පල් වළ ඉහගෙන කෑම

  👤  2557 readers have read this article !
2019-02-11

මල් සුවඳ ගලා නොගියත් අතීතයේ මේ රට පල් වළක් වී තිබුණේ නැත. ඉංගී්‍රසීන් රට අපට බාරදී යන විටත් සැලකිය යුතු විදේශ මුදල් සංචිතයක් භාණ්ඩාගාරය සතු විය. පරිපාලන ව්‍යුහයක්, මහාමාර්ග පද්ධතියක් ඇතුළු යටිතල පහසුකම් රට සතුව තිබිණි. ගෙවුණු 71 වසර පුරා ඊනියා පාලකයන් කළේ රට එතැනින් ඉදිරියට ගෙන යෑම වෙනුවට කටින් බතල කොළ සිටුවමින් 'සුද්දා'ටද හපන් විදියට රටේ සාරය උරා බීමය. පල් වළක් බවට පත් කළ රට මේ වන විටත් ඔවුහු තවදුරටත් හප කරමින් සිටිති.

ඉකුත් වසරේදී පාර්ලිමේන්තු සභාගැබේදී පිහි, මිරිස් කුඩු, පොත්, බෝතල්, පුටු රැගෙන මන්ත්‍රිවරුන් ගුටි ඇනගත්තේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට බව පැවැසිණි.

ජනතාව වෙනුවෙන් ඇපකැප වී සිටින මේ මන්ත්‍රිවරුන්ගෙන් පිරිසක් ඉකුත් දිනෙක පාර්ලිමේන්තුවේදී විදුලි සෝපානයක සිරවී මහා කලබැගෑනියක් සිදුවිය. මේ 'සිරවීම' කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවද මන්ත්‍රිවරයකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එහෙත් සිදුව තිබුණේ හයදෙනකුට පමණක් යා හැකි විදුලි සෝපානයට ඒ වගේ දෙගුණයක් එනම්; 12 දෙනකු ගොඩවීමය. 'බෝඩ්' එකක් කියවා ගැනීමටවත් මේ ගරු මන්ත්‍රිවරුන්ට 'මොළේ' කළඳක් නැති ගානය.

පාතාලයේ කෙරුමකු වන 'මාකඳුරේ
මධුෂ්' ගේ 'ඩුබායි' පාටියේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර හිමියකුද සිට ඇත. පොලිස් නිලධාරීන්, හිටපු බන්ධනාගාර නිලධාරීන් හා කලාකරුවෝ පිරිසක්ද එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිති. දැනට හෙළි වී ඇති කරුණුවලට අනුව මෙරට දේශපාලනඥයන් කිහිපදෙනකු සමඟ මධුෂ් සබඳතා පවත්වා ඇත. දේශපාලනයේ නියැළී සිටින පියකු හා පුතකුද ඒ පිරිසට අයත් බව පැවැසේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාවේ 'මිදිගම' බටහිර කොට්ඨාසයට තරග කර ඇත්තේද මධුෂ්ගේ
ගෝලයෙකි. අත්අඩංගුවේ පසුවන රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය හිමි තැනැත්තා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු බවද දැනගන්නට ඇත. කාරණය අනෙකකි.

මැති - ඇමැතිවරුන් හිටගෙන කරන විට ගෝලයන් කරන්නේ දුව-දුව බව පැහැදිලිය. රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබා ගැනීම පිළිබඳ චෝදනාවකට වැරැදිකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකුට බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවමක් අධිකරණය ඉකුත් 7 වැනිදා ලබාදී තිබිණි. 2012 ජූලි මාසයේදී කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දරමින් වෙන්දේසි ඉඩමකට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා පෞද්ගලික ආයතනයකින් මේ මුදල ලබාගෙන ඇතැයි හෙළිවේ. බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරියක සමඟ කාන්තාවන් දහදෙනකු ඇතුළු දහතුන්දෙනකු පොලිසිය අල්ලාගෙන තිබුණේ සූදු පිටියක් වැටලීමේදීය. සූදුපොළ පවත්වාගෙන ගොස් ඇත්තේ මන්ත්‍රිවරියගේ නිවෙසේය.

තිස්සමහාරාම කිරින්ද උද්දකන්දර ප්‍රදේශයේ රජයට අයිති ඉඩමක බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පස් කපමින් සිටි පිරිසකට අයත් ට්‍රැක්ටර් හතරක් සහ ජේ.සී.බී. (බ්ඛ්ඕ) යන්ත්‍රයක් තංගල්ල පාරිසරික වැටලීම් අංශයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමඟ පැමිණි පිරිසගේ බලපෑම මත එම රථවාහන නිදහස් කිරීමට පොලිසියට සිදු විණැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. අත්අඩංගුවට ගත් පිරිස පොලිසියට පවසා ඇත්තේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ දැනුම්දීම මත පස් කැපීම සිදු කළ බවය. සභාපතිවරයා සමඟ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුද සිට ඇත.
තත්ත්වය මෙබඳු නම් තවත් අටුවා ටීකා ටිප්පනිවලින් පලක් නැත.

බල්ලන් බිරුවද තවලම යන්නා සේ කෙතරම් ලිව්වද කිව්වද දිගටම සිදු වන්නේ එකම දේය. වෙනස් වන්නේ මුහුණු පමණි. පස්, වැලි, කුඩු, දැව ජාවාරමේ සිට කුලියට මිනීමැරීම, මහජන මුදල් කොල්ලකෑම, රජයේ දේපොළ කුණු කොල්ලයට විකිණීම, රාජ්‍ය දේපොළ අයථා පරිහරණය ජයට සිදු වේ.

පල් වළ ඉහගෙන කෑමට 'මන්ත්‍රි ධුරය' බලපත්‍රයකි. ඇමැති ධුරයක් ලැබෙන්නේ නම් එය වඩාත් හොඳින් කළ හැකිය. සතියෙන් සතිය ඊනියා දේශපාලනඥයන් හා මාධ්‍ය මවන කතාවල එල්ලී ජනතාව සැපට දුක්විඳිති. මේ දිනවල මාකඳුරේ මධුෂ්ගේ ඇගේ එල්ලී සිටිය හැකිය. තව සති කිහිපයකින් එල්ලීමට වැලක් ඊනියා දේශපාලනඥයන් හා මාධ්‍ය එක්වී ජනතාවට ලබාදෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon