දූෂණ විරෝධී සටන

  👤  2614 readers have read this article !
2019-02-12

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී කතාවක් කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න කියා සිටියේ කඩිනම් මහවැලි ව්‍යාපාරයට විදෙස් මූල්‍ය ආයතන ලබාදුන් මුදල්වලින් 60%ක් මැති ඇමැතිවරුන් හා නිලධාරීන් සාක්කුවේ දමාගෙන ඇතැයි එකල වාර්තා වූ බවයි. ඒ කතන්දරයේ ඇත්ත යුත්ත කෙසේ වෙතත් එදා මෙදා තුර අඩුවක් නැතිව රාජ්‍ය අංශයේ දූෂණය-වංචාව දෝරේ ගලා යමින් තිබෙන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

විශේෂයෙන් 80 දශකයෙන් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම පොරොන්දු වූයේ මේ දූෂණය-වංචාව මුලිනුපුටා දමන බවය. එහෙත් කවුරු කවුරුත් කළේ ඊට පෙර ආණ්ඩුවේ දූෂකයන් වංචනිකයන් රකින අතරේ තමන්ද දූෂණය - වංචාවට ඇලී ගැලීම පමණි.

2015 ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරුනේද 'පක්ෂ' අපේක්ෂකයකු ජනාධිපති කළද දූෂණ - වංචාව අතුගා දැමීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. ලක්ෂ 62 ක ජනතාවගේ පැතුම් මල්පල ගන්වමින් පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යහපාලනයක් සඳහා පියවර තැබුවේ දූෂණ-වංචා සෙවීමේ ජනාධිපති කොමිසමක් පිහිටුවමිනි. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවයේ දූෂණ සෙවීමට කමිටුවක් පත් කළේය. බැඳුම්කර වංචාව ගැන සෙවීමටද විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අදාළ වාර්තා තුනම මේ වනවිට ජනාධිපතිවරයා අතේ තිබේ.

දූෂණ-වංචා සෙවීමේ කාර්යයට ඇපකැපවීම කෙතරම්ද යත් ජනාධිපතිවරයා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දූෂණ වංචා සෙවීමට ජනාධිපති කොමිසමක්ද පත්කළේ කමිටු වාර්තාවක්ද තිබියදීය. කැපීපෙනෙන කාරණය වන්නේ ජනාධිපතිවරයා සිය ආණ්ඩුවේ දූෂණ-වංචා සෙවීමට එනම්, 2015 - 2018 හවුල් ආණ්ඩුවේ දූෂණ-වංචා පිළිබඳ සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමය.

මෙරට ඉතිහාසයේ ආණ්ඩුවක නායකයෙක් විශේෂයෙන් ජනාධිපතිවරයෙක් එවැනි කොමිසමක් පත්කළේ ප්‍රථම වතාවටය. මීට පෙර අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක දූෂණ-වංචා සෙවීමට කමිටුවක් පත්කර වැරැදිකරුවන් වූ නිලධාරීන්ට දඬුවම් දී ඇත.

දූෂණ - වංචා සෙවීමේ මේ කමිටු හා කොමිෂන්වලට 'මුදල්' වැය වුණද ඒවා සොයා බලා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුමය. විගණකාධිපති ගාමිණි විජේසිංහ ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය අංශයේ දූෂණය, නාස්තිය හා අවභාවිතාව වැළැක්වුවහොත් අය-වැයෙන් 25%ක් ඉතිරිකරගත හැකි බවය. ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යෑමට නම් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව විධිමත්ව හා නීතිගරුකව වැඩ කළ යුතු බව හෙතෙම අවධාරණය කර තිබිණි.

විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසන ආකාරයට මේවාට විසඳුම් සොයාගත හොත් මෙරට ආර්ථිකය ඉතාමත් ඉක්මණින් යහපත් අතට හරවා ගැනීමේ හැකියාව තිබේ.

ඇත්තෙන්ම සිදුව ඇත්තේ සියලු වගකිවයුතු රාජ්‍ය ආයතන බිඳවැටී තිබීමය. නිලධාරීන් හා දේශපාලනඥයන් එකතු වී සියල්ල අවුල් කර දමා ඇත. සියල්ල මුල සිටම පටන් නොගන්නේ නම් රටට අනාගතයක් නැති වීමට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි පසුබිමක ජනාධිපතිවරයා දූෂණ විරෝධී සටනේ පෙරමුණ ගන්නා බව කීම යම් අස්වැසිල්ලකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon