අල්ලස් හෝ දූෂණ

  👤  2014 readers have read this article !
2019-01-23

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අලුත් බලතල හිමිකර දෙමින් පරීක්‍ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ පනත් කෙටුම්පත පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මුල දී විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවාදය දින නියමයක් නැතිව කල් ගියේ "අගමැති" හුටපටය නිසාය.

විශේෂ පරීක්‍ෂණ කොමිෂන් සභාවලදී අල්ලස් සිද්ධීන් පිළිබඳව විවිධ සාක්කිකරුවන් හෙළි කරන තොරතුරු පදනම් කරගෙන ඒ සාක්කිකරුවන් යළිත් කොමිසමට නොකැඳවා සෘජුවම නඩු පැවැරීමේ බලය මේ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇත. මේ බලය වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් වීමකි.

19 වැනි සංශෝධනයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට විශාල බලයක් හිමි විය. "ස්වාධීන"ව කටයුතු කිරීමට කොමිසමට ඉන් ඉඩකඩ ලැබිණි. එදා මෙදා තුර බලයට පත් වූ විවිධ ආණ්ඩු "කොමිසම" ශක්තිමත් කරන බවට පොරොන්දු දුන්නද එය දුර්වල කළා මිස ශක්තිමත් කිරීමට දායක වූයේ නැත. "ජනවාරි 8" පෙරළියෙන් රටට හිමි වූ එක් ප්‍රතිලාභයක් වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශනයට බලතල සහිත ස්වාධීන කොමිසමක් ලැබීමය. මේ පනතින් තවදුරටත් කොමිසම ශක්තිමත් වී ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ බලතල කොතරම් වැඩි කළ ද මේ රාජකාරිය දැළි පිහියෙන් කිරි පැණි කෑමක් වැනිය. කොමිසමේ හිටපු සභාපතිනි දිල්රුක්‍ෂි වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් එය පැහැදිලිය. කොමිසම පිහිටුවා බලතල ලබා දෙන්නේ දේශපාලනඥයන් වුවත් නිලධාරීන් අකුරට රාජකාරිය කරද්දී ඊට අකුල් හෙළන්නේත් ඔවුන්මය. ඊට හේතුව අන් කිසිවක් නොව අල්ලස හා දූෂණය සමඟ ඔවුන් අත්වැල් බැඳගෙන සිටීමය.

කොමිසමට ලබා දී ඇති නව බලතල නිසා නොපමාව රාජකාරිය කිරීමට නිලධාරීන්ට ඉඩකඩ ලැබේ. මුදල් හා කාලය යන වටිනා දේ ඉන් ඉතුරු කර ගත හැකිය. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පරීක්‍ෂණ ද මේ අනුව කඩිනම් වනු ඇත. එමෙන්ම ජනාධිපතිවරයා පත් කළ බරපතළ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමේ ඉදිරි කටයුතු ද අල්ලස් හෝ දූෂණ පනත යටතේ සලකා බලා සක්‍රිය කළ හැකිය.

මීට සමගාමීව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන පනත පෞද්ගලික අංශයටත් අදාළ වන සේ සංශෝධන කිරීමට කොමිසම පියවර ගෙන තිබීමද අතිශය වැදගත්ය. වත්කම් හා බැරකම් පනතේ ඇතැම් වගන්ති ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම සඳහා බුද්ධි අංශයත්, විශේෂ විමර්ශන ඒකකයත්, වෝහාරික පරිගණක අංශයත්, වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඒකකයත් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇත.

මේ අනුව බලන කල අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම බල සම්පන්න ආයතනයක් බවට පත් වනු ඇත. එය දූෂිතයන්ට හා වංචනිකයන්ට හිසරදයක් විය හැකි වුවද සාධාරණය හා යුක්තිය පතන බහුතරයකගේ හිතසුව පිණිස වනු සිකුරුය. එහෙත් ඊනියා දේශපාලනඥයන්ගේ ඇල්මෙන් බැල්මෙන් බේරී දූෂණයට එරෙහි සටන පෙරට ගෙන යෑම පනත් සම්මත කරන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon