නාමල් විවාහ නොවන හේතුව හෙළිකරයි

  👤  3793 readers have read this article !
2017-04-16

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙවී ගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සව අවස්ථා කිහිපයකටම සහභාගි විය. මහ කන්නයෙන් නෙළා ගත් අස්වැන්න පිදීමේ අලුත් සහල් මංගල්‍යයද ඉන් එකකි.

එතැන් සිට ජනාධිපතිවරයා තමන් ඇතුළු සහෝදර සහෝදරියන් ‍ෙදාළොස් දෙනකු හැදී වැඩුණු මහ ගෙදරට ගියේය. මාධ්‍ය මිතුරන් ඇතුළු හිතවත්තු කිහිප දෙනෙක් ද ඊට එක් වූහ. මාධ්‍යවේදීන් සමඟ අතීතය මෙනෙහි කරමින් සිටි ජනාධිපතිවරයා 'මේ ගෙවල් දැන් වල්බිහිවෙලා. මෙතැන පොඩි ගෙයක් හදන්න ඕන'. අනතුරුව 'මේවා හැදුණම මට කන්න නෙවෙයි. කවුරු හරි කාවිනෙ' කියමින් ඔහු අඹ කෙසෙල් ආදී ගෙවතු වගාව පෙන්වමින් සිනාසෙන්නට වූයේය.

ජනාධිපති සිරිසේන දිඹුලාගල, සේරුවාවිල ශ්‍රී මාරිමුත්තු අම්මාන් කෝවිලේ පැවැති ආගමික කටයුත්තකටද එක් විය. එහිදී වස විස නැතිව වගා කළ පලතුරු වට්ටි කිහිපයක් ජනාධිපතිවරයාට පිළිගැන්වීමට මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු කටයුතු කළහ. එහෙත් ඒවා වගා කළ ගොවීන් එම අවස්ථාවට සහභාගි කරවීමට නිලධාරීන් කටයුතු කොට නොතිබිණි. ඊට උරණ වූ ජනාධිපතිවරයා ගොවීන් නැතිව ඕවා ගෙන එන්නට එපා යැයි කියමින් පලතුරු වට්ටි සමඟ එම නිලධාරීන් ආපසු පිටත්කර හැරියේය.
මැයි දින සැමරුම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට රුපියල් මිලියන 10ක මුදලක් මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයකු විසින් ලබාදී ඇති බවට ශ්‍රීලනිප නායකත්වයට තොරතුරක් ලැබී ඇත. එම මුදල් ලබාදී තිබෙන්නේ ශ්‍රී ලනිප දෙකඩ කිරීමේ අරමුණෙන් දැයි දැඩි අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එම ව්‍යාපාරිකයා එජාපය සමඟද හිතවත්කම් පවත්වමින් සිටින බවද ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම තවත් ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් දෙමින් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහාය පළ කරන බවටද තොරතුරු ලැබී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අඟහරුවාදා කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් රැසක් පත් කෙරුණේ පරණ අවුරුද්ද අවසන් කරමින්ය. 'බිංගිරිය' ආසනය ලබාගැනීමට වඩා ඇමැති දයාසිරි මුල සිටම සිටියේ තමන් කලින් සිටි පඬුවස්නුවර ලබා ගැනීමටය. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු පඬුවස්නුවර යළි දයාසිරිට හිමි විය. ඉන්දික බණ්ඩාරනායක පඬුවස්නුවරින් නිකවැරටියටද, ජයරත්න හේරත් කුරුණෑගලින් පොල්ගහවෙලටද මාරු කරනු ලැබූහ. මෙතෙක් ආසනයක් නොමැතිව සිටි මහ ඇමැති චාමර සම්පත්ට බිංගිරිය ආසන සංවිධායක ධුරය හිමි විය. ජයරත්න හේරත් දැරූ කුරුණෑගල ආසනය හිමි වූයේ ලක්ෂ්මන් වේඬරුවටයි.

නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉවත් කිරීමටද විශේෂ සිදුවීමක් විය. ටිකිරි අධිකාරිද පොල්ගහවෙලින් ඉවත් කරන ලදී. ගුණදාස දෙහිගම, සම්පත් හේවගේ සහ එම්.එස්.එම්. පාහිම් යන අය පත් කෙරුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසයි.
‍ෙදාඩම්ගස්ලන්ද ආර්.ඩී. විමලදාස ඉවත් කොට නිල්වලා විජේසිංහත්, මාවතගම දර්ශනී වික්‍රමසිංහ ඉවත් කොට උපුල් පෙරේරාත් පත් කරනු ලැබූහ. ඔවුන් පසුගිය කාලය මුළුල්ලේ ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කළ අයයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙවර අවුරුද්දට සිටියේ විදේශගතවය. තමන් යන්නේ අවුරුද්දට තෑගි ගෙන එන්නට බව හෙතෙම එ.ජා.ප. මැති ඇමැතිවරුන්ට දන්වා තිබිණි. හෙතෙම ජපානයේ නරීතා ගුවන් තොටුපොළෙන් එරටට ගියේ සඳුදා පස්වරුවේය. එම ගමනට අමුණුගම, මලික්, මාරසිංහ සහ මෛත්‍රි වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද එක්වූහ.
ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අගමැති රනිල් වික්‍රමසිංහට අඟහරුවාදා අවස්ථාව සැලසිණි. තෝකියෝ නුවර ඔකුරා හෝටලයේදී පැවැති එම දිවා භෝජන සංග්‍රහයේදී ජපානයේ සහාය ලංකාවට උපරිම අන්දමින් ලබා දෙන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ.
ජපාන වෙළෙ¼ද සංගමයේ මූලිකත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී "ගෝලීය පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ කියවීම හා ජපානයේ වැදගත්කම" නමින් විශේෂ දේශනයකටද අඟහරුවාදා අගමැතිවරයා සහභාගි විය.

බදාදා උදෑසන ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපානයේ කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා හමුවීමට අගමැතිවරයාට හැකි විය. ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරිණි. ඉන්දීය සාගර ආශි්‍රත රටවල එකමුතුවෙන් ඉන්දීය සාගර සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බව මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපාන විශේෂ නියෝජිතයකු ලෙස ජපන් අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය හිරොතො ඉසුම් පත් කරනු ලැබූ බව එහිදී ජපන් කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා සඳහන් කර සිටියේය.

මහාචාර්ය ජී.එල්. සභාපතිත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය හිටපු ජනපති මහින්ද විවෘත කළේ පසුගිය හත්වැනිදා සවසයි. පවිත්‍රා ප්‍රමුඛ රත්නපුරයේ සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක් වී සිටියහ. අනතුරුව මහින්දගේ ප්‍රධානත්වයෙන් බෙරලුප නගරයේදී ජනහමුවක්ද පවත්වනු ලැබූහ. ඒ අතර වූ කෙටි විරාමයක් අතරතුර දේශපාලන අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට ද එම පිරිසට හැකි විය. 'ඔබතුමා කුමන්ත්‍රණයකින් පරද්දල දැන් අවුරුදු දෙකකටත් වැඩියි. හැබැයි එහෙම වෙලත් මේ රටේ මිනිස්සු තාම ඉල්ලන්නෙ සර්වයි. කුමන්ත්‍රණයකින් බලයට ආපු අය මිනිස්සු ගණන් ගන්නෙවත් නැහැ' එහිදී කීවේ පවිත්‍රාය. 'මම නම් මන්ත්‍රිවරුන්ට හැම තිස්සේම කියන්නෙ මම එන රැස්වීම්වලට වැඩිය සෙනඟ ගෙන්වන්න එපා කියලයි. මගේ රැස්වීම්වල සෙනඟ දකින්න දකින්න ආණ්ඩුව බය වෙලා ඡන්ද කල් දානවා. මෙහෙම ගියොත් නම් ආණ්ඩුව කවදාවත් ඡන්ද තියන එකක් නැහැ' මහින්ද කීවේ පිරිස සිනාගස්වමින්ය. 'අපි මොනව කරන්නද සර්, සර් එනව කිව්වම මිනිස්සු පිරෙන එක වළක්වන්න කාටවත් බැහැ' පවිත්‍රා කීවාය.

'තව පෝය දෙකකින් ආණ්ඩුව පෙරළනවා කියල මම කිව්වම රනිල් කියනවා මාස දෙකකින් මට අඬන්න වෙයි කියලා. එයා එහෙම කියන්නෙ මාව හිරේ දාන්නවත් හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. හැබැයි ඒවා කරල නම් අපි නවත්වන්න බැහැ. මේ මහින්ද එක්ක සෙල්ලම් හරියන්නෙ නැහැ.' මහින්ද යළිත් කීවේ එවැනි කතාවකි. 'සර් හිතනවද සර් හිරේ දානකම් මේ රටේ මිනිස්සු නිකං බලා ඉඳියි කියලා. සර් හිරේ දැම්මොත් ආණ්ඩුවට බලාගන්න පුළුවන් මිනිස්සුන්ගේ ශක්තිය. එදාට තමා ආණ්ඩුව තේරුම් ගන්නෙ මහින්ද කියන්නෙ නමක් නෙවේ රටක් කියලා' පවිත්‍රා කීවාය.

ආසියා ආර්ථිකයේ බලවතා වන චීනය පාලනය කරන ප්‍රධානතම චරිතයක් වන චීන පාලක කොමියුනිස්ට් සභාවේ සභාපති යූ. ෂෙන්ග් ෂෙන්ග් පසුගියදා මෙරට නිල චාරිකාවකට එක්වූයේය. ඒ කතානායක කරු ජයසූරිය මීට මාස කිහිපයකට පෙර චීනයට ගිය අවස්ථාවේදී කරන ලද ඇරයුමක් පිළිගනිමින්ය. කතානායක නිල නිවසේදී එම සම්භාවනීය අමුත්තා වෙනුවෙන් විශේෂ පිළිගැනීමක්ද සිදුවිය. නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම දේශීය නර්තනාංග රැසක් ඉදිරිපත් කරමින් එම අවස්ථාව විචිත්‍රවත් කළහ. නිල නිවස වෙත පැමිණි පසු ෂෙන්ග් ෂෙන්ග් චතුර ලෙස චීන බසින් ආමන්ත්‍රණය කරමින් පිළිගත්තේ කතා නායකවරයාගේ කුඩා මිනිබිරියක වන මහිටා දිසානායක දැරිය විසින්ය. එය චීන අමුත්තාගේ ඉමහත් ප්‍රසාදයට හේතුවක්ද වූයේය.

කතානායක නිල නිවසේදී පැවැති එම භෝජන සංග්‍රහයට ආණ්ඩුවත් විපක්‍ෂයත් නියෝජනය කරමින් දේශපාලනඥයෝ රැසක් සහභාගි වී සිටියහ. එමෙන්ම ඒ අතර 1952 දී මෙරට වෙළෙඳ ඇමැති වූ ආර්. ජී. සේනානායකගේ පවුලේ වත්මන් සාමාජිකයෝ පිරිසක්ද වූහ. කතානායකවරයා ඔවුන්ට ආරාධනා කොට තිබුණේ එවකට චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති වූ සුප්‍රකට රබර් - සහල් ගිවිසුමේ පුරෝගාමියා ආර්. ජී. සේනානායක වීම නිසාය. අතීතය අමතක නොකර රට වෙනුවෙන් සේවය කළ තම පරපුරේ ඥාතිවරයාට කරන ලද ගෞරවයක් ලෙස තමන්ට එම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳ ආර්. ජී. ගේ ඥාතීහු එහිදී කතානායකවරයාට කෘතඥතාව පළ කර සිටියහ.
නැඟෙනහිර පැවැති උත්සව දෙකකට ලැබී තිබූ ආරාධනයක් අනුව කතානායක කරු ජයසූරිය පසුගියදා එහි ගියේය. දශක තුනක දේශපාලන දිවිය සපුරන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා රාජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ගමනේ මතක සටහන් ඇසුරෙන් ලියන ලද ට්චබඥ ඹචර බධ ඡ්චඵබ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ කතානායක කරු ජයසූරියයි. ෆවුසි ඇමැතිවරයා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

කතානායකවරයා එතැන් සිට දෙහිඅත්තකණ්ඩිය බලා ගියේ මාවනාගම ශ්‍රී බෝධිනන්දාරාමයේ පැවැති නාකොළගනේ සුමන හිමි නැඟෙනහිර තමන්කඩුව එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට පත් කිරීම සම්බන්ධ අක්තපත්‍ර ප්‍රදානයට එක්වීම සඳහාය. පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රියානි විජේවික්‍රම, නැඟෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ 31 වැනි උපන් දිනය යෙදී තිබුණේ සඳුදාය. කේක් කපා සාද පවත්වනවාට වඩා වෙනස් ආකාරයකට උපන් දිනය සමරන්නට ඔහු සිතුවේය. පසුගිය සතියේ සිකුරාදා කඩුවෙල මහමෙව්නා අසපුවට ගිය නාමල් එහිදී බෝධි පූජාවකට එක්විය. තාරුණ්‍යයට හෙටක් සහ නිල් බළකායේ කටයුතුද එහිදී ආරම්භ කිරීමට ඔහුට හැකි විය.
ඉරිදා තරුණ තරුණියන් පිරිවරා ගත් නාමල් තංගල්ල රෝහල් පරිශ්‍රය පිරිසුදු කරලීම් ශ්‍රමදානයකට එක්වූයේය. එදින සවස සිය මව සමඟ තංගල්ලේ ළමා නිවාසයකට ගොස් එහිදී කේක් කපා කුඩා දරුවන්ට ආහාර හා තෑගි බෝග පිරිනමමින් උපන් දිනය සැමරුවේය.
නාමල්ගේ උපන් දිනය යෙදී තිබුණු පොහෝ දින කාල්ටන් නිවෙසේ 'අමාදම් සිසිලස' ධර්ම දේශනාව පැවැත්වූයේ 161 වැනි වරටයි. මෙවර ධර්ම දේශනය සඳහා වැඩම කොට සිටියේ කුඩා සාමණේර භික්ෂුන් වහන්සේ නමකි.

ධර්ම දේශනාවෙන් පසුව උපන් දින කේක් ගෙඩිය කැපූ නාමල් සිය පියා, මව ඇතුළු පිරිසට මෙන්ම පැමිණ සිටි පිරිසටද කේක් කැව්වේය. ජොන්ස්ටන් එම අවස්ථාවට සහභාගි වූයේ විශාල බෑග් දෙකක් දෑතට ගෙනය. එම බෑග් නාමල්ට පිරිනැමූ ජොනී 'දැන් වයස එහෙම කොහොමද? යි විමසා සිටියේය. 'දැන් 31ක් වෙනවා' නාමල් පිළිතුරු දුන්නේය. 'එහෙනම් දැන් කලවයසත් හරි නේදැ'යි ජොනී ප්‍රශ්නයක් ඇසුවේය. ඒත් ඊට නාමල් පිළිතුරු දෙන්නට ගියේ නැත. පිළිතුරු දුන්නේ පියාය. ඒක තමයි මාත් මෙයාට කියන්නේ. දැන් වයසත් හරි. මොනව හරි දෙයක් කරගන්න කියලා. මම කියලයි තියෙන්නේ' මහින්ද පිළිතුරු දුන්නේ එසේය.
"දැන් ඉතිං උපන්දින කේක් කෑව වගේ නොවෙයි ඊළඟ අවුරුද්දෙ වෙඩින් කේක් කෑල්ලක් කන්න ලැබෙන්න ඕන" එතැන සිටි කුමාරසිරි හෙට්ටිගේ කී කතාවකට නාමල් උත්තර දුන්නේ "ඔයාල වෙඩින් කේක් කන්න කතා කරනවා, කසාද බැන්‍ෙදාත් මඟුලට ගිය වියදමත් අහන්න එෆ්. සී. අයි. ඩිය පස්සෙන් ඒවි, ඉතිං කොහොමද කසාද බඳින්නෙ" යනුවෙන්ය.

"දැන් යන විදියට ආර්ථිකය ගොඩ ගන්න බැහැ. ඒ ගොල්ලො ගොඩක් දේවල් විකුණයි. දැන් හොඳටම තත්ත්වය අවුල් වෙලා. යහපාලනය ගේන්න උදවු කළ ව්‍යාපාරික ප්‍රජාව ඒ කතාව කියනවා" මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් එම කතාබහ වෙනතකට යොමු කළේය. "මේ ආණ්ඩුවෙ ආරක්‍ෂාවට හිටපු අය කවුරුත් දැන් මාරු වීගෙනයි යන්නෙ. ගොඩක් දෙනෙක් මට කතා කරල කිව්වා මේක ගෙනියන්න බැහැ. ඒ අයටත් පාරක බැහැල යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ කියල". මහින්ද රාජපක්‍ෂ එසේ කීවේය.

"අද මේ රටේ දේශපාලනයේ මහා පොදු සාධකය ඔබතුමයි. ඒක අමතක කරල දේශපාලන තීන්දු ගන්න යන අයට පියවි සිහියක් තියෙනව කියල කියන්න බැහැ. දැන් මානසික ලෙඩ්ඩුත් වැඩි වෙලාලු. ඒක නිසා තමයි 2020 වනතුරු මේ ආණ්ඩුව පෙරළන්න බැහැ කියල කියන්නෙ. ආණ්ඩුවක් පෙරළනවද නැද්ද තීරණය කරන්නෙ මහජනතාව" කුමාරසිරි හෙට්ටිගේ කීවේය. "මට තවත් නඩුවක් දාන්න යනවා. මේ ආණ්ඩුව අපට දාල තියෙන නඩු ගැන වෙනම පොතක් ලියන්න ඕන. ආණ්ඩුව පැයෙන් පැය මහා පරිමාණ හොරකම් කරල සුදු ඇඳගෙන ටයි කෝට් දාගෙන ඉන්න හැටි මේ පරීක්‍ෂණ කරන අයට පේන්නෙ නැහැ. අපට දේශපාලන පළිගැනීම් කරන අය ගැන ලේඛනයක් මේ දිනවල සකස් කරනවා". එසේ පැවැසුවේ නාමල් රාජපක්‍ෂයි.

දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන්නේ ඇයි කියමින් සිංහල ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටියි. නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට දකුණේ ඇතැම් පාර්ශ්ව වරින් වර ප්‍රකාශ කිරීම ද්‍රවිඩ සන්ධානයේ එම තීරණයට හේතුවී තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම ආදිය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය තවදුරටත් පෙනී සිටින බවද ඔවුහු ප්‍රකාශ කරති. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත් කළ මෙහෙයුම් කමිටු 6 වාර්තා අනුව ඉක්මනින් ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් දිය යුතු බවද ඔවුන්ගේ අදහසයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුමගේ මව පසුගිය සතියේ අභාවප්‍රාප්ත වූවාය. මාතර රදම්පල ඩලස්ගේ මහ ගෙදර එම මෘත දේහය තැන්පත් කොට තිබිණි. ආණ්ඩුව මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන දේශපාලනඥයෝ විශාල පිරිසක් ද එම අවමංගල්‍යයට සහභාගි වූහ.
ඩලස්ගේ මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද එම නිවෙසට ගියේ සෙනසුරාදාය. මීට වසර කිහිපයකට පෙර ඩලස්ගේ පියා මිය යන විට මහින්ද මේ රටේ ජනාධිපතිවරයා ය. පැය කිහිපයක් තුළ එම අවමංගල්‍යය සිදු කෙරුණේ එම පියා ජීවතුන් අතර සිටියදී කරන ලද ඉල්ලීමක් අනුවය. එම නිසා එම අවමංගල්‍යයට මහින්දට පැමිණීමට හැකි වූයේ නැත.
මහින්ද මළ ගෙදරට යනවිට ජොනී, බන්දුල, ජයන්ත, කංචන, නිරෝෂන් ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියහ. එහි ගිය බොහෝ දෙනකුගේ ප්‍රධාන මාතෘකාව වූයේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලන ප්‍රවණතාය. "සර්, දැන් ආණ්ඩුව හොඳටම ඇනගෙන ඉන්නෙ. අලුත් අවුරුද්දත් එකක් මිනිස්සුන්ට ආණ්ඩුව හොඳටම එපා වෙලා" මහින්ද අසලට ගිය පිරිස අතර සිටි ජොනී කීවේය.
"ඒක ඇත්ත, ආණ්ඩුව ඇතුළෙත් දැන් ගැටුම්, ශ්‍රී ලනිප - එජාප ගැටුම දැන් එළියට පෙනෙන්න පටන් අරන්. මේ වෙන කොට ආණ්ඩුව පෙරළන්න පුළුවන් තැනට ඇවිත් තියෙන්නෙ. මැයි පළමුවැනිදා අපි රටට පෙන්වන්න ඕන මේ ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් බව. ඒ හින්දා හැමෝම උපරිම කැපවීමෙන් මැයි දිනයට ලෑස්ති වෙන්න" මහින්ද කීවේ උපදේශයක් ලෙසින්ය. "ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම පක්‍ෂ එකතුවෙලා අපි සාර්ථකව මැයි දිනය සමරන්න ඕන" යැයි පෙන්වා දුන්නේ ජයන්ත සමරවීරයි. "ඒක ඇත්ත. අද රට පුරාම තියෙන්නෙ ලොකු ආණ්ඩු විරෝධයක්. මම අවුරුද්දට කලිනුත් ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුදෙනා එක්ක කතා කළේ මැයි දිනය සාර්ථක කරගන්න හැටියි. අවුරුද්දෙන් පසුවත් මම මේ ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා" මහින්ද යළිත් කීවේය.
"අද රටේ තියෙන ජනතා විරෝධයේ හැටියට ගෝල්ෆේස් එක පුරවන එක මහ වැඩක් නෙවෙයි" කීවේ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිවරයාය.

ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක ඇතුළු පිරිසක් මෘත දේහයට අවසන් ගෞරව දක්වා කතා බහ කරමින් සිටින අතරතුර සුසිල් ප්‍රේම්ජයන්ත සහ අනුර යාපා ඇමැතිවරුද එහි පැමිණියහ. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ප්‍රසන්න ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටිනු දුටු ඇමැතිවරු දෙපළද ඊට එක්වූයේ ප්‍රසන්නගේ පිටට තට්ටුවක් දමාගෙනයි.
"කොහොමද ප්‍රසන්න" සුසිල් විමසුවේය.

"අපි ඉතිං අපේ වැඩ ටික කරගෙන ඉන්නවා ඇමැතිතුමා" ප්‍රසන්න ඊට දුන්නේ එවැනි පිළිතුරකි.
එසේ සුහද දේශපාලන පිළිසඳරක ඇරැඹුමත් සමඟ ප්‍රසන්නගේ දුරකතනයට ඇමතුමක් ලැබිණි. ඒ මීරිගම ප්‍රදේශයේ වෙසෙන ප්‍රසන්නගේ හිතවතකුගෙන්ය. ඔහු ප්‍රසන්නට සිහිපත් කළේ පසුගිය දින දෙකක පමණ කාලය තුළ මීරිගම ග්‍රාමීය බැංකුවට කිලෝ 3ක පමණ පංචායුධ උකස් කොට ඇති පුවතකි.
එම පුවත දැනගැනීමෙන් සංවේදී වූ ප්‍රසන්න තම දුරකතනය සුසිල් ඇමැතිවරයාට දුන්නේ තමා සංවේදී වූ එම පුවත තම හිතවතාගෙන් අසා දැනගන්නා ලෙස ඉල්ලමින්ය. එම කතාව ඇසූ සුසිල්ගේ මුහුණින්ද පෙන්නුම් කළේ මවිත වුණු ස්වරූපයකි.

"මේ පාර පංචායුධ උකස් තියල අවුරුදු කනවා. ඊළඟ අවුරුද්දෙ මොනව උකස්් තියන්න වේවිද දන්නේ නැහැ"යි කියමින් සුසිල් ප්‍රසන්නට දුරකතනය දුන්නේය. ඊට පිළිතුරු වශයෙන් ප්‍රසන්න කිවේ "ඕකනේ සර් අපි කියන්නේ මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙමේ කියල" යනුවෙන්ය. "මිනිස්සුන්ට දැන් වෙලා තියෙන්නෙ කන්න නෙමේ ලෙවකන්න. අවුරුදු සමරනව තියා එදා වේල කන්න බැරි තත්ත්වයක් රටේ තියෙන්නෙ. අපි හැමදාම කියන්නෙ ඒකයි මේ ආණ්ඩුවට ආර්ථිකය හරිහැටි කළමනාකරණය කරන්න බැහැ කියල" ප්‍රසන්න වැඩිදුරටත් කියා සිටියේය.

එසේ කතා කරමින් සිටියදී සුසිල්, අනුර සහ ප්‍රසන්න එම ස්ථානයෙන් මඳක් අෑත්වී සය කන් මන්ත්‍රණයකද නිරත වනු එහි සිටි සියල්ලන්ටම රහසක් වූයේ නැත.

ඇමැති වජිර සිය අමාත්‍යාංශය යටතේ සිටින දිසාපතිවරු 25 දෙනාම සහභාගි වන දිසාපති සමුළුව සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දෙදිනම වැය කළේ මුළු රටටම බලපාන වැදගත් තීන්දු තීරණ රැසක් එම සමුළුවේදී ගනු ලබන නිසාය. මෙහි පළමු දිනයේ ප්‍රථම සැසිය සඳහා ආචාර්ය විජයදාස රාජපක්ෂ එක්වීම විශේෂත්වයකි. අමාත්‍යාංශ 53ටම අදාළ නිලධාරීන් දිසාපති සමුළුව සඳහා පැමිණ ඔවුන්ගේ අදහස්, යෝජනා හා ප්‍රශ්න ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවූ අතර ඇමැති වජිර රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා එදින සන්ධ්‍යාවේ සිය නිවෙසට පැමිණෙන ලෙස සියලුම දිසාපතිවරුන්ට ආරාධනා කළේය.

ඇමැතිවරයාගේ ඇරැයුම පරිදි දිසාපතිවරු 25 දෙනාද, අමාත්‍යාංශ නිලධාරීන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙන්ම වජිරගේ සමීප හිතවතුන් පිරිසක්ද විජයරාම නිල නිවෙසට එක්ව සිටියහ. වාද්‍ය වෘන්දයක් ගීත ගායනයෙන් එම සන්ධ්‍යාව රස ගැන්වූ අතර මේ අවස්ථාවේදී ඇමැති වජිර හොර රහසේම යම් කිසිවක් සංවිධානය කරන බව පිරිසට හැඟී ගියේය.

මෙම සන්ධ්‍යාවට විශේෂ ආරාධිතයකුටද ඇමැති වජිර ආරාධනා කර තිබිණි. ඒ අන් කවුරුත් නොව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්ටය. ජනාධිපති ලේකම්වරයාගේ උපන් දිනයද යෙදී තිබුණේද එදිනමය. ඇමැති වජිර හොර රහසේම සංවිධානය කළ කටයුත්ත වූයේ ජනාධිපති ලේකම්වරයාට උපන් දිනට කේක් ගෙඩියක් කපා සුබ පැතීමේ කටයුත්තය. ජනාධිපති ලේකම්ට කේක් කෑල්ලක් කවා ඇමැති වජිර සුබ පැතූ අතර ඒ අවස්ථාවට දිසාපතිවරු 25 දෙනාද එක්වූහ.

දින 87ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ විමල් වීරවංශ අඟහරුවාදා මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ ගත්තේය. ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැකීමට මැණික්හින්න විහාරස්ථානය වෙත ගියේ උපවාස කාලයේදී තමන් වෙනුවෙන් මැදිහත් වූවාට කෘතගුණ දැක්වීම සඳහාය.
'දුෂ්කර කාලයේදී ඔබ වහන්සේ මං වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා. ඒකට ගෞරවනීය ස්තුතිය පුද කරනවා' විමල් උන්වහන්සේට කීය.'
'ඒක අපේ යුතුකමක්නෙ මහත්තයා. නිවැරැදි තීන්දු නිවැරැදි අවස්ථාවේ ගතයුතුයි. මම කිව්ව දේ තේරුණා නේද මහත්තයෝ.' කියමින් උන්වහන්සේ විමල්ට අවවාදයක්ද කළහ.

ඉන් අනතුරුව නාපාන පේමසිරි රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් හමුවීමටද විමල් කුණ්ඩසාලේ විද්‍යාසාගර පිරිවෙනට ගියේය. ඔහු යන විට නාහිමියන් විහාරස්ථානයේ වැඩ නොසිටියත් විනාඩි කිහිපයක් ගත වෙද්දී උන්වහන්සේ වැඩම කළහ.

'මහත්තයත් දුර බැහැර ඉඳලනෙ ආවෙ' කියමින් වෙහෙස නොබලාම විමල් සමඟ කතාබහක යෙදීමට උන්වහන්සේ කටයුතු කළහ. සුහද කතාබහක නිරතවීමෙන් අනතුරුව විමල් 'දැන් හමුදාවෙත් නාවික හමුදාවෙත් බුද්ධි අංශ නිලධාරීන් නඩු දමන්නෙ නැතිව සිරගත කොට සිටිනවා. චෝදනාවක් නැහැ. ඇප ලබා දෙන්නෙත් නැහැ' නාහිමියන්ට කීවේය. 'අපට ඒකටත් මොනව හරි කරන්න වෙයි නේද මහත්තයෝ' කියමින් උන්වහන්සේ විමල්ගේ අතේ පිරිත් නූලක් බඳිමින් ආශීර්වාද කළහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පසුගියදා ගැටඹේ රජමහ විහාරයට ගියේය. ඒ ඉදිරියේදී එම පක්ෂය කරනු ලබන වැඩ ගැන විහාරාධිපති හිමියන් සමඟ සාකච්ඡාවකටය. 'නිකං පුටුු රත් කර කර ඉඳලා හරියන්නෙ නැහැ. විපක්ෂය විදියට වැඩක් කරලා පෙන්වන්න' උන් වහන්සේ ජී.එල්.ට අවවාද ස්වරූපයෙන් පැවැසූහ. 'අපි උපරිම කැපවීමෙන් අපේ රාජකාරිය කරනව හාමුදුරුවනේ. දැන් රටේ හීලෑ විපක්ෂයකුත් තියෙනවානේ. එහෙම බලනකොට ඒකාබද්ධ විපක්ෂය තමයි විපක්ෂයේ රාජකාරිය හරියටම කරන්නේ.' ජී.එල්. පිළිතුරු දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්