ ඇඳුම වෙනස් කිරීම වගේ ඒවාය. කළ යුතුම වැඩ අතහරින, නොකළ යුතු දේම කරන මේ වගේ ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැත.
මුදල් ඇමැති කියන්නේ බඩු මිල හිතුවටත් වඩා අඩුයි කියාය. මෙහෙම කතා කොහොම කියනවාදැයි දන්නේ නැත. කොහොමත් බොහොමයකට බලය ලැබුණාම විලිලැජ්ජා නහරය කැපෙයි.

"සමහර තීරණ ගැනීමේදී ඇමැතිවරුන්ගෙන් අදහස් විමසන්නේ නෑ."
මෙහෙම කියන්නේ දයා ගමගේය. යූ.ඇන්.පියේ ජාතික සංවිධායකය.
"ජල ගාස්තු වැඩිකරනවා. උද්ඝෝෂණ කරන්න නම් එපා" කියන්නේ හකීම්ය.
ඒ අස්සේ ගිය රජයේ සියලු දූෂණ වංචා තොරතුරු තවත් මාස කිහිපයකින් රටටම හෙළි කරනවා කියා රාජිත කියයි. ඒ හොයන්නේත් අවුරුදු තුනක් තිස්සේ හොයපු හැටියටම වෙන්න ඇති කියා මිනිස්සු කියති. දැන් යන විදියට වත්මන් හවුල් ආණ්ඩුව අවුරුදු දෙකකින් එහාට යන්නෙ නැති බව කියන්නේ ඩිලාන් පෙරේරාය. ඔහුත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ය.

ආණ්ඩුවට වසර දෙකක් ගෙවුණත් අතුරුදන් වූවන්ගේ ගැටලුවලට විසඳුම් නොදීම කනගාටුවක් බවත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් දෙමළ ජනතාව පසුවන්නේ කලකිරීමෙන් බවත් කියන්නේ විපක්ෂ නායක
ආර්. සම්බන්දන්ය. මේ ආණ්ඩුව හදන්න අනියමින් උදවු කොට උතුරේ ඡන්ද මල්ල මෛත්‍රිට අරන් දුන්නේ සම්බන්දන්ලාය. ඒ අයටත් දැන් ආණ්ඩුව එපා වෙලාය.
රට පුරා තියෙන සංවර්ධන කමිටු රැස්වීම්වල සිදුවන්නේ මරා ගැනීම්ය. මාතලේ අලුවිහාරේ ප්‍රසිද්ධියේම අගමැතිගේ පතුරු අරියි. අඩු තරමේ පළාත් පාලන ඡන්දෙ තියන්න කියා ඉල්ලුවත් ආණ්ඩුව නින්දේය.

ආණ්ඩුවේ ඉන්න අයටම දැන් මේක එපා වෙලාය. ආණ්ඩුව දැන් ඉන්නේ බිත්තියට හේත්තු වෙලා බව නොදරුවෙකුට පවා තේරෙයි. එහෙත් නොදන්නා ගාණට ඉඳියි. සැනසිල්ලකට තියෙන්නේ 'ආණ්ඩුව විසුරුවන්නේ නෑ' කියන සූත්‍රය විතරය. එහෙම නැත්නම් මේ වෙනකොට මේ ආණ්ඩුව හත්අට වතාවක් පෙරැළිලාය.
එදා වේල වෙනුවෙන් විගඩම් කතා කියමින් ඉන්න එක ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙලා තිබේ.

විමල්ගේ උපවාසය ආණ්ඩුවට රිදෙන්නම දැනිණි. අන්තිමට 'ඩීල්' කතාවක් දමා ෂේප් වෙන්න හැදුවේය. ඒකෙනුත් දැඟලුවේ විමල්ගේ වැඩේ 'රඟපෑමක්' බව පෙන්වන්නටය.
විමල්ට ඇප දෙන්නට රනිල් මැදිහත් වුණා කියා යැවූ ප්‍රචාරයට විමල් කනේ ඇඟිලි ගහගන්න උත්තරයක් දුන්නේය.
අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිඟා කාලා ඇප ලබා ගන්න කිසිදු වුවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිඟා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

විමල් ඊටත් පස්සේ තවත් දෙයක් කීවේය.
මම ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිදු පිළිගත හැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ඡේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදාකර දීම පිළිබඳව අපි මතක් කර දෙන්න ඕනෙ කාරණයක්.
උදුන රත් වුණාට පස්සේ තමයි වානේ හොඳට පදම් වෙන්නේ. උදුන රත් කරපු ඒ සියලුම මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා.
එකට යනවා කීවත් යහපාලනයක් කීවත් සංහිඳියා ආණ්ඩුවක් කීවත් එළ හරකයි මී හරකයි වගේ ආණ්ඩුව යන්නේ දෙපැත්තකටය. රනිල් යූ. එන්. පිය පාක්ෂිකයාට එපා කරන අතර සිරිසේන ජනපති ශ්‍රී ලංකාකාරයාට ශ්‍රී ලංකා එක එපා කරවයි. පසුගියදා සංවිධායකකම් දුන්න හැටි දැක්කම පක්ෂයට කරන වින්නැහිය හොඳට පෙනෙයි. පක්ෂය එක්ක ඉන්න දිනන්න පුළුවන් අය සංවිධායකකම්වලින් ‍ෙදාට්ට දමා ගමේ අයවත් නොදන්න රූකඩ සංවිධායකයන් ලෙස පත් කොට තිබේ. කුරුණෑගල ජොන්ස්ටන් එජාපය දමා ශ්‍රී ලනිපයට ආ පතාකයෙකි. ඔහු එළියට දමා තිබේ. ඊට ජොනී දුන්නේ අපූරු උත්තරයකි. තමන් ඉවත් කිරීම ගැන පුදුමයක් හෝ කනගාටුවක් නැතැයි පවසන ජොනී හිටපු ජනපති මහින්ද සමඟ එකට ආප්ප කා ගිය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් එජාපය දිනවීම හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැකි යැයි කියයි.
මේ අස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන බව ජනපති කියයි. ඒක හදන්නේ අහසේද කියලා මිනිස්සු අහයි.

දවසින් දවස යූ.එන්.පී කාරයන්ට යූ.එන්.පිය තිත්ත වෙමින් තිබේ. ඊට සමානවම වර්තමාන නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ.එන්.පියට සින්නක්කරේට ලියවෙමින් තිබේ.

මිනිස්සුන් දැන් හොයන්නේ අලුත් බලාපොරාත්තුවය'
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ඇවිත් කවදාවත් ශ්‍රී ලනිපය දිනා නැත. පක්ෂයට මිනිස්සු ආදරේ වුණාට පක්ෂයේ නමින්ම ඡන්දෙට එන්න ඕන කියා මිනිස්සු කියන්නේ නැත. ශ්‍රී ලනිප පාක්ෂිකයා කොහොමත් අලුත් වෙන්න කැමැතිය. ඔවුන් හැමදාම ඒ 'අලුත්' බව දිනවීය.
බණ්ඩාරනායක මහතාගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ඒක සිදුවිය. 70 සමඟි පෙරමුණය. ඡන්දෙට ආවේ ශ්‍රී ලනිපයෙන් නොවේ. 94 පොදුජන එක්සත් පෙරමුණේය. 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඡන්දෙට ආවේ ශ්‍රී ලංකා කියා නොවේ. 2005 ජනධිපතිවරයේදිත් එහෙමය. 2010 ජනාධිපතිවරණයේදිත් සන්ධානයෙන්ය. ඡන්දෙට ආවේ ශ්‍රී ලංකා කියා නොවේ. ඒත් හැමදාම දිනුම්ය.

ඒ නිසා අලුත් පක්ෂ හැදුවට වැඩක් නෑ කියන දේශපාලන නොදරුවෝ ඕක තේරුම් ගන්නේ නැත.
මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාකාරයාගේ වීරයාය. ඒ වීරයා පිටුපස පාක්ෂිකයා රොද බඳින එක වළක්වන්න පුළුවන් කෙනෙක් නැත. ඒ නිසා ඔහු ගොඩවන තැන පාක්ෂිකයා ඉන්න එක වළක්වන්න කාටවත් බැරිය. අලුත් පක්ෂවලට ඉඩක් නෑ කියන අය එකත් තේරුම් ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්