ටී මාර්කට් වර්ජනය කළොත් තේ වතු ජනසතු කරනවා ඉලංගරත්නගෙන් සුද්දන්ට තරවටුවක්

  👤  3526 readers have read this article !
2019-02-10

ටී.බී. ඉලංගරත්න ඉපදුණේ මීට වසර 106කට පෙර 1913 පෙබරවාරි 27දා හතරලියද්දේදීය. 1948 මැයි 18දා මහනුවර ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් වැඩි ඡන්ද 3857ක් ලබා ඔහු පාර්ලිමේන්තුවට පා තැබුවේය. මැතිවරණ පෙත්සමක් නිසා 1949 පෙබරවාරි 10දා ඔහුට මහනුවර ආසනය අහිමි වුවත් එම වසරේ ජුනි 18දා පැවැති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඔහුගේ බිරිය වූ තමරා කුමාරි ඉලංගරත්න මහත්මියයි.

1950 දශකය මුලදී ලංකාදීප පත්‍රයේ විශේෂාංග රචකයකු වූ ඉලංගරත්න මහතා 1951දී ශ්‍රී ලනිපය බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කළේය. ඒ අතරේ ඔහු මන්ත්‍රි හාමුදුරුවෝ නාට්‍යය ලියා නිපදවූයේය. විලම්බීත, ඔන්චිල්ලාව නවකතා ලියා පළ කළේය. වරද කාගෙද චිත්‍රපටයට දෙබස් රචනා කළේය. "රදල පිළිරුව" චිත්‍රපටයේ තිර නාටකය ලීවේය.

1955දී ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම්වරයා වූ ඉලංගරත්න ඉන් වසරකට පසු ගලහ ආසනයට තරග කර දිනා යළි පාර්ලිමේන්තුවට ආවේය. ඉන් දින කීපයකට පසු ඔහු කම්කරු, නිවාස හා සමාජ සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

වසර ගණනාවක් ප්‍රමාද කරමින් තිබූ සේවක අර්ථ සාධක අරමුදල පිහිටුවා ගත්තේ ටී.බී. ඉලංගරත්න කම්කරු ඇමැතිවරයා වූ පසුවය. සේවක පක්ෂයේ යහපත සඳහා අණපනත් ගණනාවක් සංශෝධනය කළේය.
ඔහු ලියූ ප්‍රථම ළමා කතාව වන "අඹ යහළුවෝ" ප්‍රකාශයට පත් කළේද මේ යුගයේදීමය. 1959 ශ්‍රී ලනිප දෙවැනි කැබිනට්ටුවේදී ස්වදේශ ඇමැතිවරයා වූ ඔහු එතෙක් පැවැති ගම්මුලාදෑනි ක්‍රමය වෙනුවට ග්‍රාම සේවා නිලාධාරි ක්‍රමය ඇරැඹුවේය.

1960දී හේවාහැට මන්ත්‍රි වශයෙන් යළි පාර්ලිමේන්තුවට ආ ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ වාණිජ, වෙළෙඳ, ආහාර හා නැව් කටයුතු ඇමැතිවරයා විය. 1963දී මුදල් ඇමැති තනතුරට පත් ඉලංගරත්න එම වසරේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට සිංහල භාෂාවෙන් අය-වැය ලේඛනය ඉදිරිපත් කළේය.

1967දී කොලොන්නාව මන්ත්‍රිවරයා වූ හෙතෙම 1970 සමඟි පෙරමුණ ආණ්ඩුවේ විදේශීය හා දේශීය වෙළෙඳ ඇමැතිවරයා විය. 1974දී වැඩ බලන රාජ්‍ය නායකයා ලෙසද කටයුතු කළ ටී.බී. ඉලංගරත්න 1986 වනතුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේය.

ඉලංගරත්න මුදල් ඇමැතිවරයාව සිටි 1964දී එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ජගත් මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීමට සිදු විය. දින කීපයක් තිස්සේ පැවැති මේ සමුළුවට රටවල් ගණනාවකින්ම මුදල් ඇමැතිවරු සහභාගි වූහ.

එය අවසානයේ මහ බි්‍රතාන්‍ය අගමැතිවරයා එරට රක්ෂණ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවකට ඉලංගරත්න ඇමැතිවරයාට ආරාධනා කළේය. මහා බි්‍රතාන්‍යයේ එවකට පිහිටුවා තිබුණු ප්‍රධානතම රක්ෂණ සමාගම්වල ව්‍යාපාරිකයෝ ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟින් එවකට හඳුන්වා දී තිබුණු ප්‍රතිරක්ෂණ ක්‍රමය බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයන්ගේ නොසතුටට බඳුන්ව තිබිණි. ඔවුන් ඒ ගැන ඉලංගරත්න ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට වූහ.
එම ක්‍රමයට තමන් ඇතුළු සියලු බි්‍රතාන්‍ය රක්ෂණ සමාගම් අකැමැති බැවින් ඊට විරෝධය පළ කරන බවත් ඔවුහු ඇමැතිවරයාට කීහ.

රක්ෂණය කරන සියලු දේ සඳහාම ප්‍රතිරක්ෂණයක් සිදු කරනු ලැබීමෙන් පාඩු සිදුවන බව පෙන්වා දුන් ඔවුහු මේ ක්‍රමය නවතා නොදැමුවහොත් "ලංකාවේ තේ" මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවටත් ඔවුහු ඇමැතිවරයාට කියා සිටියහ.

ඔවුන් ඇමැතිවරයාට අභියෝගාත්මකව එසේ කීවේ එකල වැඩිම තේ ප්‍රමාණයක් මිලදී ගත්තේ බි්‍රතාන්‍ය නිසාත්, ලංකාව එතෙක් සම්පූර්ණයෙන්ම නිදහස නොලද රටක් වූ නිසාත්ය.

සුද්දන් ලංකාවේ තේ මිලට නොගෙන වර්ජනය කළහොත් එය ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරකි. ඒ නිසා බි්‍රතාන්‍ය තේ වෙළෙඳපොළ අහිමි කර ගත නොහැකිය. එහෙත් සුද්දන්ට හිස තබා ලංකාවේ අභිමානය නැති කර ගැනීමටත් නොහැකි බව සිතූ ඇමැති ඉලංගරත්න සුද්දන් අමතා මෙසේ පිළිතුරු දුන්නේය.

"ලංකාවේ තේ වතු බොහෝමයක අයිතිකාරයො ඉන්නෙ ඔබලාගේ රටේ. තේ කම්හල් බොහෝමයක අයිතිකාරයෝ ඉන්නෙත් ඔබලාගේ රටේ. ලංකාවේ තේ ඔබලා වර්ජනය කරන්නට පියවර ගත්තොත් ඔබලාට අපේ රටේ තේ වතු තියාගන්න බැහැ. මුදල් ඇමැති හැටියට මට පුළුවන් ඒවා ඔක්කොම රජයට පවරා ගත්තට. අපේ තේවලට වෙනත් රටවලින් වෙළෙඳපොළක් සොයාගන්න අපට පුළුවන්. ඔයගොල්ලෝ කැමැති තීරණයක් ගන්න."

ඇමැති ඉලංගරත්නගේ මේ කෙටි පිළිතුරෙන් බි්‍රතාන්‍ය රක්ෂණ සමාගම් ව්‍යාපාරිකයන්ට කටඋත්තර නැති විය. මුහුණු රතු කරගත් බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයෝ එකිනෙකාගේ මුහුණු බලා ගනිද්දී සාකච්ඡාව නිමාවට පත් කරමින් ඇමැතිවරයා නැඟී සිටියේ පිටව යන්නටය.

ප්‍රතිරක්ෂණය සම්බන්ධයෙන් තිබූ බි්‍රතාන්‍ය විරෝධය ඉල්ලා අස්කර ගැනිණි. ලංකාවේ තේ වෙළෙඳපොළට බලපෑම් කිරීමට සුද්දන්ට නොහැකි විය. සුද්දන්ට බිය නොවූ ඉලංගරත්න ලංකාවේ නියෝජිත පිරිස සමඟ ලන්ඩනයේ සතියක් ගත කර යළි ලංකාවට ආවේය.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon