බණ්ඩාරනායක ගුණ සමරුවේදී චන්ද්‍රිකා මන්ත්‍රීන්ට ගොරවපු හැටි

  👤  4325 readers have read this article !
2019-01-13

සම්මුතිවාදී ආණ්ඩුව මෙන්ම එජාප ආණ්ඩුවද බලයට පැමිණියේ ජනමාධ්‍ය සඳහා පූර්ණ නිදහසක් ලබාදෙන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දෙමිනි. එහෙත් මේ වනවිට සිදුව ඇත්තේ "කළු මාධ්‍ය" යැයි පවසමින් ස්වාධීන මාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් විරෝධතා දැක්වීමය. ආණ්ඩුව සෘජුවම විවේචනය කරන මාධ්‍ය ආයතන සඳහා මෙම විරෝධතා දැක්වීමද විශේෂත්වයකි. අගමැති රනිල් පසුගියදා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතනවලට "කළු මාධ්‍ය" යැයි ප්‍රසිද්ධියේම චෝදනා කිරීමත් සමඟ ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් එය ඉදිරියටම ගෙන යෑමට දැඩි වෙහෙසක් ගත්හ. එම සිවිල් සංවිධානවල සිටින පුද්ගලයෝ ආණ්ඩුවෙන් විවිධ වරදාන, වරප්‍රසාද භුක්ති විඳිමින් මෙරට ස්වාධීන මාධ්‍යවලට එරෙහිව චෝදනා කරමින් කටයුතු කළහ. ආණ්ඩුවෙන් ලබා ගන්නා වරදාන වරප්‍රසාද හෙළි කිරීමට මාධ්‍ය ගත් තීන්දුවලට ඔවුහු පහර ගැසූහ.

ආණ්ඩුවේ වරප්‍රසාද ලබමින් ගත කරන එම දෙබිඩි චරිත ගැන හෙළි කරද්දී එම මාධ්‍යවලට ඔවුන් "කළු මාධ්‍ය" යැයි චෝදනා කළේය.

අගමැතිවරයාද පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙස බලමින් දැඩිව කීවේ "කළු මාධ්‍ය" වන්දි ගෙවීම සඳහා චෙක්පත් සූදානම් කර ගනිමින් සිටින්නැයි කියාය. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකද කළු මාධ්‍ය ගැන අදහස් දැක්වීය.

එම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස බ්‍රහස්පතින්දා ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල සහ සිවිල් සංවිධානවල පිරිසක් මෙරට ස්වාධීන මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් විරෝධතා දියත් කළහ. එම පිරිස "මව්බිම" පුවත්පතේ ප්‍රධාන කාර්යාලයද වැටලීමට උත්සාහ කළහ. එහි සේවකයන් ඔවුන්ට දැඩි විරෝධය දැක්වීමත් සමඟ මෙම පිරිස විසිර ගියේ "හූ" හඬ මධ්‍යයේය.

මාධ්‍යයට පූර්ණ නිදහසක් ලබාදෙන බවට පවසමින් බලයට පැමිණි ආණ්ඩුව දැන් "කළු මාධ්‍ය" යැයි පවසමින් ස්වාධීන මාධ්‍ය ආයතනවලට කඩාපැන විරෝධය දැක්වීම ගැන රටේ ජනතාව තුළ ඇත්තේ පිළිකුලකි. මාධ්‍යයට ආදරය කරන පිරිසද ආණ්ඩුවේ මෙම ක්‍රියාව අනුමත කරන්නේ නැත.

රටක මාධ්‍ය මර්දනය කිරීම යනු ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරකි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මෙරට මධ්‍යය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද අද විනාශ වෙමින් පවතින බව නොරහසකි.


ලක්ෂ්මන් වසන්ත උඩුගුවනේදී මෛත්‍රිට පෙන්නුවේ මොනවාද?

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික උත්සවය පසුගිය සෙනසුරාදා පෙරවරුවේ මාතලේ අලුවිහාරේදී පැවැත්විණි. ඊට සහභාගිවීම සඳහා සිකුරාදා පස්වරුවේ මහනුවර බලා පිටත්ව ගියේය. එදින රාත්‍රියේ මහනුවර ජනාධිපති මන්දිරයේ නවාතැන් ගත් ජනාධිපතිවරයා පසුදින පෙරවරුවේ මාතලේ බලා පිටත් විය.

මේ අවස්ථාවට සහභාගි වීම සඳහා දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක්ද කොළඹ සිට මාතලේ බලා සිකුරාදා පස්වරුවේ පැමිණ සිටි අතර ඔවුන් නවාතැන් ගෙන තිබුණේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රිවරයාට අයත් 'ග්‍රෑන්ඩ් මවුන්ට්' හෝටලයේය. ඔවුහුද ජනාධිපතිවරයා පැමිණීමට මඳ වේලාවකට පෙර විහාරස්ථානයට පැමිණ සිටියහ.

මෙම උත්සවය සඳහා එජාප මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව සිටියහ. උත්සවයේදී ජනාධිපතිවරයා කීවේ සිය ජීවිතයේදී කළ උතුම්ම පින්කම මෙය බවය. ජාතික උරුමයක් කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමද සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී කීවේය.

උත්සවය අවසානයේ ආරාධිතයන් වෙනුවෙන් විහාරස්ථානයේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර එය අවසන් කළ ජනාධිපතිවරයා කොළඹ බලා පැමිණීමට සූදානම් විය. ලසන්ත සහ ලක්ෂ්මන් වසන්තද ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයෙන්ම කොළඹ බලා පැමිණීමට සූදානම් වූහ. හෙලිකොප්ටරයේ යන අතරතුර මාතලේ නගරයේ පිහිටා ඇති සිය හෝටලය ලක්ෂ්මන් වසන්ත මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට පෙන්වීය.
'ආ.... ඒකේ නේද දයාසිරිලා හිටියේ. මැනේජර්ස්ලට කට්ටියගෙන් බිල ගන්න කියලා සෙට් කරලා ඔයා කොළඹ යනවා නේද?'

මෛත්‍රි සිනාසෙමින් ලක්ෂ්මන් වසන්තට විහිළුවක් කළේය.

'නෑ සර්... එහෙම කරන්නෙ නෑ.' ලක්ෂ්මන් වසන්තද සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

ඔය අතරවාරයේ ලසන්ත අලගියවන්න මන්ත්‍රිවරයා දයාසිරිට දුරකථන ඇමැතුමක් දුන්නේය.

'පේනවා නේද මචං උඹලගෙන් ගානට බිල ගන්න කියලා ලක්ෂ්මන් අපිත් එක්ක කොළඹ යනවා. ජනාධිපතිතුමත් දැන් ඇහුවේ ඒකම තමයි' අලගියවන්න මන්ත්‍රිවරයා කීවේය.

හෝටලයෙන් යෑමට සූදානම් වෙද්දී ඩිලාන්ද ලක්ෂ්මන්ට ඇමැතුමක් ගෙන විහිළුවක් කිරීමට අමතක කළේ නැත.

'මචං ලකී. එහෙනම් අපි යන්න කියල හදන්නෙ. මැනේජර් කෙනෙක් බිල ලෑස්ති කරලා දුන්නා. අපි ඒකත් ගෙවලම යනවා. එහෙනම් බොහොම ස්තූතියි. කළ උදව්වට' ඩිලාන් කීවේ සිනා සෙමිනි.

'මොන පිස්සුද? කවුද මැනේජර්. කවුද සල්ලි දෙන්න කිව්වේ. නෑ. නෑ. සල්ලි දෙන්න එපා. පිස්සුද මචං.' යැයි ලක්ෂ්මන් වසන්ත මන්ත්‍රිවරයාද කීවේය.

'ආ... පේනවා නේද ඕකනෙ මම කිව්වේ. ඔක්කොම ලෑස්ති කරලා මේ කොළඹ යන්නෙ කියලා' ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර සඳුදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වාර්ෂික පිරිත් සජ්ජායනාය පැවැත්විය. ඒ සඳහා ජනාධිපතිවරයාද සහභාගි වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ද සහභාගි වූහ. පසුදින හීල් දානමය පින්කම සඳහා සහභාගි වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව කෙළින්ම ගියේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ඇති බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහාය. මේ සඳහා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක්ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්ව සිටියහ.

පළමුව ජනාධිපතිවරයා පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආපසු හැරෙනවාත් සමඟම චන්ද්‍රිකා එම ස්ථානයට පැමිණියාය. ඇය වාහනයෙන් බහිනවාත් සමඟම මෛත්‍රි අනෙක් පසින් පැමිණ සිය මෝටර් රථයට නැඟීමද විශේෂත්වයකි.

'මාව දැක්කෙ නෑ වගේ ගියා පේනවා නේද?' වාහනයෙන් බහිනවත් සමඟ චන්ද්‍රිකා එහි සිටි පිරිසට කීවාය. අනතුරුව ඇය ඉසුර එහි සිටින බව දුටුවේය. මල් කලඹක් අතැතිව සිටි ඉසුර චන්ද්‍රිකා දෙස බැලුවේය. ඇය ඔරවමින් එතැනට පැමිණියාය. මාව අයින් කරන්න කතා කරලා තියෙන්නෙ හ්හ.. මම තවම පක්ෂයේ ඉන්නවා.' යැයි චන්ද්‍රිකා කීවාය.

ඉසුර ඇයට කිසිවක් නොකියන්නට වගබලා ගත්තේය. අනතුරුව ඉසුර සිය මල් කලඹ තබා උපහාර දැක්වීමෙන් පසු ඉන් පිටව ගියේය.

මේ අවස්ථාවේ විජිතමුනි සොයිසා මන්ත්‍රිවරයා එහි සිටිනු දුටු චන්ද්‍රිකා ඔහු අසලටම ගියාය.

'පසුගිය කාලේම අපි කතා කළාම ෆෝන් එකටවත් ආවේ නෑ' දැන්වත් තේරෙනවාද කට්ටියගේ තරම' චන්ද්‍රිකා කීවාය.

'අනේ... නෑ මැඩම්... මැඩම් කතා කරන්කො අපි එන්නම්.' යැයි සොයිසා මන්ත්‍රිවරයා බැගෑපත්ව කීවේය.

මේ අතර පසුගිය සිකුරාදා නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙන පුවත සැලවූ පසු ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා මෛත්‍රි හමුවීමට ගියේය.

'සර්.. අපේ තාත්තාව නම් මාරු කරන්න එපා. දැන් වයස 86යි. ඕක අයින් වුණොත් ඒ ගැන හිතලා අසනීපයක්වත් හැදෙයි' ඩිලාන් කීවේය.

ඉන් නතර නොවුණු ඩිලාන් මෛත්‍රිට කීවේ අවශ්‍ය නම් තමන් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් කියාය.

අනතුරුව ඩිලාන් මන්ත්‍රිවරයාගේ පියාගේ ආණ්ඩුකාර තනතුර වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කෙළේය.

එහෙත් උෟව පළාතට පත්කෙරුණු නව ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාට උෟව මහ ඇමැති චාමර සම්පත් දසනායකයන් විරෝධයක් එල්ල විය. ඔහු මෛත්‍රිටද දුරකථනයෙන් කතා කර නව ආණ්ඩුකාරවරයාට විරෝධය දැක්වීය. ඊට හේතුව වී තිබුණේ පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ උෟවේ පාසල් ගුරුවරියක දණ ගැස්සූ සිද්ධියට එරෙහිව තෙන්නකෝන් මහතා දැඩිව පෙනී සිටීමය.

භාතිය - සන්තුෂ් ගායක දෙපළගේ ගායන ජීවිතයට විසි වසරක් පිරීම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ප්‍රසංගයක් පැවැත්විණි. ඒ සඳහා ජනපති මෛත්‍රි, අගමැති රනිල් මෙන්ම විපක්ෂනායක මහින්දද එක්ව සිටීම විශේෂත්වයකි. ජනාධිපතිවරයා මැදිකර ගනිමින් අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා අසුන් ගෙන සිටීමද විශේෂත්වයකි. එහිදී ඔවුන් තිදෙනා සිනාමුසු මුහුණින් ආගිය තොරතුරු කතාබහ කිරීමද විශේෂත්වයකි. අගමැතිවරයා පළමුව ප්‍රසංගයෙන් පිටව ගිය අතර පසුව සජිත්ද පැමිණියේය. සජිත් පැමිණ මද වේලාවකින් ජනාධිපතිවරයාද ඉන් නික්ම ගිය අතර මහින්ද ප්‍රසංගයේ අවසන් ගීත දෙක ගායනා කරන තුරුම රැදී සිටීම විශේෂත්වයකි.

රවි _ මංගල
ආයෙත් ඇවිළෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳුදා දින පෙරවරුවේ පැවැත්විණි. සාමාන්‍යයෙන් අඟහරුවාදා පෙරවරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම එදින පැවැත්වුණේ ලග්ගල හරිත නගරය විවෘත කිරීමට තිබූ බැවිනි. මෙහිදී පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මංගල සමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට රවි විරෝධය පළ කිරීම පිළිබඳව යළි සාකච්ඡාවට බඳුන් විය.

ජනවාරි 24 දින වනවිට විදේශීය ණය වාරික ගෙවිය යුතු ආකාරය පිළිබඳ මංගල ඉදිරිපත් කළ යෝජනාවකට රවි විරෝධය පළ කළත් එම විරෝධතා පසුගිය රැස්වීමේ අනු සටහන්වල නොමැති බවට රවි යළි ප්‍රකාශ කළේය. එවිට අග්‍රාමාත්‍යවරයා සහ රාජිත පෙන්වා දුන්නේ පත්‍රිකාවල විරෝධතා කිසිවක් සටහන් නොකරන බවයි. අඟහරුවාදා දින ලග්ගල හරිත නගරය විවෘත කරන බැවින් ඊට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට මෙහිදී දැනුම් දීමද විශේෂත්වයකි.

මේ අතර ලග්ගල හරිත නගරය විවෘත කිරීමේ උත්සවයට අමාත්‍යවරුන් හෙලිකොප්ටර් යානා මඟින් ලග්ගල බලා පිටත්ව ගියේ අඟහරුවාදා උදෑසනයි. ජනාධිපතිවරයා ද එම අවස්ථාවට කොළඹ සිට හෙලිකොප්ටර් යානයෙන් ලග්ගල බලා පිටත් වූයේය. පළමුව ලග්ගල නගර මධ්‍යයේ විවෘත කිරීම් රැසක් ජනාධිපතිවරයා සමඟ සිදු කළ මැති ඇමැතිවරුන් ලග්ගල ගල විවෘත කිරීමට නගර මධ්‍යයට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා දැක 'ආයුබෝවන් ඩොක්ටර් ඔබතුමත් ආවද' කියා විමසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයාද ආචාර කළේය. අනතුරුව ජනාධිපතිවරයා සමඟ එක්ව ලග්ගල නව ප්‍රාදේශීය රෝහල විවෘත කිරීමෙන් පසු ලග්ගල නව පාසලද විවෘත කිරීමේ අවස්ථාවට රාජිත එක් වූයේය. අනතුරුව ජනාධිපතිවරයා සමඟ දිවා ආහාරයට එක් වූ මැති ඇමැතිවරුන් ඉන්පසු පාර්ලිමේන්තු යෑමට ඇති බැවින් කඩිනමින් කොළඹ බලා පිටත් වීමද විශේෂයකි.

ආණ්ඩුකාරවරු

ගහන ගේම් එකක් ගැන නවීන් අගමැතිට හෙළි කරයි

පසුගිය සෙනසුරාදා දකුණු පළාතේ සංචාරයකට ගිය අගමැතිවරයා එහිදී ආගමික කටයුතුවලට මුල්තැන දීමට ක්‍රියා කළේය. මුලින්ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගොස් පුද පූජා පැවැත්වූ ඔහු අනතුරුව ගියේ කතරගම පුදබිමටය. එහිදී කිරිවෙහෙර වැඳපුදාගත් අගමැතිවරයා අනතුරුව කතරගම මහ දේවාලයේදී පුද පූජා පැවැත්විය. එපමණක්ද නොව වැඩිහිටිකන්ද වන්දනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ඉහත කී සියලු පුදබිම්වලදී රැස්ව සිටි ජනතාව සමඟද සතුටු සාමීචියේ යෙදීමටද අගමැතිවරයා අමතක කළේ නැත.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු යෑමට පෙර රාජකාරි කිහිපයක් ඉටු කිරීම සඳහා අරලියගහ මැඳුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් හා සමීප මාධ්‍යවේදීන් දෙදෙනකු සමඟද කතාබහ කළේය.

'ඊයේ කරන්දෙණිය ඉස්කෝලෙදී ඔබතුමා කළ කතාව වටිනවා. පාර්ලිමේන්තුවටත් වඩා අද පාසල් සිසුන් අතරේත් හොඳ විනයක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු විනයත් මුලින් අඩු ගානේ පාසල් දරු දැරියන්ගේ විනය මට්ටමටවත් ගෙන ඒම අත්‍යවශ්‍යයි කියපු එක ඉතා වැදගත් විග්‍රහයක්' වජිර කී දේට ගයන්තද එකඟ විය.

'ජනතාවට උපරිම සහන දෙන අපේ අය-වැය 'බ්ලාස්ට්' කරලා අය-වැය මැදදී ජනාධිපතිවරණයක් කැඳවන්නත් සමහරු ජනාධිපතිට බල කරනවා කියලා ආරංචියි' කිරිඇල්ල කීවේය.

'පස්ස ‍ෙදාරෙන් අගමැතිකමයි ආණ්ඩුවයි කොල්ලකාලා නඩු ටික යට ගහගන්න උත්සාහ කරලා බැරි වූ නිසා දැන් ජනාධිපතිවරණයක් කැඳවලා ජනාධිපතිතුමා බිල්ලට දීලා හරි අවසාන තුරුම්පුව ගහන්නයි මේ හොර නඩය උත්සාහ කරනවා කියලා කියන්නෙ' රංජිත් අලුවිහාරේ කීවේ සිනාසෙමිනි.

'යූඑන්පී කාරයො ගැන වැඩියෙන්ම බලපු ඇමැතිවරු කීපදෙනා අතර කිරිඇල්ල ඇමැතිතුමා ඉන්නවා කියන එක රටේ මතයයි. ඒත් ආණ්ඩුව බේරගන්න උපරිම සටනක් දීපු නිසා විෂයන් ගැසට් කිරීමේදී ඔබතුමාටයි වැඩිම අසාධාරණය වෙලා තියෙන්නේ. ඒක නිවැරැදි වෙන්නෙ නැද්ද?' චමින්ද විජේසිරි විමසුවේ අගමැති දෙස බලමිනි.

'නැහැ, නැහැ, එයාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා මම වගේම ජනාධිපතිතුමාත් ප්‍රසිද්ධියේ පොරොන්දු වුණා. ඒ නිසා ඉක්මනින්ම කිරිඇල්ල ඇමැතිතුමාට සාධාරණයක් ඉටුවේවි' අගමැතිවරයා කීවේය.
'පළාත් සභාවල හිටපු පරිණත ආණ්ඩුකාරවරු ඉවත් කරලා ඒ වෙනුවට රනිල් අගමැතිතුමාටයි එජාපෙටයි දැඩි ලෙස විරුද්ධ දේශපාලන අත්දැකීම් නැති පිරිසක් ආණ්ඩුකාරවරු ලෙස පත්කිරීම පුදුමයක්. විශේෂයෙන් නැඟෙනහිර පළාත විදෙස් ආයෝජන හරහා දියුණු කිරීමේ රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයාගේ හා අනෙක් පළාත්වල සංවර්ධනයත් ඇනහිටින්න පුළුවන්' හේෂා විතානගේ බෝම්බයක් පත්තු කළේය.

'මැතිවරණ ව්‍යාපාරයක් සඳහා රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ අල්ලගෙන මරාගෙන මැරෙන ගේම් එකක් දෙන්න නව ආණ්ඩුකාරවරු පත් කළා කියලත් කියනවා' නවීන් කීවේය.

'නව පත්වීම් ලබපු අය ආණ්ඩුකාරවරුන්ට වඩා ඒ ඒ පළාත්වල ශ්‍රී ලනිපයේ ප්‍රධාන සංවිධායකවරු කියලත් සමහරු කියනවා' නවීන් දිසානායක අලුත් කතාවක් කීවේය.

'ප්‍රේමදාස මහතා පටන්ගත්ත, චන්ද්‍රිකා ඉස්සරහට තල්ලු කරපු, මහින්ද දැඩි ලෙස උනන්දු වූ හා මේ රජය ඉදිකළ මාතර - බෙලිඅත්ත නව දුම්රිය පාරේ ගියපු පළමු දුම්රියට මහින්දගෙ බැනර් ගහලා හෙන්චයියො ටිකක් ඇවිත් මහ කලබලයක් කළා. එහෙමනම් අනෙක් හැම කෝච්චි පාරක්ම ඉදිකරපු මහ රැජනගේ හෝ බි්‍රතාන්‍ය අගමැතිගෙ පින්තූර ගහන්න වෙනවා මන්ත්‍රිවරයෙක් කීවේය.

'ජනතා මුදලින් හා අධික ණයවලින් හදන දේවල්වලට නම ගහගන්න සමහරුන්ට තියෙන දැඩි ආශාව ඔබතුමාට නැත්තෙ ඇයි?' අජිත්
පී. පෙරේරා රනිල්ගෙන් ප්‍රශ්න කළේ දැඩි සිනහවක්ද සමඟිනි.

'ජනතා මුදලින් හදන දේවල්වලට තියා අතේ මුදලින් හදන දේකට පවා නම නොගහන එක මගේ නෙවෙයි ඒක එජාප සම්ප්‍රදායයි. ජේ.ආර්. මේක කළේම නෑ. ප්‍රේමදාස උපන්දින උත්සවයක් නම් තිබ්බා. හැබැයි ඒකෙන් වැඩිම වාසිය වුණේ ඒ ඒ පළාත්වල මිනිස්සුන්ටයි.' අගමැතිවරයා අතීතය විස්තර කළේය.

'ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ළමයා ලංකාවෙන්ම පළමු වැනියා වීමට විරුද්ධව බන්දුල ගුණවර්ධන මුළු රටම විරුද්ධ වෙද්දි තාම තනියම නානවා. අධ්‍යාපන ඇමැති අකිලයි වත්මන් විභාග කොමසාරිසුයි රටට ඇත්ත පැහැදිලි කළා. බන්දුල අධ්‍යාපන ඇමැති කාලෙ පවා තිබුණු ක්‍රමයයි අදත් ක්‍රියාත්මක වෙන්නෙ. එහෙම එකේ අසරණ දරුවෙක් අල්ලගෙන බන්දුල ගුණවර්ධන කරන මේ අශිෂ්ට වැඩේට රටම විරුද්ධයි' දයා ගමගේ කීවේය.
'බොහෝ ජනමාධ්‍ය සමබර නොවී රට නොමඟ යවනවා. තමන්ගෙ අඩු පාඩු හදාගන්නෙ නෑ. ඒ අයට ජනතා දේපළක් වූ සංඛ්‍යාත පාවිච්චි කරලා ජනතාව නොමඟ යවන්න අයිතියකුත් නෑ. ඒ නිසා 'කළු මාධ්‍ය' කියලා බනිනනවා, රජයේ දැන්වීම් දෙන්නෙ නෑ කියලා ආඩපාලි විතරක් කියල හරියන්නෙ නෑ' චමින්ද විජේසිරි කීවේය.

'දැන් මේ ව්‍යවස්ථා මර උගුලක් කියලා ජනමාධ්‍යයි හාමුදුරුවරුයි පොහොට්ටු හා

ශ්‍රී ලංකාකාරයොයි උදේ _ හවස මොරදෙනවා. නිමක් නෑ, රට නොමඟ යවන මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ පැහැදිලි කිරීමත් ඉතා මදි' නවීන් කීවේ අගමැතිටය.

'සිකුරාදාට නව ව්‍යවස්ථාවේ විශේෂඥ වාර්තාව හා අනෙක් වාර්තා ඔක්කොම පාර්ලිමේන්තුවට දානවා. ව්‍යවස්ථා සභාව ඒවා අධ්‍යයනය කරලා ඉදිරියට යන්න කිව්වොත් යනවා. නැත්නම් මේක නවතීවි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විමසුමකින් සම්මත නොවී නව ව්‍යවස්ථාවක් ගේන්න බැරි බව මේ කෑගහන අය දන්නවා' අගමැතිවරයා කළ පැහැදිලි කිරීමට කාගේත් එකඟත්වය පළවිය.

විපක්ෂ නායක අවුල
විසඳුණු අයුරු

මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධුරය සම්බන්ධව තවදුරටත් පැවැති වාද විවාද නිමාවට පත් කරමින් කථානායකවරයාගේ තීන්දුව පසුගිය සතියේ යළි ප්‍රකාශයට පත් කළේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාය.

කරුණු අධ්‍යයනය කර කථානායකවරයා මුල් අවස්ථාවේදීම ස්වකීය තීරණය ප්‍රකාශයට පත්කර තිබූ බැවින් ගැටලුවකින් තොරව විපක්ෂ නායක ධුරය සම්බන්ධ අර්බුදය නිමාවට පත් කර ගත හැකි විය.

කෙසේ වෙතත් කථානායකවරයාගේ තීරණයෙන් වඩාත් උද්දාමයට පත්ව සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුය. ඔවුහු සිය මේසවලට තට්ටු කරමින් සිය සතුට පළ කළහ.

මේ අතර පසුගිය සතියේ කථානායකවරයා පාර්ලිමේන්තුවට සහභාගි වූයේ නැත. එයට හේතුව වූයේ මොල්ටාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ භුමිකාවක් හිමි කරු ජයසූරිය මහතා එයට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් සිටීමය.

මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැටී්‍රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සුවිශේෂ අනුග්‍රහයක් ලබාදෙන මහ බි්‍රතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පදනමේ ප්‍රධානීන් සමඟද කරු ජයසූරිය මහතා විශේෂ සාකච්ඡා පැවැත්වීය.

මෝල්ටාව බලා පිටත්ව යෑමට පෙර ආරක්ෂක ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට ලැබී ඇති අවස්ථාව නිසි පරිදි යොදා ගැනීම පිළිබඳවය.

ආරක්ෂක ලේකම්වරයා, මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, යුද හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ සඳහා එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික හමුදාවට ඇති අවස්ථාව පුළුල් වීමෙන් ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම රටටද සුබවාදී ප්‍රතිඵල රැසක් අත්පත් කර ගත හැකි බැවින් එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත යුතු බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.

ආණමඩුවේ ගිහින් මහින්ද හැරවුම් ලක්‍ෂ්‍යය හොයයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන 'ගම සමඟ පිළිසඳරක්' වැඩසටහන පසුගිය සතියේ ආරම්භ කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඊට සමගාමීව රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදිය හැකි නාට්‍යමය වැඩසටහනක අවශ්‍යතාවක් දැනුණු නිසා බැසිල් කතා කළේ සුදත් රෝහණ ඇතුළු පොදුජන පෙරමුණේ කලාකරුවන් පිරිසකටය.

ඒ අනුව කලාකරුවන් සහ බැසිල් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා පැවැත්විණි. තමන්ට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ හැකි නාට්‍යමය වැඩසටහනක් බව බැසිල් කලාකරුවන්ට කීවේ එහි අඩංගු විය යුතු කරුණු ඉදිරිපත් කළ යුතු ආකාරය යනාදිය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් පැහැදිලි කරමිනි. සාකච්ඡාවෙන් අනතුරුව කලාකරුවකු කීවේ 'අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. බැසිල් ඇමැතිතුමා සේරම පැහැදිලි කළා. හරියට ස්ක්‍රිප්ට් එකක් වගේ' කියාය.

ඒ අනුව කලාකරුවන්ගේද දායකත්වය ලැබුණු ගම සමඟ පිළිසඳරක් මංගල සම්මන්ත්‍රණය පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේය. ඒ මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේ පැවති හෝටලයකදීය. බැසිල්, ප්‍රසන්න, ලාන්සා, සුදර්ශනී, රණවීර, ඉන්දික සමඟ කලාකරුවන් නියෝජනය කරමින් සුදත් සමඟ රෝහණ දේව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

සම්මන්ත්‍රණය ආරම්භයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන ප්‍රසන්නගේ උපදෙස් පරිදි සකස් කෙරුණු වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කරන ලදී. ඉතාමත් සිත්ගන්නාසුලු ආකාරයට සකස් කර තිබුණු එම වාර්තා වැඩසටහන දෙස බැසිල් බලා සිටියේ මහත් කැමැත්තකිනි.

'හරිම ලස්සන වැඩක්' බැසිල් ප්‍රසන්නට ප්‍රශංසා කළේය.

'අපි දවස් දෙකක් ඇතුළත තමයි ඕක හැදුවේ. තව සංස්කරණ වැඩ ටිකකුත් තියෙනවා' ප්‍රසන්න පැවැසීය.

'වැඩ ටික ඉවර කරලා මට ඕක දෙන්න. ඕක ලංකාව පුරාම අපේ වැඩසටහන්වලදී ප්‍රචාරය කරන්න පුළුවන්' බැසිල් පැවැසීය. සාකච්ඡාවෙන් අනතුරුව පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබුණේද එම ස්ථානයේදීමය. දිවා ආහාරය ගන්නා අතරතුර පිරිස වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළේය.

'පොදුජන පෙරමුණ කියන්නේ කෙටි කාලයක් ඇතුළත ලොකු ගමනක් ගිය පක්‍ෂයක්. රටේ තිබුණු පරණ පක්‍ෂ සේරටම දැන් අභියෝගයක් වෙලා තියෙන්නේ පොදුජන පෙරමුණයි' බැසිල් පැවැසීය.

'ඒක නම් ඇත්ත. ගම්වල මිනිසුන්ගේ හිත්වල පොහොට්ටුව කියන ලකුණ නොමැකෙන විදියට ඇඳිලා ඉවරයි. හරියට මහින්ද මහත්තයාගේ රූපේ ඇඳිලා තියෙනවා වගේ' ප්‍රසන්න කීවේය.

'ලංකාවේ මේ වෙන කොට තියෙන ලොකුම තනි පක්‍ෂය තමයි පොහොට්ටුව' ලාන්සා පෙන්වා දුන්නේය.

'මම මේ කියන්නේ අපි මොන සන්ධාන ගැහුවත් අපේ ලකුණ වෙන්න ඕනේ පොහොට්ටුව කියන එකයි. පොහොට්ටුව කියන්නේ අපේ ජය ලකුණ. ඒක වෙනස් කරන්න බැහැ' ප්‍රසන්න අවධාරණය කළේය.

'එක්සත් ජාතික පක්‍ෂයට දැන් තමන්ගේ ප්‍රශ්නවලට වඩා ලොකු වෙලා තියෙන්නේ අපේ දේවල්. අපේ ජනාධිපති අපේක්‍ෂකයා, අපේ පක්‍ෂය ඕවා තමයි මේ අය වේදිකාවලට ඇවිත් කතා කරන්නේ. ආණ්ඩුව භාර ගත්තා නම් ඒක හරියට කරන්නේ නැතිව අනුන්ගේ දේවල් හොය හොයා යන පක්‍ෂයක් බවට අද එක්සත් ජාතික පක්‍ෂය පත් වෙලා' බැසිල් පැවැසීය.

'අවුරුදු හතරක් රට පාලනය කරලත් කරපු දෙයක් නැති කොට මිනිස්සු ඉස්සරහට ගිහින් වෙන මොනවා කියන්නද? මහින්ද මහත්තයා ගැන කියන බොරු මිනිස්සු පිළිගන්නෙත් නැහැනේ. ඒ නිසා ඉතින් වාචාලකමට ‍ෙදාඩව ‍ෙදාඩවා ඉන්නවා' ලාන්සා පැවැසීය.

'ඇත්තටම අර්බුදය තියෙන්නේ අපේ පැත්තේ නෙවෙයි එක්සත් ජාතික පක්‍ෂයෙයි. ඒක වහගන්න තමයි නැති අර්බුද හදන්න උත්සාහ කරන්නේ. මොකක් හරි ඡන්දයක් ආවොත් එක්සත් ජාතික පක්‍ෂය දෙකට තුනට කැඩෙන හැටි බලාගන්න පුළුවන්' ප්‍රසන්න ඉඟියක් දුන්නේය. ආණමඩුව නගරයේ ඉදිකෙරුණු නව වෙළෙඳ සංකීර්ණය 07 වැනිදා විවෘත කෙරුණේ මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. ඒ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආරාධනයෙනි. සභාපතිවරයා විවෘත කිරීම සඳහා මහින්දට ආරාධනා කළේ සතියකට පමණ පෙරය.

'සර්ගේ කාලේ අපි හදන්න ගත්තු වෙළෙඳ සංකීර්ණයේ වැඩ දැන් ඉවරයි. සර්ම ඇවිත් ඒක විවෘත කරනවා නම් හොඳයි' සභාපතිවරයා පැවැසීය.

'හරි මම එන්නම්. අපි දිනයක් දාගමු' මහින්ද කීවේය.

'සර් අපි ඉක්මනට මේක විවෘත කරමු. මොකද නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්' සභාපතිවරයා පැවැසුවේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඇති නිසා මහින්දට ඉඩ නොතබා වෙනත් අය විසින් වෙළෙඳ සංකීර්ණය විවෘත කරන්නට ඉඩ ඇති නිසාය.

ඒ අනුව මහින්ද සනත් නිශාන්ත ඇමතුවේය. 'සනත් අර ආණමඩුවේ වෙළෙඳ සංකීර්ණය විවෘත කරන්න එන්න කියලා කියනවා. හැබැයි ඉක්මනට එන්නලු. මොකද කරන්නේ?' මහින්ද ඇසුවේය.

'ඔව් සර්. අපි ඒක ඉක්මනට විවෘත කරලා දාමු' සනත් උත්තර දුන්නේය. ඒ අනුව මහින්ද පසුගිය 07 වැනිදා ආණමඩුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය. අරුන්දික, පියංකර, සනත් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. උත්සවයෙන් පසුව පිරිස කතා කරමින් සිටින අතරතුර මහින්ද ඇසුවේ 'කෝ අර තමුන්නාන්සේලාගේ පැත්තේ ලක්ෂේ?' කියාය.

අරුන්දිකට එය එක්වරම වැටහුණේ නැත. 'මොන ලක්ෂය ද සර්?' අරුන්දික ඇසුවේය.

'නෑ මං ඇහුවේ අර හැරවුම් ලක්ෂේ ගැන' මහින්ද සිනාසෙමින් කීවේය.

'ආ එයාද? දැන් ඉන්නවා කැබිනට් ඇමැතිකමක් උඩින් වැටෙනකම් බලාගෙන' සනත් පැවැසීය.

'වැටෙයි වැටෙයි ඔහොම යනකොට' අරුන්දිකද සිනාවට එක්විය.

'මිනිහට දැන් වෙලා තියෙන්නේ ලැජ්ජාව වැඩිකමට වහ කාලා කැලේ රිංගන්න' පියංකර පැවැසීය.

'මහ ලොකුවට හිතාගෙන හිටියට රනිල්ලට රංගේ බණ්ඩාරලා කියන්නේ පයට පෑගෙන දූවිලි විතරයි. රනිල්ට ලොකු එයාගේ සෙට් එක මිසක් මේ රංගෙ බණ්ඩාරලා, තෙවරප්පෙරුමලා නෙවෙයි' සනත් පැවැසීය.
ඉරිදා උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගි වීම සඳහා ප්‍රසන්න ගියේ අකිල එල්ලාවලගේ ආරාධනයෙනි. පවිත්‍රා, රංජිත් සොයිසා, වක්කුඹුර ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ආසන බල මණ්ඩල රැස්වීම නිමා වී කතාබහ කරමින් සිටින අතරතුර ප්‍රසන්න කීවේ මහින්ද කරගත් පිනක් සම්බන්ධයෙනි.

'මහින්ද මහත්තයා පසුගිය දවස්වල ලොකු පිනක් කර ගත්තානේ' ප්‍රසන්න පැවැසීය.

'මහින්ද මහත්තයා පින් කරනවා කියලා අපි දන්නවා. ප්‍රසන්න කියන්නේ මොන එක ගැනද?' පවිත්‍රා ඇසුවාය.

'නෑ ඉතින් මහින්ද මහත්තයාට පින්සිද්ධ වෙන්නනේ රනිල් පන්සල් ගාණේ යන්න ගත්තේ. නැත්නම් රනිල් කියන්නේ මලක් පහනක් පූජා කරපු මනුස්සයෙක්ද? දැන් බලන්නකෝ බැලුවත් ඇත්නම් රනිල් පන්සලේ' ප්‍රසන්න පැවැසීය.

'ඒක නම් ඇත්ත තමයි. කිව්වත් වගේ දැන් රනිල් මහත්තයා නැති පන්සලක් නැහැනේ. හැබැයි ඉතින් නහින දෙහින කාලෙට කාටත් ආගම මතක් වෙනවානේ' සොයිසා කීවේ කවුරුත් සිනහා ගන්වමිනි.
'එයා හිතන් ඉන්නවා ඇති පන්සල් ගාණේ ගිය පළියට සිංහල බෞද්ධයන්ගේ ඡන්ද ටික ඩැහැ ගන්න පුළුවන් කියලා. දෙමළ සන්ධානෙත් එක්ක එකතු වෙලා ආණ්ඩු අටවාගෙන කොටි රූකඩවලට ඕනෑ විදියට රට කඩන්න යන රනිල්ට බෞද්ධ ඡන්ද ගන්න නම් ආත්ම හතක්වත් පන්සල් යන්න වෙයි' ප්‍රසන්න පැවැසීය.

දයාසිරිට මහින්ද කියාදුන් පාඩම

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ඩාලි පාරේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. මේ අවස්ථාවට පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම කැපීපෙනිණි.

තනතුරට පත් කිරීමෙන් පසුව කුරුණෑගල පැවැති රැස්වීමකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට ගොස් දයාසිරිට කට වරද්දා ගැනීමට සිදුවිය. එහිදී දයාසිරි කීවේ මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේද නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද යන්න තීරණයක් ගත යුතුය කියාය. දයාසිරිගේ එම ප්‍රකාශයට මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නේය. අනතුරුව කුරුණෑගලදීම පැවැති තවත් හමුවකදී මාධ්‍යවේදීන් දයාසිරිගේ ප්‍රකාශය ගැන මහින්දගෙන් විමසීය.

'ඒක එයාගෙන් අහන්න. එයා කිව්ව කතාව ගැන දන්නේ එයා' යැයි මහින්ද එහිදී පැවැසූ අතර ඊටද පුළුල් ප්‍රචාරයක් ලැබිණි. දයාසිරිගේ මෙම ප්‍රකාශය ගැන මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රිවරුන්ටද තරමක් කේන්ති ගියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම සඳුදා රාත්‍රියේ මෛත්‍රිගේ සහ මහින්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මෙම ප්‍රශ්නය මතුවිය. ජනාධිපතිවරයාද දයාසිරිට අවවාද කළේය. එහිදී දයාසිරිද එම ප්‍රකාශය ගැන කනගාටුව ප්‍රකාශ කළේය.

'ඔබතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් විතරක් නෙවෙයි. පක්‍ෂයේ මහ ලේකම් තනතුරක් ගත්තාම කියන කරන දේවල් ගැන දෙපාරක් හිතන්න ඕනේ' යැයි මහින්ද කීවේය. දයාසිරි ඊට කිසිවක් නොකියා නිහඬව සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී තරුණ මන්ත්‍රිවරුන් පිරිසක් මලික් සමරවික්‍රම ඇමැතිවරයාට දෝස්මුරයක් නැඟුවේ අගමැති ඉදිරියේදීය.

'ඇමැතිවරු හම්බෙන්න බැහැ. අමාත්‍යාංශවලට ගියාම අපිව සත පහකට ගණන් ගන්නේ නෑ. මෙහෙම කොහොම වැඩ කරන්නේ' හේෂා ඇතුළු පිරිසක් කීහ.

'කලින් දන්වලා එන්න. මට කෝල් එකක් දීලා ආව නම් හරිනේ' මලික් කීවේය.

මෙහිදී එ.ජා.පෙ. සභාපති කබීර් හෂීම්ද මන්ත්‍රිවරුන්ට දෝස්මුරයක් එල්ල කළේය.

'යමක් කියන්න තියෙනවා නම් මෙතැන කියන්න. මෙතැන අපිට ඕන ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන්. එහෙම නැතිව එළියේ ගිහින් විවේචන කරන්න එපා. ඇතැම් අය ප්‍රවෘත්ති සාකච්ඡා තියලා වීරයෝ වෙන්න හදනවා. මීට පස්සේ ඒ වගේ දේවල් කරන්න එපා' කබීර් කීවේය.

අගමැතිවරයාද එය අනුමත කළේය. ඉන් අනතුරුවද තරුණ මන්ත්‍රි පිරිස මත ගැටුම් කිහිපයක් ඇති කරගත් අතර අගමැතිවරයා මැදිහත් වීමෙන් එම ගැටලු විසඳීමට කටයුතු කළේය.

දේශප්‍රේමීන් ගැන සජිත් කතා කරයි

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය ජනතා සේවාව නැවත ඇරැඹුවේ ඉකුත් සති අන්තයේ සූරියවැව, හබරත්තවල ඉදිවූ "සදාවීර කැප්පෙටිපොළගම" උදාගම්මානය ජනතා අයිතියට පත් කරමිනි. එය 147 වැනි උදාගම්මානය ලෙස සටහන් වෙයි. උත්සවය අතරතුරදී සජිත් වටා රොක් වුණු ප්‍රදේශවාසී වියපත් කාන්තාවන් පිරිසක් කීවේ "අනේ පුතේ අපට බොහෝම සතුටුයි.

රට, ජාතිය, ආගම රැකගන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා පුතාට ආයෙත් වරමක් දීපු එක ගැන" කියාය. "රට එක්සේසත් කරන අපට අද හරිම වැදගත් දවසක්. අතිගරු ජනාධිපතිතුමා අද දවසේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරනවා. වෙල්ලස්ස කැරැල්ලේ 200 වසර සැමරුමට සමගාමීව ඒ සටන මෙහෙයවපු කැප්පෙටිපොළ සෙනවිතුමාට උපහාරයක් හැටියට අපි "සදාවීර කැප්පෙටිපොළගම" ජනතා අයිතියට පවරනවා වර්තමාන ආණ්ඩුව යටතේ රට විනාශයට පත්වෙන බවට බහුබූත කතා කියලා ජනතාව නොමඟ යවන්න සමහර බඩගෝස්තරවාදී කණ්ඩායම් වෑයම් කරනවා.

ඒ වුණත් සැබෑ දේශප්‍රේමීන් කවුද, කාඩ්බෝඩ් දේශප්‍රේමීන් කවුද කියලා ජනතාව දැන් දන්නවා" සජිත් කීවේය. අනතුරුව සජිත් සහභාගි වූයේ 148 වැනි උදාගම්මානය වන මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරලෙයිපත්තු, කුඹුරුමුලෙයිහි ඉදිවූ "පළමුදිර්චෝලෙයි" ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවටය. එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාට ප්‍රශංසා කරමින් සජිත් කීවේ "ගම්මාන 2500 වැඩසටහන යටතේ දැනටමත් ගම්මාන 111ක් ඉදිකරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් දෙවැනි වන වාර්තාවක් තැබීම ගැන මඩකළපුව දිස්ත්‍රික්කයේ ඔබ හැමට මගේ ප්‍රශංසාව පළ කරනවා. ඔබේ දක්‍ෂ, පක්‍ෂ හපන්කම් ගැන මට ඇති අවබෝධය නිසා අලුත් ඉලක්කයක් ලබා දෙනවා. එනම් මේ අවුරුදුදේ සැප්තැම්බර් මාසය අවසන් වීටම පෙර අලුත් ගම්මාන ගණන 300 දක්වා වැඩිකර ඔබේ හැකියාව තහවුරු කර පෙන්වන්න" කියාය.

බැසිල් සොයා පැමිණි ජර්මානු මහාචාර්යවරයා

මේ අතර ලෝක ප්‍රකට උපාය මාර්ගික උපදේශන විශේෂඥයකු සහ දේශපාලන සහ සමාජ විද්‍යාඥයකු ද වන මහාචාර්ය ඩ්චපඤර ජ්. ඉජඩතධඥප පසුගිය සතියේ නෙලුම් මාවතේදී බැසිල් හමු විය. නිවාඩුවක් ගත කිරීමට
ශ්‍රී ලංකාවට පැමිණ සිටි මහාචාර්ය හාඩි, බැසිල් පිළිබඳ දැනගෙන තිබුණේ ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරකු මඟිනි.

ජර්මානු අමුත්තා සමඟ සාකච්ඡාවට බැසිල් වාඩි වුණේ පොහොට්ටුවේ උපායමාර්ගික කටයුතු පිළිබඳව විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුත් සමඟිනි.

ජර්මානු මහාචාර්යවරයා තමන් විසින් නිර්මාණය කර ඇති විශේෂ මෘදුකාංගයක් පිළිබඳ පැහැදිලි කිරීමක්ද කළේය.

'මම මේ ඔබට පෙන්නන්නේ කෘත්‍රිම බුද්ධියේ ඉතා දියුණුම අවස්ථාවක්..

මේකෙන් පුළුවන් සමාජ ක්‍රියාකාරකම් පුරෝකථනය කරන්න..

ඒ වගේම සමාජ ප්‍රශ්න හඳුනා ගන්න සහ ඒ හා සමාන ප්‍රශ්නවලට අදාළ ලෝකයේ විවිධ පර්යේෂණ වාර්තා හරහා ගිහින් ඒවාට විසඳුම් හොයන්නත් හැකියාව තියෙනවා..'

මහාචාර්යවරයා තමන්ගේ මෘදුකාංගය පිළිබඳ දිගු පැහැදිලි කිරීමක් කළේය.

'අපිත් මේ වෙලාවේ අපේ සමාජය ගැන අලුත් අධ්‍යයනයක් කරමින් ඉන්නේ..

සමාජයේ තියෙන සාම්ප්‍රදායික ප්‍රශ්න වගේම අලුත් සමාජ තත්ත්වයන් විසින් නිර්මාණය කරලා තියෙන අලුත් ප්‍රශ්න පිළිබඳවත් අපි විශේෂ ගවේෂණයක් කරමින් ඉන්නේ..

ඔබතුමාගේ පැහැදිලි කිරීම නිසා අපේ උත්සාහය වඩාත් දියුණු තැනකට අරන් යන්න පුළුවන් කියලා මට දැනුණා..

බොහෝම ස්තුතියි ඔබතුමාට. අපේ ලස්සන රටට ආවාට...'

බැසිල් එසේ කියමින් සාකච්ඡාව අවසන් කළේය.


සුව ඇමැති
අභයාරාමයට යයි

නාරාහේන්පිට අභයාරාමය ප්‍රසිද්ධව ඇත්තේ වෘත්තීය සමිති අරගලවලට මෙන්ම රාජපක්‍ෂවරුන්ට හිතවත් විහාරස්ථානයක් ලෙසයි. නමුත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර ඇත්තේ ඉතා දීර්ඝකාලීන මිතුරුකමකි. ආනන්ද හිමියන් රෝගාතුර වී ඇති බව දැනගත් සෞඛ්‍ය අමාත්‍යවරයා අභයාරාමයට ගොස් උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය. එහිදී උන්වහන්සේ සහ තමන් සෞඛ්‍ය වෘත්තීය සමිති අරගල සිදු කළ ආකාරය පිළිබඳව ආවර්ජනය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්පසු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළේය. සෞඛ්‍ය ගැටලු කිහිපයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ආනන්ද හිමියන් ඊට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා පසුදිනම සාකච්ඡාවක් පවත්වා ඊට විසඳුම් ලබාදෙන ලදී.
කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වුණේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී අවධානය යොමු වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයන් පත්කිරීම පිළිබඳවයි. 'දැන් විපක්ෂයේ මන්ත්‍රින් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා බැගින් පත්කරන්න ඕනෑ.'

අනුර දිසානායක කීවේය. 'පාර්ලිමේන්තුව කල් තියපු නිසා කෝප් සභාපති තනතුරත් දැන් අහෝසි වෙලා. කෝප් කමිටුවේ සභාපති ධුරයට මොකද වෙන්නේ. කෝප් කමිටුවට අපි කවුද යන්නේ.' විජිත හේරත් විමසීය. 'හඳුන්නෙත්ති සහෝදරයාම කෝප් කමිටුවට යන එක හොඳයි.' නමුත් සභාපති ධුරය භාරගන්නවාද කියන ප්‍රශ්නය තියෙනවා නේද?' වෛද්‍ය නලින්ද ජයතිස්ස විමසීය.' කෝප් කමිටුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. වංචා දූෂණ විශාල ප්‍රමාණයක් විමර්ශනය කෙරෙනවා. ඒ නිසා සභාපති ධුරයේ වැඩ කරන්න ලැබුණොත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් අනෙක් මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ.' අනුර දිසානායක කීවේය.' අනෙක මන්ත්‍රිවරු කැමැති නම් අපි සභාපති ධුරය භාරගමු' විජිත හේරත්ද කියාසිටියේය.

නව ව්‍යවස්ථාව ගැන
විද්වත් කමිටු වාර්තාවට ජවිපෙ විවාදයක් ඉල්ලයි

'අලුත් ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් මන්ත්‍රිවරයා කරපු ප්‍රකාශයෙන් මුළු රටම ඇවිළිලා. ඒක අසත්‍ය ප්‍රකාශයක්.' බිමල් රත්නායක කියා සිටියේය. 'අලුත් ව්‍යවස්ථාවක් එන්නේ කොහොමද? ඒක ලොකු ක්‍රියාවලියක්.

අඩුම තරමේ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. නමුත් විද්වතුන්ගේ වාර්තාවක් එන්න නියමිතයි. ඒක විද්වතුන්ගේ වාර්තාවක් විතරක්. අනෙක් දේශපාලන පක්ෂ ඒකට එකඟ නැද්ද කියලා තීරණය කරලා නැහැ.' අනුර දිසානායක කීවේය. 'ව්‍යවස්ථාදායක සභාවේ මේ ගැන කතාබහ වුණා. ඒ වෙලාවෙත් අපි යෝජනා කළා මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විතරක් මදි. ඒ ගැන විවාදයක් ඕනෑ කියලා. මොකද එම වාර්තාව ගැන කියන්න අදහස් අපිටත් තියෙනවා.' බිමල් රත්නායක කීවේය. 'ඔව්, ව්‍යවස්ථාවක් එනවා කියලා බොරු මත හදන වෙලාවේ මේ වගේ වාර්තා වැරැදියට අර්ථකථනය කරනවා ජාතිවාදී කණ්ඩායම්. ඒ නිසා ව්‍යවස්ථාව ගැන එන ඕනෑම වාර්තාවක ඇත්ත තත්ත්වය කියන්න අපිටත් අවස්ථාවක් හදාගන්න ඕනෑ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලමු.' සුනිල් හඳුන්නෙත්ති කීවේය.

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon