පස් වරක් චක්කරේ

  👤  3637 readers have read this article !
2019-01-17

1994 සිට අද දක්වා යූඑන්පී නායකයා රනිල් ය. අවුරුදුවලින් නම් 25ක් ය. 5 වරක් නම් 5කි. මැතිවරණ පරාජයන් 30කට නොඅඩු ය. 5 වරක් නම් 6කි. 5 වරක් ලංකාවේ අගමැති වුණේ ය. 5 වරක් නම් 1කි. ඒ අතින් රනිල් ලෝක වාර්තාවක් තියා අවසාන ය. එහෙම බැලුවාම රනිල් කියන්නේ ලංකාවේ අපිට ආඩම්බර විය හැකි නායකයෙකි.

පළමු වරම

රනිල්ට ඉස්සෙල්ලාම අගමැති පින පෑදුණේ 1993 මැයි පළමුවැනිදා ජනපති ප්‍රේමදාස ඝාතනයෙන් පසුව ය.
ඩී.බී. ජනපති වී, කිසිදු ජනවරමකින් තොරව රනිල් අගමැති වුණේ ය. රනිල්ට වැඩි කාලයක් අගමැති වෙලා ඉන්නට ලැබුණේ නැත. 1995 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා එක ආසනයකින් දිනුවේ ය. චන්ද්‍රිකාට ආණ්ඩුවක් පිහිටුවන්න ඩී.බී. ඉඩ දුන්නේ ය. යූඑන්පී නායකත්වය ගාමිණි දිසානායකට හිමි විය. නොසිතූ මොහොතක සිදු වූ ගාමිණිගේ ඝාතනයෙන් පසු යූඑන්පී නායකත්වය රනිල්ට හිමි විය. නායකයා වී මුහුණ දුන් පළමු ජනපතිවරණයෙන් 1999දී චන්ද්‍රිකාට පරාජය වුණේ ය.

දෙවැනි වරම

2001 මහ මැතිවරණ ජයෙන් රනිල් දෙවැනි වරට අගමැති වුණේ ය. ඒත් වැඩිකල් ඉන්නට ලැබුණේ නැත. 2001දී දිනපු රනිල් 2004 වෙනකන් කළ දෙයක් නැත. සාම කතා කිය කියා සොල්හයිම්ගේ පදයට නැටුවේ ය. ජාතික ආරක්ෂාව වළ පල්ලට යන්න කලින් 2004දී චන්ද්‍රිකා විධායක බලතල පාවිච්චි කර ආණ්ඩුව විසිරෙව්වා ය. මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ මහින්ද ය. මහින්ද පරාජය කරන්න තරම් ජනතා ප්‍රසාදයක් රනිල් දිනා තිබුණේ නැත.

තෙවැනි වරම

2010 ජනපතිවරණයේදීත් මහින්දට මුහුණ දෙන්න තරම් ශක්තියක් රනිල්ට තිබුණේ නැත. ඒක නිසා ජවිපෙත් එක්ක එකතු වී සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන රේස් එක දිව්වේ ය. ෆොන්සේකා පරාජය වුණේ ය. ෆොන්සේකාගේ කරපිටින් ගිහින් ගොඩ යන වැඩෙත් හරි ගියේ නැත. 2014දීත් රනිල්ට මහින්දට එරෙහිව සටනට එන්න හයියක් තිබුණේ නැත. ඒත් නොසිතූ මොහොතක රනිල්ගේ පෙර පිනකට මෛත්‍රිපාල කඩාගෙන එළියට ආවේ ය. මෛත්‍රිගේ ජයග්‍රහණයෙන් පසු 2015 ජනවාරි 8 කිසිදු ජනවරමකින් තොරව රනිල් තුන් වැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය.

සිවුවැනි වරම

යහපාලන රැල්ලේ පිහිටෙන් 2015 පැවැති මහ මැතිවරණයෙන් මහින්ද පරදා රනිල් ජයග්‍රහණය කළේ ය. 2015 අගෝස්තු 21 වැනිදා රනිල් සිවුවැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය.

පස්වැනි වරම

මේ වරමත් රනිල් වැඩි කාලයක් අල්ලා හිටියේ නැත. ආණ්ඩුවයි අගමැතියි විතරක් නොව ජනාධිපතිත් ජනතාවට එපා වෙන තැනට වැඩ සිද්ධ වුණේ ය. බලන් ඉන්න බැරිම තැන 2018 ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රි, රනිල්ව ගෙදර යැව්වේ ය. රනිල් වටේ හිටිය සෙට් එක මේ පාර නම් වැඩේ අතහැරියේ නැත. රනිල්ව බලෙන් අල්ලලා තියා ගත්තේ ය. රනිල්ගේ කොන්දට ඉන්ජෙක්ෂන් ගැසුවේ ය. ඒකට හේතුවක්් ඇත. මහින්දගේ ආණ්ඩුවක් ආවොත් මහ උළුගෙයි තපින්නට වෙන බහුතරයක් එතැන සිටියේ ය. ඒක නිසා රනිල්ගේ අගමැතිකම බේරා ගැනීමේ මෙහෙයුම මරාගෙන මැරෙන මෙහෙයුමක් බවට පත් වුණේ ය.

කොහොමහරි උසාවි ගිහින් මෛත්‍රිගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් එක අවලංගු කරව ගත්ත රනිල් නැවතත් 2018 දෙසැම්බර් 16 වැනිදා පස්වැනි වරටත් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය.

අගමැති වෙන්න 5 වරක් වරම් ලද ලොව එකම නායකයා රනිල් ය. හැබැයි තුන් වතාවක්ම අගමැති ධුරයට පත් වුණේ ජනතා කැමැත්තකින් නොවේ ය. ඒ වගේම රනිල් අගමැති වූ පස් වතාවේම අවුරුදු දෙක තුනකට වඩා ධුරය දරන්න හැකියාවක් ලැබුණේ නැත.ඒකට හේතුවක් ඇත. අවුරුද්ද දෙක යන කොට රනිල් හැමදාම කළේ වැඩේ අනාගන්න එක ය. ඒ නිසා කවදාවත් සාර්ථක අගමැති කෙනෙක් වෙන්න රනිල්ට බැරි වුණේ ය. මොන පරාජයන් ආවත් පක්ෂයේ නායකත්වය අත හරින්නේ නැති මේ වගේ නායකයෙක් ලොව කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිටිය නොහැකි ය. තමන්ගේ කල්ලියෙන් එපිට අලුත් තරුණ නායකත්වයක් බිහි වන්නටද රනිල් ඉඩ දෙන්නේ නැත.

ජේ.ආර්.ගේ ආණ්ඩුව කාලේ සියලු පළාත් සභා මැතිවරණ යූඑන්පීය දිනුවේ ය.

ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලෙත් සියලු පළාත් පාලන මැතිවරණ යූඑන්පීය දිනුවේ ය. ප්‍රේමදාසගේ කාලේ ගාමිණි-ලලිත් කැරැල්ලෙන් ආණ්ඩුව දෙකඩ වී තිබූ මොහොතක පැවැත්වූ පළාත් සභා ඡන්දෙන් පවා යූඑන්පිය පැරදුණේ ආසන දෙකක් පමණි. ඩී.බී. විජේතුංග ජනාධිපතිව සිටියදී 1994 මහ ඡන්දෙදි චන්ද්‍රිකාට ලොකු රැල්ලක් තිබියදී පවා යූඑන්පීය පැරදුණේ එක ආසනයකින් පමණි. එජාපයේ ඡන්ද පදනම රැකගන්න රනිල්ට පුළුවන් වුණේ නැත. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී යූඑන්පීයට වෙච්ච දේ දිහා බැලුවම ඉතා සරල නිගමනයකට එන්න පුළුවන් ය. එනම්, පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දයත් යූඑන්පීය පරදින්නට ඉඩ තිබෙන බව ය.

ආණ්ඩුව ඡන්දය මඟහරින්නේ ඒ බව හොඳින්ම දන්නා නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑ ගැසූ රනිල්ලා දැන් ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව පළාත් සභා ඡන්දය පවත්වන තුරු රටේ ජනතාව බලා සිටින්නේ ය. මාධ්‍ය පස්සේ පන්නන සිවිල් සංවිධාන මහත්තුරුන්ට මේවා පෙනෙන්නේ නැත.

යූඑන්පීයේ ඊළඟ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට තීරණය කර ඇත. කොහොම නමුත් ඒ හැර වෙන විකල්පයක් යූඑන්පීයට නැත. සුමන්තිරන්ලා, මාවෙයි සේනාධිරාජලා උතුරේ කියවන කතා දැන් දකුණේ අයගේ කන්වලටත් වැටී හමාරය. ඒ කතා ඇහුවාම රනිල්ට කැමැති යූඑන්පී අල්පතරයෙත් අදහස වෙනස් වන්නට බැරි නැත. උතුරේ ඡන්ද නැතිව රනිල්ට පැවැත්මක් නැත. රනිල් ජනතාව ගැනවත් රට ගැනවත් හිතන නායකයකු නොවේ ය. බලය රැක ගැනීම උදෙසා සුමන්තිරන්ලා, සේනාධිරාජලා ගහන ගහන පදේට නටන්නට රනිල් සැදී පැහැදී සිටින්නේ ය. "අපිත් එක්ක සාකච්ඡා නොකර කැබිනට් තීරණ ගන්න බෑ" කියා සේනාධිරාජා උතුරේ වැසියන්ට කියන්නේ ඒ නිසා වන්නට ඇත.

රනිල් ගහන ගේම් සජිත්ට කල් තියා වැටහෙන්නේ නැත. රනිල් කුරුමානම් අල්ලන්නේ අගමැතිකමට ය. සජිත් ජනපති අපේක්ෂකයා කර තමන් අගමැති වී අගමැතිට බලය පවරා ගැනීම රනිල්ගේ ප්ලෑන් එක ය. රනිල් මෛත්‍රිට කරන්න හැදුවෙත් ඒක ය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon