කොකා පෙන්නීම

  👤  4338 readers have read this article !
2017-04-06

"පවුලේ අයට ඔටුනු පලඳවන්න මම ජනාධිපති වුණේ නෑ"
සිරිසේන ජනාධිපතිවරයා පක්‍ෂයේ තරුණ සමුළුවේදී කීවේය. ඊට අමතරව ජනාධිපතිතුමා නියම කතාවක් කියා තිබේ. ඒ තමන්ගේ පුතාත් සාමාන්‍ය දරුවෙක් මෙන් සාමාන්‍ය අසුනක සිටින බවත් ඔහුද සාමාන්‍ය තරුණයෙක් වගේ බවත්ය. ජනාධිපතිවරයා තවදුරටත් කියන්නේ පුතාට ලොකු තනතුරු මුකුත් දී නැති බවය. කතාවේ ඇත්ත බොහොම චුට්ටය. ලොකු තනතුරු ලබා දී පුතාට කිරුළ පලන්දා නැති බව ද ඇත්තය. එහෙත් ජනාධිපතිවරයා ගිය බොහෝ සංචාරවල කොතැන හෝ අසුනක් පුතාට තිබුණු බව අමතක කරන්නට බැරිය.

මේ කතාව ඒක නොවේය.
තමන් සිටි පක්‍ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂයෙන් ඡන්දය ඉල්ලා (පක්‍ෂයෙන් ඉවත් නොවූ බව කීම හිත හදා ගන්න කියන කතාවකි) ජනාධිපතිවරයා වෙච්ච සිරිසේන මහතා ආපසු පක්‍ෂයේ නායකයා වී පක්‍ෂය හදන්නට යෑම විහිළුවක්ය. යහපාලනය වෙනුවෙන් වගේම සිරිසේන මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් ඡන්දය දුන්නේ අති බහුතර එක්සත් ජාතික පාක්‍ෂිකයෝය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද පනස් දාහක්වත් ඔහු වෙනුවෙන් පාවිච්චි වුණේ නැති බවට කැට තැබිය හැකිය. අවුරුදු 20ක් තමන්ව විපක්‍ෂයේ තියන්නට මහින්දට උදවු කළ ඒ පක්‍ෂයේ ලේකම්වරයා එක දවසින් තමන්ගේ පැත්තට භාරගෙන ඔහුව ජනාධිපති දක්වා ඔසවාගෙන ගියේ යූ.එන්.පී. කාරයෝය. මේ නාඩගම දරා ගන්නට බැරි වූ උපන් ගෙයි යූ.එන්.පී. කාරයෙක් වූ එවක එ.ජා.ප.යේ මහ ලේකම්ව සිටි තිස්ස අත්තනායක පක්‍ෂයත් හැරදා ගියේය. තිස්ස ගියේ වේදනාවට බව තිස්සම පස්සේ කියා තිබිණි. එහෙත් එ.ජා.ප. පාක්‍ෂිකයෝ මෛත්‍රිව රැක ගත්තේය. ඉතින් තමනගේ ඡන්දයෙන් ජනාධිපති වූ මනුස්සයා ආපහු ගිහින් ශ්‍රී ලංකා එකේ නායකත්වය අරගෙන තමන්ට කොකා පෙන්නයි කියා කවදාවත් යූ.එන්.පී. කාරයෝ බලාපොරොත්තු වුණේ නැත. ඒ තියා ඔහුව බලයට ගේන්න දර දිය ඇද්ද සිවිල් සංවිධාන කිසිවක් ඔහු පක්‍ෂය වෙනුවෙන් ආපසු හැරෙයි කියා හිතුවේ නැත.

ඔහු ආවේ රට වෙනුවෙන් ලොකු වැඩක් කරන්නට තියෙනවා කියාය. මිනිස්සු අහන්නේ ඔහු දැන් පක්‍ෂය හදන්න ලෑස්ති වෙන්නේ රට හදන වැඩේ කරලා ඉවර වෙලාද කියලාය. ඔහුට කරන්නට තිබුණේ ඔහු නිතර කියන රට හදන වැඩේ කිරීම මිසක් නැවත පක්‍ෂය කරේ තියාගෙන යෑම නොවේ. ඔහු නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙක් නම් ඔහු කළ යුතුව තිබුණේ ජනාධිපතිගේ වැඩේ කරන එකය.

බලය ලබාගත් විටම එක්තරා රූපවාහිනි සංවාදයකට සහභාගි වෙමින් කීවේ, බලයේ ඉන්න කාලය වසර 4 දක්වා අඩු කරන්නැයි තමා ඉල්ලා සිටි බවයි. බලය අත්හැරීම සම්බන්ධව ඔහු කදිම පූර්වාදර්ශයක් කියා කීවේ එතෙර රටවල නායකයෝය. ලක්‍ෂ 60ට වඩා ඡන්දය දී ඔහුව ජනාධිපති කළ කිසිවෙක් ඔහු නැවත හැරී පක්‍ෂය බදාගෙන දඟලතැයි සිතුවේ නැත.

පක්‍ෂයයි ජනාධිපතිකමයි දෙකම පටලවා ගන්න යෑමෙන් මෛත්‍රිට වුණේ හතර අතේ බැනුම් අහන්නටය. පක්‍ෂයේ අපේක්‍ෂකයා වෙච්ච මහින්දට පිටුපා එ.ජා.ප.ය එක්ක එකතු වීම ගැන ශ්‍රී ලංකාකාරයෝ මෛත්‍රි එක්ක ඉන්නේ තරහෙන්ය. බහුතර ඡන්දයෙන් පරාජය වුණත් මහින්ද ශ්‍රී ලංකාකාරයන්ගේ වීරයාය. ඔහුට පිටුපා ගිය මෛත්‍රි ශ්‍රී ලංකාකාරයින්ගේ ද්‍රෝහියාය. ඒ නිසා අදත් ශ්‍රී ලංකාකාරයෝ ආදරේ මහින්දට මිස මෛත්‍රිට නොවේ. පක්‍ෂය වෙනුවෙන් "හිරේ" පවා ගියා කියා මෛත්‍රි අතීතය ගැන කීවාට වර්තමානයේ ඔහු පක්‍ෂය හැරදමා ගිය අයෙක් පමණි. යහපාලනයක් සඳහා සිය ඡන්දය ලබාදුන් ජනතාව, සමාජ බලවේග සහ සංවිධාන සිය අප්‍රසාදය ජනාධිපතිවරයාට පළ කරන්නට පටන් ගත්තේ 2015 මහ මැතිවරණයේදී මහින්දට නාම යෝජනා දෙන්නට තීරණය කිරීමේ සිටය. මෛත්‍රි පක්‍ෂය භාර නොගත්තා නම් ඔහුට ඒ ගැටලුව එන්නේ නැත. ඉන් දින කිහිපයකට පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුවූ තත්ත්වයට හේතු පහදා දුන් අතර එ.ජ.නි.ස. දින්නද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය ලබා නොදෙන බව ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙකකට පෙර රාජපක්‍ෂ මහතාට ලිපියක් මඟින් දැනුම් දුන්නේ අගමැති ධුරය අපේක්‍ෂා නොකරන ලෙසය. මේකෙන් වුණේ ශ්‍රී ලංකාකාරයෝ නැවත මෛත්‍රිට එරෙහි වීමය.

මේ උභතෝකෝටික තත්ත්වය මැද අද වන විට යූ.එන්.පී.කාරයන්ට වගේම ශ්‍රී ලංකාකාරයන්ට ජනාධිපතිවරයාව එපා වී ඇත. ඒ විතරක් නොවේ. බලසම්පන්න යූ.එන්.පී.කාරයන්ට ආණ්ඩුවත් එපා වෙලාය.

රනිල් වික්‍රමසිංහ බලයට පත් කළේ පළාත් පාලනේ හිටපු අපි. අපි තමයි බිම් මට්ටමේ ඉඳලා සහාය දුන්නේ. දැන් කතා කරනවා මැයි රැලියට මිනිස්සු එකතු කරන්න. මම නම් යන්නෙත් නැහැ. මිනිස්සු යවන්නෙත් නැහැ. රනිල්ට අගමැතිකම හම්බ වුණේ පාක්‍ෂිකයන් හින්දා. රනිල් හැමදාම කෙළවා ගන්නවා. අගමැතිකම දෙපාරක් අරන් දුන්නා. හැමදාම දින සීයයි. අද හොරු ටික ආරක්‍ෂා කරන්නේ කවුද? මලික් සමරවික්‍රම කියන්නේ කවුද? බැඳුම්කරේට මොනවද වෙලා තියෙන්නේ. රවි කරුණානායක හොඳම මුදල් ඇමැතිලු. මොනවද ලංකාවේ මිනිසුන්ට කරලා තියෙන්නේ. ඔක්කෝම අමාරුවේ දාලා තියෙන්නෙ. පට්ට හොරකම් කරනවා. අද හොරුන්ට තැන තියෙන්නේ. මෙහෙම කියන්නේ යූ.එන්.පී.යේ පතාකයෙක් වන අලුවිහාරේ පරම්පරාවේ ඩල්ජිත් අලුවිහාරේය. රනිල්ට එරෙහිව එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ පළමුවැනි වෙඩි මුරය මාතලෙන් තැබූ බව ඔහු කියයි. දවසින් දවස ආණ්ඩුව යන්නේ වළ පල්ලටය. රනිල් රට ගැන නොහිතා බලය ගැන හිතන බවත් මෛත්‍රිට රට පැවැරූ වගකීම පසෙක ලා පක්‍ෂයක් බදාගෙන බවත් කියන්නේ මිනිස්සුය.

තවත් ජනාධිපතිවරණයක් තැබීමට මා ඉඩ තබන්නේ නැතැයි නිතර කීව මෛත්‍රි පීල්ල මාරු කළා දැයි කෙනකුට හිතුණොත් පුදුම නැත. "ඔලිම්පික් දුවලා දිනපු මිනිහා ගමේ අවුරුදු උත්සවේටත් දුවන තාලේ වැඩක් මෛත්‍රි කළ බව කියන්නේ ශ්‍රී ලංකාකාරයෝ ය. ඒ කතාවට හූමිටි තියන්නේ යූ.එන්.පී.කාරයෝය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්