බෙංගාල සහ හින්දි සිනමා අඹරේ එකවර පෑයූ රුවැති තාරකාවිය සුචිත්‍රා සෙන්

  👤  3543 readers have read this article !
2019-02-10

භාරත සිනමාවට ආලෝකයක් වූවත් ඒ හැටි මතු කොට කතා නොකළ, එහෙත් අමතක කළ නොහැකි නිළියකි 'සුචිත්‍රා සෙන්'. ඇය ඉන්දියාව බෙදා වෙන් කරන්නට පෙර අද බංග්ලාදේශයට අයත් පැබ්නාහි උපත ලැබූ නිසාදෝ ඇතැම් සඟරා හැඳින්වූයේ 'බෙංගාලයෙන් තිළිණ කළ රුවැත්තිය' ලෙසින්ය. 1931 අප්‍රේල් මස 6දා උපත ලද සුචිත්‍රා සෙන්ගේ පියා කරුණාමෝයි දාස්ගුප්තාය. ඔහු සනීපාරක්‍ෂක සේවා කටයුතු පිළිබඳ නිලධාරියෙකි. මව ඉන්ද්‍රා දේවිය. ඇය පවුලේ හතර වැනි සාමාජිකයා වූ අතර තෙවැනි දියණියය.

ඇයගේ පරපුරේ ප්‍රකට තැනැත්තකු සිටියේය. ඒ ප්‍රකට කවියකු වූ ශ්‍රී රාජෝනි කාන්ත් සෙන්ය. සුචිත්‍රා ඔහුගේ මිනිබිරියකි. බංග්ලාදේශය බෙදා වෙන් කිරීමෙන්. පසු ඇය ප්‍රකට ධනවතකු හා කර්මාන්තශාලා ප්‍රමුඛයකු වූ අදිනාත් සෙන්ගේ පුත්‍රයා වූ දිවෙන්නාත් සෙන් හා විවාහ වූවාය. ඒ 1947දීය. ඔවුන්ගේ දියණිය වූයේ මුන් මුන් සෙන්ය. ඇයද නිළියක වූවාය. ඇයගේ මාමණ්ඩිය වූ අදිනාත් සෙන්ගෙන් රඟපෑමට මහත් සහායක් ලැබුණු නිසා ඇය වඩාත් වාසනාවන්ත වූවාය. විවාහයෙන් පසු රඟපෑමට බාධා පැමිණීම සිරිතක් වුව ඇයට එය එසේ නොවුණේය. එහෙත් බෙංගාල පුවත්පත්, සඟරා පවසා තිබුණේ ඇයගේ විවාහ ජීවිතය විවාහයෙන් පසු කළ රඟපෑම නිසා කඩාවැටුණු බවය.

සුචිත්‍රා සෙන්ගේ පළමු චිත්‍රපටය වූයේ 'ශේෂ් කෝනි'ය. ඒ 1952දීය. එහෙත් එම චිත්‍රපටය තිරගත වූයේ නැත. ධනවත් සැමියා සහ ධනවත් මාමණ්ඩිය ලෝභ නැතිව සිනමා කර්මාන්තයට මුදල් යෙදවීම නිසා ඇයට ඔවුන් මනා ශක්තියක් වූහ. නිර්මාල් ඩේ නිමැවූ උත්තම් කුමාර්ද රඟපෑ 'ෂාරේ චෞවොර්' චිත්‍රපටයෙන් ඇය මතු වූවාය. එය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ, උත්තම් කුමාර් සුචිත්‍රා සෙන් යුගලය ලෙස ප්‍රකට කළ එකක් විය. ඔවුන් තිරයේ පෙම්වතුන් ලෙස ගැළපෙන්නට වූයේ උත්තම්, සුචිත්‍රා යුවළ ලෙසය. ඇය උත්තම් කුමාර් හා චිත්‍රපට හැටක් පමණ රඟපෑ අතර එයින් 30ක්ම උත්තම් සෙන් සමඟය. ඇය රඟපෑ පළමු හින්දි චිත්‍රපටය වූයේ 1955 තිරගත වූ 'දේව්දාස්' (පැරැණි) චිත්‍රපටයය. එම රංගනය උදෙසා ඇයට හොඳම නිළියට හිමි සම්මානය පිරිනැමිණි. එහෙත් බෙංගාල් සිනාමාවේ උත්තම් කුමාර් හා දිගින් දිගටම රඟපාන්නට වීම නිසාවෙන් ඇයත් උත්තම් කුමාර්වත් එකතු කර කටකතා බොහෝමයක් ගෙතුණු අතර ඒවාට පුවත්පත් සඟරාවල වැඩි ඉඩක් ලැබිණි.

ඇය රඟපෑ වඩාත් වැදගත්, මතක හිටින චරිතයක් වූයේ 1969 තිරගත වූ 'දීප් ජවේලේ ජායි'ය. එහි ඇය 'රාධා මිත්රා' ගේ චරිතයට පණ පෙව්වාය. ඒ රෝහලක හෙදියක ලෙසය. එහි ඇය හා රංගනයට එක් වූයේ අනිල් චැටර්ජි, වසන්ත් චෞද්රීය සමඟය. සංගීතය හේමන්ත් මුකර්ජිගේය. අසිත් සෙන්ගේ අධ්‍යක්‍ෂණයකි. වඩාත් හැඟීම්බර කතාවක් රැගෙත් බෙංගාල බසින් නිර්මිත මෙම චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූයේය. චිත්‍රපටය කොතෙක් ජනප්‍රියවීද යතොත් අසිත් සෙන් අධ්‍යක්‍ෂවරයා එය හින්දි බසින් 'කාමෝෂි' නමින් 1969දී නිමැවූයේය. එහි සුචිත්‍රා සෙන්ගේ චරිතයට පණ පෙව්වේ 'වහීඩා රෙහෙමන්'ය.

සුචිත්‍රා සෙන්ගේ ඊළඟ ඇති සාර්ථක රංගනය ඇතුළත් චිත්‍රපටය වූයේ 1963 තිරගත වූ 'උත්තර් ෆල්ගුනි'ය එහි ඇය ද්විත්ව රංගනයක නිරත වූවාය. එය 1963 තිරගත වූ අතර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේද අසිත් සෙන්ය. උත්තම් කුමාර් නිෂ්පාදකවරයාය. එයද බෙංගාල් බසින් නිමැවුණේය. බිකාශ් රෝයි රංගනයෙන් සහාය වූ අතර සංගීතය රොබින් චැටර්ජිගේය. භාරත සිනමා වංශ කතාවේ බෙංගාල චිත්‍රපටවල ඇති අතීත රසකතා රැසක් මේ හා බැඳී ඇත්තේය.

ඇය අන්තර්ජාතික වශයෙන් වඩාත් සාර්ථකත්වයක් සටහන් කළේ 1963දීය. ඒ ඇය රඟපෑ "සාත් පාකේ බන්ද්‍ර" සඳහා මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයට පාත්‍රවීමෙනි.
ඒ අනුව ඉන්දියානු නිළියක් විසින් ප්‍රථම වතාවට මොස්කව් සම්මාන උළෙලේදී එවැනි සම්මානයට පාත්‍ර වීම භාරත සිනමා ඉතිහාසය වර්ණවත් කළ කඩඉම් සටහනකි. එය අධ්‍යක්ෂණය කළේ අජොයි කාර්ය. ආර්.ඩී. බන්සාල් නිෂ්පාදකවරයාය. සෞමිත්‍රා ඩැටර්ජි, පහරි සන්යාල්, තරුන් කුමාර් රංගනයෙන් දායක විය. සංගීතය හේමන්ත් මුකර්ජිගේය. එය ද සාර්ථක බෙංගාල චිත්‍රපටයකි. මේ පිළිබඳව සටහනක් තැබූ ෆිල්ම් ෆෙයාර් සඟරාව කීවේ. "සුචිත්‍රාසෙන් නම් වූ භාරත සිනමා මාතාව දායාද කළ නිළියගේ ක්‍රියාකාරිත්වයෙහි අර්ධයක් හින්දි සිනමාවටත් අනෙක් අර්ධය බෙංගාල සිනමාවටත් අයත්ය. එම ද්වයේම ඇය දක්ෂ නිරූපණයක නිරත වූවාය. තාරකාවක් වූවාය.

එවන් හැකියාවක් පළ කළ අතළොස්සක් දෙනා අතර ඇයද ප්‍රමුඛය. ඇයගේ සුවිශේෂය වූයේ චාම් බවත්, සරල බවත් ඇය තුළ වූ පෞද්ගලික ගතිගුණයක් වූ අතර එය රංගනයටද මුසුකර තිබීමය. භාරතීය කාන්තාවගේ අනන්‍යතාව මෙම ක්ෂේත්‍ර ද්වයේම ඇය පිරිපුන්ව පළ කළාය.

ඇයගේ ස්වාභාවික රංගනය දෙස ඉවසිල්ලෙන් බලා සිටි සත්‍යජිත් රායි වරක් ඇයට රායිගේ චිත්‍රපටයක ප්‍රබල චරිතයක් පිරිනැමීය. එහෙත් ඒ වන විට ඇය වඩාත් කාර්ය බහුලව සිටීම නිසා එය වැළැකී ගිය බව රායි පුවත්පතකට පළ කර තිබුණේය.

"දේවි චෞද්රාණි' නම්, බාන්කිම් චන්ද්‍ර චැටර්ජිගේ නවකතාව අනුසාරයෙන් නිර්මාණය කරන්නට සිටි චිත්‍රපටය සත්‍යජිත් රායිට කරන්නට නොහැකි විය. රායිගේ එම චිත්‍රපටයේ රඟපාන්නට නොහැකි වීම පාඩුවක් බව ඇය පසුව කියා තිබුණාය.

ඇය රාජ්කපූර්ගේ ආර්.කේ. චිත්‍රපට සමාගමේ චිත්‍රපටයක්ද ප්‍රතික්ෂේප කළාය. ඇයගේ සැමියා 1970 මිය යෑමත් සමඟ ටික කලක් නිහඬව සිට රංගනයට පිවිසියාය.

එහෙත් ඒ ගමන සාර්ථක එකක් නොවූ අතර ඇය අවසන් කාලයේදී ආගමික පැත්තට බරවී කල්ගත කරන බවක් පළ කළාය.

හින්දි සිනමාවේ මතක සිටින රංගනයන් හා ඇය සම්බන්ධ වීමද අමතක කළ නොහැකි නිර්මාණ සමූහයක් හා බැඳී පවතින්නේය. 1955 තිරගත වූ 'දේව්දාස්' හි පාර්වතීගේ චරිතය ඇය රඟපෑවේ සුපිරි නළු දිලිප් කුමාර් සමඟය. 1960 "හොස්පිටල්" නම් චිත්‍රපටයේ 'සර්බාරි' ගෙ චරිතයට පණ පෙවුයේ එවකට ප්‍රකට නළුවකු වූ අශෝක් කුමාර් සමඟය.

1960 දීම, 'බොම්බයි කා බාබු' හි දේවි ආනන්ද් නම් කඩවසම් නළුවා සමඟ 'මායා' ගේ චරිතය නිරූපණය කළ අතර එම වසරේම 'සර්හාඩ්' හි දේවි ආනන්ද් සමඟම රඟපෑවාය. 1966 දී ධර්මේන්ද්‍ර හා අශෝක් කුමාර් සමඟ 'මම්තා' හි දේවියානි, සුපර්ණා යන චරිත රඟපෑවාය.

1978 ජුනි 9 දා තිරගත වූ 'පුන්නේ පාෂා' නම් බෙංගාල චිත්‍රපටය ඇයගේ අවසන් චිත්‍රපට රංගනයය. 2014 ජනවාරි 17දා උදෑසන 8.25ට හෘදයාබාධයකින් රෝහලේදීම දිවියෙන් සමුගන්නා විට ඇයගේ වයස 82ක් විය. සචිත්‍රාසෙන් වැනි හින්දි සහ බෙංගාල යන සිනමා කර්මාන්ත දෙකේදීම අපූර්ව හැකියා ප්‍රදර්ශනය කළ නිළියන් දුර්ලභය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon