හම්බන්තොට වරාය විකිණීමේ මූලික කෙටුම්පත සකස් කර නෑ

  👤  4251 readers have read this article !
2017-04-06

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සඳහා මූලික කෙටුම්පත සකස්කර නැති බවත් වත්මන් රජය අස්සන් කරන සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කෙළේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා වාචික
පිළිතුරු අපේක්‍ෂාවෙන් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා එසේ කීවේය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ විදේශ ඇමැතිවරයා වූ ජී. එල්. පීරිස් චීන විදේශ ඇමැතිවරයා සමඟ හම්බන්තොට වරාය සඳහා අස්සන් කර තිබූ ගිවිසුම රට විකුණමින් අස්සන් කරන ලද ලියැවිල්ලක් බවත් එම ගිවිසුම දේශපාලන වශයෙන් අහෝසි කිරීමට වත්මන් ජනාධිපතිවරයා හා තමාට හැකි වූ බවත් අගමැතිවරයා කීය.

හම්බන්තොට වරාය පමණක් නොව පසුගිය ආණ්ඩුව රක්‍ෂණ සංස්ථාව හා මෙරට රෝහල් පවා විකුණා තිබූ බව සඳහන් කළ අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා වාර්තා ඉදිරිපත් කර තිබූ බවත් පැවැසීය.
කලින් පැවැති ආණ්ඩුව අස්සන් කර තිබූ රට විකිණීමේ ගිවිසුම් වෙනස්කර රටට ආර්ථිකයට හිතකර සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ හවුල් ව්‍යාපාර දියත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවද අගමැතිවරයා අවධාරණය කෙළේය.

ඒ අනුව පසුගිය රජය සින්නක්කරව විකුණා තිබූ හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කරන්නේ යැයිද හෙතෙම කීවේය.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 2012 වසරේදී චීන එක්සිම් බැංකුවෙන් වරාය ඉදිකිරීමට ණය ලබා ගත්තා. ඒ ණය වාර 48ක් ගෙවන්න පොරොන්දු වුණා. එකී ණය වාරිකය නොගෙවන්නේ නම් සම්පූර්ණ ණය ගෙවන්න ගිවිසුම්වලට එළැඹී තිබෙනවා. ඩොලර් කෝටි 140ක් එක්වර ගෙවන්න බැරි බව දැනගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නව ගිවිසුමකට ගියා.

එම නව ගිවිසුම අනුව සියයට 35.2ක් ලංකා රජයටත් සියයට 64.94ක් අනෙක් පාර්ශ්වයටත් හිමිවෙනවා. වැඩි කොටසක් දුන්නා පමණක් නොව 'ඩොලර් බිලියන 2.76ක පොලියක්ද ඊට එකතු කර තිබුණා. තරගකාරී යටිතල පහසුකම් ප්‍රවර්ධනය නොකරන්නත් පොරොන්දු වුණා.
වර්තමාන ආණ්ඩුව අස්සන් කළ නව ගිවිසුම කෝටි තිහක ණය මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. පසුගිය රජය ගිවිසුම අනුව වරාය ලබාදීම කාල නිර්ණයක් නොකර සින්නක්කරව විකුණා තිබූ බවද එම සින්නක්කරය වත්මන් රජය විසින් අහෝසි කරන ලද බවද අගමැතිවරයා අවධාරණය කෙළේය.
ඉකුත් රජය මේ වරාය ඉදිකළේ ඉන්ධන ලබා ගැනීම සඳහා නැව් පැමිණීමෙන් ලැබෙන ලාභය ගැන බලාපොරොත්තුවෙන් වුණාට ඒක ඇලෙක්සැන්ඩ්‍රා මාවතේ පෙට්රල් ෂෙඩ් එකට එනවා වගේ දෙයක් නොවේ යැයි ද අගමැතිවරයා කීය.
නව ගිවිසුම "ජේම්ස් පීරිස් මාවතේ ගෙවල් ලබාදීමේ ගිවිසුම්" වැනි ගිවිසුමක් නොවේ. රටට හිතකර වාසිදායක ගිවිසුමක් යැයිද අගමැතිවරයා කීය.

ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව කුජීත වෙනවා

ජනමත විචාරණයක් පැවැත්වුවහොත් මේ ආණ්ඩුව කුජීත වන, කම්මුතු වන අවසානයක් දකින තීන්දුවක් දෙන්න ජනතාව බලා ඉන්නවා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානායක්කාර (එජනිස) පැවැසීය.
මා
ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ මිනිහාට ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන්න ඕන.
එහෙම තිබියදී අගමැතිතුමා කොහොමද මෙතැත තීන්දු දෙන්නේ.

අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන මේ අගමැතිවරයා ඉවත් වී වෙනත් අගමැතිවරයෙක් නාවොත් අපි ඒ ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා අපගේ එකඟතාවක් ඕනෑ නම් මේ අගමැතිවරයාගේ ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පමණයි එය කළ හැක්කේ.
ජනාධිපතිතුමාට පුළුවන් එතුමාට කැමැති කෙනකු අගමැති කරන්න. එතැනදී අප කල්පනා කරනවා එකඟත්වයට පැමිණීම ගැන. එතෙක් මේ ආණ්ඩුව කරන හැම යෝජනාවකම විශාල අනතුරක් තිබෙනවා.

හොරුන් ඇල්ලුවාම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවට

ටොප් 10 එකට අපි කැමැතියි. කොහෙන් හරි හොරු ඇල්ලුවාම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කීවේය.
සාමාන්‍ය ජීවිතයක් ගත කළ සමහරු කෝටි ගණන්වලට දේපළ මිලට ගෙන තිබෙනවා. ඒ අයට මේ පැත්තේ අයත් මේ පැත්තෙ අය ඒ පැත්තටත් හොරා කියනවා.
ටොප් 10 එකට අපි කැමැතියි. කොහෙන් හරි හොරු ඇල්ලුවාම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි.
නලින් බණ්ඩාර
අප දන්නවා කවුරු ගැනද කතා කරන්නේ කියලා. ඇත්තෙන්ම ටොප් ලෙඩක් කියා මේකට දාන්න පුළුවන්.
ආනන්ද අලුත්ගමගේ
දිගින් දිගටම අලුත්ගමගේගේ නම සඳහන් කරනවා. මට තත්ත්පරයක් දෙන්න. එතුමාට ඉතිහාසයේ මේ කියන තරම් දේපළක් තිබුණේ නැහැ.
වාසුදේව නානායක්කාර
මගේ ප්‍රශංසාව පුද කරනවා විවිධ අයථා කටයුතු සොයා බලා ඒවා හෙළිදරව් කිරීම ගැන.
මේ සභාවේ මන්ත්‍රිවරයකුගේ චරිතය, ඔහුගේ යම් අයථා ගනුදෙනු ගැන සඳහන් කරන්නවා නම් එතුමාට පිළිතුරු දිය හැකි අවස්ථාවක ගේන්න. නැතිනම් යෝජනාවක් ගේන්න.

එතුමාට පුළුවන් බ්ලයිටන් හවුස් නිවෙස එතුමාට අයිතිද නැද්ද කියන්න. මේක භූතයකුට අයිති එකක් නොවේ. මල්වානේ ගෙදර නම් ප්‍රශ්නයක් නැහැ. කරුණාකර මේකත් අල්ලස් හෝ දූෂණ කොමිසමට අරගෙන යන්න.
විමලවීර දිසානායක
රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා එතුමා දෙපැත්තෙම හොරු ගැන කියනවානේ. රීතිය හා සභාවේ සම්මුතිය ගැන ඔබතුමා දන්නවද? ටොප් ටෙන් අරන් ගියා වගේ ඔබතුමා ඒකත් අරගෙන යන්න.
රන්ජන් රාමනායක
හෙට උදේ අපි දෙන්නා මේ ෆයිල් එක අරගෙන අල්ලස් කොමිසමට යං.

විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීමට
නව වැටුප් තලයක් හඳුන්වා දෙනවා

රටේ සියලු අධිකරණවල 2016 වසර අවසන් වනන විට නඩු 7,45,303ක් පැවැති බවත් අද නඩු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය.
මෙම සංශෝධනයෙන් අපේක්ෂා කරන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ හා අධියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමටයි.
මහාධිකරණයේ, දිසා අධිකරණයේ හා මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා නව වැටුප් තලයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරගෙන යනවා.

පසුගිය කාලය 2016 කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු 627ක් අවසන් කරන විට තවත් එවැනිම පහසුකම් ඇති අධිකරණයක විස¼දා අවසන් කර ඇත්තේ 81යි.
විනිශ්චයකාරවරුන් උසස් කිරීමේදී වඩා දක්තාවයෙන් වැඩ කරන විනිශ්චයකාරතුමන්ලාට වැඩි ලකුණු ලබාදිය යුතු බව සාකච්ඡා වී තිබෙනවා. හුදු ජේ‍යෂ්ඨතා පදනම මත යැපෙන්නේ නැතිව කැපවීමෙන් තම දක්ෂතාවෙන් වැඩ කරන විනිසුරුවරුන්ට යම් ඇගැයීමක් කළ යුතු බව සාකච්ඡා වෙනවා.
19 වැනි සංශෝධනයෙන් පසු කොමිෂන් සභාවලට අපේ මැදිහත්වීමක් බලපෑමක් නැහැ. ස්වාධීන පොලිස් කොමිසමක් තිබෙනවා. කවුද අත්අඩංගුවට ගන්න ඕනෑ කාවද නිදහස් කළයුතු කියා අප පොලිසියට උපදෙස් දෙන්න යන්නෙ නැහැ.
බලන විට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ 2016 නඩු 3,589ක් තිබුණා. 1,863ක් අලුතින් ගොනුවන විට අවසන් කළ හැකි වුණේ 1,866කි. ඒ අනුව නඩු 3,566ක් ඉතිරි වුණා. 2016දී අභියාචනාධිකරණයේ නඩු 4,681ක් තිබුණා. ඒ වසරේ අලුතින් 1,296ක් එකතු වුණා. විසඳිය හැකි වුණේ 1,140යි. ඒ අනුව නඩු 4,837ක් ඉතිරිව තිබෙනවා.

අද අධිකරණවල නඩු සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.
2016 අවසන් වන විට සියලුම අධිකරණවල 7,45,303ක් පැවැතුණා.
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ගැනද සාකච්ඡා පැවැත්වෙනවා. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සිටිය යුත්තේ විනිසුරුවරුන් 11 දෙනකු බව මීට අවුරුදු 40කට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වී තිබෙනවා. රාජ්‍ය දේපළ අවභාවිතය ගැන මා කෝප් කමිටු සභාපති වශයෙන් සිටියදී වාර්තා දෙකකින් ජනතාවගේ වත්කම් කෝටි 30,000ක් අහිමි වූ හැටි ගැන සඳහන් කළා. ඒ වාර්තා දෙක අල්ලස් හෝ දූෂණ කොමිසමට පරීක්ෂණ ආරම්භ කරන ලෙස එදා හිටපු කතානායකතුමා විසින් යොමු කරන ලැබුවා.
පරීක්ෂණ කරන්න හදන විට කොමිසමේ සිටි පරීක්ෂණ නිලධාරීන් මාරු කොට පරීක්ෂණ නතර කර දැම්මා.

විනිසුරුවරුන්ගේ
වැටුප් වැඩි කිරීම මගින් මන්ත්‍රි වැටුපත්
වැඩි කරන්න හදනවා

අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීමට යන බවට අතැම් මාධ්‍ය කර තිබෙන වාර්තා මන්ත්‍රිවරුන් අපහසුතාවට පත් කරන පුවතක් බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (5දා) පැවැසීය.

මේ යෝජනාව පිළිබඳව ඇතැම් මාධ්‍ය ප්‍රසිද්ධියක් දීලා තිබෙනවා. ඩිලාන් පෙරේරා ඇමැතිතුමාත් ඒ ගැන සඳහන් කළා. ඒ පිළිබඳව අපේ් අවධානය යොමු වී තිබෙනවා. යෝජනාව ගෙනත් තිබෙන්නේ විනිශ්චයකරුවන්ගේ වැටුප් වැඩි කිරීමටයි.
මෙවැනි පුවත් පළ කිරීමෙන් ව්‍යවස්ථාදායකයට අවමානයක් සිදුවන බවත් රටේ ජනතාවට මන්ත්‍රිවරුන් පිළිබඳව වැරැදි මතයක් ඇති වන බවත් එය මන්ත්‍රිවරුන්ගේ ගෞරවයට හානියක් බවත් ඇමැතිවරයා කීය.

අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් සංශෝධනය සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව බවද එහෙත් මන්ත්‍රිවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 (1) ව්‍යස්ථාව අනුව බවත් පෙන්වා දුන් ඇමැතිවරයා එබැවින් අදාළ ප්‍රමිතීන් නිවැරැදි විය යුතු බවද අවධාරණය කළේය.

මෙවැනි බරපතළ ප්‍රකාශ පළ කිරීමට කලින් විමසා බැලිය යුතු බැව් සමහර මාධ්‍යවේදීන්ගේ දැන ගැනීම සඳහා කාරුණිකව සඳහන් කරන්නේ යැයිද පැවැසූ ඇමැතිවරයා
"සමහරු සියල්ල දත් නිසා හුඟක් බොරු කියනවා. නොදන්නාකමට හෝ හිතාමතා කරන ලද මෙවැනි ප්‍රකාශ කරන්න හොඳ නැහැ. මෙවැනි ප්‍රකාශවල වගකීම මාධ්‍යකරුවෝ භාරගන්න ඕනෑ." යැයිද පැවැසුවේය.

ජාතිවාදී කෝණයකින් බලා නව විනිසුරු පත්වීම ගැන විවේචන කිරීම සුදුසු නෑ

මහාධිකරණයට පත්කළ නව විනිසුරුතුමා දෙමළ භාෂාව කතා කරන මහත්මයකු නිසා ඒ පත්වීම ගැන ජාතිවාදී කෝණයකින් විවේචන කිරීම යෝග්‍ය නොවන බව මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පැවැසීය.
මීට පෙරත් ශේ‍ර්ෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ විනිශ්චයකාරවරු, අධිකරණ ක්‍ෂේත්‍රයෙන් පිට අය පත්වී තිබෙනවා. මෙවර මහාධිකරණයට පත්කරන ලද විනිසුරුතුමා දෙමළ භාෂාව කතා කරන මහත්මයෙක් නිසා ජාතිවාදී කෝණයකින් විවේචන කිරීම යෝග්‍ය නැහැ.

ඩලස් අලහප්පෙරුම
මහාධිකරණය සඳහා සුදුසුකම් ලැයිස්තුවේ සිටියේ දමිළ භාෂාව මවුබස කරගත් කෙනකු නේද?
ඩිලාන් පෙරේරා
මේ පත්වීම ගැන මට යම් ගැටලුවක් තිබෙනවා. එහෙත් මා කියන්නේ ජාතිවාදී කෝණයකින් බැලීම වැරැදි බවයි.
අධිකරණ පද්ධතිය හා මානව හිමිකම් ක්‍ෂේත්‍රය තුළ නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු ගැන සියලුම පක්‍ෂවල වෙනසක් නැහැ. අලුත් මැතිවරණ ක්‍රමයක් හැදීම ගැන පක්‍ෂ විපක්‍ෂ කවුරුත් එකඟයි. බලය බෙදීම සඳහා දෙවැනි සභාවක් ඇති කිරීම වැනි කරුණු ගැන සාකච්ඡා කළ හැකියි.

අධිකරණ ක්‍ෂේත්‍රයේ මතුවී ඇති සමහර කරුණු පටු දේශපාලන කෝණවලට යට නොවී නව ව්‍යවස්ථාව සඳහා ක්‍රියා කළොත් විස¼දා ගන්න පුළුවන්. අධිකරණ, මුදල් හා මානව හිමිකම් ගැන ඉතා වැදගත් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ පුළුල්ව සාකච්ඡා කෙරෙනවා.
සමහර මාධ්‍ය හුවා දක්වන්නේ නඩුකාරවරුන්ගේ පඩි වැඩි කිරීමට නොව මන්ත්‍රිවරුන්ගේ පඩි වැඩි කිරීම ස½දහා බවයි. හොඳ දේවල් කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හොරා, දූෂකයා කියා ප්‍රචාරය කර ඇති නිසා හොඳ දෙයක් කරන්න යනකොටම ඒකට කළු තිතක් තබා තිබෙනවා.

බැඳුම්කර සිද්ධියේ වරදක් සිදුවීදැයි
පරීක්‍ෂණවලින් පසු දැන ගත හැකියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේදී යම් අපරාධයක් සිදුව ඇත්දැයි තීරණයක් ගත හැක්කේ පරීක්‍ෂණ කටයුතු අවසානයේදී බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කෙළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ජනාධිපති විශේෂ කොමිසම මේ වනවිට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මඟින් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කළ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කළ පසු නීතිපති උපදෙස් මත පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවද ඇමැතිවරයා කීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනය අවසානයේදී සහ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවෙන් ඉදිරිපත් වන්නා වූ සාක්‍ෂි හා නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව, කිසියම් පුද්ගලයකුට හෝ පුද්ගලයන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයකට එළැඹිය යුතුව ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා වෙනුවෙන්, බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා ඇසූ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නයකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ එසේ පිළිතුරු දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්